බුදුදහම හා තරුණයෝ

128

සමස්ත ලෝක ධාතුව හා එහි ස්වභාවය පිළිබඳ යථාර්ථවාදී ඉගැන්වීමක් ඇති එකම දහම බුදුදහමයි. ඉකුත් ශත වර්ෂය තුළ විiාඥානය නිසා බටහිර ආගමික භක්තිය ශීඝ්‍රයෙන් දෙදරා ගොස් තිබේ. මේ නිසා බොහෝ දේවස්ථාන තරුණයන්ට විෂය නොවන විජන පෙදෙස් බවට හැරී ඇත.

 විiාඥානයත් සමඟ තර්ක බුද්ධියට වඩාත් නැඹුරු වන තරුණ පෙළ, යථාර්ථවාදී නොවූ ඉගැන්වීම කෙරෙහි අවනත කර ගැනීමේ දුෂ්කරතාවක් අද පැන නැඟී තිබේ. එසේම දේවස්ථාන විසින් අනුගමනය කරනු ලබන ධනවාදී වූ ද අධිරාජ්‍ය ගැති වූද ක්‍රියාමාර්ග තරුණ මනස විසින් තරයේ ප්‍රතික්‍ෂේප කරන ලද බවද පෙනේ. මේ නිසා තරුණයන් වඩාත් ආකර්ශනය කරගනු රිසියෙන් ඇතැම් ශාස්තෲන් කේන්ද්‍ර කොට ගෙන ඒ ඒ දහමේ සමාජවාදී දෘෂ්ටිය ඉස්මතු කර දැක්වීමේ ව්‍යාපාරයක එරික් ෆෝම් ෑරසජ ත්‍දරපපැා වැනි දාර්ශනිකයෝ නියැළී සිටිති.

 බුදුදහම වූ කලී යථාර්ථවාදී දහමකි. සමතිස් පෙරුම් දම් පුරා සාක්ෂාත් කර ගත් බුද්ධත්වය සමස්ත ලෝක ධාතුව හා එහි යථාර්ථය වටහා දීමෙහි සමත්ය. භක්තියට වඩා බුද්ධිගෝචර තර්කානුකූල දහමක් නිසා එය තරුණ මනසට වඩාත් ගෝචර වෙයි. එසේම බුදුදහමන තලන, මඩින වඩ වඩාත් සුවඳ දෙන සඳුන් ගැටයක් පරිද්දෙන් වඩ වඩාත් තරුණ සිත් පැහැර ගනී.

 බුදුදහම බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීමයි. ධර්මය ලොව පැවැත්තේය. එය බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලදී. “සාමුක්කංසික” යන පාලි පදය, සොයා ගැනීම යන අරුථින් පාලි සාහිත්‍යයෙහි භාවිත වී තිබේ. වන මැද ඇවිද ගිය පුරුෂයෙන් අතීතයෙහි මිනිසුන් ගමන් ගත් මගක ලකුණු දකී. ඒ මඟ යද්දී පැරැණි පුරවරයක නෂ්ටාවශේෂ හමුවෙයි. ඔහු පෙරළා පැමිණ රජුට මේ බව සැලකොට එම පුරවරය ප්‍රතිනිර්මාණය කරවයි.

 ඒ අතීත සම්බුදුවරයන් ගිය මඟය. බුදුරදුන් ඒ සොයාගත් මඟ ලෝකයාට පෙන්වා දෙයි. එසේම බුදුදහමෙහි ඇති තරුණයන්ට වඩාත් ගෝචර වන ලක්‍ෂණයක් නම් ඔවුන්ට ප්‍රශ්න කිරීමේ විචාරීමේ අවස්ථාව බුදුදහම විසින් අත්කර දී තිබීමයි. තර්ක න්‍යායට ගැළපුණු පමණින් හෝ තම අදහස් හා සැසඳුන පමණින් හෝ මතුපිට පෙනුම තිබුණු පමණින් හෝ ගුරුන් කී පමණින් හෝ නොපිළිගෙන ඔබට ප්‍රත්‍යක්‍ෂ වූ කල්හි පමණක් යමක් පිළිගන්නා ලෙස බුදුදහම උපදෙස් දෙයි.

 මේ වූ කලී තාරුණ්‍යයේ සුපුෂ්පිත අවධියේදී තරුණ මනස ආශ්වාදයට පත් කරන්නා වූ ආකල්පයකි. තරුණ සිත හීයක් මෙන් සෘජුය. වේගවත්ය. තර්කානුකූල නැති දේ ප්‍රතික්‍ෂේප කිරීම ඔවුන්ගේ පිළිවෙතයි. “ඒහි පස්සික” (ඇවිත් බලන්න) යන බුදුදහමේ ආරාධනය තරුණ සිතට ආකර්ශනයකි. බුද්ධ ධර්මය සර්වකාලීනය. නොවෙනස්වන සුළුය. එහෙත් බෞද්ධ සම්ප්‍රදාය කාලානුරූපව වෙනස් වන්නකි. යොවුන් ආකල්පවලට උචිත වූ කාලානුරූප වෙනස්වීම් බෞද්ධ සම්ප්‍රදාය තුළ සිදුවීමට ඉඩනොදීම තරුණයන් නොරුස්සන්නකි.

 යුරෝපීය තරුණයන් ආගමික ඉවත් වන වේගය සලකන විට අපේ තරුණ තරුණියෝ බහුතරය තවමත් පින් – පව් හොඳ නරක සලකති. යුරෝපයේ තරමට මව්පිය වැඩිහිටියන් නොසලකා නොහරිති.

 එහෙත් අපේ රටේද තරුණයන් ආගම භක්තිය වෙතින් ඈත් වන ප්‍රවණතාවක් දක්නට ඇත්තේ ඇයි? මෙය සමාජ විiාඥයන් විසින්ද පර්යේෂණාත්මකව සෙවිය යුත්තකි.

 බුදුදහමේ හරය ඉතා සරලාකාරයෙන් කැටි කොට දක්වන විට අපට දක්නට ලැබෙන ප්‍රධාන ලක්‍ෂණ තුනක් දැක්විය හැකිය.

 1. අල්පෙච්ඡතාව

 2. වැදගත්බව

 3. සංවරශීලීත්වය

 මේ මූලික ගුණාංගත්‍රය බෞද්ධ පිළිවෙත් පුරන ගිහි හෝ පැවිදි අය තුළ තිබිය යුතු යැයි අපේක්‍ෂා කිරීම අසාධාරණද? එසේ නම් අපේ බෞද්ධ විහාරස්ථානවල බෞද්ධ කේන්ද්‍රස්ථානවල මේ අනිවාර්ය ලක්‍ෂණ තිබිය යුතු වෙයි.

 සිදුහත් කුමරා සසර කලකිරවන පෙර නිමිති දැක ගිහි ගෙය හැරපියා යතැයි බියපත් සුදොවුන් මහරජු එසේ සිදුවීම වැළැක්වීමට එදා ක්‍රියාකලාක්මෙන්, අද වැඩිහිටියෝ තරුණයන් විෂම ප්‍රචණ්ඩ ප්‍රවණතාවලින් ගලවා ගැනීමට දැඩි ප්‍රයත්නයක යෙදෙති.

 ඒ ප්‍රමාණයන්ගෙන් මිදුන ද ඔවුන් පන්සලක් වෙත යැවීමට පොළඹවා ගැනීම අපහසුවී ඇත්තේ ඇයි? බොහෝ තරුණයෝ කුල ගොත් නොසලකති. ඒවායේ නිස්සාරතාවය ඔවුහු දනිති. එහෙත් වැඩිහිටියෝ කුලමානයෙන් ඉදිමී කුලීනෂීකම් හුවා දක්වති. කුලහීන යැයි සම්මත ජන කොටස් ගර්භාවෙන් පිළිකෙව් කරති. බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථාන තුළින් කුල හෙවත් ජාති ජන්ම පිළිබඳ භේද දුරැලීයෑමේ අදහස් ව්‍යාප්ත වී යෑමද ඇවැසි බැව් පෙනේ.

 බුදුදහමේ ඉගැන්වෙන අල්පේච්ඡතාවය බෞද්ධ මධ්‍යස්ථානය බෞද්ධ විහාරස්ථානය තුළින් දැකිය හැකිවිය යුතුය. අද ලෝකය ධනවාදී ආකල්ප සහිත මුදල් මත පදනම් වූ සමාජ ක්‍රමයක් ලෙසින් බිහිවී තිබේ. මේ නිසා බෞද්ධ ආචාර ධර්ම සාරධර්ම පිළිබඳ මිශ්‍රණය අද නාය යෑමකට ලක්වී තිබේ යැයි කීවොත් එය නිවැරදිය. ලෝක දේශපාලන පිළිවෙත මුදල් හා වෙළෙඳාම මත පදනම් වූ සමාජ ප්‍රතිෂ්ඨාපනය පිණිස දැඩි ලෙස කටයුතු කෙරෙන මාවතක් වී ඇත.

 මේ තත්ත්වය අභිබවා යෑමට අවශ්‍ය ධාර්මික නැගීම හා ආචාර ධර්ම වර්ධනය උදෙසා වන බලවේගයක් හෝ ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ගල් රෝලයට යටවූ හාපැටවකු මෙන් සාරධර්ම විනාශ වී යයි.

 මේ පසුබිම තුළ තරුණයන් පහසුවෙන් පොළඹවා ගත හැකි අසාර දහම ද මතු වෙයි. බුදුදහම කෙරෙන් ඇතැම් විට තරුණයන් පළායන්නේ මේ පෙළඹවීම්වල ප්‍රබලකම නිසාම නොවේ. බොහෝ සෙයින් විනාශ වීමට ඉඩ ඇත්තාවූද වෙනස්විය යුතු වූද බෞද්ධ සම්ප්‍රදාය දැඩි ලෙස රකින්නට යෑම නිසාය.

 අද ලොව සත්‍ය ගවේෂකයන් විසින් බුදුදහමේ අගය තේරුම්ගෙන ඇති ප්‍රමාණයට අපේ බෞද්ධයන් බුදුදහම පිළිගෙන ඇති ප්‍රමාණය මදිය. ඊට හේතු කවරේද?

 බුදුදහම ජීවන මාර්ගයක් ලෙස තෝරාගත් සමාජයීය ජන කොටස් අඩුවීම එයට ප්‍රධාන ලෙස බලපා ඇත. බුදුදහම “ප්‍රදර්ශන භාණ්ඩයක්” සේ සලකන අවස්ථාවන්ද අපහට පෙනෙන්නට ලැබී ඇත. වත්මන් සමාජයෙහි “සම්මා කම්මන්ත” යෙහි නොයෙදී අසීමිත ලෙස ධනය උපයන ව්‍යාපාරිකයන් ඇතැම් විට කැපී පෙනෙන ප්‍රභූන් ලෙස බොදු සමාජයෙහි ගෞරවයට පාත්‍ර වන අවස්ථාද එමටය. මෙවන් අයගේ රන් කහවුණු නිසා අපේ බෞද්ධ වටිනාකම් බෞද්ධ සාර පද්ධතීන් පවතින්නේ කොහේදැයි තරුණයන්ගේ සිත්හි ප්‍රශ්නාර්ථයක් ඇතිවන්නට පිළිවන.

 යට දැක්වූ පරිදි අල්පේච්ඡතාව ගෘහ ජීවිතයේ මෙන්ම සිද්ධස්ථානවලද ප්‍රමුඛ ගුණාංගයක් විය යුතුය. පෙර රජදරුවන් බුදුන් වහන්සේ නමට කැප කොට පූජා කළ ඉපැරණි වූද, ඓතිහාසික වූ ද “ධර්ම මණ්ඩපය” සැබෑ බෞද්ධ හැඟීමෙන් අගය කෙරෙන ධර්ම මණ්ඩපයක් විය යුතුය. සෘජු ලෙස යථාර්ථවාදීව ලොව දෙස බලන වත්මන් තරුණයන් වෙත එහි පැවිදි අව්‍යාජ ආදර්ශමත් භාවය පිළිබිඹු විය යුතුය. සැබෑ බොදු දහම පැහැදිලි වන්නේ එවිටය.

 ගිහි පැවිදි බෞද්ධ සමාජය ඇතැම් ව්‍යාජ හර පද්ධතීන් විසින් ගොදුරු කරගෙන සිටින බැවින් සමාජයේ මේ විෂම ප්‍රදේශ තුරන් කිරීම හෝ අඩු තරමින් අවම නොකොට තරුණයන් යළි මේ පින්කෙත වටා ඒකරාශී වෙතැයි සිතිය නොහැක. සෘජු ලෙස යථාර්ථවාදීව ලොව දෙස බලන තරුණයන්ට බුදුදහමේ ප්‍රභාව ඔවුන්ගේ දර්ශනයට ලක්වීම වැළැකී ඇත්තේ මේ විෂම බලවේග හේතුවෙනි. බුදුදහම කිසි ලෙසකින් තරුණයන් විසින් අත් හරිනු ලැබීමේ අතෝරයට ලක්විය යුතු නොවේ. ඒ සඳහා පූර්වාදර්ශී සමාජ බලවේගයක් ගොඩනැඟීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් වී තිබේ.

 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
 ● තිලකරත්න  කුරුවිට බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment