බීජ නැතැයි කියන කළෙක රටටම අපේ බීජ බෙදන මහවැලියේ ගොවිපළ

277

ඉමක් නොපෙනෙන යායේ රත්පැහැ ගැන්වුණු ගොයම මේ දිනවල කරල් බරවී මහ පොළොව සිඹිමින් සිටී. තවත් විදියකින් කිවහොත් දැන් එහි රන් අස්වනු නෙළන සමයයි. අප මේ පිවිස සිටින්නේ රත්කිඳ ජලාශයේ දියවරින් පණ ලබන මහවැලි සී කලාපයට අයත් බීජ වී නිෂ්පාදන ගොවිපළ තුළටය.

අක්කර 500කට වැඩි විශාල භූමි ප‍්‍රදේශයක් පුරා විසිර පැතිරී තිබෙන මේ ගොවිපළේ ඉතිහාසය අඩසිය වසකට ආසන්න කාලයකට දිවෙන්නකි. එම දිගු කාලය මුළුල්ලේම මෙම විශාල ගොවිපළ පාලනය කරනු ලැබ ඇත්තේ විදේශීය සමාගම් සහ පෞද්ගලික ආයතන විසින් බව මහවැලි සී කලාපයේ නේවාසික කළමනාකරු උභය කල්්‍යාණ කුමාර මහතා අප සමඟ පැවැසීය.

ගොවිපළ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් එම විසල් ගොවිබිම මුළුමනින්ම වගා කර ඇත්තේ මෙවර යල කන්නයේ සිට බව අපට දැනගන්නට ලැබිණි. එමෙන්ම එහි සෑම බිම් අඟලක්ම පාහේ අපතේ යා නොදී ප‍්‍රයෝජනවත් ලෙස වගා කර තිබීම විශේෂත්වයකි.

ගොවි ජනතාවට අවශ්‍ය උසස් තත්ත්වයේ ගුණාත්මක බීජ ලබාදීම මූලික අරමුණ කරගනිමින් ඇරඹි මෙම ගොවිපළ මහවැලි අධිකාරියේ මෙහෙයැවීම මත දැන් එහි විපුල පල නෙළමින් තිබෙන අයුරු අපගේ දෑස් අබිමුව දිස්විය.

බීජ වී නිෂ්පාදනය, අතිරේක ආහාර භෝග සහ එම බීජ වර්ග නිෂ්පාදනය, එළවළු හා පලතුරු රෝපණ මාධ්‍ය නිෂ්පාදනය, පැළ තවාන් පාලනය, කාබනික එළවළු හා පලතුරු නිෂ්පාදනය මෙම ගොවිපළ මගින් ඉටුවන සේවාන් අතුරින් මූලික බව නේවාසික ව්‍යාපාර කළමනාකාරු අයි. එම්. උභය කල්්‍යාණ කුමාර මහතා කීවේය.

ඊට අමතරව ප‍්‍රදේශයේ පශු සම්පත සහ සත්ව පාලනය වැඩිදියුණු කිරීම හා ඒ ආශ‍්‍රිත කර්මාන්ත නැංවීම සඳහා උසස් ආරවල කිරි දෙනුන් සහ කුකුළු පැටවුන් සහනදායි මිලට ලබාදීමද සිදු කරනු ලබයි. මේ සියල්ල තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකය ඉහළ නැංවීම මූලික අරමුණ බවකී නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා නව රැකියා අවස්ථා උත්පාදනය තුළින් කලාපීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරවීමද ඉලක්කය වන බව කීය.

‘‘අපේ රටේ තිබෙන මහවැලි කලාප අතුරින් සුවිශේෂී එමෙන්ම විශාලතම මහවැලි කලාපයක්. මෙය පොලොන්නරුව, අම්පාර, බදුල්ල යන දිස්ත‍්‍රික්ක තුනකට මායිම්ව පිහිටා තිබෙන්නේ. මේ දිස්ත‍්‍රික්ක තුනටම අයත් 1,87000ක් පමණ ජනතාව මේ මහවැලි කලාපයේ ජීවත් වෙනවා. කලාපයේ ගොවි පවුල් සංඛ්‍යාව 55,000ක් පමණ. යල මහ දෙකන්නයේ වගා කෙරෙන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටයාර් 22,406ක්. එමගින් දේශීය වී නිෂ්පාදනයේ සුවිශේෂී කාර්ය භාරයක් මේ මහවැලි කලාපය තුළින් ඉටු වෙනවා. මේ රත්කිඳ මහවැලි ගොවිපළ අපේ මහවැලි කලාපය සතු විශේෂම සම්පතක්. මේ කලාපයේ ගොවි ජනතාවට අවශ්‍ය ගුණාත්මක තත්ත්වයේ බීජ හා රෝපණ ද්‍රවය කලට වේලාවට ලබාදීමයි මූලික අරමුණ. එහිදී බීජ වී ලබාදීමයි ප‍්‍රමුඛ කාර්යය. මහවැලි සී කලාපයේ ගොවීන්ගේ බීජ වී අවශ්‍යතාවය එක් කන්නයක් සඳහා බුසල් 1,10000ක්. ඒ මුළු ප‍්‍රමාණයම අපේ ගොවිපළ මගින් සපයාදීමේ හැකියාවක් තවම නෑ. නමුත් මේ වනවිට බීජ වී අවශ්‍යතාවයෙන් සියයට 40කට වැඩි ප‍්‍රමාණයක් ලබා දෙන්නේ මේ ගොවිපළ මගින් ඉතිරි ප‍්‍රමාණය ගොවීන් විසින් කෘෂිකර්ම දෙපාර්්තමේන්තුවෙන් සහ පෞද්ගලිකව සපයාගනු ලබනවා. ඊට අමතරව අතිරේක ආහාර භෝග සහ එම බීජ වර්ග නිෂ්පාදනය, එළවළු හා පලතුරු රෝපණ මාධ්‍ය නිෂ්පාදනය, පැළ තවාන් පාලනය, කාබනික එළවළු හා පලතුරු නිෂ්පාදනය මෙම ගොවිපළ මගින් ඉටුවන අනෙකුත් සේවාවන්. ඊට අමතරව ප‍්‍රදේශයේ පශු සම්පත සහ සත්ව පාලනය වැඩිදියුණු කිරීම හා ඒ ආශ‍්‍රිත කර්මාන්ත නැංවීම සඳහා උසස් ආරවල කිරි දෙනුන් සහ කුකුළු පැටවුන් සහනදායි මිලට ලබාදීමද සිදු කරනු ලබනවා. මේ සියල්ල තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකය ඉහළ නැංවීමයි අපගේ මූලික අරමුණ. ඒ වගේම එමගින් නව රැකියා අවස්ථා උත්පාදනය සහ ඒ තුළින් කලාපීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරවීමද ඉලක්කයක්. මෙම ගොවිපළට අයත් කෘෂි පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් තිබෙනවා. එය පිහිටා ඇත්තේ රත්කිඳ ජලාශයේ ඉස්මත්තේ වීම නිසා එය දෙස් විදෙස් සංචාරකයන්ගේ මන බඳින ආකර්ෂණීය තැනක් බවට පත්ව තිබෙනවා. මේ ගොවිපළේ ආරම්භය පිළිබඳව සඳහන් කළොත් මේ මහවැලි ගොවිපළ දීර්ඝ ඉතිහාසයක් තිබෙන එකක්. එය මුලින්ම ආරම්භ කළේ 1978 වර්ෂයේදීයි. මේ ගොවිපළ ආරම්භ කර සංවර්ධනය කර තිබෙන්නේ ජපන් රජයේ ආධාර ඇතිව ජපන් සමාගමක් වන ටෝ හෂීමා කියන සමාගම. ඉන්පසුව 1984 වර්ෂයේදී එම සමාගම විසින් ජයිකා ජපන් ජාත්‍යන්තර ආයතනය වෙත බාරදී තිබෙනවා. ඉන් පසුව ඒ ආයතනය සහ ශ‍්‍රී ංකා මහවැලි අධිකාරිය එක්ව මේ ගොවිපළේ සංවර්ධන කටයුතු පවත්වාගෙන ගොස් තිබෙනවා. එම කාලයේ මේ ගොවිපළ ආදර්ශ පර්යේෂණ ගොවිපළක් ලෙස පවත්වාගෙන යෑමද විශේෂ දියුණුවක් ලෙස සලකන්නට පුළුවන්. එමෙන්ම ඒ කාලසීමාවේ තමා දියුණුම තාක්‍ෂණය යටතේ එකල ලංකාවේ තිබූ බීජ නිෂ්පාදන යන්ත‍්‍රයක් මේ ගොවිපළ සතුව තිබී ඇත්තේ. ඒ 1988 වසරේදී පමණ. පසුව මේ ගොවිපළ සතු වාරි පෝෂිත ඉඩම් කන්න බදු ක‍්‍රමය යටතේ ප‍්‍රදේශයේ ගොවි ජනතාවට වගා කිරීමට ලබාදීමයි කර තිබෙන්නේ. ඒ අන්දමට කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මේ ගොවිපළ මෙම වසරේ පටන් ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ පරිපාලනය යටතේ ගොවිපළ පවත්වාගෙන යාම ආරම්භ කර එහි සාර්ථක ප‍්‍රතිපල අපට අත්කර ගැනීමට හැකිවී තිබෙනවා. ඒ සඳහා නිරන්තරයෙන් කැපවන නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකරු ඞී. ජී. සෙනෙවිරත්න, ගොවිපළ කළමනාකරු ජී. ඩබ්ලිව්. එස්. මධුවින්න යන මහත්වරුන් ඇතුළු මේ මහවැලි කලාපයේ සියලූම නිලධාරීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා. මේ ජයග‍්‍රහණ සියල්ලම පිටුපස සිිටින්නේ ඒ අයයි.’’

බීජ නැතැයි කියන කළෙක රටටම අපේ බීජ බෙදන මහවැලියේ ගොවිපළ

මෙහිදී දේශපාලන අධිකාරියෙන් ලැබෙන සුවිශේෂී නායකත්වය පිළිබඳවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. වාරිමාර්ග හා ග‍්‍රාමීය කටයුතු ඇමැති චමල් රාජපක්‍ෂ, මහවැලි කලාප ආශ‍්‍රිත ඇලවේලි හා පොදු පහසුකම් පිළිබඳ රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් කීර්ති කොටගම මහතාගේ මෙහෙයැවීමෙන් රුපියල් දස ලක්‍ෂ 200ක මුදලක් මෙම බීජ නිෂ්පාදන ගොවිපළේ සංවර්ධනය සඳහා මෑතකදී ආයෝජනය කරනු ලැබුවා. ඊට මතරව වී, ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, මිරිස් වගා ප‍්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්‍ෂණ රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි වී වගාව සංවර්ධනය සඳහා රුපියල් දස ලක්‍ෂ 120 ක ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් රුපියල් දස ලක්‍ෂ 50 ක මුදලක්ද වෙන්කරනු ලැබුවා.’’

මහවැලි නිලධාරීන් සහ එහි ගොවි ජනතාව නව දැනුමෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ගොවිපළ තුළ පවත්වාගෙන යන පුහුණු මධ්‍යස්ධානයක්ද එහි පිහිටුවා තිබේ. ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ කෘෂිකර්ම ක්‍ෂේත‍්‍ර නිලධාරීන් සඳහා නේවාසිකව ලබා දෙන එක් අවුරුදු පුහුණු පාඨමාලාවක් මේ වනවිටද ආරම්භ කර තිබෙන බව ගොවිපළ චාරිකාවේදී අපට දැනගත හැකිය.

ප‍්‍රදේශයේ ගොවි ජනතාවට කාබනික පොහොර නිෂ්පාදනය, ගෙවතු වගාව ආදිය පිළිබඳ අවශ්‍ය පුහුණුව, මේ පුහුණු මධ්‍යස්ථානය තුළින් ලබා දෙනු ලබන බව ගොවිපළේ කළමනාකරු ජී. ඩබ්ලිව්. එස්. මධුවින්න මහතා අප සමඟ පැවැසීය. බීජ වී නිෂ්ාදනයට අමතරව අතිරේක භෝග හා සම්බන්‍ධ බීජ වර්ග නිෂ්ාදනයද මෙම ගොවිපළ තුළින් සිදුවන බවද ඒ මහතා කීය. ඒ අනුව මුං, තල, මෑ, කව්පි, රටකජු, තල, උඳු, කුරක්කන් ආදී බීජ වර්ග සාර්ථකව නිෂ්පාදනය කරන බවද පැවැසීය. ඊට අමතරව ඉදිරි කාලයේදී මෙම බීජ ගොවිපල තුළ ලොකු ලූනු බීජ නිපදවීමටද සැළසුම් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමට ගනු ලැබූ තීරණයත් සමඟ හරිත රටක් වසවිස නැති කෘෂිකර්මාන්තයක් යන්න ඉලක්ක කර ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්ද මේ වනවිට ක‍්‍රියාත්මක කර තිබෙන බවද ගොවිපළේ කළමනාකාරවරයා පවසයි. එමගින් ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 1200ක ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීම ඉලක්කය බවත් මහවැලි සී කලාපයේ ගොවි ජනතාවගේ පොහොර අවශ්‍යතාව එමඟින් සපුරා ගැනීමට හැකිවනු ඇති බවද හෙතෙම පැවැසීය.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව රජය මගින් ක‍්‍රියාත්මක කළ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් එම අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදුන් රැකියා ලක්ෂයේ වැඩ සටහන යටතේ බඳවාගත් බහුකාර්ය රැකියා ලාභීන් පුහුණු කිරීමේ කටයුතුද මෙම බීජ ගොවිපල මගින් සිදුකරන බවද ගොවිපළ කළමනාකරු මධුවින්න මහතා ප‍්‍රකාශ කළේය.

වියලි කලාපයේ බහුලව වගා කළ හැකි අඹ, පේර, කජු, ඩ‍්‍රැගන් ෆෘට් ආදිය ආදර්ශ වගාවන් ලෙස එහි වගාකර තිබෙනු දක්නට ලැබිණි.

මෙම ගොවිපළට නව කලඑළියක්ද එක් කරමින් ඉදිකළ කෘෂි පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක්ද මෙම ගොවිපළ සතුව පවතී. මනස්කාන්ත පරිසරයකින් යුත් රත්කිඳ ජලාශයේ ඉස්මත්තේ එය පිහිටා තිබෙන අතර ඒ නිසා එය දෙස් විදෙස් සංචාරකයන්ගේ මන බඳින ආකර්ෂණීය තැනක් බවට පත්ව තිබෙන බවයි එහි කාර්ය මණ්ඩලය අප සමඟ පැවැසුවේ.

පෙර රජ දවසින් පසුව වල්බිහිව තිබූ රජරට යළි සශ‍්‍රීකත්වයට පත්වන්නේ මහ ගොවි ජනපද ආරම්භයත් සමඟිනි. කටියාව මහ ගොවි ජනපදය, මින්නේරිය, පොලොන්නරුව වැනි මහ ගොවිජනපද බිහිවී රටට අවැසි බත නිපදවීමේ සංග‍්‍රාමය ඇරඹුණි. ඉන් පසුව කාලයාගේ ඇවෑමෙන් රජරට ඇතුළුව දිවයිනේ විශාල ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි මේ රටේ සුවිශාල ඉඩම් ප‍්‍රමාණයක් සරුසාර ගොවි බිම් බවට පත් කෙරෙමින් විසල් ජනාවාස ඇතිවූයේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භවීමෙන් පසුව බව ප‍්‍රකට කාරණයකි.

බීජ නැතැයි කියන කළෙක රටටම අපේ බීජ බෙදන මහවැලියේ ගොවිපළ

මාදුරුඔය ජලාශය ඉදිවීමත් සමඟ මහවැලි ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් ඇතිවූ බව නොරහසකි. ඒ ආශ‍්‍රිතව මහවැලි බී කලාපය සහ ඊට යාබදව මහවැලි සී කලාපය බිහිවන්නේ අදින් දශක තුන හමාරකට පමණ ඉහතදීය. මහවැලි සී කලාපයේ පමණක් මේ වනවිට ගොවි පවුල් 55,000ක් පමණ වෙසෙති. එහි ජනගහනය වර්තමානය වනවිට 1,87000ක් පමණය. මොවුන්ගෙන් වැඩිදෙනා මූලික ජීවනෝපාය ගොවිතැන කරගත් ගොවි පවුල්වලට අයත් සාමාජික සාමාජිකාවෝ වෙති.

මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා පෙන්වා දෙන පරිදි මේ මහවැලි ගොවි බිමේ යල මහ දෙකන්නයේ වගා කෙරෙන කුඹුරු ප‍්‍රමාණය අක්කර 60,000ක් පමණවේ. එහි එක් කන්නයක වී වගාව සඳහා අවැසි බීජ වී ප‍්‍රමාණය බුසල් 113940ක් පමණ බවද කියති. එම සමස්ත බීජ වී අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ එනම් වී බුසල් 50,000ක පමණ ප‍්‍රමාණයක් ගොවි ජනතාවට සපයනු ලබන්නේ මෙම රත්කිඳ මහවැලි බීජ වී ගොවිපළ මගින්වීම විශේෂත්වයකි.

අදින් අඩ සියවසකට පමණ ඉහත මෙම මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ මෙරට ගොවි ජනපද ව්‍යාපාරයේ නිම්වළලූ පුළුල් කරමිනි.

එමෙන් තමන්ගේ කියා බිම් අඟලක උරුමය හිමිකර ගන්නට පෙරුම් පුරමින් සිටි මෙරට ඉඩම් නොමැති ජනතාවගේ සිහිනයක් සැබෑ කරවීමක් ලෙස හැඳින්වීම නිවැරදිය. ඒ අනුව එම ගොවි සිහින කිසියම් පමණකට හෝ සැබෑ කරමින් බිහිවුණු මහවැලි ව්‍යාපාරයේ සුවිශේෂී ගොවි ජනපද ව්‍යාපාරයක් වන මහවැලි සී කලාපයට නවමු අරුතක් සහ කලඑළියක් එක් කරමින් රත්කිඳ මහවැලි බීජ වී ගොවිපළ ඇරඹෙන්නේ එහි ගොවි ජනතාවට අවශ්‍ය උසස් තත්වයේ ගුණාත්මක බීජ ලබාදීම මූලික අරමුණ ඇතිවය. වර්තමානය වනවිට ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ මෙහෙයැවීම මත බීජ ගොවිපළ සේවාව ඇතුළු තවත් බොහෝ සේවාවන් රාශියක් ඉටුකරමින් තිබෙනුයේ එහි ගොවි ජනතාවගේ අනාගත සුබ සිහින මල්ඵල ගන්වමින් බව අපටද හැඟී ගිය කාරණයකි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment