බුදුන් නොදකින පකිස්තාන බෞද්ධයෝ

1540

ගන්ධාරයේ පුරාණ බෞද්ධ විශ්වවිද්‍යාලයක් පැවැති තක්ෂිලාව ඉතා ප‍්‍රකටය. වර්තමාන තක්ෂිලා නගරය ඉස්ලාමාබාද් සිට කි.මී. 35ක් දුරින් පිහිටා ඇත.

ගන්ධාර බුදු පිළිම කලාව ලොව පුරා ඉතා ප‍්‍රකට ය. සිද්ධාර්ථ කුමාරයා දුෂ්කරක‍්‍රියා කරන අන්දම නිරූපිත ලොව ඉතා ප‍්‍රකට එම ප‍්‍රතිමාව ද ගන්ධාර බුදුපිළිම කලාවට අයත් ය. එය මෙකල පාකිස්තානයේ ලාහෝර් පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. ගන්ධාරය ආශි‍්‍රත වූ එම බෞද්ධ ප‍්‍රබෝධයට මුල් වූ කුශාන රාජ වංශික කණිෂ්ක රජු මෙහිදී අනිවාර්යයෙන් සිහිකළ යුතුය. ඔහුගේ කාලයේ මහායාන බුද්ධාගම බෙහෙවින් බැබළිණි. කනිෂ්ක රජු විසින් අසෝක රජුට පමණක් දෙවැනි වූ මහා බෞද්ධ සේවාවක් ඉටුකළ බව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මඟින් හෙළිව තිබේ. පාකිස්තානයට අයත් ගන්ධාර ප‍්‍රදේශයේ ප‍්‍රථම වරට බුදුපිළිම නිර්මාණය වූයේ ද මේ රජුගේ අනුග‍්‍රහයෙනි. එසේම එවක භාවිතා වූ කාසිවලද ප‍්‍රථමවරට බුදුරුවක් නිර්මාණය කර තිබිණි.

පසුගිය පෙබරවාරි මාසයේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා මෙරට සංචාරය කරන අතරතුර දෙරටේ නායකයින් අතර ඇතිවූ සාකච්ඡාවලදී පාකිස්තානයේ පුරාණ බෞද්ධ උරුමයට අයත් ගන්ධාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිය. පාකිස්තානයේ බුදු දහම මුල් බැසගන්නා ලද්දේ මීට වසර 2,300කට පෙර අශෝක අධිරාජයා යටතේ ය. නමුත් දැන් එරට සිටින බෞද්ධ ප‍්‍රජාව ඉතාම සුළුය. විකිපීඩියා පවසන්නේ එම පිරිස දෙදහසක් පමණ බවයි. මේ කතා කියන්නට සිත්වූයේ Pakistan’s Surviving Buddhist Communities in Danger of Extinction මැයෙන් ඩොන් පුවත්පතට දිපෙන් බරුවා ලියා තිබු ලිපියක් කියවීමට ලැබුණු නිසාය. එය කනගාටුදායක වාර්තාවකි. බෞද්ධයින් අතුගෑවී යෑම කවර ඛේදයක්ද?

ඉස්ලාමාබාද් නුවරට තරමක් ඈතින් පිහිටි තක්ෂිලා කෞතුකාගාරයේදී ‘‘පාකිස්තානයේ බෞද්ධ සහ ජෛන ඉතිහාසය ගවේෂණය කිරීම” මැයෙන් විශේෂ ප‍්‍රදර්ශනයක් ඔක්තෝම්බර් මුල් සතියේදී පැවැත්විණි. මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි සින්ද් පළාතේ නව්ෂරෝෆෙරෝස් දිස්ත‍්‍රික්කයේ බෞද්ධයින් පස් දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් පවසා සිටියේ ආගමික ස්ථාන, ආගමික ගුරුවරුන් සහ රජයේ සහයෝගය නොමැතිකම නිසා පකිස්තානයේ ඉතිරිව ඇති අවසාන බෞද්ධ ප‍්‍රජාව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවය. මෙම දූත පිරිසේ ප‍්‍රධානී ලාලා මුනීර් ඩෝන් පුවත්පතට පවසා තිබුණේ කුමක්ද? ”මෙවන් ප‍්‍රදර්ශනයක් පැවැත්වීම ගැන සංවිධායකයින්ට ස්තූතිවන්ත වෙනවා මෙහෙම එන්න ලැබුණ එකත් හොඳයි. අපිට සම්පූර්ණ ආගමික නිදහස තියෙනවා. එහෙත් වඳින්න පුදන්න වෙහෙර විහාර නැහැ. ආගමික උපදෙසක් ගන්න කෙනෙක් නැහැ. මේ නිසාම අපේ බෞද්ධ ප‍්‍රජාවම නැත්තට නැතිවෙලා යන අනතුරට මුහුණපාලා තියනවා, සින්ද් පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවුල් 650ක් පමණ බුද්ධාගම අදහනවා. අපි අපේ චාරිත‍්‍ර වාරිත‍්‍ර, උත්සව කටයුතු අපේ නිවෙස්වල සිදු කරනවා,” ඔහු කියයි. මේ ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජුමන් පවසන්නේ රජයේ මැදිහත්වීමෙන් බෞද්ධ විහාරයක් ඉදි කළ යුතු බවයි.

පැරණි ජනප‍්‍රවාද, පැරණි චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ ඔවුන්ට ඇති සින්ධි භාෂා ප‍්‍රකාශන කිහිපය මත පදනම්ව බෞද්ධ වතාවත් සිදු කරන බව ඔහු කියයි. 18 හැවිරිදි විත්රාන්ට් රාජ් බුදුන්වහන්සේ දුටුවේ පළමු වරටය. එනම් තක්ෂිලා කෞතුකාගාරයේදීය. ඒ නිසා ඔහු බෙහෙවින් සතුටට පත්ව ඇත. ‘‘ඇත්තටම මට අද හරි සතුටු දවසක්” මේ තරුණ බෞද්ධයා කියයි. පාකිස්තාන බරෝරි බෞද්ධ ප‍්‍රජාවගේ ප‍්‍රාදේශීය නියෝජිතයෙකු වන ලාලා රාජෝ රාම් සිය ප‍්‍රජාවට ඇතිව තිබෙන ඉරණම ගැන කනගාටුව පළකරයි. ”අපේ ප‍්‍රජාවේ බොහෝ මිනිසුන්ට පරිගණකගත ජාතික හැඳුනුම්පතක් වත් නැහැ. එතකොට පුරවැසි අයිතිවාසිකම් බලාපොරොත්තුවෙන්න පුළුවන්ද? අපේ ජනගහනය 16,000 ඉක්මවනවා. නමුත් ලේඛනවල සටහන් වෙලා තියෙන්නේ බොහෝ අඩු පිරිසක්.

පකිස්තානයේ සංස්කෘතික හා සංවර්ධන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නදීම් ඕමාර් ටරාර් පවසන්නේ වර්තමාන බෞද්ධ ප‍්‍රජාවට තමන්ගේ අතීත උරුමය ගැන නිසි අවබෝධයක් නොමැතිවීම කනගාටුවට කරුණක් බවයි. ඇත්තෙන්ම පාකිස්තානයේ පිහිටි එකම ක‍්‍රියාකාරී බෞද්ධ විහාරය ඉස්ලාමාබාද්හි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රදේශය තුළ පිහිටි විහාරයයි. මෙය ශ‍්‍රී ලංකාව වැනි රටවල්වල බෞද්ධ රාජ්‍ය තාන්ත‍්‍රිකයින් විසින් සිය ආගමික කටයුතු සඳහා භාවිතා කරනු ලබයි. පාකිස්තාන කතාවෙන් ලෝක බෞද්ධ ප‍්‍රජාවේ ප‍්‍රමාණය ගැන අවධානය යොමු කිරීම වටී. 2015 දී ලෝක ජනගහනයෙන් 7% ප‍්‍රමාණයක් බෞද්ධයින් වුවත් ඒ තත්ත්වය ක‍්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. වර්තමානයේ ලෝක ජනගහනයෙන් මිලියන 500කට ආසන්න පිරිසක් බෞද්ධයෝ වෙති. නමුත් 2060 දී ලෝක බෞද්ධ ප‍්‍රතිශතය 5% වන විට මුස්ලිම් ප‍්‍රතිශතය 31% දක්වා ඉහළ නඟී. එවිට ලෝකයේ ක‍්‍රිස්තියානි ප‍්‍රතිශතය 32%කි. 2015 දී ලොව වෙසෙන ක‍්‍රිස්තියානි ප‍්‍රතිශතය 31% ක් වන අතර 2060 දී ඔවුනගේ ප‍්‍රතිශතය වැඩිවන්නේ 1%කින් පමණි. නමුත් 2015 දී 24% වන මුස්ලිම් ජනගහනය 2060 දී 7% කින් වර්ධනය වෙයි. 2015 දී ලෝක ජනගහනයෙන් 15% ක් වූ හින්දු ප‍්‍රතිශතය 2060 දී 14% දක්වා පහළ බසී. 2015 දී ලොව වෙසෙන අන්‍යාගමිකයින්ගේ ප‍්‍රමාණය 16%ක් වූ අතර එය 2060 දී 13% දක්වාද පහළ බසී. මෙය අනාවරණය කර තිබුණේ වොෂින්ටනයේ පිව් පර්යේෂණ මධ්‍යස්ථානය විසිනි. ඒ මීට වසර දෙකකට පමණ පෙරය. බෞද්ධන්ගේ ඉරණමෙන් පසු ධර්ම කාරණාවකට අවධානය යොමු කිරීම වටී.

එක අවස්ථාවක බුදුන් මෙසේ වදාරා ඇත. ආනන්දයනි, මාගම (කාන්තාව) ගිහිගෙයින් නික්ම තථාගත ශාසනයේ පැවිදි නොවූ යේ නම් මෙම සසුන් බඹසර දීර්ඝ කාලයක් පවතින්නේ ය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පවතින්නේ ය. ආනන්දයනි, යම් හෙයකින් මාගම ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදි වූයේ ද එහෙයින් දැන් මෙම සසුන් බඹසර දීර්ඝ කාලයක් නො පවතින්නේය. දැන් කාන්තාව පැවිදි වූ දා පටන් පන්සියයක් වසරක් ශාසන සද්ධර්මය පවතින්නේ ය. කෙසේ නමුත් රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියන් ප‍්‍රකාශ කරන්නේ ශාසනයේ ආයුෂ අවුරුදු 5000 ක් යැයි කියන දේශනාවක් ත‍්‍රිපිටකයේ කිසිදු තැනක සඳහන් නොවන බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment