බුද්ධි තොරතුරක් ඇතුළත් පොලිසියේ රහස් ලිපියක් සමාජ මාධ්‍යයට ගිහින්

220

බස්නාහිර පළාත් පොලිස් බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමු කරන ලද බුද්ධි තොරතුරක් ඇතුළත් රහසිගත ලිපියක් සමාජ මාධ්‍යයෙහි පළවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ ලිපිය බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂවරයා විසින් ඉකුත් 23 වැනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත. පසුව දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පසු සටහන් තබමින් පොලිස් ප‍්‍රධානීන් කිහිප දෙනකුට එය යොමු කර ඇති අතර එසේ පසු සටහන් තැබූ ලිපියේ පිටපතක් ඊයේ (26 වැනිදා) වන විට සමාජ මාධ්‍යයෙහි පළ වී තිබිණි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් ඊයේ (26දා) අප කළ විමසීමකදී එම ලිපිය පිටතට යවනු ලැබුවේ කවරකු විසින්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් පැවත්වීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.

‘ඉන්ටර් ස්කූල්’ නමින් වට්ස්ඇප් කණ්ඩායමක් ඇති අතර එය අයිඑස් සංවිධානයට අයත් එකක් බවත් එයට සම්බන්ධ වුවහොත් යළි ඉවත් වීමට නොහැකි බවත් සඳහන් කරමින් වට්ස්ඇප් ඔස්සේ පළවන ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.

අදාළ වට්ස්ඇප් සටහන කලක සිට සංසරණය වන්නක් වන අතර එය අසත්‍ය සටහනක් බව රාජ්‍ය බුද්ධි සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment