වැලිගම බටවල හන්දියට ආසන්න විජයාරාම පාර වල්ලිවල වැලිගම ලිපිනයේ පිහිටි නිවසක් තුළ දී පෙරේදා (20 දා) අළුයම බිරිඳ විසින් සැමියාගේ හිසට අලවංගුවකින් පහරදී ඔහු ඝාතනය කර සිය බාල දරුවන් දෙදෙනා සමග නිවසින් පළාගොස් ඇති බව වැලිගම පොලිසිය පවසයි.
බිරිඳගේ පහරදීම හේතුවෙන් මෙලෙස මියගොස් ඇත්තේ වල්ගම වෙල්ලාලගේ අරුණ ප්‍රියශාන්ත නමැති පනස් හැවිරිදි සිව්දරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය අයගේ නෑදෑයන් පවසන ආකාරයට මෙම නිවසේ නිතරම පවුල් ආරවුල් ඇති වන අතර දරුවන් සිව්දෙනාගෙන් දෙදෙනකු මියගිය අයගේ සහෝදරයාගේ නිවසේ ජීවත්වන බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව බාල දරුවන් සමග ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඇය සොයා වැලිගම පොලිසිය විමර්ශනවලින් අනතුරුව ගාල්ල මිහිරිපැන්න ප්‍රදේශයේ දී නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එම්. අබේසේකර මහතාගෙන් කරන ලද විමසීමේදී ඔහු කියා සිටියේ දෙමාපියන් අතර සිදුවූ මෙම ශෝචනීය සිද්ධිය සම්බන්ධයෙන් අසරණ වී ඇත්තේ ඔවුන්ගේ දූ දරුවන් බැවින් සමාජයේ එවැනි ස්ථානවල සිටින දෙමාපියන් ඔවුන්ගේ ගැටලුසහගත තත්ත්වයන් විසඳා ගැනීමට නුවණින් යුතුව ක්‍රියා කළ යුතු බවත් අසරණ වූ දරුවන් ට ඔවුන්ගේ අනාගතයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් ඔහු පවසයි.
පොලිස් අත්අඩංගුවට පත් කාන්තාව තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීමට පෙර දින ඔහු විසින් තමන්ට පහරදීම සිදු කළ බව දන්වා වැලිගම පොලිසිය ට පැමිණිල්ලක් දමා ඇත. මරණය සම්බන්ධයෙන් පොලිස් සොකෝ පරීක්ෂණ සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කළ අතර වැලිගම පොලිසිය මගින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.
මාතර අතිරේක – ලලිත් පද්මසිරි