බි‍්‍රතාන්‍යයන් ලියූ සැබෑ ඌවේ ඉතිහාසය

464

වසර 133 ක් ලංකාව යටත් කොට පාලනය කළ බි‍්‍රතාන්‍යයන් විසින් මෙරට පාලනය කළ සමයේ දී සකස් කළ වාර්තා අතර ඔවුන් සිදු කළ සංවර්ධන කාර්යන් මෙන්ම රටේ ඉතිහාසයේ ප‍්‍රධාන සිදුවීම පිළිබඳව ද තොරතුරු සාරාංශගත කොට තිබේ. මේ අතරට ගැනෙන ඉතා විශිෂ්ට කෘතියක් වූ ලංකාවේ සිවිල් සේවයේ හර්බට් වයිට් (Herbert WHITE) ශ‍්‍රීමතාණන් විසින් ලියූ MANUAL OF THE PROVINCE OF UVA කෘතියේ සිංහල බසට කළ පරිවර්තනය කර ඇති අතර එය අපේ‍්‍රල් මස් 6 වැනිදා ජනගත කෙරේ. එම කෘතියේ දැක්වෙන ඉතා වැදගත් කරුණු කීපයක් මේ ලිපිය මගින් සාරාංශගතව ඉදිරිපත් කිරීම අරමුණයි.

මෙම අනර්ඝ ග‍්‍රන්ථය ඌව පළාත පාදක කොටගෙන රචනා කර ඇතත් එහි අන්තර්ගතය තුළ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධීන් ගණනාවක් මැනවින් නිරූපණය කර ඇත. බුදුන් වහන්සේගේ ප‍්‍රථම ලංකාගමනය, දුටුගැමුණු මහරජතුමාගේ යුදමය ජයග‍්‍රහණ, මහා විජයබා රජතුමාගේ නැඟීසිටීම, කතරගම ප‍්‍රාදේශීය රාජධානියේ කටයුතු කළ කාශ්‍යප කේෂධාතු, ද්‍රවිඩ කතරගම හා බෞධයන්ගේ කතරගම, පෘතුගීසි, ලංදේසි හා ඉංග‍්‍රීසීන්ගේ ඌව පළාත හා පැවති සබඳතා,

මහියංගනයේ තිබූ රාජසිංහ රජුගේ ධානය ගබඩාව, ආයුධ ගබඩාව, හා මහවැලි ගඟ අසබඩ තිබූ කුඩා වරාය පිළිබඳව ඇති සටහන් මෙන්ම උඩරට රාජධානිය බි‍්‍රතාන්‍යයන් අල්ලා ගැනීමෙන් පසු තත්ත්වය හා 1817/18 ඌව- වෙල්ලස්ස අරගලයේ සැබෑ තතු බි‍්‍රතාන්‍යයන් දුටු අයුරු මේ ග‍්‍රන්ථය තුළ සම්පූර්ණයෙන්ම ඇතුළත්ය.

එසේම ඌවේ කැරැල්ල හේතුවෙන් දෙපාර්ශ්වයම සිදුවූ ජීවිත හානි පිළිබඳව සැබෑ තක්සේරුවක් ද මෙහි සඳහන් කර තිබේ. එයින් කියවෙන පරිදි 1817/18 කැරැල්ල හේතුවෙන් ස්වදේශික සටන්කරුවන් ඇතුළු අරගලය හේතුවෙන් ජීවිත දසදහසක් පමණ අහිමි වී ඇත. ඒ අතුරින් 9000 ක් පමණ සැටක් කරුවන් ය. අරගලයට ඍජු ලෙස සම්බන්ධ නොවූ දරුවන් හා කාන්තාවන් දහසකට අධික පිරිසක් ද ජීවී අහිමි වූ පිරිසට අයත් වේ. දිවි අහිමි වූ සංඝයා වහන්සේලාගේ ප‍්‍රමාණය නිශ්චිතව සඳහන් නොවේ. එසේ නමුදු නිදහස් අරගලයට සම්බන්ධවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඝයා වහන්සේලා 40 දෙනකුගේ නාම ලේඛනයක් වාර්තා අතර දක්නට ඇත.

එයට අමතර වශයෙන් බි‍්‍රතාන්‍ය පාලන කාලයේ සිදුවූ සංවර්ධන කටයුතු පිළිබඳව ඉතා සංශිප්ත වාර්තා රැසක් එහි දැකගත හැකිවිය.

1819 මාර්තු මාසයේ දී ඌව පළාත හරහා කරන ලද දීර්ඝ සංචාරයේ දී තම අත්දැකීම විස්තර කරමින් වෛද්‍ය ජෝන් ඬේවි විසින් ඌව පළාත පිළිබඳ තැබූ මනරම් සටහන් ඇතුළත් ”ලංකාවේ වාර්තාව” නමැති අනර්ඝ කෘතිය 1821 දී ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඔහුගේ නිරීක්ෂණයන් අනුව බදුල්ල නගර නිම්නයට ඉහළින් පිහිටි ලංකාවේ උසම කඳු අතරින් සමනල කන්දට පමණක් දෙවැනි වන නමුණුකුල කන්ද තරණය කිරීමට 1819 මාර්තු 23 වන දින ඔහුට අවස්ථාව හිමිවී තිබේ.

”1819 මාර්තු 23 වෙනිදා සන්ධ්‍යාවේ ඌව, වෙල්ලස්ස හා බින්තැන්න දිසාවන් හි දිසාපතිවරයා වූ හෙන්රි රයිට් මහතා හා මාගේ මිත‍්‍රයන් වූ නිකොල්සන් සහ ලියුට් මහත්වරුන් සමගින් මූන් මහතා විසින් දින දෙකකට පෙර තරණය කළ නමුණුකුල කන්ද නැඟීමට සූදානම් වුණෙමු.

පසු දා එනම් 1819 මාර්තු 24 වැනිදා අළුයම 2 ට අපි බදුල්ලෙන් සැතපුම් තුනක් පමණ ඈතින් තිබූ ගම්මානයක් හරහා කඳු මුදුණට අවතීර්ණවීම ආරම්භ කළෙමු. අළුයම කාලයේ දැඩි අන්ධකාරය තිබිය දී අප ගමන් කළේ හුළු අතු ආධාරයෙනි.

අපගේ ගමන අපි ප‍්‍රථමයෙන් ආරම්භ වූයේ මද බෑවුම් සහිත ප‍්‍රදේශයෙනි. එම ප‍්‍රදේශයේ පේර ගස්වලින් පිරුණු ලඳු වලින් ගහන ය. මහත් අප‍්‍රසන්නතම කාර්ය වූවේ රාත‍්‍රියේ වුවත් අවදියෙන් සිට අපට කරදර කළ කූඩැල්ලන්ගේ හිරිහැරය යි.”

එක්නැලිගොඩ හා මොල්ලිගොඩ නිලමේවරුන් සමග සබරගමුවෙන් පැමිණි පිරිස් ඉංග‍්‍රීසින්ගේ හිත් ගැනීම සඳහා ඌවේ ජනතාව සතුව තිබූ නිවස දේපල මෙන්ම පලදරන වගාවන් විනාශ කළ බව ජෝන් ඬේවි තම සටහන්වල පෙන්වා ඇත. ඔවුන් කැරැල්ල අවසානයේ වැල්ලවාය ප‍්‍රදේශයට පැමිණි පසු දුටු පසුබිම විවර කරන්නේ මෙසේය.

මදක් දුරින් පිහිටි කුරහන් වගාවක් අපට දිස්විය. අපගේ ආරක්ෂාවට සිටි ලස්කොරින් හේවායෙකු ඒ දෙසට පිටත් කළෙමු. ඔහු පැමිණියේ ඉතා දුක්ඛිත තත්ත්වයේ සිටි ස්වදේශික මිනිසුන් දෙදෙනකු බලහත්කාරයෙන් රැගෙන ය. ඔවුන් දෙදෙනාගේ පෙනුමෙන් ඔවුහු පත්ව ඇති දුක්ඛදායක තත්ත්වය පැවසූ අතර,

ඔවුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බව අපට සහතික විය. ගරා වැටී තිබූ ගම්මානයේ තත්ත්වයෙන් ද ඔවුන්ගේ කටුක බව මැනවින් තහවුරු විය.

වැල්ලවාය ගම්මානයේ සිට ඉදිරියට ඇති නිවාසවලින් විනාශ නොවූ එකම නිවසක්වත් දක්නට නොවීය. එහි තිබෙන පලතුරු ගස්වල දැකිය හැක්කේ ගොරෝසු කුණාටුවකට ගොදුරු වීමෙන් පසු පරිසරයේ ඇතිවන විනාශකාරී තත්ත්වයයි. එහි ඇති පොල් ගස්වල එකම ගෙඩියක් හෝ දක්නට නොමැත. එහි තිබූ පුවක් ගස් සියල්ල කපා බිම හෙළා ඇත. තල්ගස්වල කොළ ඉරා දැමූ ආකාරයක් පෙනේ. කුඹුරු යායවල් සම්පූර්ණයෙන්ම පුරන් වී ගොසිනි.

බොහෝ ස්ථානවල ගස් කපා ඒවා යොදා මාර්ග අවහිර කොට තිබුණි. දැව ආවරණ යොදා කටු සහිත ගේට්ටුවක් සේ සකස් කළ බාධකයක් තවමත් එහි දක්නට විය. කිරවනාගම දී අපි රැය ගත කළේ කුඩා එහෙත් මනාසේ ගොඩන`ගා තිබූ විහාරස්ථානයක ය. එය ශක්තිමත් පාෂාණමය වේදිකාවක් මත, බෑවුම් සහිත කන්දක් අසල පිහිටා තිබේ. ඒ අසලින් ඇති පහත බිමවල සැලකිය යුතු කුඹුරු ප‍්‍රමාණයක් මෙවැනි ගම්මාන කීපයක් ද දැකිය හැක. ඒවායේ කලකට පෙර සශ‍්‍රීකව පැවති ගම්මනයන්ගේ දැන් හඳුනා ගත හැක්කේ විනාශ වී ගිය පළතුරු ගස්වල විනාශකාරී ස්වභාවයයි.

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ වැල්ලවාය ප‍්‍රදේශයේ සිට මේ දක්වා අප දුටු සියලු විනාශයන් සබරගමුවේ සිට පැමිණි ජනයා විසින් සිදුකරන ලද විවිධ ජවනිකා බවයි. එක්නැලිගොඩ දිසාවේගේ නායකත්වයෙන් යුත් සබරගමු ජනතව හා කුඩා කණ්ඩායමක් වූ අපේ හමුදාවන්ගේ සහයෝගය ඇතිව ඌවේ විශාල ජන සංඛ්‍යාවක්, විනාශ කොට ඔවුන් අසහනයට පත් කරමින් දිස්ත‍්‍රික්කයේ ගම්මාන අභිබවා ගොස් ඔවුන් ගමන් කළ සෑම තැනකම විනාශය සිදුකරන ලදී. ඔවුන්ගේ අරමුණ වූයේ කොල්ලකෑම සහ ඔවුන්ගේ බලය හා බි‍්‍රතාන්‍යයන්ට ඔවුන්ගේ ඇති කැපවීම පෙන්වීමයි.”

රාවණා යුගය දක්වා ඌව භූමියට ඇති සබඳතා පිළිබඳව ඔවුන් දක්වා ඇති තොරතුරු ද මනරම් ය. රාවණා අස්තුව තිබූ මාලිගාවන් හා ඒ අවට ඇති ආගමික ස්ථානයන් පිළිබඳව විස්තර කරන්නේ මේ අයුරිනි.

”ඌව කඳුකරයේ උස් කඳු පාමුල දක්වා විහිදෙන එක් තැනිතලාවක් වන්නේ නුගතලාව යි. එහි එක් කොටසක් මාලිගාතැන්න යන නමින් හැඳින්වේ. මෙහි ඇති සුවිශාල නුග වෘක්ෂය හඳුන්වනු ලබන්නේ දිවුරුම් ගහ ලෙසිනි. මෙම නුග ගහ ගල් බිත්ති තුනකින් වටවී ඇති භූමියේ, පහත කෙළවරක සිට එහි බිත්ති ගොඩනැඟී තිබේ. වටපිටාවෙන් පෙනෙන මෙම පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ වර්තමානයේ සුවිශාල ලෙස වැඞී ඇති මෙම වෘක්ෂයේ වයස අනුව එය පුරාණ කාලයේ සිට පැවති වෘක්ෂ වන්දනාව පිළිබඳව ස්මාරකයක් වන බවයි. මෙම නුග ගස ප‍්‍රදේශයට මූලිකත්වයක් ගෙන ඇති බැවින් එය නුගතලාව ලෙස ව්‍යවහාර කරන්නට ඇති බව නිරීක්ෂණය කළ හැක.

මෙම සුවිශාල නුග ගහ යට ආසන්නයේ භූමියේ වැටී කැඞී තිබුණු පෞරාණික ගල් කුලුනක තිබී කැටයමින් ඔපවත් කරන පුරාණ සිංහල අක්ෂරවලින් ලියා තිබූ ශිලා ලේඛනයක් තිබුණි. එය කෙතරම් විකෘති වීද යත් එහි කුඩාම කොටසක්වත් පිටපත් කරගැනීමට මගේ කෙටි සංචාරයේ දී නොහැකි විය.

බලල්ල කන්ද හරහා සැතපුම් ගණනාවක් දුරට ගලාබස්නා මනරම් දිය පහරවල් මාලිගාතැන්න ප‍්‍රදේශය කෙත්වතුවලින් සාරවත් වී තිබේ. ප‍්‍රදේශය පුරා ඇත්තේ හරිත පැහැයකි. ප‍්‍රදේශවාසීන්ගේ විශ්වාසය අනුව මෙම සම්ප‍්‍රදායික ජලබැසීමේ රටාව නිර්මාණය කරන ලද්දේ රාවණා විසිනි.

රාවණාට මෙම තැනිතලාවේ මාලිගාවක් තිබූ බවත්, ඔහුගේ මරණයෙන් පසුව සීතා නිදහස් කරන ලද බවත් ඉතිහාසගත විශ්වාසයන් තුළ සඳහන් ය. සීතා නිදහස් කිරීමෙන් පසු ඇය දිවුරුම් දුන් ස්ථානය පිළිබඳව මෙය සලකුණක් වන බව සඳහන් වේ. ඇය වහල්භාවයේ සිටිය දී රාම (විෂ්ණු) කෙරෙහි විශ්වාසවන්තභාවය ආරක්ෂා කළ බවත් ඒ හා සම්බන්ධ දිවුරුම්දීම හේතුවෙන් මේ නුග ගස ප‍්‍රචලිත වූ බවත් ඉතිහාසගත තොරතුරුවල අන්තර්ගත වේ.

දැනට ලොවපුරා සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති ඇල්ල පිළිබඳව මූලික ගවේෂණ සටහන් හමුවන්නේ මෙම ග‍්‍රන්ථයෙනි. එසේම ඇල්ල කපොල්ල හරහා දකින මනරම් දසුන් පිළිබඳව මෙසේ සඳහන් කරයි.

”සමහර විට ඇල්ල දුර්ගයේ දී අපට දර්ශනය වන නෙත්කළු දසුන් රටාවන් අතිශයින්ම කලාත්මකය; සුන්දරය, මනමෝහනීය ය. මෙහි දිස්වන දර්ශනයට වඩා මනරම් හා චිත්තාකර්ශනීය ස්වභාවික රූපරාමු සහිත දසුනක් මුළු ලෝකයේම නැති බව මගේ හැඟීමයි”

බින්තැන්න, අලුත්නුවර නැතිනම් මහියංගනය උඩරට රාජ්‍ය සමයේ තිබූ ප‍්‍රධාන නගර පහ පිළිබඳව සඳහන් කරන රොබට් නොක්ස් ඒ අතරට ඇතුළත් අනෙකුත් නගරයන් වන්නේ මහනුවර, නිල්ලඹේ බදුල්ල හා ගලගම යි.

එම ග‍්‍රන්ථයේ බින්තැන්න ගැන මෙසේ සඳහන් කරයි.

”මහනුවර නගරයට ඊසාන දෙසින් පිහිටි අලුත් නුවර නගරය රාජසිංහ රජු ඉපදුන නගරයයි. යුද්ධ කාලයට මෙන්ම පරසතුරු කරදරවලට එරෙහිව කටයුතු කරන අවස්ථාවන්හි ප‍්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය බඩ ඉරිඟු සහ ලුණු ආදිය එහි ගබඩා කර තිබේ.

1819 වසරේ කතරගමට ළඟාවන පිරිසට දක්නට ලැබෙන වටපිටාව හා කතරගම පුදබිම පිළිබඳව මෙසේ විස්තර කොට ඇත.

”අප කතරගමට ළඟ වන විට ඒ ආසන්නව ගම්වල සිටි මිනිසුන් බොහෝ දෙනකු අපව දැකගැනීමට පැල්පත්වලින් එළියට ආ අතර ඔවුන් දුටුවිට නිතැතින්ම දිස්වූයේ ප‍්‍රදේශයේ පවතින කටුක ස්වභාවයයි. අපගේ ප‍්‍රයෝජනයට ඔවුන් විශාල ලබු කැටවල පුරවා ගත් පිරිසිදු ජලය ගෙනවිත් තිබුණි. කතරගම ආසන්නයෙන් ගලාබසින ගංගාව හොඳ යටිරෝපණයක් සහිත හරිත වටපිටාවක් හා පිරුණු පිරිසිදු ජලයෙන් සමන්විත විය.

කතරගම පුදබිම වන්දනාමාන කරන පිරිස අතරට ලංකාවේ සෑම ප‍්‍රදේශයකින්ම පමණක් නොව ඉන්දියාවේ බොහෝ ඈත පළාත්වල පදිංචි වන්දනාකරුවන් පවා පැමිණීමෙන් මේ පුදබිමට ඇති ආකර්ශනය හා ප‍්‍රසිද්ධිය මානව දැකගත හැක. රුහුණු මහා කතරගම දේවාලයට, පත්තිනි දේවාලයට අමතරව තවත් කෝවිල් පහක් එහි පිහිටා ඇත. එනම් ගණදෙවි කෝවිල, අලුත් දෙවියන්ගේ කෝවිල, බස්නාහිර දෙවියන්ගේ කෝවිල, පරාකාස දෙවියන්ගේ කෝවිල හා කුමාර දෙවියන්ගේ කෝවිල යනු ඒවා ය.

කතරගම පුදබිමේ ඇති ආශ්චර්යමත්භාවය හා දෙවියන් කෙරෙහි ඇති කීර්ති නාමය පිළිබඳව විශ්වාසයෙන් යුතු බැතිමත්හු රළු මෙන්ම වියළි දේශගුණයක් සහිත කලාපයන් හා වැලි සහිත මාර්ගයන් ඔස්සේ පාගමනින් පැමිණ වන්දනාවන්ට සහභාගි වේ. දේවස්ථානය පිළිබඳව ඇති කීර්තියට අනුව ඒ හා සරිලන විශාල මනස්කාන්ත ගොඩනැඟිලි එහි තිබිය යුතු වුව ද ඒ වෙනුවට, ප‍්‍රථමයෙන්ම ඇස ගැටෙන්නේ දුප්පත්කම සහ අලංකාරවත් ලෙස නොපෙනෙන ගොඩනැඟිලි හා වටපිටාවකි.

බැතිමතුන්ගේ කලබලකාරී සමූහ කෑකෝ ගැසීම් සහ ප‍්‍රශංසා කිරීම්, කොඩි එසවීම, පහන් දැල්වීම, ඝන්ඨාර නාද කිරීම, නළා පිඹීම් විවිධාකාරයේ බෙර වාදනය කිරීම ආදියෙන් මුළු උත්සවයක සජීවීකරණය මහත් භක්තියක් නරඹන්නන්ට ලබා දේ. ලංකාවේ වෙනත් කිසිදු හින්දු ආගමික වන්දනාවක දක්නට නොහැකි තරම් අංගයන් කතරගම පෙරහැරේ දී දැකගත හැකිය. සෑම දෙනාම කතරගම දෙවියන්ට නමස්කාර කරමින් දෑත් ඔසවයි. ඔහුගේ නම හඬනගා පවසන අතර දේව සංඛේත අතර දෙවියන් ජීවමානව සිටින බව ඔවුහු විශ්වාස කරති.

පෙරහැර වල්ලිඅම්මා දේවාලය ඉදිරිපිට නතර වන විට විවිධ සංගීත භාණ්ඩවලින් නඟන ඝෝෂාව හා සුවඳදුම් දුමාරය මධ්‍යයේ, දේවගැතිවරයා පූජාවක යෙදෙන අතර බතිමතුන්ගෙන් පූජාවන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ. මෙම පූජාව නමස්කාරයෙන් පසු පෙරහැර නැවත කතරගම දේවාලය වෙත යන අතර එහිදී සංකේතය කෘතීම අලියාගේ පිටුපසින් ඉවත් කර එහි පූජනීය සිද්ධස්ථානයේ නැවත තැන්පත් කරන්නේ කන් බිහිරි කරන සංගීත ඝෝෂාව මධ්‍යයේය.

1630 වසරේ අගෝස්තු මස අවසාන සතියේ රන්දෙණිවල දී කන්ද උඩරට හමුදාවෝ පෘතුගීසීන් සමූල-ඝාතනය කළ අයුරු ඉංග‍්‍රීසීන් දැක ඇත්තේ මෙලෙසිනි.

”1630 අගෝස්තු මාසයේ දී තම රටේ ඉහළ ප‍්‍රධානියා මුළා කරවන ලද නිරූපණයන් හේතුවෙන් ඌව පළාත එරෙහි යුදමය ප‍්‍රහාරයක් සඳහා ඔහුගේ සියලු හමුදා බලවේගයන් සංවිධානය කිරීමට යොමු විය. එහිදී ලංකාවේ පහත රට කලාපයේ ස්වදේශික ජනතාව ඔවුන්ගේ රාජවංශයට එරෙහිව සටන් කිරීමට සූදානම් බවට වූ ව්‍යාජ ලෙස සහතිකවීමක් සිදුකරන ලදී.

පෘතුගීසි ආණ්ඩුකාරවරයා ඒ සඳහා යුරෝපීය සම්භවයක් සහිත එක්දහස් පන්සියයක් පමණ වූ සොල්දාදුවන් හා දහ අට දහසක් පමණ වූ පහතරට සිංහලයන් රටේ මාධ්‍ය, කඳුකරය හරහා ගොස් බදුල්ල නගරයට ඇතුල් වීය.

බදුල්ලට ඇතුල් වූ පෘතුගීසි හමුදාවෝ නගරය ගිනි තබා නැවත කොළඹ බලා යන අතරේ සිදු වූ යුද්ධය මෙසේ විවරණය කරයි.

”ඔවුන්ගේ නොමැකෙන නිර්භීතකම ගැන මවිතයට පත් වූ ජෙනරාල්වරයා මළ සිරුරු ගොඩක් මත ඔවුන්ව රඳවා තබා ගත්තේය. අවසානයේදී, ඔහුගේ උදව්වට රඳවා සිටි තුවක්කුකරුවන් දෙදෙනා මරා දමන ලද අතර, නිර්භීත සිංහයකු මෙන් කඩුව ඉහළට ගත් ජෙනරාල් බලාපොරොත්තු සුන්වීමේ ධෛර්යයෙන් සතුරා වෙතට දිව ගිය අතර, සිතාගැනීමට නොහැකි ලෙස ඔහුගේම හස්තයෙන් සටන්කරුවන් දාහත් දෙනකු මරා දැමීය. ජෙනරාල්වරයාට තුවාල කිරීමට, ඔහු කෙතරම් විනාශයක් සිදු කළාද කියනවා නම්, හැට දෙනකු අපායට යැවූ බව ඔවුහු ප‍්‍රකාශ කර තිබුණි. අවසානයේ දී ජෙනරාල්ව ඔහුව මරා දැමීමට මහනුවර රජතුමාගේ අවසර දුන් අතර, පසුව ඔවුන් ජෙනරාල්වරයාට වෙඩි පහර සහ ඊතල වැස්සක් එල්ල කළහ. ඔහුගේ අන්තිම පාපය ලැබීමෙන් පසු, ඊතලයක් ඔවුන්ගේ හිස දෙපැත්තටම වැදුන අතර, එක මුතු ආත්මයන් ඔවුන් මැවූ තැනැත්තා වෙත පලා ගියහ.”

1817/18 සමයේ ඇතිවූ ඌව කැරැල්ලේ දී කන්ද උඩරට වැසියන් දස දහසකගේ ජීවිත අහිමිවීම ගැන ඔහු කළ ඇස්තමේන්තුව නිවැරදි නම්, මෙසේ අකාලේ දිවි අහිමි වූ පිරිසගෙන් වැඩි දෙනා මහත් හැකියාවන්ගෙන් පරිපූර්ණ ක‍්‍රියාකාරී පිරිස බව උපකල්පනය කිරීම යුක්ති සහගත ය. ගණන් තැබීමේ සාමාන්‍ය රටාව අනුව ගතහොත් විනාශ වූ ජීවිතවලින් පහෙන් හතරක්ම වැඩිහිටියන් වන අතර ඉතිරි කොටස කාන්තාවන් හා දරුවන් ලෙස සැලකිය හැක. එබැවින් මෙසේ විනාශ වූ ශක්තිමත් ශ‍්‍රම බළකායක් අහිමිවීම කෘෂිකාර්මික ආර්ථිකයක් තිබූ ප‍්‍රදේශයකට මහත් විනාශකාරී බලපෑමක් ඇති කළ අතර සමාජීය වටපිටාව හා ජනගහනය සම්බන්ධයෙන් ඇති වූ අහිතකර බලපෑම් ගණනය කළ නොහැකි තරම් ය.

ඌවේ කඳුකරය පුරා වගා ආරම්භ කළ කෝපි, සින්කෝනා, තේ සහ දුම්කොළ වගාවන් පිළිබඳ විස්තරයන් ද ආනයන අපනයන ආර්ථිකය තොරතුරු ද ඇතුළත් වේ.

”ඌවේ උස් බිම්වල ඇති සශ‍්‍රීක පසෙහි වගා කරන ලද කෝපි වගාවලින් ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක කොපි අස්වැන්නක් ලබමින් කොපි වගාවේ ආධිපත්‍යය ඌව පළාතට හිමිවිය. බි‍්‍රතාන්‍ය ආක‍්‍රමණයට බොහෝ කලකට පෙර ස්වදේශික කෝපි වර්ගයන් ඌව ප‍්‍රදේශය තුළ ප‍්‍රචලිත වී තිබුණි. ඒවා ලංකාවේ හොඳම – එකම කෝපි ලෙස බොහෝ දෙනා අතර ප‍්‍රසිද්ධ ය. එක්දහස් අටසිය හතළිස් ගණන් යනු යුරෝපීයයන් කෝපි සිටුවීමෙන් ලංකාවේ කඳුකරය තුළ සිය විශිෂ්ට ආරම්භය සිදු කළ කාල වකවානුවයි. ප‍්‍රදේශයේ වෙළෙඳාමේ නියුතු තවලම්කාර වෙළෙන්දන් විසින් ඌව පළාතින් එකතුකරගත් දුම්කොළ රත්නපුර ප‍්‍රදේශයට රැගෙන ගොස් විකුණන ලදී. ඒ වෙනුවට ඌව පළාතට ලුණු, කරවල හා පොල් සඳහා ඒවා හුවමාරු කර තිබුණු බව වාර්තා වේ. එම වාර්තාව අනුව පසුකාලයේ ඌවේ සිදුකළ දේශීය දුන්කොළ වෙළෙඳාම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

රොබට් නොක්ස් ඔහුගේ රචනාවන්හි ඌවේ දුම්කොළවල විශිෂ්ටත්වය ගැන නිතර සටහන් කරන අතර ඔහුගේ පොත පුරාම නිතරම දුම්කොළ පිළිබඳව විවිධ සටහන් දැකිය හැක. සිංහලයන් විසින් දුම්කොළ භාවිතා කිරීම ගැන ඔහු පවසන්නේ: ‘‘දුම්කොළ පුරුෂයන් මෙන්ම කාන්තාවන් විසින් භාවිතා කරන නමුත් බොහෝ දෙනකු ප‍්‍රිය කරන්නේ පයිප්පවල බීමට වඩා වැඩිපුර හපා ආහාරයට ගැනීමයි. ‘‘දුම්කොළ බොන්න” යන්න පැරණි ඉංග‍්‍රීසි ප‍්‍රකාශනයක් මෙන්ම සිංහල භාෂාවේ ද ගණනාවක් දක්නට තිබේ.

හෝර්ටන් තැන්න හා එල්ක් තැනිතලා ප‍්‍රදේශය ඇතුළු නුවරඑළියට දකුණින් ඇති වනාන්තර මෙන්ම මුළු මහත් බටහිර කොටස මනාලෙස පවත්වා ගැනීම හා රක්ෂණය කිරීමට බොහෝ පියවර ගනිමින් තිබේ. අඩි 5000 කට වඩා උන්නතාංශයක පිහිටි වනාන්තරය බොහෝ විට ඇත්තේ සුළං කපොලු වල බැවින් ඒවායේ ගස් වර්ධනය මන්දගාමීව සිදුවේ. එබැවින්, අවශ්‍යතා වෙනුවෙන් දැව කපා බිම හෙළනවිට ප‍්‍රවේසම්කාරී ලෙස වනාන්තරයේ ඇති අන් ගස්වලට සිදුවන හානිය අවම වීමත් දැව අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් නව වනාන්තර බිහි කිරීමත් අවශ්‍ය වේ. එසේම ඉතා විශාල වනාන්තර ප‍්‍රදේශයක් නිරන්තරයෙන්ම අප සතුව තිබීම අත්‍යවශ්‍යයයි.

ඉහතින් මා සඳහන් කළ වනාන්තර සියල්ල ඉතා විශාල ප‍්‍රමාණයක් ලෙස නොපෙනේ. එබැවින්, වනාන්තර කපා ප‍්‍රයෝජනයට ගන්නා අතරම ඒවා නැවත ප‍්‍රතිරෝපණය කිරීම ද සහතික කළ යුතුය. එසේම විවිධ හේතු නිසා ස්වාභාවික වනාන්තරය තුළින්ම බීජ පැලවීම අවම වීමක් හෝ නැතිවීමක් ඇති අවස්ථාවන්හි බීජ රෝපණය තුළින් පැළ නිෂ්පාදනය හා ඒවා නිසි කාලයේ දී පොළොවේ පැළ කළ යුතු වේ. ඔහිය මිටියාවතේ පිහිටි ඉඩම් වගාවන් සඳහා විකිණීම අනුමත කළ නොහැක. හෝර්ටන්තැන්න වනාන්තරයේ නැගෙනහිර දෙසින් පිහිටි ඔහිය මිටියාවතේ ඉඩම් විකිණීම සම්බන්ධයෙන් ද එම හේතු හොඳින්ම සලකා බැලිය යුතු වේ.

දේශගුණික බලපෑම් හැරුණු විට, මෙම නිම්නයේ වනාන්තර තුළින් මහාපරිමාණ වාරිමාර්ග ධාරාවක් වෙනුවෙන් ජල උල්පත් සපයන අතර, දුම්රිය මාර්ග ඉදිකිරීම ප‍්‍රමුඛස්ථානයේ තබා කඳුවල ජල පෝෂක වනාන්තර විකිණීම ඉතාමත් අහිතකර ය. බොහෝ අවශ්‍යතාවයන් සඳහා ලබාගත හැකි දැව ලබාගන්න ක‍්‍රමය ඉක්මන් හා වඩා ලාභදායී විය යුතු ය. බි‍්‍රතාන්‍ය කිරීටයට අයත්වූ පමණින් සියල්ලම නොසැලකිලිමත් ලෙස විකිණීමට උත්සහා කරන අය බොහෝ විට අමතක කොට ඇති බවක් පෙනේ. නැගෙනහිර ඔහිය නිම්නයේ සිට හපුතලේ සහ රෝහැම්ප්ටන් අතර අක්කර 200 ක පමණ කුඩා බිම් කැබැල්ලක් හැර, දුම්රිය මාර්ග ආශ‍්‍රිතව බි‍්‍රතාන්‍ය කිරීටයට අයත් වනාන්තර කිසිවක් ඉතිරි වී නැති බව මම විශ්වාස කරමි.

ඌවේ පැවති කර්මාන්ත පිළිබඳව ඇති සටහන් බොහොමයක් අතුරින් උපුටා ගත් කොටස් කීපයක් මෙසේ දැක්විය හැක.

”කන්ද උඩරට ප‍්‍රදේශයන් හි කඩදාසි නිපදවන ලද්දේ අත්තික්කා ගස්වලින් ගත් පත‍්‍ර හා එරබොදු පොතු තම්බා ගත් පොතු වියළා පසුව ඒවා අළු බවට පත්කොට කලින් සකස් කළ අත්තික්කා කොළ හා එකතු කොට සකස් කළ පල්ප හෙවත් මිශ‍්‍රණයෙනි. ඒවා ගඩොල් ආකාරයෙන් නිර්මාණය කළ හැක.

ලබන සතියට

නිමල් බණ්ඩාර
අධ්‍යක්ෂ ජනරාල් (නැගෙනහිර ආසියානු කලාපය)
විදේශ කටයුතු අමාත්‍යාංශය.

advertistmentadvertistment
advertistmentadvertistment