අපරික්ෂාකාරීව ධාවනය කළ ලංගම බස් රථයක් එහි රියැදුරාට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී ගොස් පෙරේදා (26 දා) රාත්‍රි සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් මත්පැන් පානය කර සිටි එම බස් රථ රියැදුරා අත්අඩංගුවට ගත් බව ශ්‍රීපුර පොලිසිය පවසයි.
කොළඹ සිට ශ්‍රීපුර දක්වා ධාවනය කෙරෙන නිට්ටඹුව ඩිපෝවට අයත් බස් රථයක් මෙලෙස පෙරළී ගොස් අනතුරකට ලක්ව ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය කොළඹ සිට ශ්‍රී පුර දක්වා පැමිණ මගීන් බැස ගිය අවස්ථාවේදී එහි රියැදුරුට සහ කොන්දොස්තරවරයාට ආහාර ලබා ගැනීමට යමින් සිටියදී, ශ්‍රීපුර යාය 12 ප්‍රදේශයේදී රියැදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල වෙල්යායකට පෙරළී තිබූ බව පොලිසිය සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මත්පැන් පානය කර සිටි බස් රථ රියැදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (27දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
යුද සමයේ සිට වසර ගණනාවක කාලයක සිට ධාවනය කෙරෙන මෙම බස් රථයේ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙහි ගමන් කරන බවත්, මගීහු නොසිටීම නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බව ප්‍රදේශවාසීහු මෙහිදී පැවසූහ.
ශ්‍රීපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එච්. එන්. එස්. ප්‍රේමතිලක මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයකොඩි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ