බි්‍රතාන්‍ය ජාතික ව්‍යාපාරික කතගේ රන් බඩු සොරාගෙන

167

කළුතර පොලිසිය පරීක්‍ෂණ අරඹයි

බි්‍රතාන්‍ය ජාතික ව්‍යාපාරික කාන්තාවක විසින් මිලදී ගත් රුපියල් ලක්ෂ 83 ක පමණ වටිනාකමකින් යුත් සුදු රත්තරං, කහ රත්තරං වළලු සහ කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කළුතර උතුර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින බි්‍රතාන්‍ය ජාතික ලින්ඩා බ්‍රව්මන් නැමැති 75 හැවිරිදි කාන්තාවක විසින් පෙරේදා (28) රාත්‍රි 11.00 ට පමණ කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.

පැමිණිලිකාර කාන්තාව කළුතර උතුර සංචාරක හෝටලයේ සිට ත්‍රිරෝද රථයකින් අළුත්ගම ප්‍රදේශයට ගොස් එහි ප්‍රධාන ස්වර්ණාභරණ අලෙවිසලකින් රන් ආභරණ මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා සංචාරක මඟපෙන්වන්නන් ලෙසින් කටයුතු කළ දෙදෙනකු රන් ආභරණ ලබාගත් බවටත් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පැමිණිලිකාර කත එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ පදිංචිකාරියක බවත් ඇය සති දෙකකට පෙර ලංකාවට පැමිණ ඇති බවත් සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වති.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment