බුද්ධත්වය පහළ වූ අයුරු….

557

එදා සිය මෑණියන් පිටමත තබාගෙන මහා සාගරයෙන් එතෙර වූ වෙලේ ඒ ශ්‍රේෂ්ඨ පුත්‍රයාට අසිරි පතා කුලුණුබර මෑණියෝ පුතනුවනි! ඔබ මතු බුදුවේවා යි කීවා ය. එවක් පටන් සංසාරයේ සැරිසැරූ බුද්ධංකුරයාණෝ ජම්බුද්වීපයේ සිරිමත් නම් නුවර බඹදත් රජුගේ පුත්‍රව උපන්හ. පසුව ශාතෘතාප නම් රජ වූ එතුමා මඳ කලකින් රාජ්‍ය සම්පත් අත්හැර දමා තාපසයෙක් ලෙස පැවිදි විය. එයින් පසු සසර ගමන් කරද්දී එක් ආත්මයක බ්‍රාහ්මණ කුලයක ඉපිද සියලු වේදයන් හදාරා තවුස් පැවිද්ද ලැබීය. මහා පර්වතයක ජීවත් වූ මේ බෝසත් තවුසාණෝ තම පැටවුන් කන්නට සූදානම් වූ දිවි දෙනකට මතු බුද්ධත්වය ජීවිතය පූජා කළේය.

මෙසේ දීර්ඝ කාලයකට පසුව පුරාණ දීපංකර බුදුපියාණන් ලෝකයේ පහළ වූ සමහයේ අප බෝධිසත්වයන් වහන්සේ ඒ බුදුරදුන්ගේම ඥාති සහෝදරියක්ව උපන්නාහ. මේ ස්ත්‍රීව ඉපදීම අකුසල විපංකයකින් සිදුවිය. අප මහ බෝසතුන්හට නියත විවරණ දුන් පශ්චිම දීපංකර බුදුරදුන් ද ඒ පුරාණ දීපංකර බුදුරදුන්ගේ සසුනේ මේ වකවානුවේදී පැවිදිව නියත විවරණ ද ලබා සිටියේය. ඒ දීපංකර බෝසත් තෙරණුවේ නිති පතාම තෙල් සිඟාගෙන විත් බුදුරදුන්හට ආලෝක පූජාව කෙරෙති. දිනක් උන්වහන්සේ බුදුරදුන්ගේ සොහොයුරියක වූ රජ කුමරිය ගේ මාලිගයට ද තෙල් සිඟාගෙන වැඩිය විට ඒ කුමාරිය රත්තරන් භාජනයක අබතෙල් පුරවාගෙන විත් තෙරුන්හට පුදා මම ද මාගේ සොහොයුරා සේ මතු බුදුවෙම්වා! මේ තෙල්වල නාමයෙන් මම සිද්ධාර්ථ (සිදුහත්) නම් වේවා යි පැතුවා ය. දීපංකර බෝසත් තෙරණුවෝ ඒ තෙලින් බුදුරදුන්ට ආලෝක පූජා කොට කුමරියගේ පැතුම බුදුරදුන්හට දැන්වූහ. එවිට පුරාණ දීපංකර බුදුපියාණෝ දීපංකර බෝසත් හිමියන් අමතා මෙසේ වදාළ සේක. මෙතැනින් අසංඛ්‍ය දහසයකුත් කල්ප ලක්‍ෂයක් ගිය තැන දී ඔබ ද මා සේම දීපංකර නමින් බුදුවන්නේය. එකල මා සොයුරිය සුමේධ නම් තාපසව ඒ දීපංකර බුදුරදුන් වෙතින් නියත විවරණ ලබන්නේය, යනුවෙනි.

ඉන්පසු අප බෝසතාණෝ දඹදිව කාරකණ්ඨ නුවර රජ වී එවක වැඩ සිටි බ්‍රහ්මදේව බුදුරදුන් හමුවේ මනෝ ප්‍රණිධිය තබා පසුව පහළ වූ එක්ලක්‍ෂ විසිදහසක් බුදුරජාණන් වහන්සේ වෙතින් ආසිරි ලබා මනෝ ප්‍රණිධිය සපුරා පසුව දඹදිව සාගර නම් සක්විති රජුව ඉපිද පුරාණ ගෞතම නම් බුදුරදුන් අබියසදී තම අරමුණ වාග් ප්‍රණිධියට පත් කළහ. ඉන් පසු පශ්චිම දීපංකර බුදුන් අබියස දී සුමේධ නම් තාපසව සිටිය දී සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පසුව සිද්ධාර්ථ ගෞතම නමින් බුද්ධත්වය ලබන බවම ඒ බුදුරදුන් වෙතින් නියත විවරණ ලදහ. එසේ විවරණ ලද්දේ මෙවන් වෙසක් පුන් පෝය දිනයක දී ය.

ධර්මාචාර්ය තෙලිකඩ ධම්මිස්සර හිමි
ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරය
මාබෝපිටිය – අලව්ව

advertistmentadvertistment
advertistmentadvertistment