බියෙන් තොරව හිස කෙළින් තබන එහෙව් නිදහසක් අද කොහිද? ජාතික නිදහස පිළිබඳ පසු විපරමක්

203

මෙහි මුල් කොටස ඊයේ පත‍්‍රයේ පළවිය

ජාතික නිදහස යනු ව්‍යවස්ථාවකින් පමණක් තහවුරු කළ හැකි දෙයක් නොවේ. එහෙත් එයින් ලැබෙන ප‍්‍රභාසම්පන්න ආලෝක ධාරාව විසින් ඔසවා තබනු ලබන්නේ ජාතික සංස්කෘතික වටිනාකම් මත පදනම්වූ නිදහසකි.

1978 දී යළිත් මෙරටේ සමාජ, ආර්ථික දේශපාලන ආදී සියලූ ක්‍ෂේත‍්‍රවල උඩු යටිකුරු වීමක් සිදුවූයේ විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වාදීමත් සමගය. කිසිදු මහජන අපේක්‍ෂාවක් නොවූ මෙම අලූත් ව්‍යවස්ථාව සමඟ ජාතික නිදහස, සංස්කෘතික හා සමාජ හර පද්ධතීන් සියල්ලද අභියෝගයකට ලක්විය. කුමක් වුවත් 1947 දී ලබාදුන් ව්‍යවස්ථාව අහෝසි කර 1972 දී දේශීය නිදහස තහවුරු කෙරෙන ව්‍යවස්ථාවක් අපට ලැබුණි. එහෙත් වසර හයකින් පසු එනම් 1978 දී එය අහෝසිකර අපට හඳුන්වා දුන් ව්‍යවස්ථාව අදත් කි‍්‍රයාත්මකව තිබේ. මෙය ජනතාවගේ දැඩි විවේචනයට ලක්වූ, ජාතික නිදහස මෙන්ම අපගේ ජාතික වටිනාකම් පද්ධතියද නොතැකූ විනාශයක් බව බහුතර ජනතාවක්ද පිළිගනු ලබන්නකි. එසේම එය දේශපාලන අරමුණු කුළුගැන්වූ උගුලක් ලෙසද සමහරු හැදින්වූහ. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය පිළිබඳ ප‍්‍රමාණවත් අත්දැකීම්වලින් යුත් ලංකාව වැනි රටකට එබඳු ඒකාධිපති ලක්‍ෂණ ගැබ්වූ ව්‍යවස්ථාවක් කුමකටදැයි එය යෝජනා කළ අයට හෝ අවබෝධයක් නොවීය. එහෙත් දසක හතරකටත් වැඩි කාලයක් මුළුල්ලේ මේ විනාශයෙන් රට ගලවා ගත හැකි නායකයෙක් බිහිවී නොතිබීම අද රටත් ජනතාවත් මුහුණ දී සිටින ඛේදවාචකය වේ.

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම සමාජවාදය යන වචන ඇසෙන විට පවා බොහෝ දෙනකු තුළ මතුවන්නේ ප‍්‍රසන්න චිත‍්‍රයක් නොවේ. ඒවා සූරා කෑමට, ජාතික උරුමයන් විකුණාදැමීමට යොදාගනු ලබන අලංකාර වචන පමණක් බව අද තහවුරු වී තිබේ. නිදහස් සමාජවාදී රටක ජනජීවිතය මත වැටී තිබෙන පීඩනයේ උච්චතම අවදිය අද එළඹෙමින් තිබේ. කම්කරුවා, ගොවියා, ශ‍්‍රමිකයා හා පහළ මධ්‍යම පන්තියම ඒ පීඩනයේ ගොදුරු බවට පත්ව සිටිති. වරක් ගුණදාස අමරසේකර පැවැසූ පරිදිම අද මෙරටේ කසළ වෙළෙද කුලයක් බිහිවී තිබේ. ආණ්ඩුවල ඇමැතිවරුන් අතරද ඒවාට ආවඩන බ්‍රෝකර්ලා සිටිති. ජාවාරම්කාර කොන්ත‍්‍රාත්කාර පිරිස් ආණ්ඩුවල ආරක්‍ෂකයන් බවට පත්ව සිටිති. බහුජාතික සමාගම්වලට දොර හැර දෙන මේ දේශපාලනය කෙබඳු රැවටිල්ලක් දැයි කූට බුද්ධිමත්හුද දනිති. මොන උප්පරවැට්ටියකින් හෝ බලයට පැමිණ තම සනුහරයම ගොඩදාගැනීම අද ශ‍්‍රී ලාංකික දේශපාලනයේ ආවේණික ලක්‍ෂණය බවට පත්ව තිබේ. හැත්තෑහතෙන් ඇරඹි හැම පාලකයකු විසින්ම නඩත්තු කරන ලද ගර්හිත, නින්දිත ඒ දේශපාලන ප‍්‍රවාහය අදටත් හාත්පස දුර්ගන්ධයෙන් වසාලමින් ගලා බසී. මැරයන්ට, ජාවාරම්කාරයන්ට, සල්ලාලයන්ට හා ඕනෑම වර්ගයේ පාඩදයන්ටද ඒ දේශපාලනය තුළ රැකවරණ ලැබේ. යුක්තිය, ධර්මය, මනුෂ්‍යත්වයට දක්වන ගෞරවය යනාදී කිසිවක් නොමැති ලූම්පන් දේශපාලනයේ ගමන් මඟ වෙනස් කිරීමට කී දෙනෙකුට බලය ලබාදී තිබේද?

2015 ඒ පොදු ජන අපේක්‍ෂාවේ නැතහොත් නිදහස් යහපත් දේශයක් ගොඩනැගීමේ අවසන් නැවතුම විය. ඒ වෙනුවෙන් ගොඩනැගුණු යහපාලන ආණ්ඩුව අමුතුම ආකාරයක දේශපාලන බල පොරයක් විය. ව්‍යවස්ථා ගැට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සූත්තර සමඟ රඟදැක්වුණු රයිගමයා හා ගම්පොලයා සිහිපත් කළ විසූක දස්සනය නිදහසින් පසු අප දුටු ජුගුප්සාජනක දේශපාලන විගඩමක් වැන්න. විධායකයේ තටු සිඳ ව්‍යවස්ථාදායකය බලගැන්වීමේ යහපාලන මෙහෙයුමෙහි රාජ්‍ය නොවන සංවිධානවල නූල් සූත්තරකාරයින් පමණක් නොව දෙමළ බෙදුම්වාදයේ න්‍යායාචාර්යවරුද වූහ. කන්දක් විළිලා මී පැටියෙක් වදන්නාක් මෙන් ඔවුන් විසින් සිදුකරන ලද ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අර්ථසම්පන්න වූයේ නැත. 19 වැනි සංශෝධනය අලූත් දේශපාලන අවුලක් නිර්මාණය කරන්නක් විය. රට අස්ථාවර වී දේශපාලන කැඳහැළියක් ජනතාවට ලැබුණි.

2020 දී බහුතර ජනතාව යළිත් තමන් ප‍්‍රතික්‍ෂේප කළ රාජපක්‍ෂවරුන් කෙරෙහිම විශ්වාසය රැඳවූහ. පාර්ලිමේන්තුවේ 2/3 බලයට අමතරව අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අවශ්‍ය 20 වැනි සංශෝධනයද සම්මත කර දෙයි. ඒ මේ දේශපාලන විකෘතිය ප‍්‍රකෘතියක් බවට පත් කිරීමටය. අලූත් ව්‍යවස්ථාවක් සම්මත කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලගන්වා සාර දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමටත් ජාතික නිදහස අර්ථවත් කිරීමටත් ජනතාව අපේක්‍ෂා දල්වා ගෙන සිටියි. එහෙත් තවමත් රටට වුවමනා දේශපාලන ගමන ඇරඹී නැත. ඒ ගමන මන්දගාමී කළ ගෝලීය අනතුරක වසරක්ම රට හිරවී තිබුණු බවද කිව යුතුය. එහෙත් රාජ්‍ය ආයතන, ඒවායේ මෙහෙයුම් ඉතා දුර්වලය. දූෂණ චෝදනා, නාස්තිය ජාතික සම්පත් විකිණීම වැනි මෙතෙක් හැම පාලන යුගයකම තිබුණු අශිෂ්ට ප‍්‍රවණතා එලෙසම දැකගත හැකිය. නිස්සන් වෙනුවට පුස්සන් යොදන දේශපාලන කප්පම් ක‍්‍රමය තවමත් සක‍්‍රිය වී තිබේ. වියත් මග නමින් හඳුන්වාදෙන ලද ක‍්‍රමය, මෙතෙක් හැම ආණ්ඩුවක්ම පවත්වාගෙන ගිය දේශපාලන හෙංචයියලාගෙන් සමන්විත ජුන්ටාවක් බවට ප‍්‍රබල චෝදනාවක්ද ඇත. පිරිස් පාලනය, ප‍්‍රතිපත්ති සම්පාදනය, අලූත් සමාජ දේශපාලන දැක්ම මෙන්ම සමාජ දේශපාලන අන්තර්ඥානය යනාදියෙන් තොර කණ්ඩායමකට මැදිවූ විධායකයට මේ සියල්ල කළමනාකරණයට තව ඉතිරිව ඇත්තේ තුන් අවුරුද්දකි. එයට සරිලන දේශපාලන හා මානව සම්පත් තෝරාගැනීම තවත් ප‍්‍රමාද කළ යුතු නැත.

1978 ව්‍යවස්ථාව විසින් ඇති කරන ලද සමාජ දේශපාලන විනාශය බරපතළ විපත් සාදා දුන් දුෂ්ට ක‍්‍රමයකි. එය දියුණු දේශපාලන සංස්කෘතියක බුද්ධිමය ආලෝකය වෙත යොමුවූවක් නොව පක්‍ෂ හා පුද්ගලයන් පෙරට ගන්නා සූත්තරයකි. ස්වාධීන හා බුද්ධිමත් දේශපාලනඥයන් වෙනුවට මුග්ධ අමන රැුළක් නිර්මාණය වීම මේ දේශපාලන ක‍්‍රමයේ ස්වරූපයයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන 225න් බහුතරයක්ම කලක් මුළුල්ලේ එහි සිටින්නෝම වෙති. ඔවුන් බොහෝ දෙනෙකු ජ්‍යෙෂ්ඨයෝද වෙති. එහෙත් ඔවුන්ගෙන් කී දෙනෙක් විශිෂ්ටයෝ වෙත්ද? දේශපාලනය මහජන සේවයකැයි කියන කිසිවෙක් අද නොවෙති. ඒ සමඟ බැඳුණු විෂමාචාර කෙතෙක්ද? දේශපාලනය හා බලය අවභාවිත කිරීමේ වරදකට ප‍්‍රජා අයිතිය අහිමිවූ අය හෝ අධිකරණයෙන් දඬුවම් ලැබූ අය හෝ සිටිත්ද? ජයවර්ධන යුගයේදී සිරිමා බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස්, නෙවිල් ප‍්‍රනාන්දු වැනි කීපදෙනෙක් වැරදිකරුවෝ වූහ. එහෙත් ඉන් පසු මෙරටේ එබඳු වරදක් කළ කිසිවෙක් නොවෙත්ද? වංචාව, දූෂණය ගැන මහජනයා අතර කැකෑරෙන සිදුවීම් අප‍්‍රමාණව තිබේ. මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම්වලට ගරු නොකරන බව ආණ්ඩුවේම හවුල්කාරයෝ කියති. සාකච්ඡා සංවාද, හමුවීම් කිසිවකට ඉඩක් නැති පිරිසකගේ අභිමතය පරිදි රට පාලනය කරන බවද කියනු ඇසෙයි. ව්‍යවහාර බුද්ධියෙන් තොර, සත්‍ය දැක දැකත් එය වෙනුවෙන් පෙනී නොසිටින දේශපාලනයක කොටස්කරුවන් බවට පත්වූ කලාකරුවෝ උගත් හා විද්වත් අය, ආගමික නායකයෝ, මාධ්‍යකරුවෝ හැම පාලන යුගයකම වූහ. ඒ රට වෙනුවෙන් නොව බඩ වෙනුවෙනි. සා අඟින් පනා කපන වර්ගයේ විශේෂඥයෝද බොහෝ ආණ්ඩුවල සිටියහ. දැනුදු සිටිති.

ලංකාව වසර 74ක් ජාතික නිදහස සැමරුවත් එයට ජාතික චින්තනයක් නැති බවටත් චෝදනාවක් ඇත. එහෙත් අපේ ජාතික නිදහස් සටනේ සැබෑ විරුවන් ඇත්තේ තිරය පසුපස බවද කිව යුතුයි. 1948 ඉංග‍්‍රීසීන් විසින් අපට භාරකළ රට කොපමණ ආපස්සට ගොස් තිබේදැයි විමසා බැලීම වටී. අද තිබෙන අසංවර – අශිෂ්ට දේශපාලනය 1977 දී ආරම්භ වූවක් බව සැබෑවකි. එහෙත් එතැන් සිට තවත් හතළිස් වසරකටත් වැඩි කලක් සමස්තයක් ලෙස වසර 74ක් අපට අපේ ජාතික නිදහස තහවුරු කරගත හැකිවී තිබේද?

1948 සිට 2022 දක්වා වූ දීර්ඝ කාලයක් මෙරටේ බලයට පැමිණි හැම ආණ්ඩුවක් විසින්ම අභිමානයෙන් සිහිපත් කරන ලද එක් විශිෂ්ට මතකයක් වූයේද ජාතික නිදහස් දිනයයි.

අවස්ථා කීපයක ඒ උත්සවය පවත්වා නැත. එහෙත් ඒ නිදහස අර්ථවත් ලෙස පොදු ජන හද තුළ නින්නාදවන්නක්ද? නිදහස වෙනුවෙන් ලියැවුණු නිර්මාණ අඩංගු සාහිත්‍යයක් අපට තිබේ. ඒ වෙනුවෙන් නිමවුණු නාට්‍ය, චිත‍්‍රපට ආදියත් ජාතියට තිබේ.

පෙරදිග මහාකවියා වූ ඉන්දියාවේ රවීන්ද්‍රනාත් තාගෝර් සූරීන් එරට නායකයන්ට කීවේ පටු අදහස් නම් පවුරින් ලෝකයට කැබලිවලට නොබෙදී ඥානය නිවහල්ව – නිදහසේ ස්වර්ග රාජ්‍යයට තම දේශය අවදි කළ යුතු බවය. මෙරටේ ජනතාවගේ පරම පැතුමද එවන් නිදහසේ ස්වර්ග රාජ්‍යයක් පමණි. බියෙන් මිදුණු බිය ජයගත් සිතක් ජාතියේ පරම ධනය බව ඔහු ගීතාංජලියෙහිද දක්වා තිබේ. එසේම නිදහස ජාතික ජන මනසින් ඈත්වූ පාලකයන්ගේ දේශපාලන සැරසිල්ලක් වීම පිළිබඳවද විශ්ව සාහිත්‍යයේ සඳහන්ව තිබේ. ජගත් ගෞරවයට පාත‍්‍රාවූ ප‍්‍රංශ ජාතික ගී ද මෝපසාන්, ප‍්‍රංශ අධිරාජ්‍යවාදී රජුට මෙබඳු නිදහස් චෝදනා පත‍්‍රයක්ද ඉදිරිපත් කර තිබේ. ජනතාව මුළා කරවන සැණකෙළියක් ලෙස පවත්වන උත්සව නිෂ්ඵල බවද ඔහු කියයි.

අද ජනරජ දිනයයි. මම පුරයේ වීථි ඔස්සේ ගමන් කළෙමි. රාත‍්‍රි අහසට නැග පුපුරා යන අහස් වෙඩි හා සුළඟින් වැනෙන ධජ පතාක දෙස බලා මම දරුවකු මෙන් ප‍්‍රීති වීමි. රජයේ නියෝගයෙන් මහජන මුදල් වැයකොට පවත්වන උත්සවවලට සහභාගිවී විනෝදවීම නොහොබිනා කමකි. අඥානකමකි. මෙවන් දවස්වල ප‍්‍රීතිවන මහජනයා කිසිවක් හරි හැටි තේරුම්ගත නොහැකි මෝඩයෝ වෙති. විටෙක ඔවුහු පාලකයන් කරන තාඩන පීඩන නිවටයන් මෙන් ඉවසා සිටිති. තවත් විටෙක චන්ඩ ලෙස කැරලි ගසති. නුඹලා උත්සව පවත්වපල්ලා, ප‍්‍රීති වෙයල්ලා යයි කී විට ඔවුහු උත්සව පවත්වති. ප‍්‍රීතිවෙති. නුඹලාගේ අසල්වැසියාට ගහපල්ලා, බැණපල්ලා, ඇනපල්ලා යයි කී විට ඔවුහු එසේ කරති. මහරජතුමාට පක්‍ෂපාතව, කීකරුව එතුමාට ඡුන්දය දීපල්ලා යයි කී විට ඔවුහු මහරජාට ඡුන්දය දෙති. නුඹලා මහරජතුමාට විරුද්ධව සමූහාණ්ඩුවට පක්‍ෂව ඡුන්දය දීපල්ලා යැයි කීවිට සමූහාණ්ඩුවට ඡුන්දය දෙති. සැබැවින්ම මහජනයා නාස් ලණුව අදින අතට හැරෙන ගොන් රැුළක් නොවේද?….’’

උපුටා ගැනීම නිර්මාණය හා ශෝකය සිරිල් සී. පෙරේරා කෘතියෙනි
ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment