බුද්ධදාස ගලප්පත්තිගේ ඒ අසිරිමත් නොනගතය

231

බුද්ධදාස ගලප්පත්ති 70 දශකයේදී කාව්‍යකරණයට එළෙඹි, මේ වනතුරුත් අඛණ්ඩව නිර්මාණකරණයේ නිරතව සිටින ප‍්‍රතිභාපූර්ණ කවියෙකි. ඔහු නවකතාකරුවෙකි; කෙටිකතාකරුවෙකි; ගේය පද රචකයෙකි; තීරු ලිපි රචකයෙකි; නැගීගෙන එන තරුණ කවීන්ගේ කාව්‍ය රචනා රස විමර්ශනයට හසු කරමින් රස විඳින්නෙකි. විවිධ සාහිත්යික ෂානර මැනවින් හසුරවමින් නිර්මාණකරණයේ යෙදෙමින් සිටියද බුද්ධිගේ ප‍්‍රතිභාව මෙන්ම නිර්මාණ ශක්‍යතා සුඛ නම්‍ය ලෙස හඳුනාගත හැකිවන්නේ කාව්‍ය නිර්මාණවලිනි.

කවිය නිර්මාණකරවකුගේ අපූර්ව වස්තු නිර්මාණකරණයේ නන්විධ ශක්‍යතාද ජීවිතය, මානව ධර්මතා හා සමාජයද විෂයෙහි හෙළන මානව හිතවාදි සංවේදනශීලී ජීවන දැක්මද ගැඹුරින් හඳුනාගත හැකි කලා ෂානරයයි. නූතන සිංහල කවිය විඥානවාදී එක්ටැම් ගෙයින් බැහැරට ගෙන පොදුජන සංවේදනා නිරූපණය කළ හැකි ප‍්‍රබල සාහිත්යික මාධ්‍යය බවට පත්කර ගත්තේ මොනිකා රුවන්පතිරණ, පරාක‍්‍රම කොඩිතුවක්කු, බුද්ධදාස ගලප්පත්ති, බර්ටි බී. කුඩාහෙට්ටි, දයාසේන ගුණසිංහ, ධර්මසිරි රාජපක්‍ෂ, එරික් ඉලයප්ආරච්චි, උදේනි සරත්චන්ද්‍ර, සුනිල් ගුණවර්ධන, රත්න ශ‍්‍රී විජේසිංහ යන 70 දශකයේ බිහි වූ තරුණ කවීන් විසිනි. එකල පරාක‍්‍රම අත කවිය ගිනිදැල් පිට කරන ගිනි සිළුවක් විය. කාව්‍ය අත්දැකීම් ක්ෂේත‍්‍රය පමණක් නොව කාව්‍යාකෘතියද උඩු යටිකුරු කළ, සාම්ප‍්‍රදායික කාව්‍ය භාෂාව සුනුවිසුණු කළ ඔහු කවිය පොදුජන පීඩනය නිරූපණය කිරීමට උචිත මාධ්‍යයක් බවට පත්කර ගත්තේය. ඔහු අනුගත මග ඒ විධියටම නොවෙතත්, සිය අනන්‍යතාව ප‍්‍රකට වන අයුරින් කවිය ළගන්නාසුළු කලා මාධ්‍යයක් බවට පත්කර ගැනීමට දිරිමත් වූ ප‍්‍රතිභාපූර්ණ කවියකු ලෙස ‘ඒ අසිරිමත් නොනගතය’ බඳු ඔහු මෙතෙක් අනුගත කව්මගෙන් බැහැරව නව ආරක නිර්මාණ ඇතුළත් කාව්‍ය එකතුවක් රසික අවධානයට යොමුකර සිටින බුද්ධදාස ගලප්පත්ති අපගේ නොමඳ පැසසුමට ලක්විය යුතුය.

විටින් විට ජීවිතයේ විවිධ ගැහැටයනට මුහුණදී සිටියද බුද්ධි කවියට පෙම්බැඳි කවිය සිය තුරුණු ලලනාව බවට පත්කර ගත් අසිරිමත් පෙම්වතෙකි. ප‍්‍රතිභාපූර්ණ කවියා තමා එතෙක් රචනා කළ නිර්මාණ ගැන තෘප්තිමත් වන්නෙක් නොවේ. තමාගේ උසස් කාව්‍ය එකතුවක් මෙතෙක් පළ වී නැත යන හීනමානයෙන් මෙන්ම අතෘප්තිකර බවෙන් ඔහු පෙළේ. තව තව නිහතමානී වන ඔහු කවිය විෂයෙහි නන්විධ අත්හදාබැලීම් කිරීමට පෙළඹේ. ඔහු නිරතුරුව ජීවිතය හා මානව ධර්මතා මෙන්ම සමාජයද නිරීක්ෂණය කරයි. බුද්ධි ඒ මගට පිළිපන් කවියෙකි. විටක සම්ප‍්‍රදායට නතුවන ඔහු විටක සම්ප‍්‍රදාය අතික‍්‍රමණය කිරීමට පෙළඹෙයි. තවත් විටක එය සුනු විසුණු කිරීමට තරම් එඩිතර වෙයි. කවියකුට තිබිය යුත්තේ ආත්ම විශ්වාසයයි. තමාට යමක් නිවැරදි යැයි හැඟේ නම් එයට නතු වී නිර්මාණකරණයේ යෙදේ නම් අපූර්ව රසභාව පූර්ණ නිර්මාණ රසිකයනට ප‍්‍රදානය කළ හැකිය. බුද්ධි එම ශක්‍යතාවෙන් යුත් විචාරක විමර්ශන හා විවේචනවලින් උදාසීන නොවන පසුබට නොවන ප‍්‍රිය මනාප ආකල්ප වැළඳ සිටින නම්‍යශීලී කවියෙකි. කවියෙහි ගමන්මග මෙය යැයි කිසිවකුටවත් පෙන්වා දිය නොහැකිය. එය විචාරකයකුට කිසිසේත් කළ හැකි නොවේ. ඒ මග සමාජ පරිවර්තන හා සිතුම් පැතුම්වලට අනුගතව තෝරාගත යුත්තේ කවියා විසින්මය. ප‍්‍රතිභාපූර්ණ කවියා විචාරකයන්ගේ වහසිබස්වලින් මුසපත් විය යුතු නොවේ. ඔහු හැමවිටම අඩවන් ඇස් විවෘතකර ලෝකය දෙස බැලිය යුතුය. තමා අවට සැරිසරන මිනිසුන් ගේ විවිධ චර්යා රටා නිරීක්ෂණය කළ යුතුය. රෝම යුගයේ විසූ ප‍්‍රකට විචාරකයකු වූ ලොංජයිනස් On the Sublime යනුවෙන් ග‍්‍රන්ථයක් සම්පාදනය කරමින් කාව්‍ය නිර්මාණයක් පරමෝත්කෘෂ්ට තත්ත්වයට පත්වීමට හේතු කාරක විය හැකි කරුණු කීපයක් දැක්වූයේය. එනම් ශ්‍රේෂ්ඨ – අත්‍යුත්කෘෂ්ට අදහස් පහළ කර ගැනීමට ඇති කෞශල්‍යය හා අනුභූතීන් ඉසියුම් පරිකල්පනයට හසුකොට ප‍්‍රබල ප‍්‍රබෝධවත් ආවේග උද්දීපනය කිරීමත්ය. මේ දෙකම කවියකුට පිහිටන්නේ සහජයෙනි. එනම් උත්පත්තියෙන්ම ලැබෙන දායාදයන්ය. මේ හැරුණු විට හැඟීම් ප‍්‍රකාශනයෙහි දක්ෂතාව, භාෂාව හා අලංකාර පිළිබඳ අවබෝධය හා සම්පූර්ණ ප‍්‍රතිඵලයෙහි උත්කර්ෂවත් බව යන කරුණුද කවියක් අත්‍යුත්කෘෂ්ට නිර්මාණයක් වීමට තුඩු දෙයි. මේ කාරණාත‍්‍රයම සතත අභ්‍යාසයෙන් ප‍්‍රගුණ කළ යුතුය. කවියාගේ අදහස්, හැඟීම් හා ආවේග රචනයෙහි භාෂාමය සුඛනම්‍ය බවින් හැඟවෙන ස්වාභාවිකත්වය ඔස්සේ පරමෝත්කෘෂ්ට (Sublime) බවට පත්විය හැකිය. ප‍්‍රබල භාව ප‍්‍රකාශනයක් සම්මත ආකෘති, කාව්‍යෝපක‍්‍රම හා සන්දර්භය ආදි නොවෙනස්වන නීති රීතිවලින් නතු කළ හැකි නොවේ. භාව ප‍්‍රකාශනය හුදෙක් භාවයන් මුදා හැරීමක් ද නොවිය යුතුයි, (Poetry should not be a turning loose of emotions) යනුවෙන් ලුවිස් අන්ටමෙයර් (Louis Untemayer) පැවසීය. අදහස් හෝ සංකල්පනා සාමාන්‍ය අනුපිළිවෙළට ගොනු නොකිරීමෙන් නිසර්ග වූත්, තාත්වික වූත් ආවේග රූපණය කළ හැකිය. කවර කවියකු වුවද ආවේගයනට නතු වූ විට භාෂාමය රටා පද්ධතිය හා මර්යාදා පිළිබඳව අවධානය යොමු නොකරයි. සැබවින්ම කවියා නිර්මාණකරණයෙහි නිරතවීමේදී එම ස්වාභාවික අනුපිළිවෙළ අනුගමනය කළ යුතුය. නොඑසේ නම් එම ආවේගය සාර්ථක ලෙස පෙළ ගැස්වීමට අසමත් විය හැකිය.

බුද්ධදාස ගලප්පත්තිගේ ඒ අසිරිමත් නොනගතය

‘ඒ අසිරිමත් නොනගතය’ කාව්‍ය සංග‍්‍රහය රචනා කරනු ලැබ ඇත්තේ මුළු ලෝකයම කොවිඩ් වසංගතයෙන් වෙළාගෙන මරණ බියෙන් තැතිගෙන, නෑසියන්ගෙන් හා හිතමිතුරන්ගෙන් ඈත් වී හුදකලා වී ජීවිතය ගෙවීමට සිදු වූ කාලය අතරතුර බව කවියා පවසයි. මෙබඳු අවධියක කවියකුට සිත එකලස් කර ගැනීම පහසු නොවේ. සිතෙහි පහන් හැඟීම් අරක් ගැනීමට තරම් සංසුන් නැත. එබඳු සමයක බුද්ධි රචනා කොට ඇති මෙහි ඇතුළත් කාව්‍ය රචනාවලින් සිය පුරුදු කව්මග වෙනතකට යොමු කිරීමට දරා ඇති ප‍්‍රයත්නය රසික නිරීක්ෂණයට යොමු විය යුතුය. කොවිඩ් වසංගතය හා සබැඳුණු සංකල්පනා ඇතැම් කාව්‍ය රචනාවලට විෂය භූමිය වී, අනුභූති ක්ෂේත‍්‍රය පෘථුල වී ඇත.

මෙහි ඇතුළත් ‘සක්මන් මාවතෙහි දුටු නන්නාඳුනනා යුවතිය’, ‘මලක අරුම’, ‘පෙම්වතියගේ පිළිතුර’, ‘කොරෝනා කාලේ ආලේ’, ‘උපමාවක් සොරාගතිමි’, ‘හඳ හොරෙන් බලනවා’, ‘කැම්පස් පෙම්වතුන්ගේ කවියක්’, ‘මිතුරාගේ බිරිඳ’, සක්මන් මාවතෙහි සරන යුවතියක ගේ රූපලාවණ්‍යය, ඇඳුම පැළඳුමෙහි හා ගමන බිමනෙහි තිබෙන සෞන්දර්ය, ළගන්නාසුළු පද සංඝටනයෙන් නැෙඟන මාධූර්ය හා විචිත‍්‍රත්වය විදහා දැක්වෙන අපූර්ව නිර්මාණයකි. ‘සක්මන් මාවතෙහි දුටු නන්නාඳුනනා යුවතිය’. පද සංඝටනයෙන් නැෙඟන ලාලිත්‍යය, රිත්මයානුකූල බව, ඉන්ද්‍රිය රූප ජනනයට තුඩු දෙන පද පෙළ ගැස්ම ලලනා රූප සෞන්දර්ය පිළිබඳව ඉසියුම් චමත්කාරයක් ධ්වනිතවන අයුරින් නිරූපණය කිරීමට කවියා කුශලතා පූර්ණ වූ බැව් ප‍්‍රකට කරයි.

ඈ සුන්දරය

සිහින් ය නො උස් ය

කළු ද නැත සුදු ද නැත

තළෙළු ද නොවේ

අමුතුම වර්ණයකි

ඇයට පමණක්ම හිමි වර්ණයක් ද

සක්මනට ම ගැළපෙන වත් ය

පාවහන් ද එසේම ය

පද පෙළ ගැස්වීම ජී. බී සේනානායකගේ කව් මග සිහිගන්වයි. ඇගේ දර්ශනය කථකයාගේ අනුරාගී හැඟීම් විකසිත කළද, ඇය නිහඬ හෙයින් ඔහුද නිහඬ වෙයි. ඔහුට ඇය නොදැක සිටිය නොහැකි තරම්ය. ඔහු සිත සංසුන් කර ගැනීමට ප‍්‍රයත්න දරයි.

ඇතැම් දවසක

පාළුය අතුරු මාවත

ඈ නොමැති ව

ම සිත ද පාළු ය එවන් දිනක

නොදැකුමෙන් ඈ වත

සුන්දර ලලනාවක දැක්මෙන් පුද්ගල සිත ඇදීයෑමත්, හැඟීම් විකසිත වී කුල්මත් වීමත් නිරතුරු ඇය මෙනෙහි වීමත් ස්වාභාවිකය. ‘රමණීය අරුත් ප‍්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයැයි’ ජගන්නාථ ප`ඩිවරයා පැවසූයේ එහෙයිනි.

පේ‍්‍රමය හා බැඳුණු විරෝධාකල්ප නිරූපණය කිරීමටද කවියා විමසිලිමත් වූ අයුරු ‘පෙම්වතියගේ පිළිතුර’ කවිපෙළෙන් රූපණය වේ. සාමාන්‍යයෙන් පෙම්වතුන් සිනමාහලකට ඇතුළු වන්නේ සිනමා චිත‍්‍රය නැරඹීමට නොව සමීපව එකිනෙක සිප වැළඳ ගනිමින් පේ‍්‍රමයේ සෞකුමාර්ය විඳීමටය. එහෙත් ඔහුගේ පෙම්වතියට පළමු පෙළෙහි හා දෙවන පෙළෙහි හිඳ සිනමා චිත‍්‍රය බැලීමට අවශ්‍ය වෙයි. සැබැවින්ම ඇය එබඳු ඉල්ලීමක් කරන්නේ සිනමා චිත‍්‍රය නැරඹීමට ද? නැතහොත් විරසක බව දැක්වීමට ද? කවර හෝ නොසන්සුන් සිතක් කියා පෑමට ද?

‘බැල්කනියට යමු ද?’

පෙම්වතා අසයි

‘බෑ’

පෙම්වතියගේ පිළිතුර

‘ඇයි’

පෙම්වතා අසයි

මට ඕන ෆිල්ම් එක බලන්න

මෙබඳු පේ‍්‍රම විරෝධාකල්ප අනුසාරයෙන් රසික පරිකල්පනය විකසිත කිරීමට කවියා සැලකිලිමත් වෙයි. කවියාගේ මූලික අභිමථාර්ථය වන්නේ රසික සිත් සතන් රසභාවපූර්ණ ගුණයෙන් විකසිත කොට ප‍්‍රබෝධමත් කිරීමටය. ඉසියුම් වින්දනයක් ලබා දීමටය. සෙසු කාරණා ද්විතීයික වේ. ද්විතීයික කාරණා ප‍්‍රමුඛ කොටගෙන රස විහීන නිර්මාණ රචනා කිරීමට නොපෙළඹීම

බුද්ධිගේ කාව්‍ය නිර්මාණවල අගය තීව‍්‍ර කරන ගුණාංගයකි. බුද්ධි ධ්වනි ශක්‍යතාවෙන් යුත් වචන සංඝටනයේ මෙන්ම පෙළ ගැස්වීමේ කුශලතාවක් දක්වයි. පේ‍්‍රමාන්විත හැඟීම් ධ්වනිත කරන කාව්‍ය රචනාවල විශේෂත්වය නම් හුදු පෙම් සබඳතා හා බැඳුණු සංකල්පනා නිරූපණය කිරීමට වඩා පේ‍්‍රමයේ රමණීයත්වය ධ්වනිත කිරීමට තුඩු දෙන ආස්වාදනීය අවස්ථාවක් සංකල්ප රූප ජනනය කරනසුළු බස් වහරකින් විභූෂණය කිරීමය.

වෙසඟ පුන් පොහෝ දා

හඳ වැස්සෙන් තෙමි තෙමී

සුදු සඳ එළියේ

සුදු වතිනි සැරසී

බකට් වැළක ඉටිපන්දම් දල්වමින්

මා දෙස බලා සිනාසෙන්නී

සිත වසඟ කරනා සිනාවට

‘පන්දම් වැට උඩින් හඳ පෑව්වා වැනී’ චන්ද්‍රාලෝකයෙන් පරිසරය ඒකාලෝක වූ වෙසක් පුන් පොහෝ දින රැයෙහි සුදුවතින් සිනාසෙමින් තරුණියක ඔහු දෙස බලමින් සිනා සයුරෙහි ගිලෙන අයුරු ප‍්‍රබල ඉන්ද්‍රිය රූප ජනනයට තුඩු දෙන්නේ කවියා රමණීය පද සංඝටනයෙහි ප‍්‍රකට කරන කුශලතා නිසාය. විලියම් හැස්ලිට් විචාරකයා ‘පරිකල්පනයේ හා මනෝභාවයන් ගේ භාෂාව වූ කලි කවිය’ යැයි පැවසූයේ එහෙයිනි. බැමි මුදාහැරීමට සූදානම් විවාහක ගැහැනියක කථකයා වසඟයට ගැනීමට හොරැහින් බලමින් කටාක්ෂ නිරීක්ෂණයෙහි යෙදෙන අයුරු කවියා නිරූපණය කර ඇත්තේ පුද්ගලයා සදාචාරය හා අනුරාගය අතර සංඝටනයකට යොමු කරමිනි. මිත‍්‍රත්වය අගයන ඔහු අනුරාගී හැඟීම් යටපත් කර ගන්නා අයුරු ‘මිතුරාගේ බිරිඳ’ පද්‍ය රචනයෙන් රූපණය වේ. කවියා ස්වයං විනයකින් හා ශික්ෂණයකින් යුතුව නිර්මාණකරණයෙහි නිරත විය යුතු වේ.

සමකාලීන විඥානය නිරූපණය කරන අනුභූතීන් ද බුද්ධිගේ නිරීක්ෂණයට යොමු වී ඇති අයුරු ‘මරණය’, ‘නිරෝධායන කවි’, ‘LOCK DOWN’ සමය නිම වූ දා’, ‘LOCK DOWN’ නොනගතය’, ‘ආසාදිතයාගේ ප‍්‍රශ්නය’, ‘වර්ජනයට පසුව නැවත පාසලට පැමිණි ගුරුතුමිය ගේ හදවතෙහි ලියැවුණු කවිය’ ආදි කාව්‍ය නිර්මාණවලින් පෙනේ. පසුගිය දෙවසරක කාලය මෙන්ම මේ වනතුරුත් මුළු ලෝකයම ගිලගෙන තිබෙන කොරෝනා රෝගය නිසා දහස් ගණන් ජනතාව ජීවිතයෙන් වන්දි ගෙවමින් සිටිති. නගර, ගම් දනව් වසා තැබීම නිසා වෙනදා මග තොටේ සැරිසරමින් විවිධ වැඩ කටයුතුවල නිරත වූ බාල, තරුණ වැඩිහිටි ජනතාවට ගෙවල් තුළ කොටු වී නුහුරු නුපුරුදු ජීවිතයක් ගත කිරීමට සිදු විය. හිතවතුන් සමග තබා අසල්වාසීන් සමග පවා සතුටු සාමිචියේ යෙදීමට අවකාශයක් නොවේ. විවිධ රටවල මිනිසුන් ගමන් කරමින් සිටියදී පවා හෙණයක් පතිත වූවාක් මෙන් මහ පොළොව මත වැටී ජීවිතයෙන් සමු ගැනීමට සිදු විය. මෙබඳු ව්‍යසනයකට මුහුණ නොදී සිටි ජනතාව මරණ බියෙන් මුසපත් වූහ. දැඩි මානසික අසහනයකින් ඔවුහු පෙළෙන්නට වූහ. සියවසකට වරක් සිදුවේ යැයි කියන මේ ව්‍යසනය කවීන්ගේ කවි සිත පවා නිහඬ කළද බුද්ධි එහිලා තමා විඳි අත්දැකීම් මෙසේ කවියට නැඟීමට පෙළඹීම අගය කළ යුතුය. කෝ. ආනන්ද හිමියෝ මේ රුදුරු ඛේදවාචකය තේමාව කරගෙන ‘කොරෝනා කාලේ කවි’ නමින් වෙනමම කාව්‍ය සංග‍්‍රහයක් මෑතකදී පළ කළහ. තවත් ප‍්‍රතිභාපූර්ණ කවීන් මේ තේමාව පාදක කරගෙන කවි ලියමින් සිටින්නට පුළුවන. ඛේදවාචකයක් තේමාව කරගන්නා කාව්‍ය නිර්මාණයකින් මරණය කැප වූ දෙයක් වුවත් මිනිසා නිරතුරු පෙළෙන මරණ බිය සංවේදී ලෙස පරිකල්පනය කොට ප‍්‍රතිනිරූපණයෙන් අපූරු කාව්‍ය නිර්මාණ රචනා කිරීමට පුළුවන. සිය කවිත්වය ගැඹුරින් ප‍්‍රදීපනය කළ හැකිය. කොරෝනාවෙන් මියගිය අය ලොකු කුඩා, උසස් පහත් භේදයකින් තොරව පොලිතින් දැවටුමක එතී දැවී ගියහ. අඩුම වශයෙන් ආගමානුකූල සිරිත් ඉටු කිරීමක් පවා සිදු නොවීය. ‘මරණය’ කවි පෙළෙන් කවියා උත්සාහගෙන ඇත්තේ මේ සත්‍යය අවලෝකනය කිරීමටය. කවියා ජන කවි ආරෙන් උත්තේජනය හා අනුප‍්‍රාණය ලැබ මෙහි ඇතුළත් ‘නිරෝධායන කවි’ රචනා කරයි. ජන කාව්‍ය රීතිය සමකාලීන අනුභූතීන් රූපණයට තුඩු දෙන සේ හැසිරවීමේ කුශලතාවක් කවියා ප‍්‍රකට කරයි.

දූ දරුවන් බිරිඳ මගෙ නෑ සියෝයා

නොදැක ගෙවෙන මෙහි දිවියක් නොවේයා

මෙලෙස සිරව ඉන්නට සිදු වුණේයා

කුමන පවක් කළේ දෝ පෙර දිනේයා

දෑත දෙපය යදමින් නො බැඳුණේයා

බීත සිහින නිරතුරු සිත ඇඳේයා

සීත රැයෙක හිස් අහසක් පෙනේයා

එවන් ලොවක මා දැන් තනි වුණේයා

කිසිදු මානව සබඳතාවකින් තොරව අඹු දරුවන්ගෙන් ඈත්ව හිස් අහසට ඇස් යොමාගෙන ගෙවන ජීවිතයේ පවත්නා නිස්සාරත්වය ධ්වනිත වන අයුරින් සංකල්පනා නිරූපණය කර ඇත්තේ මැකීයන කොරෝනා අවධිය රසික සිත්හි චිත්තරූප නැෙඟන අයුරිනි.

නිරෝධායනයට බැහැරට යෑමට සිදු වූ තනිව නිවසක වෙසෙන අසූවන වියේ සිටින මහල්ලකු ගේ සංවේදනා ‘ආසාදිතයාගේ ප‍්‍රශ්නය’ කව්පෙළෙන් රූපණය කිරීමට කවියා වෙරදරයි. ඔහු ගිය විට ගෙදර වෙසෙන සුරතල් සතුන් රැක බලා ගැනීමට, කෑම බීම දීමට කිසිවෙක් නිවසෙහි නොසිටිති. ඔහු බැහැරට යෑම ගැන දෙවරක් සිතන්නට පෙළඹෙන්නේ එහෙයිනි. මේ අත්දැකීම කාව්‍ය රචනයෙන් රූපණය කිරීමට කවියා දරා ඇති තැත එතරම් සාර්ථක වී නැත්තේ නිසිලෙස පරිකල්පනය වී ප‍්‍රතිනිර්මාණය වී නැති හෙයිනි. ඇතැම් තැන කවි නොවී වාර්තා ස්වරූපය ඉක්මවා නොගිය අයුරු මෙබඳු කාව්‍ය ඛණ්ඩයකින් පෙනේ.

‘නිල දරුවන් බලා සිටී

ඔහු එන තෙක්

සූදානමිනි ගිලන් රිය

සුරතලුන් ද බලා සිටී ඔහු දෙස

ගොළු වූ මුවින

කඳුළු පිරි නෙතින

අනේ අපි තනිකොට’

බුද්ධි බොහෝවිට භාවාත්මක බස්වහරක් භාවිත කොට ඇත ද ඇතැම් අත්දැකීම් නිසි පරිකල්පනයට හසු නොවීම මත වාර්තාරූපී බවක් ප‍්‍රකට කරයි.

පුද්ගල සංකල්පනා මෙන්ම ස්වභාවධර්ම බලවේග මත සිදුවන පරිවර්තනයද බුද්ධිගේ සමහර කාව්‍ය නිර්මාණවලට විෂය භූමිය වී ඇත. ‘බිනර සඳ නොදුටිමි’, ‘සිහිනයකට පසු’, ‘ඉරිතැලුණු පොළොව’, ‘හුදකලා කළුවර’, ‘දියණියකගේ කවි’, ‘වසන්තය හොරු අරං’, ‘මා කොතැනද’, ‘දරුවන් සමග වෙරළට ආ ගැහැනිය’, ‘මම හඬමි’, ‘ජීවිතය කවියක්’, ‘උත්ප‍්‍රාසය’ යන නිර්මාණ එයට නිදසුන්ය. මෙහි ඇතුළත් ඇතැම් කවි භාව නිරූපණ නිර්මාණ වේ. සුලලිත, රමණීය බස් වහරක් භාවිත කරන කවියා, රසික සිත් රසෝද්දීපනයෙන් කුල්මත් කිරීමට සමත් ය. මෙබඳු කවි රස විඳින රසිකයන්ට ‘පරිකල්පනයේ හා මනෝභාවයන්ගේ භාෂාව වූ කලි කවියයි’ පැවසූ විලියම් හැස්ලිට් මතකයට නැෙඟන්නට පුළුවන.

සමස්තයක් වශයෙන් ගත් විට ‘ඒ අසිරිමත් නොනගතය’ යම් අත්හදා බැලීම් ස්වරූපයකින් රචනා කරන ලද විවිධ අත්දැකීම් ක්ෂේත‍්‍ර පාදක කරගත් නිර්මාණවලින් රසිකයා පිනවීමට දරන ලද අගනා ප‍්‍රයත්නයකි. ඇතැම් නිර්මාණ පරිකල්පනයට හසු නොවූ හෙයින් වාර්තාරූපී ස්වභාවය ඉක්මවා නොගිය බැව් පෙනේ. එසේ වුවත් රසිකයාට සියුම් වින්දනයක් උකහා ගත හැකි රචනා මෙහි ඇතුළත්ය. කාව්‍යෝපක‍්‍රමවලින් අනුභූතිය අනවශ්‍ය ලෙස ආවරණය නොකිරීම බුද්ධිගේ කවියේ අනන්‍යතා ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

බුද්ධදාස ගලප්පත්තිගේ ඒ අසිරිමත් නොනගතය
advertistmentadvertistment
advertistmentadvertistment