බුදුන් නමදින කැලණි පෙරහැර

422

දොළොස් මහක් ගෙවී ගොස් නව වසරක් එළැඹීමේ සන්තුෂ්ටියෙන් ජන හදවත් උද්දාමයට පත්වී ඇත. එකී උත්කෘෂ්ට අවස්ථාවේ ලාංකීය ජන සමාජයෙන් සකල ලෝවැසි දනන්ගේ අවධානයට යොමු කරවන ප්‍රථම බෞද්ධාගමික මහෝත්සවය කැලණි දුරුතු මහා මංගල්‍යයයි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය අනුස්මරණය කරනු වස් ආරම්භ කෙරුණු දුරුතු මහා පෙරහැර මෙවර ද ඉතා උත්කර්ෂවත් ආකාරයට පැවැත්වීමට සියලු කටයුතු සකස් වී හමාරය. මීට දශක 09කට පෙර එනම් වරෂ 1927 දී එවකට විහාරාධිපතිත්වය දැරූ පූජ්‍යපාද මාපිටිගම ධම්මරක්ඛිත නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි, සේදවත්ත වලව්වේ හෙලේනා විජේවර්ධන ළමාතැනියගේ, දොන් වෝල්ටර් විජේවර්ධන මැතිඳුන්ගේ සහ සතර පේරුවේ ක්‍රියාකාරී දායකකාරකාදීන්ගේ මූලිකත්වයෙන් මෙම දුරුතු පුණ්‍ය මහෝත්සවයේ ආරම්භය සිදු වූ බැව් ඉතිහාසය සාක්‍ෂි දරයි.

කැලණිපුර වරුණ පිළිබඳව යටගියාව හෙළිපෙහෙළි කරන කරුණු කාරණා බොහෝ ය. එවැනි නානාවිධ ඓතිහාසික ජනප්‍රවාදයන් අතර මණිඅක්ඛික නා රජුගේ වාසභූමිය වීමත්, රාම රාවණා යුද්ධයට සම්බන්ධ වීමත් එකී යුද්ධය ප්‍රකාරව විභීෂණගේ සිංසාසනාරූඪ වීම හා අනතුරුව විභීෂණ දෙවිඳුගේ බලසම්පන්න දේවභවන පිහිටීම ද විශේෂත්වයක් ගනී.

තවද මිණි පළඟක් අරභයා චූලෝදර – මහෝදර සහෝදරයන් අතර ඇතිවන්නට ගිය සටන සංසිඳුවීම සඳහා බුද්ධත්වයෙන් 5 වැනි වර්ෂයේ බක් මස පුර පසළොස්වක පොහෝ දා අප තිලෝගුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ බවත්, කැලණියේ මණිඅක්ඛික නා රජු ද එම අවස්ථාවේ බුදුන් පිදූවන් අතර සිටි බවත් සඳහන්ව තිබේ. එහිදී නා රජු බුදුන් වහන්සේගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධත්වයෙන් 08 වන වර්ෂයේ වෙසක් මස පුර පසළොස්වක පොහෝ දා රහතන් වහන්සේ සමඟින් බුදුරජාණන් වහන්සේ කැලණි පුදබිමට වැඩම කළ බව ද මහාවංශයේ සඳහන් වේ.

ඊට අමතරව අනෙකුත් ප්‍රධාන කතා අතර කැලණිතිස්ස රජු සමයේදී රජ බිසවගේ රහසිගත ප්‍රේම සම්බන්ධතාවක් හෙළිදරව් වීම හේතු ප්‍රකාරව රාජ උදහසට ලක්ව නිර්දෝෂී රහතන් වහන්සේ නමක් උණු තෙල් කටාරමේ දවා අපවත් කරවීමේ ශාපයට මහ මුහුද ගොඩගැලූ බවත්, එකී විපතින් දේශය මුදා ගැනීම පිණිස තම රූමත් ‘දේවී’ නම් කුමාරිකාව මුහුදට බිලි දීමත්, පසුව මුහුදේ පාවී ගිය දේවී කුමාරිකාව කිරින්ද වෙරළට සේන්දු වූ බවත් කියැවේ. අනතුරුව ඇය මාගම්පුර එවකට රජකළ කාවන්තිස්ස රජුට මුණගැසී ඇති අතර ඇය එම රජු විසින් සරණපාවා ගත් බව ද ප්‍රකටය.

එකී ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන කැලණි පුරවරය මායා රටේ අගනුවර ලෙසින් ද ප්‍රචලිතය. විවිධ රාජ්‍ය පාලකයන්ගේ පාලන ප්‍රදේශයක් මෙන්ම ආගමික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

අප රට ආක්‍රමණය කළ පෘතුගීසීන් හා ලන්දේසීන් යන පරදේශක්කාරයන්ගේ අණසකට නතුව ඔවුනගේ කෲරකම්වලින් කැලණි පුදබිම ද විනාශ වූ බව අමතක කළ නොහැක. එවැනි වධ බන්ධනයනට ලක්වූ මෙම බුද්ධ භූමිය නැවත ඉඩ ලද හැම විටම රජදරුවන් විසින් යළි යළිත් ප්‍රතිසංස්කරණයකොට රට තුළ විනාශ වී ගිය බෞද්ධ බලය නඟාසිටුවන්නට අවැසි ක්‍රියාකාරකම් මෙකී භූමිය තුළින් ක්‍රියාත්මක කරන ලදී. එලෙස කටයුතු කළ රජ දරුවන් අතර කණිට්ඨ තිස්ස, උත්තිය, තෙවැනි විජයබාහු, යඨාලතිස්ස, වෝහාරික තිස්ස, දෙවැනි පරාක්‍රමබාහු, 6 වැනි බුවනෙකබාහු සහ කීර්ති ශ්‍රී රාජසිංහ වැනි නරපතියන් ප්‍රමුඛත්වයක් ගෙන මහ මෙහෙවරක් ඉටුකොට ඇති බැව් වංශ කතාවන්හි සඳහන්ව ඇත.

වර්ෂ 1780 දී පමණ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කැලණි පුදබිම නඟාසිටුවීමේ ආගමික හා ශාසනික මෙහෙවර ඇරඹෙයි. ඒ අනුව සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍ය, දෙහිගස්පේ අත්ථදස්සී තෙරුන් වහන්සේ විහාරාධිපතිත්වයේ තබා කටයුතු මෙහෙයවූ අතර එතැන් පටන් උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය සංඝ පරපුර වශයෙන් බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝරක්ඛිත යන ත්‍රිවිධ රත්නයේ නාමමාත්‍රය මූලිකව විහාරාධිපතිත්වය පැවත එයි. ඒ අනුව පූජ්‍යපාද මාපිටිගම ධම්මරක්ඛිත නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ සමයේ ඇරඹි දුරුතු මහා පූජෝත්සවය උන්වහන්සේගෙන් පසුව අපවත් වී වදාළ මාපිටිගම බුද්ධරක්ඛිත, වත්තල ශ්‍රී සීලරතන, විiාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත යන යතිවරයාණන් වහන්සේගේ පාලන කාලයන්හිදී දුරුතු පෙරහැර ඉතා උත්කර්ෂවත් ලෙසින් සිදුකර ඇති බැව් පැහැදිලිය.

එලෙස ක්‍රියාත්මක වූ මෙම බුද්ධ වන්දනා පුණ්‍ය මහෝත්සවය වර්තමාන විහාරාධිපති කැලණිය විශ්වවිiාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ කාලීන අවවාද අනුශාසනා මත ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙවර දුරුතු පූජෝත්සවයට සමගාමීව පසුගිය ඉල් මස ආරම්භ වූ ධර්ම දේශනා මාලාවත් පරිත්‍රාණ ධර්ම දේශනා පිංකමත් ඒ වාගේ දොරකඩඅස්න පැවැත්වීම ද මේ වන විට අවසන්ව ඇත. ඉන් අනතුරුව පැවැත්වෙන උඩමළුවේ පෙරහැර අද (03 දා) දිනත් 02 වන වීථි පෙරහැර හෙට (04 දා) දිනත්, මහා පෙරහැර ජනවාරි 05 දිනත් පැවැත්වීමට නියමිතව ඇත. ජනවාරි 06 වැනි දිනට යෙදී ඇති දුරුතු පුර පසළොස්වක පොහෝ දින පෙහෙවස් සමාදන්වීමට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සැදැහැවතුන්ගෙන් කැලණි පුදබිම පිරී ඉතිරී යයි.

මෙවර පෙරහැර සඳහා ද උඩරට, පහතරට, සබරගමු යන සම්ප්‍රදායයන්ට අයත් නර්තනාංග මෙන්ම අලි ඇතුන් සීමා සහිත ප්‍රමාණයක් යොදා ගනිමින් රටේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන වියහියදම් අවම වන ආකාරයට අවධානය යොමු කරමින් පවත්වනු ලබන අතර සධාතුක කරඬුව වැඩම කිරීම කැලණි රාජමහා විහාරස්ථානයට අයත් කණ්ඩුල හස්තිරාජයා මතින් සිදුකරයි. දුරුතු මහා පෙරහැරේ සාර්ථකත්වය අරබයා කටයුතු මෙහෙයවීමේදී විහාරස්ථ දායක සභාවේ සභාපති රුසියාවේ හිටපු තානාපති විශේෂඥ වෛi සමන් වීරසිංහ මහතා, බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා මෙන්ම දායක සභාවේ නිලධරයන් ද, සෙසු දායකකාරකාදීන් ද ක්‍රියාකාරී මෙහෙවරක නියැළී සිටී. ඊට අමතරව රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතනවල සහයෝගය නොඅඩුව ලැබීම, පිංකම් මාලාවේ සාර්ථකත්වයට මහත් අස්වැසිල්ලක් වී ඇත.

නන්දලාල් සමරවීර
සභාපති
කැලණිය එක්සත් සුහද සමාජය

advertistmentadvertistment
advertistmentadvertistment