බී ලූනු වගාබිම් 89%කින් පහළට

ගොවීන් පහළොස්දහක් හිටියත් දැන් ඉන්නෙ එක්දහස් දෙසීයයි

මෑත කාලයේ මෙරට ජනප්‍රියම වෙළෙඳ භාණ්ඩය වූයේ බී ලූනු ය. බොම්බයි ලූනු, ලොකු ලූනු, රටලූනු ආදී ලෙසින් කොයි නමින් හැඳින්වූවත් ජනතාවට මේ නම ඇහෙන විටම ඉහින් කනින් දාඩිය දමන බව නම් ස්ථිරය. ඒ වෙන කිසිවක් නිසා නොව බී ලූනු මිල නිසාය. අද පමණක් නොව මීට වසර කිහිපයකට පෙරත් මෙරට දේශපාලන වේදිකාවේ ජනප්‍රිය මාතෘකාවක් වූයේ බී ලූනුය. “අල කීයද, ලූනු කීයද, ලූනු කෑවද” යනුවෙන් එකල දේශපාලන වේදිකාවක් වේදිකාවක් ගානේ කෑමර දී ජනතාවගෙන් අසනවා අද මෙන් යාන්තමට මතකය. නමුත් එකල අද මෙන් බී ලූනු ඉහළ මිලක පැවතියේ නැත. අද වන විට බී ලූනු තොග මිල රුපියල් 700-800 ට ගියත් “ලූනු කෑවද, අල කෑවද, ජනතාව කන්නේ කෙසේදැයි කියා සොයා බලන්න කිසිවකු නැත. එදා දේශපාලන වේදිකාවේ අල ලූනු කෑවද කියා මහා හයියෙන් ඇසුවේ ජනතාව ගැන සිතා නොව දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණිනි. නමුත් අද වන විට දේශපාලන වාසි තකා හෝ ජනතාව ගැන සිතා හෝ ලූනු මිල පිළිබඳ කතා කරන්නට කවුරුවත් නැත.

මීට වසරකට දෙකකට පෙරත් බී ලූනු මිල රුපියල් සීයකට වඩා අඩුය. එය සැබැවින්ම ජනතාවට දරා ගත හැකි මිලකි. නමුත් හිටිහැටියේම බීලූනු මිල අහස උසට නැග්ගේ බී ලූනූ සඳහා පැවැති ඉල්ලුම ඉහළ යෑම හෝ ස්වභාවික උපද්‍රවයක් නිසාද යන්න ජනතාව නිරන්තරව ප්‍රශ්න කරන්නට වූහ.

බී ලූනූ මිල වැඩි වෙන්න හේතු

බී ලූනු මිල එක දිගට ඉහළ යෑමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ඉන්දියාව විසින් බී ලූනූ අපනයනය තහනම් කිරීමයි. ඉන්පසු එම අඩි පාරේම යමින් පකිස්තානයත් බී ලූනූ අපනයනය තහනම් කළේය. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම බී ලූනු මිල ඉහළ යෑමට බලපෑවේ බී ලූනුවල දුරස්ථ පාලකය ලෙස පැවති මෙරට බීලූනු වගාව නැත්තටම නැතිවීමය. ඒ නිසා වෙළෙන්දන්ට හිතු හිතු මිල ගණන්වලට ආනයනික බී ලූනු විකුණන්නට අවස්ථාව ලැබිණි.

බී ලූනු මිල ඉහළ යෑමත් සමග ජනතාව හොද්දකට බැදුමකට ලූනු ගෙඩියක් දැම්මේ නොදා බැරි කමටය. මේවන විට යළිත් බී ලූනූ මිල පහළ ගොස් ඇත. අද අපේ අරමුණ වන්නේ ලූනු මිල ඉහළ පහළ යෑම නොව මෙරට ලූනු ගොවියාට අත්ව ඇති ඉරණම සහ මෙරට ලූනු වගාවේ අද තත්ත්වය සහ හෙට දවස පිළිබඳ විමසා බැලීමය. ඒ සඳහා අප සම්බන්ධ කරගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාවය. ඒ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසේ.

අපේ ලූනුවලට මොකද වුණේ?

මීට වසර පහ දහයකට පෙර මෙරට බී ලූනු වගාව ඉතා සාර්ථකව සිදුකළ ආකාරය අප කාටත් හොඳට මතකය. මෙරට බී ලූනූ වගාව සිදුකරනුයේ යල කන්නය මුල්කරගෙනය . විශේෂයෙන්ම අනුරාධපුර, කුරුණෑගල, මාතලේ, පොළොන්නරුව, මන්නාරම, වවුනියාව, මුලතිව්, යාපනය වැනි දිස්ත්‍රික්ක බී ලූනූ වගාවට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන දිස්ත්‍රික්ක වේ. ඉස්සර ජනමාධ්‍ය තුළින් නිරන්තරව අසන්නට ලැබුණු ප්‍රවෘත්තියක් වූයේ දඹුල්ලේ ලොකු ලූනු ගොවීන් අස්වනු විකුණාගත නොහැකිව උද්ඝෝෂණය කරන අයුරුයි. නමුත් අද වන විට එවැනි පුවත් අසන්නට දකින්නට නොලැබේ. එයට හේතුව බී ලූනු අස්වනු සඳහා සාධාරණ මිලක් ලැබී ගොවියාගේ ප්‍රශ්න විසඳී තිබීමද. එසේත් නැතිනම් විකුණා ගැනීමට තබා ගෙදර පරිභෝජනයටවත් අවශ්‍ය ලොකු ලූනු ටිකවත් ගොවීන් විසින් නිෂ්පාදනය නොකිරීමද.

පල්ලම් බැහැපු ලූනු ගොවීන්

මෙරට බී ලූනූ වගාව පිළිබඳ සලකා බැලීමේදී අප 2014 වර්ෂයේ සිට මේ දක්වා බී ලූනූ වගාවට සිදුව ඇති දේ පිළිබඳව විමසා බැලීමට තීරණය කළේ එහිදී මතුවන කරුණු හෝ සැලකිල්ලට ගෙන පාලකයන් ඉදිරියේදී ලූනු ගොවියාට හොඳ කලක් ලබාදේවි යන බලාපොරොත්තුවෙනි.

2014 වර්ෂය වන විට මෙරට ලූනු ගොවීන් සංඛ්‍යාව 15,278 කි. නමුත් එයින් පසු කාලය පිළිබඳ විමසා බැලීමේදී දකින්නට ලැබෙන්නේ ක්‍රමක්‍රමයෙන් ලූනු වගාවෙන් ගොවීන් ඉවත් වූ ආකාරයයි.

එය ක්‍රමයෙන් 2015 වන විට 12,180 දක්වාත් 2016 වසර වන විට ගොවීන් 9032 දක්වාත් 2017 වසර වන විට 6156 දක්වාත් 2018 වසර වන විට ගොවීන් 3252 දක්වාත් 2019 වසර වන විට 2257 දක්වාත් ඉතා සීග්‍රයෙන් අඩු වී තිබේ. නමුත් යළිත් වරක් 2020 වසරේදී ලූණු වගාව සඳහා ගොවීන් 7535ක් අවතීර්ණ වී තිබේ. 2021 වසරේදී ගොවීන් 9269 දෙනකු බී ලූනූ වගාකොට තිබේ. නමුත් යළිත් 2022 වසරේදී ගොවීන් 6517 දෙනකු දක්වා බී ලූනූ වගාකළ ගොවීන් සංඛ්‍යාව අඩුවී ඇති අතර 2023 වසර මෑත ඉතිහාසයේ බී ලූනූ වගාකළ අඩුම ගොවීන් සංඛ්‍යාව වාර්තා කරමින් 1263 දක්වා එම පිරිස අඩු වී ඇත. වසර දහයක් වැනි කාලයක් තුළ 15272 සිට 1263 දක්වා විශාල ලෙස ලුණු වගා කළ ගොවීන් එම වගාවෙන් ඉවත් වීම පිළිබඳ වහා අවධානය යොමුකර ඊට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් දියයුතු කාලය එළඹ ඇත.

ගොවීන් හා සමගාමීවම ලොකු බී ලූනූ වගාවේ අස්වැන්නද විශාල ලෙස අඩුවී තිබේ. 2014 වසරේදී බී ලූනු මෙට්‍රික් ටොන් 98900 නිෂ්පාදනය කර ඇති අතර 2015 වනවිට 79050 දක්වාත් 2016 වනවිට 63555 දක්වාත් 2017 වනවිට 39085 දක්වාත් 2018 වනවිට 22048 දක්වාත් 2019 වනවිට 17833 දක්වාත් 2020 වනවිට 30481 දක්වාත් ශීඝ්‍රයෙන් අඩුවී ඇත. නමුත් 2021 දී යළිත් බී ලූනු මෙට්‍රික් ටොන් 68704ක් නිෂ්පාදනය කොට ඇත. 2022දී බීලූනු අස්වැන්න මෙට්‍රික් ටොන් 15804 අඩුවී ඇති අතර අවසානයේ 2023 වසර වන විට අඩුම අස්වැන්න වාර්තා කරමින් මෙ. ටොන් 6961 දක්වා අස්වැන්න අඩුවී තිබේ.

2014 වන විට මෙරට ලොකු ලූනු අස්වැන්න මෙට්‍රික් ටොන් 98900 කි. මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙරට නිෂ්පාදනය මෙන් දෙගුණයකට ස්වල්පයක් වැඩිය. එම ඉලක්කයට ඉතා පහසුවෙන් ළඟා වීමට අවස්ථාව තිබිණි. එසේ වූවා වූවා නම් විදෙස් රටවලින් ලොකු ලූනු ආනයනය සඳහා ඩොලර් මිලියන ගණන් වැය වන්නේ නැත. විශාල වශයෙන් විදේශ විනිමය අර්බුදයක් පවතින මෙවන් වකවානුවක මෙරට වගා කළ හැකි භෝගයක් වෙනුවෙන් මුදල් නාස්ති කිරීම ජාතික අපරාධයකි. දිනුම් කණුව පෙනෙන මානයේ තිබියදී තරගය අතහැර තිබේ. අවම වශයෙන් සමස්ත ලූනු අවශ්‍යතාව සපුරා නොගත්තත් මෙරට ලූණු අවශ්‍යතාවයෙන් සියයට පනහක්වත් සපයා ගැනීමට හැකි වූවා නම් අවම වශයෙන් වෙළෙන්දන්ට වුවමනා පරිදි ලූනු වෙළෙඳපළ හැසිරවීම හෝ වැළැක්වීමට අවස්ථාව තිබිණි.

2014 වසර වන විට මෙරටට විදෙස් රටවලින් ආනයනය කොට ඇති බී ලූනූ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150534කි. පිළිවෙළින් එය 2015 වසරේදී මෙ.ටොන් 210253ක්, 2016 දී මෙ.ටොන් 215593ක්, 2017දී මෙ.ටොන් 232318ක්, 2018දී මෙ.ටොන් 246237ක්, 2019දී මෙ.ටොන් 240102ක්, 2020දී මෙ.ටොන් 265863ක්, 2021දී මෙ.ටොන් 257421ක්, 2022දී මෙ.ටොන් 263781 දක්වා විශාල වශයෙන් වැඩි වී තිබේ. 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට මෙ.ටොන් 239305 වශයෙන් බී ලූනූ ආනයනය වාර්තා වී තිබේ.

අධික ලාභ ලබන වෙළෙන්දෝ

බී ලූනූ වෙළෙඳාමේද පවතින්නේ විශාල මාෆියාවකි. ඉතා අඩු මිලට විදෙස් රටවලින් ගෙන්වන බී ලූනූ මෙරට අලෙවි කරන්නේ ගිනි ගණන්වලටය. පසුගියදා පාර්ලිමේන්තුවේදී සුවිශේෂී කරුණක් වාර්තා විය. ඒ බී ලූනූ ආනයනය කර විකිණීමේදී වෙළෙඳ මහතුන් විසින් 2022 වර්ෂයේදී 106% ලාභයකුත් 2023 වර්ෂයේදී 297% ලාභයකුත් වාර්තාකොට ඇති බවයි. දිගින් දිගටම මෙරට ලූනු ගලවන කාලයට පිටරටින් බී ලූනු ගෙන්වා මෙරට ලූණු ගොවියා නැත්තටම නැති කොට අවසානයේ රටින් ගෙන්වන බී ලූනූ වලින් ලබන අසීමිත ලාභය දැන් අස්පනාපිටම අනාවරණය වී අවසන්ය.

බී ලූනූ වගාවට ලැබූ නරක කල දසාව ලූනු වගාකළ බිම් ප්‍රමාණය ගැන සලකා බැලුවද අවබෝධ වේ. 2021 වසරේදී බී ලූනූ වගාකළ හෙක්ටයාර් ප්‍රමාණය 3270 සිට 2022 වසර වන විට හෙක්ටයාර් 2220 දක්වා හෙක්ටෙයාර් 1050කින් අඩුවී තිබේ. එය 2023 වර්ෂය වන විට හෙක්ටයාර් 356 දක්වා හෙක්ටයාර් 1864කින් අඩුවී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 89% කි. බී ලූනුවලට රටේ ඇතිවී තිබෙන තත්ත්වය වගා කළ බිම් ප්‍රමාණය අඩු වූ ආකාරයෙන් හොඳින්ම තේරුම් ගත හැක.

ගොවීන්ට එපා වූ බී ලූනු වගාව

බී ලූනු ගොවීන් වගාවෙන් ඈත්වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන කරුණු කීපයක් තිබේ. ඒ අතරින් පළමුවැන්න අස්වැන්න සඳහා නිසි මිලක් නොමැතිවීමයි. සෑම කන්නයකම පාහේ අස්වනු නෙළන කාලයට පිටරටින් බී ලූනු තොග ගෙන්වා මෙරට වෙළෙඳපොළ තුළ ලූනු මිල බින්දුවටම බස්සවන නිසා බොහෝ ගොවීන් ලූනු වගාවෙන් ඉවත් වී ඇත. මේ කාරණය සිද්ධ වූයේ වරක් දෙවරක් නොවේ. දස අතේ ණයවී කණකර උගසට තබා බොහෝ දුක් මහන්සියෙන් ලබාගන්නා අස්වැන්නට නිසි මිලක් නොලැබීම නිසා බොහෝ ගොවීන් ගොවිකම අතහැර ඇත. එසේම බී ලූනු වගාව මෙරටින් තුරන් වීමට බලපෑ තවත් ප්‍රධාන කාරණයක් වන්නේ ගුණාත්මයෙන් යුතු බී ලූනු බීජ නොමැති වීමයි. පසුගිය කාලයේ වාර්තා වූ සිදුවීම් කීපයකින්ම කියවුණේ සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ලොකු ලූනු වගා කළත් ගොවීන්ට ලබාගත හැකි වූයේ රතුලූනු ගෙඩි වැනි බී ලූනු ය.

මෙරට ලූනු වගාව පිළිබඳ අදහස් දැක්වූ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා,

වර්ෂ 2014 වන විට මෙට්‍රික් ටොන් 98,900 වුණු බී ලූනු නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට ආණ්ඩුවට නිසි සැලසුමක් තිබුණානම් මේ වන විට රට තුළ බී ලූනු අර්බුදයක් මතුවන්නේ නැහැ. ඒ වගේම බී ලූනු ආනයනය සම්පූර්ණයෙන්ම නවත්වන්න තිබුණා. පත් වූ කිසිම ආණ්ඩුවකට ඒ සඳහා නිසි සැලසුමක් නොතිබීමේ ප්‍රතිඵලය තමයි මේ විදිහට බී ලූනු මිල වැඩිවීම.

ඒ වගේම තමයි බී ලූනු කල්තබා ගැනීම සඳහා දිගු කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක නොවීමත් මේ ආකාරයන් බී ලූනු අර්බුදයක් මතුවීමට හේතුවක්. මිල පහළ බහින කාලයට වගේම නෙළන අස්වැන්න එකපාර වෙළෙඳපොළට නිකුත් නොකොට කල්තබා ගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් ප්‍රශ්න රැසකට විසඳුම් සෙවිය හැකි. නමුත් එසේ නොකොට දිගින් දිගටම ආනයන මත ක්‍රියා කරන්නට කටයුතු කරනවා නම් මෙරට කෘෂි ප්‍රතිපත්තියේ විශාල අඩුවක් තිබෙන බව දකින්නට ලැබෙනවා.

පසුගිය දිනවල බී ලූනු කිලෝ එකක් රුපියල් 700 – 800ට ගියා. අපේ දේශීය ලූනු ගොවියාටත් ඉහළ මිලක් දෙන්න පුළුවන්නම් ලූනු වගාව කරන්න ගොවීන් වැඩි වැඩියෙන් පෙළඹේවි.

ආනයනික ලූනුවලින් 20%ක පමණ ප්‍රමාණයක් අපතේ යනවා. නමුත් එම 20%ටත් අප ඩොලර් වලින් ගෙවන්න ඕනේ. ඒ හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් අපට නිකරුණේ අහිමි වෙනවා. ඊට අමතරව මේරට ලූනුවලට වඩා ආනයනික ලූනු ගුණාත්මක භාවයෙනුත් අඩුයි.”

ගණන් බැස්ස ලූනු

පසුගිය 08 වැනිදා වනවිට චීනයෙන් ආනයනය කළ බී ලූනු කිලෝවක් රුපියල් 80 දක්වා මිල පහළ බැස ඇත. නෙදර්ලන්ත ලූනු කිලෝ දෙකම රුපියල් 100 දක්වා අඩුවී තිබේ. ඒ ඉන්දියන් ලූනු පැමිණීමත් සමගය. ඉන්දියන් ලූනු 150- 250 අතර මිලක පවතී. ලූනු සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යා හැකිනම් දේශීය බී ලූනු ගොවියාටද එය මහත් පිටිවහලක් වේ.

පඳුරකට පයින් ගැසූ විට තුන් හතර දෙනෙක් විසි වන තරමට ඇමැතිවරු සිටින රටේ මෙරටට අවශ්‍ය ගුණාත්මයෙන් යුතු ලොකු ලූනු ටික නිෂ්පාදනයට එකදු ඇමැතිවරයෙක් හෝ කෘෂි පර්යේෂණාගාරයක් සමත්වී නැත. හැම කෙනාම තමන්ගේ වගකීම පැහැර හැර තිබේ. බීජවලට අමතරව පසුගිය කාලයේ ලූනු වගාවට අවශ්‍ය පොහොර මෙන්ම කෘෂි රසායන ද්‍රව්‍ය මිල ගණන් අධික ලෙස ඉහළ යෑමද බී ලූනු වගාව කඩා වැටීමට දැඩි බලපෑමක් එල්ල කළේය. කෙසේ හෝ මේ වන විට බී ලූනු වගාව කඩා වැටී අවසන්ය. තව මාස කීපයකින් පැමිණීමට ඇත්තේ ජනාධිපතිවරණයයි. ඊළඟට මහ මැතිවරණය පැමිණීමට තිබේ. මේ මැතිවරණවලින් කුමන පක්ෂය කුමන පුද්ගලයා බලයට පැමිණියත් සිදු කළ යුතු මූලිකම කාර්ය වන්නේ මෙරට වගා කළ හැකි භෝග වගාකොට ගොවීන් සවි බල ගැන්වීමයි. එසේ නොවන තාක් කල් පිටකොටුවේ තොග වෙළෙඳුන්ගේත් විදෙස් රටවල ගණන් බලන්නත් අපේ ඩොලර් ටික වෙනත් රටවලට පූජා කරන්නත් සිදුවනු ඇත.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment