‘බුද්ධි බතික්’ ඔස්සේ මෙරට බතික් කලාවේ පුනරුදයට මහත් සේ කැපවූවකු මෙන්ම ප්රකට චිත්රපට නිෂ්පාදකවරයකු, ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති හා මරදාන සිනෙසිටි සභාපති බුද්ධි කීර්තිසේන මහතා ඊයේ (17 දා) තම දිවිසැරියට සමු දුන්නේය.
‘සුජාතා’ (නව නිපැයුම) ‘යසෝමා’, ‘මිල්ලෙ සොයා’, ‘නිම්නයක හුදකලාව’ වැනි චිත්රපට නිෂ්පාදනය කළ බුද්ධි කලක් පුවත්පත් කලාවේදියකු ලෙස ද කටයුතු කර තිබේ. චිත්රපට අධ්යක්ෂ විශ්වනාත් බූඩි කීර්තිසේන සහ දර්ශී කීර්තිසේන යන දරුවන්ගේ පියාණන් වූ බුද්ධි කීර්තිසේන මහතා මියයන විට 83වැනි වියේ පසුවිය. ඔහු මෙරට සිනමා කර්මාන්තය මෙන්ම දේශීය ශිල්ප කලා නඟාසිටුවීමට මහත් සේ කැපවූවෙක් ද විය. ඒ මහතාගේ දේහය ඔක්තෝබර් 18 වැනි බදාදා (අද) උදේ සිට 19 වැනි බ්රහස්පතින්දා උදේ 9.00 දක්වා 158/3 ලේක්ඩ්රයිව් හි නිවසේ තැන්පත් කර ඇති අතර බ්රහස්පතින්දා දහවල් 12.00 සිට සෙනසුරාදා දක්වා දේහය කොස්වාඩිය බුද්ධි බතික් නිවසේ තැන්පත් කර තැබෙයි. අවසන් කටයුතු සෙනසුරාදා සවස 4.00ට කොස්වාඩිය සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
මහවැව – අමරනන්ද විජේසේකර