බිලියනය බැගින් වන්දි ඉල්ලා ජනක නඩු දමයි

1930

අතුරු තහනමත් ලැබෙයි

තමන් සිය පෞද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ බිම්බා නමැත්තිය සමග පැවැති අතිශය පෞද්ගලික සබඳතාවලට අදාළ වීඩියෝ දර්ශන මීමැස්සෝ ටී.වී. නම් වූ යූටියුබ් නාලිකාව ඔස්සේ හෝ කවිශ්වර ගුණරත්න නමැත්තා විසින් පවත්වාගෙනු ලබන වෙනත් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මීමැස්සෝ ටී.වී. නැමැති යූටියුබ් නාලිකාව ඔස්සේ අතිශය පෞද්ගලික දර්ශන මේ වනවිටත් අන්තර්ජාලයට මුදාහැර ඇති බැවින් ඉන් තමන්ගේ කීර්ති නාමයට සිදුවන හානියද පෙර කී වගඋත්තරකරුවන් දෙදෙනාගෙන් රු. බිලියනය බැගින් වන්දි හා නඩු ගාස්තු අයකර ගැනීමට තීන්දුවක් නිකුත් කරන ලෙසත් නීතිඥ ජී.ජී. අරුල් ප්‍රකාසම් මහතා නමට ගොනු කර ඇති බව පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

මේ අතර මෙම නඩුව අසා නිම කරන තෙක් පෙත්සමේ සඳහන් කර ඇති වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම තෙවන පාර්ශ්වයකට ලබාදීම වළක්වමින් වගඋත්තරකාර කවීෂ්වර ගුණරත්න හා ගයාත්‍රී බිම්බා වෙත කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (18දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතීසි යැවීමට ද දිසා විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

ජනකගේ නඩුව මහෙස්ත්‍රාත් උසාවියේ අහනවාට විරෝධතා ගොනු කෙරේ

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් ඔහුගේ පෞද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ ගයාත්‍රි බිම්බා මහත්මිය ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට ඇති නෛතික බලය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු ඊයේ (18දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට දැනුම් දුන්හ.

වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස්, නලින්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු ජනාධිපති නීතිඥවරු එලෙස අධිකරණයට දැනුම් දුන්හ.

එම නඩු කටයුත්ත මෑතකදී සම්මත කළ රටේ ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බෙහෙවින් බලපාන නඩු කටයුත්තක් වන බැවින් රටේ ජනතාව වෙනුවෙන් තම නීතිඥ සංගමය එම නඩුවේ පාර්ශ්වයක් නොවී ස්වාධීනව අධීක්ෂණය කිරීමට එක්වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය. වගඋත්තරකාර පාර්ශ්වය විසින් විරෝධතා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බව පැමිණිලිකාර ජනක රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ජනක රත්නායක මහතා විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙසේත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ජනක රත්නායක මහතාගේ අතිශය පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් පසුගිය 04 වැනිදා ගයාත්‍රි බිම්බා, ඇගේ සැමියා වන ජනක රාජපක්ෂ, ඖෂල හේරත්, යසලාල් පෙරේරා, කවිෂ්වර ගුණරත්න, ජාමුණි කමන්ත තුෂාර ඇතුළු 08 දෙනකුට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබුණි.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment