බිලියන 5ක හිඟ බදු 30 දාට පෙර නොගෙව්වොත් මත්පැන් සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයි – සුරාබදු තීරණය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

167

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන හයකට ආසන්න හිඟ බදු මුදල් මෙම මස 30 වැනි දිනට පෙර ගෙවා අවසන් නොකළ හොත් එම සමාගම්වලට ලබාදී ඇති බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම, රෝයල් ඩිස්ටිලරීස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල් වහාම අයකර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව මහවත්ත මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (13දා) ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා අධිකරණය පැවසුවේ නියමිත දිනට බදු නොගෙවන්නේ නම් බලපත්‍ර අත්හිටුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දී ඇති බවයි. එම පෙත්සම ලබන ජනවාරි 22 වැනිදා කැඳවීමට දින නියම කළ විනිසුරු මඬුල්ල එදිනට එකී බදු ගෙවීමට අදාළ ප්‍රගතිය වාර්තා කරන ලෙසට ද නීතිපතිවරයාට නියෝග කළේය. වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් රජයට ගෙවිය යුතු එකී බදු මුදල් නොගෙවීම නිසා ජාතික ආර්ථිකයට විශාල අගතියක් සිදුවී ඇති බැවින් වහාම හිඟ බදු මුදල් අයකර ගැනීමට පියවර ගන්නා ලෙසට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් කරනා ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment