බුද්ධ දේශනාව සහ කෘතිම බුද්ධිය අතර සම්බන්ධතාව සොයන පර්යේෂණවලට බිලියනයක් වෙන් කරනවා

52

ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සියවන සංවත්සරය

බුද්ධ දේශනාව සහ කෘතිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළ ද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බව ද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉකුත් 11 වැනිදා පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවැති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සියවන සංවත්සර සැමරුමට එක්වෙමිනි.

1924 වර්ෂයේ මැයි මස 11 වන දින ආතර් වී. දියෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතිය යටතේ ඉදි කරන ලද මොරටුව බෞද්ධ මන්දිර ශාලාව සඳහා 1925 දී මුල්ගල තබන ලදී. එම ගොඩනැඟිල්ල 1929 ජුනි මස 24 වැනි දින මොරටුව බෞද්ධයන්ගේ බෞද්ධ මුලස්ථානය ලෙස එවකට ලංකා ආණ්ඩුකාර හර්බට් ජේ. ස්ටැන්ලි මහතා අතින් විවෘත කෙරිණ. මොරටු මහා විද්‍යාලයට මුල්ගල තැබීම ද එදින සිදු විය.

වසර සියයක් සපුරන මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ අලුත්වැඩියා කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. අද පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස ආගමික වතාවත්වල නිරත වූ අතර මහ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සියවන සංවත්සර සැමරුම සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිවරයා එක්විය.මොරටුව බෞද්ධ සමිතියේ උප සභාපති ධම්මික චන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා විසින් සියවස් සමරු කලාපය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

මොරටුව බෞද්ධ සමිතියේ පැරණිතම සාමාජික රංජිත් ගමනායක, උප සභාපතිවරුන් වන ප්‍රදීප් ශ්‍රියන්ත ප්‍රනාන්දු, ධම්මික චන්ද්‍රනාත් ප්‍රනාන්දු, ගාමිණී පෙරේරා සහ ප්‍රාදේශීය ලේකම් කීර්ති පෙරේරා යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

අනතුරුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙත ද සමරු තිළිණ පිළිගැන්විණ.

මොරටුව මහා විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ ඉමාෂ ෂාවින්ද්‍ර ආශිංෂණ ශිෂ්‍යයා විසින් සිතුවම් කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත මොරටුව බෞද්ධ මන්දිරයේ චිත්‍රයක් ද මෙහිදී පිළිගන්වනු ලැබීය.

මේ වනවිට තිබෙන්නේ කෘත්‍රීම බුද්ධියේ ආරම්භක අවස්ථාවයි. තවත් දශක දෙකක් පමණ යන විට කෘත්‍රීම බුද්ධිය කොතැනින් අවසන් වෙයිද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. කෘත්‍රීම බුද්ධිය සහ බුදු දහම අතර තිබෙන සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳ අප අවධානය යොමු කළයුතුයි.

මොරටුවැල්ල ධම්ම නිකේතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර කල්‍යානිවංශික ශ්‍රී සද්ධම්ම යුක්තික නිකායේ මහ නායක පූජ්‍ය මාගාල්ලේ නාගිත හිමි, පානදුර සංඝ සභාවේ අධිකරණ සංඝ නායක කොරළවැල්ල වාළුකාරාම මහා විහාරාධිපති පූජ්‍ය නෑහින්නේ අරියඥාන හිමි, මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මොරටුව, ඉඳිබැද්ද ශ්‍රී සුධර්ම රත්නාරාම විහාරාධිපති පූජ්‍ය ගම්පොල සුගුණධජ හිමි, මොරටුව හොරේතුඩුව පුරාණ සාංඝිකාරාමයේ විහාරාධිපති, අඟුලානේ ඥානවිමල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය උඩුගම විමලකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment