බුදුන්ගේ හා අගසව් ධාතු ප්‍රදර්ශන තායිලන්තයේ

782

ධාතු වන්දනාවට ජන ගඟක්

චීනයට එරෙහි දිල්ලියේ මෘදු රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද වස්තු බෞද්ධයෝ ධාතු නමින් හඳුන්වති. පාත්‍ර ධාතුව, පටි ධාතුව ආදී වශයෙනි. උන්වහන්සේ පිරිනිවන් පෑවායින් පසු ආදාහනය කොට ශේෂ වූ ඇට කැබලිති ද ධාතු නාමයෙන් හඳුන්වා ඇත. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ – රහත් ධාතූන් වහන්සේ තිබෙන තැන අභිවෘද්ධියට පත්වන බවද මතයෙකි. විශේෂයෙන් සීවලී ධාතුන් වහන්සේ තිබෙන තැනට ලැබීම ඇතිවන බව විශ්වාස කෙරෙති. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ කුසිනාරාව වැනි කුඩා රාජ්‍යයකදී ය. එම නිසා එම රජවරු ආදාහනය කරවා සර්වඥ ධාතු ඔවුහු ම සතු කරගෙන සිටියහ. මේ නිසා අනෙකුත් මහා රාජධානිවල රජවරු පැමිණ ධාතු ඉල්ලා යුද්ධයට සැරසුණහ. ඒ අවස්ථාවේ සැමගේ ම ආචාර්යවරයෙක් වූ ද්‍රෝණ බමුණුතුමා ඉදිරිපත්ව, බුදුරජාණන් වහන්සේ සාමය, සමගිය, අවිහිංසාව, කරුණා හා මෛත්‍රිය ඉතා උසස් අයුරින් අගය කළ ශාස්තෘවරයකු බවත් උන්වහන්සේගේ ධාතු බෙදා ගැනීමට යුද්ධ කිරීම උන්වහන්සේට කරන අගෞරවයක් බවත් පවසා ධාතු බෙදා දීමට ඉදිරිපත්ව ඇවිලෙන්නට ගිය මහා යුද්ධයක් සංසිඳ වූයේ ය. ඒ රජවරු තම තමන් ලත් ධාතු කොටස තම තමන්ගේ රට රාජ්‍යයන්ට ගෙන ගොස් චෛත්‍ය සාදවා නිධන් කොට පුද පූජා කළහ. පසුව ම ආ පිරිසට ලැබුණේ බුද්ධ දේහය ආදාහනය කළ තැන අඟුරු ය. ඔවුහු ඒ අඟුරු ගෙන ගොස් චෛත්‍යයක් සාදවා වන්දනා මාන කළහ. වර්තමානයේත් ලොව පුරා ධාතු ප්‍රදර්ශන පැවැත්වේ.

බුදුන්ගේ හා අගසව් ධාතු ප්‍රදර්ශන තායිලන්තයේ

අද අප කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ, අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා ඉන්දියාවේ සිට තායිලන්තයට වැඩමවීම පිළිබඳවයි. මේ ධාතු වන්දනාව සඳහා ලක්ෂ ගණනින් තායි බෞද්ධයෝ සහභාගි වන වන බව එරට මාධ්‍ය කියයි. බැංකොක් නගරයේ පැවති ධාතු ප්‍රදර්ශනය සඳහා ලක්ෂ ගණනින් තායි වැසියෝ පැමිණ තිබිණි. ඇත්තෙන්ම මේ අති උතුම් ධාතුන් වහන්සේලා තායිලන්තයට වැඩම කරවීම මගින් ඉන්දියාව විශේෂ රාජ්‍ය තාන්ත්‍රික පියවරක් අරඹා ඇත. ඒ බෞද්ධ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සහ අග්නිදිග ආසියාවේ චීන බලපෑමට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් මෙම උපායමාර්ගික වැඩසටහනකි. බුද්ධාගම හරහා සිය මෘදුරාජතාන්ත්‍රික බලය භාවිතා කිරීම දිල්ලිය කටයුතු කරන බව පෙනේ.

ඉහළ පෙළේ ඉන්දීය දූත පිරිසක් ධාතූන් වහන්සේලා බැංකොක් වෙත වැඩමවූ අතර එහිදී මේ පූජනීය වස්තුන් පෞද්ගලිකව පිළිගනු ලැබුවේ තායි අගමැති ශේත්තා තවිසින් විසිනි. බුදු රජාණන් වහන්සේගේ සහ ගෞරවනීය අග්‍ර ශ්‍රාවකයන් වන සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇතුළු මෙම ධාතූන් තායිලන්තයේ නගර හතරක දින 25 ක කාලයක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. නවදිල්ලියේ ජාතික කෞතුකාගාරයෙන් සහ මධ්‍ය ප්‍රදේශ්හි සාංචි හි ආරාමයෙන් වැඩමවා ඇති වූ ධාතූන් වහන්සේලා අතිමහත් වැදගත්කමක් දරයි. මේ ධාතු ප්‍රදර්ශනය ඉන්දියාව සහ තායිලන්තය අතර චිරස්ථායී මිත්‍රත්වය ශක්තිමත් කරනවා පමණක් නොව එරට වජිරලොන්කෝන් රජුගේ 72 වැනි ජන්ම සංවත්සරයට සමගාමී වේ. ථෙරවාදී ලෝකයේ එකම බෞද්ධ රජු ඔහුය. බැංකොක්හි සනම් ලුආන්ග් රාජකීය මාලිගා ක්‍රීඩාංගණයේ පැවති උත්කර්ෂවත් බෞද්ධ උත්සවයකදී සර්වඥ ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සඳහා විශේෂයෙන් ඉදිකරන ලද රතු-රනින් යුත් චෛත්‍යයක තැන්පත් කිරීමට ප්‍රථම ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදි. කාම්බෝජය, ලාඕසය සහ වියට්නාමය වැනි අසල්වැසි රටවල බැතිමතුන් ඇතුළු 100,000 කට ආසන්න නරඹන්නන් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගනිමින් මෙම ප්‍රදර්ශනය බෞද්ධ ලෝකය පුරාම ඉමහත් අවධානයට ලක්ව ඇත.

බුදුන්ගේ හා අගසව් ධාතු ප්‍රදර්ශන තායිලන්තයේ

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චීන රජය සිය බලපෑම තහවුරු කිරීමට දරන උත්සාහයන් මධ්‍යයේ, සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළින් ඉන්දියාව ක්‍රියාශීලීව කටයුතු කිරීම කැපී පෙනේ. ඇත්තෙන්ම ඉන්දියාවේ බුදුන්ගේ ධාතුන් වහන්සේලා 20 නමක් වැඩවසන අතර ඉන් හතර නමක් දැන් තායිලන්තය වෙත වැඩමවා තිබේ. ඇත්තෙන්ම චීනය ටිබෙට් කටයුතුවල ආධිපත්‍යය දැරීමට උත්සාහ කරන අතර, ඉන්දියාව අග්නිදිග ආසියානු ජාතීන්, විශේෂයෙන් තායිලන්තය සහ වියට්නාමය සමග ශක්තිමත් සබඳතා වර්ධනය කිරීමේ ප්‍රධාන උපක්‍රමය ලෙස ලෙස බුද්ධාගම යොදා ගනී. මේ උතුම් ධාතුන් වහන්සේලා තායිලන්තයේ චියැං මායි සිට උබන් රට්චතානි සහ ක්‍රාබි පළාත් දක්වා නගර හතරක ප්‍රදර්ශනය කරන අතර ඒ හරහා චීනයට එරෙහි ඉන්දියාවේ මෘදු බල රාජ්‍ය තාන්ත්‍රිකත්වය ප්‍රකට කරයි. ඉන්දියාව බෞද්ධ සම්ප්‍රදායන්හි ආරක්ෂකයකු ලෙස ප්‍රකට කිරීම එහි අරමුණ වේ. කවරක් නමුත් මෙය තායි බෞද්ධයින්ට වැදගත් අවස්ථාවකි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට ගෙන ශ්‍රී ලංකාද්වීප වාසීන්ට කපිලවස්තු සර්වඥ ධාතු වන්දනාවට ද වාසනාව උදා විය. දිල්ලි කෞතුකාගාරයෙහි ඇති එම කපිලවස්තු ධාතු බුදුරදුන් උපන් ලුම්බිණියෙන් හමුවීම පූජනීයත්වය වැඩි වීමට හේතු වී ඇත. නේපාලයේ කපිලවස්තු පුරය තුළ පවතින බෞද්ධ නටබුන් 1898 දී පමණ ඩබ්ලිව්.ජී. පෙප්පෝ පුරා විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලදී. ඔහු කළ කැණීම්වලදී එහි මංජුසාවක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති වැකියෙන් පැහැදිලි වූයේ බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කොට ඇති බවයි. බුදු දහමෙහි කලගුණ සැලකීම, පිදිය යුත්තන් පිදීම යන ගුණ ධර්ම උසස් ලෙස වර්ණනා කොට ඇත. ධාතු වන්දනාවෙනුත් ඉස්මතු කොට දක්වනුයේ ද එම ගුණධර්මයන්ම ය.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment