බුදුන් වහන්සේ, කාල්මාක්ස් සහ දේශපාලන විකට රූප!

485

මේ වූකලී බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳව සියලු සත්ත්වයන් භව සාගරයෙන් එතෙර කළ දස දෙස අප්‍රමාණ ප්‍රජාවගේ ගෞරවයට, පූජාවට මෙන්ම වන්දනාවට ද නිමිති වූ ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ බුදු මහිමයත් බුදු සිරිත හා බදු දහමත් කෘතවේදීව අනුස්මරණය කරනු ලබන වෙසක් සතියෙහි සමාරම්භයයි. ලෞකික පෘථග්ජන ජනතාව උදෙසා විමුක්ති මාර්ගය පමණක් නොව ඔවුන් පැටළී සිටින සමාජ අර්බුදවල මූල ස්වභාවය ද පෙන්වා වදාළ මහා පුරුෂයාණන් වහන්සේ ලෙස බුදුහු සියලු දෙව්, බඹ, මිනිස් සමූහය අබිබවා සිටිතියි බොදුනුවන්ගේ පිළිගැනීමය. බුදුන් වහන්සේ මෙයට සියවස් විසිපහකටත් වැඩි කලකදී භාරතයේ උපත ලද සුවිශිෂ්ට මහා පුරුෂයෙකැයි ඉන්දීය ඉතිහාසඥයන් පමණක් නොව බටහිර නොයෙක් ප්‍රාමාණික විද්වත්හු ද අවධාරණය කරති.

බුදුන් වහන්සේ වැඩ විසූ යුගය සමාජ, ආර්ථික පීඩනයෙන් ප්‍රකම්පිත දුක් භරිත එකක් විය. එදා පැවැති පාලනය විසින් තීව්‍ර කරන ලද සමාජ විෂමතාවක් ද විය. රුදුරු පාලකයන්ට අමතරව නිර්දය වෙළෙඳ පන්තියක් ද විය. පීඩිතයෝ ඒ වෙළෙඳ ග්‍රහණයට හසුවී මිරිකී ගියහ. නීතිය හා යුක්තිය වල්වැදී තිබුණි. කහවණු සියයක් සොරාගත් බලවතාට නීතිය අදාළ නොවීය. දුප්පතකු නම් එහිදී සිර දඬුවම් ලැබුණි. එළුවකු සොරකම් කළ දුප්පතකුට එළුවා අයිති බලවතාගේ දරුණු හිංසනයට යටත්වීමට සිදු වෙයි. ඒ වරද බලවතකුගෙන් සිදුවූ විට දුප්පතා වරද කළ අයගේ දෙපා මුල වැටී තම එළුවා ඉල්ලා බැගෑපත් වෙයි. යස ඉසුරින් පිරි මැඳුරුවල ධනවතුන් සිටියදී පැල්වත්වල දුගී ජනයා අව් – වැසි උවදුරු විඳ දිවි ගෙවූහ. දුප්පතාගේ ආහාරය සුන්සාල් බත් හා ඇඹුල් කැඳ විය. කසළ ශෝධකයන්ගේ දරුවෝ තැටියක් ගෙන සිඟා කෑහ. සාමාන්‍ය ජනයා තම දිළිඳු බව පෙර කළ කර්ම විපාකයක් සේ ඉවසූහ.

බුදුන් වහන්සේ මේ සමාජ විපත දැක ඒ දුක දුරලීම සඳහා දෙවිධියක සාරධර්ම පද්ධතියක් යෝජනා කළහ. එකක් ආධ්‍යාත්මික විසඳුමකි. අනෙක ලෞකික හා භෞතික ජීවිත සැලැස්මකි. ආත්මාර්ථය දුරලන පරාර්ථය පදනම් වූ ඒ ලෞකික උපදෙස්, සමාජ දේශපාලන සිද්ධාන්ත සමූහයක් ලෙස හැඳින්වීම ද නිවැරදිය. අර්ථ සම්පන්න පුද්ගල පෞරුෂයක් වර්ධනය උදෙසා ද ඒවා ඉවහල් වේ. ඒ සියල්ල ධර්මය ලෙස විස්තර වුව ද එවා පැහැදිලිවම යහපත් සමාජයක් ගොඩනංවා ගැනීමට උචිත සමාජ – දේශපාලන විශ්ලේෂණයක් ලෙස හැඳින්විය හැකිය. මේ සියල්ල බුදුසමය කෙරෙහි ජනතාව ආකර්ෂණය වීමට ද හේතු විය. ඒවා එකල ඉන්දියාවේ විසූ සියලු ශාස්තෘවරුන්, ආගමික ගුරුවරුන් හා වෙනත් දර්ශනවේදීන් ආදී සියල්ලන්ගේම ඉගැන්වීම්, විග්‍රහ පසුබැස්සවීමට තරම් ප්‍රබල ගැඹුරු හර පද්ධතියක් විය. සමකාලීන ජනයාට නිදහස, සමානාත්මතාව, නීතියේ ආධිපත්‍යය පිළිබඳ අලුත් හා ඉදිරි පියවරක් විය.

බුදුන් වහන්සේගේ ධර්මය විමුක්ති මාර්ගයක් හා ආධ්‍යාත්මික චර්යා පද්ධතියක් ලෙස පිළිගත් සමාජ-දේශපාලන විචාරකයන්ට ද ඒවා මානව සංහතියේ සනාතන අභිවෘද්ධියටත්, ජීවිතය පිළිබඳ සාධනීය අපේක්‍ෂාවන් ලබා දෙන්නක් ලෙස භාර ගැනීමට සිදුවිය. පුරාණ ඉන්දියාවේ ආර්ථික සමාජ ජීවිතය පුබුදුකරලීම සඳහා පදනමක් හෙවත් අත්තිවාරමක් වැටුණේ ද ඒ සමාජ දැක්ම නිසා බව කිසිවකුට බැහැර කළ නොහැකි විය. කුලීන ධනපති ප්‍රභූන්ගේ වහලුන් බවට පත්වූ වැඩවසම් චින්තන ක්‍රමය තුළ සිරගත වූ ඉන්දියානු සමාජය අලුතින් සිතීමට පටන් ගත්තේ, බුදුන් වහන්සේ පෙන්වා වදාළ සමාජ දේශපාලන වටිනාකම් නිසාය. බුදුන් වහන්සේ මානව නිදහස, සමානාත්මතාව, පුද්ගල වටිනාකම් මෙන්ම රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් දක්වන ලද ගැඹුරු හා පුළුල් විග්‍රහයන් පසුකාලීනව සමාජගත වූ ප්‍රජාතන්ත්‍රවාදය, මාක්ස්වාදය වැනි ඉගැන්වීම් සමග ද මනාව සැසඳුණි.

ලෝකප්‍රකට මාක්ස්වාදය සමාජගත කළ කාල්මාක්ස්ට පෙර සමාජ විෂමතාවට ප්‍රධාන හේතුව ධනය සමාන ලෙස බෙදී නොයෑමත්, සමාජය තුළ වෙනම ධනය රැස්කරගෙන සුඛ විහරණ විඳීමත් බව බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. පුද්ගලවාදී ධනවාදී සමාජයක නිෂ්පාදනයේ ප්‍රතිලාභ සාධාරණව බෙදී නොයෑම දරිද්‍රතාවට හේතු වන බව බුදුන් වහන්සේ වදාළ සූත්‍ර ගණනාවකම දැක්වේ. මාක්ස් ධනවාදය හෙළා දුටුවේද, එවන් සමාජයක මනුෂ්‍යත්වයට සාධාරණය යුකතිය ඉටු නොවන හෙයිනි. ධනවාදී සමාජයක මිනිසා ද භාණ්ඩයක තත්ත්වයට පත්වේ. මාක්ස්ට අනුව කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය වන භාණ්ඩය කෙබඳු එකක් දැයි ශ්‍රමිකයාට දැනගැනීමට නොහැකි වේ. ඔහු බොහෝ විට ඒ නිෂ්පාදනයේ අයිතියක් නැති පුද්ගලයෙකි. ඔහු ශ්‍රමය වැය කරන්නේ ද තෘප්තියකින් නොවේ. සමාජවාදයේ පරමාර්ථය මනුෂ්‍යයා වහල්භාවයෙන් මුදා ඔහුගේ පෞරුෂය වැඩීම බව ඔහු පෙන්වා දෙයි. මාක්ස්, ධනවාදයේ අංගයක් වන පාරිභෝගික සමාජය හෙළා දකියි. පාරිභෝගික සමාජය තුළ පුද්ගලයා අතෘප්තිමත් බව මාක්ස් පවසයි. ඒ සඳහා මුදල් සෙවීම කවර හෝ ආකාරයකින් සිදුවීම නිසා එය සමාජය අර්බුදයක් බවට පත්වේ. බුදුන් වහන්සේ සරල – චාම් ගුණය හුවා දක්වා මිනිසා ඒ තරගයෙන් ඈත් කිරීමට යෝජනා කරති. මිනිසා ආධ්‍යාත්මිකව පිරිහීමත් දුගීභාවයට පත්වීමත් ධනවාදී පාරිභෝගිකවාදය තුළ සිදුවන බව බුදුන් වහන්සේ දැඩිව අවධාරණය කර තිබෙන්නකි. මාක්ස්වාදය භෞතිකවාදය මත පදනම් වුවත් එහි මනුෂ්‍යත්වයට උචිත දයාව මෛත්‍රිය, ස්වාධීනත්වය උතුම් කොට සලකන බව ද පැහැදිලිය.

වර්තමාන සමාජ – දේශපාලන රාමුව, මුදල හා භෞතික සංවර්ධනය මත නිර්මාණය වූවකි. සමාජ සාරධර්ම නොතකන තෘෂ්ණාධික පුද්ගලයන්ගේ තරගය නිසා අපරාධ, ඝාතන, හොරකම් වැඩි වන බව ඉතා පැහැදිලිය. මුදල නිසා ස්වාමි භක්තිය මෙන්ම ආදරය, සමානාත්මතාව පවා අනතුරට ලක්වේ. සල්ලි දෙවියන්ගේ මල්ලි ලෙස ඒ සමාජය තුළ පිළිගැනීම නිසා සියලු මානව ධර්මතා සාරධර්ම බිඳවැටෙන බව බෞද්ධ සමාජ දැක්ම තුළින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේදී මාක්ස් ධර්මය හෙවත් මාක්ස්ගේ ඉගැන්වීම් මෙන්ම බුද්ධ ධර්මය නැතහොත් බුදුන් වදාළ ධර්මය ද වෙන වෙනම අවධානයට ලක්ව තිබේ. එහෙත් බුදුසමය දේශපාලනය බැහැර කර ඇතැයි පිළිගත් විද්වත්හු ද සිටිති. සුප්‍රකට සමාජ විද්‍යාඥයකු වන මාක්ස් මෙවර මේ මතවාදය අවධාරණය කරයි. බෞද්ධ දර්ශනයේ අග්‍රඵලය නිවන ලෙස සඳහන් වීමත් ඒ සඳහා චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය මත පදනම් වූ විග්‍රහයක් දැක්වෙන බවත් මේ මතය පිළිගන්නා අය පෙන්වා දෙති. එහෙත් බුදුන් වහන්සේ යෝජනා කරන සදාචාර මූලධර්ම තුළින් අපට සමාජ-දේශපාලන සම්බන්ධව ගැඹුරු විශ්ලේෂණයක් දැකගත හැකිය.

බුදුන් වහන්සේ දැහැමි පාලනයක් හා සාධාරණ සමාජයක් සඳහා නිර්දේශ ගණනාවක් යෝජනා කර තිබේ. මෙහිලා බොහෝවිට නිදසුන් ලෙස දැක්වෙන අග්ගඤ්ඤ, චක්කවත්ති සිහනාද, කූටදත්ත හා මහා පරිනිබ්බාන වැනි සූත්‍ර දැක්විය හැකිය. පරාභව, වසල, මංගල ආදී සූත්‍රවල ද යහපත් සමාජයකට යෝග්‍ය මූලධර්ම සඳහන් කර ඇත. බුදුන්ගෙන් උපදෙස් ලබාගත් ප්‍රකට රජවරුන් ලෙස කොසොල්, හා බිම්බිසාර නම් බෞද්ධ සාහිත්‍යයෙහි හමුවේ. අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන රාජ්‍යත්වයේ ප්‍රභවය මානුෂික සංස්ථාවක් පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී බීජය සමාජගත කිරීමක් ලෙස පිළිගනු ලැබේ. මිනිසා විසින් මිනිසාගේ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීම එහි හරයයි. ඒ මහජන නියෝජිතයා ජනතා කැමැත්තට පටහැනිව ක්‍රියාකරන්නේ නම් ඔහු නෙරපා හැරීමට ද ජනතාවට හිමිකමක් තිබේ. මෙය නූතන ප්‍රජාතන්ත්‍රවාදයටත් වඩා ඉදිරි පියවරකි. පාලකයා ජනතාවට වගකිව යුතු බව එහි අවධාරණය වේ. රාජාණ්ඩු ක්‍රමය හා සමූහ ආණ්ඩුක්‍රම යන පාලන ක්‍රම දෙකටම පොදු උපදෙස් ලබාදීමට බුදුන් වහන්සේ ක්‍රියාකළත් එක් ක්‍රමයක් අනෙක සමග සැසඳීමට උන්වහන්සේට අවශ්‍යතාවක් නොවීය. දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු යහපත් පාලනයක පැවැත්ම තහවුරු කරන්නක් බව ද බුද්ධ උපදේශය විය.

බුදුන් වහන්සේ වැඩ විසූ යුගය ක්‍රි.පූ. හයවන සියවස බව පිළිගනු ලැබේ. එදා තිබුණු සමාජ ආර්ථිකය වෙනස් කිරීමට බුදුන්ගේ ප්‍රතිසංස්කරණ යෝජනා බලපෑවේය. රාජ්‍ය පාලනය යහපත් බවට පත් කිරීමට මෙන්ම උත්තර සමාජයක් ගොඩනැංවීමට ද බුදුන්ගේ මඟපෙන්වීම හේතු විය. මාක්ස්ගේ යුගය 19 වැනි සියවසට අයත් ශීඝ්‍ර වෙනසකට මුහුණ දුන් යුරෝපයට බැඳී තිබුණකි. ධනවාදය පරාජය කිරීමේ අදහස මාක්ස්ට ඒ සමාජය විසින් කාන්දු කරන ලද්දකි. නිර්ධන පන්තියට සමාජ බලය හෙවත් රාජ්‍ය බලය අත්කර ගැනීමට ඔහු විප්ලවය පිළිගත්තේය. එය ලේ වැගිරවීමක් නොව සමාජ – ආර්ථික රටාව වෙනස් කිරීමක් ලෙස මාක්ස් විශ්වාස කළ බව ද සමහරු සඳහන් කරති. සාහසිකව, හිංසා මාර්ගයකින් බලය ලබාගැනීම මාක්ස් අනුමත නොකළ බව ද ඔවුන්ගේ අදහසය.

මාක්ස්ගේ දර්ශනය අළලා ලියැවුණු වැදගත් කෘතිවල මේ කරුණ සාකච්ඡා කර තිබේ. “කොමියුනිස්ට් විප්ලවය ස්වකීය ආත්මය වෙනස් කරන්නක් ලෙස දකින මාක්ස්, එය මිනිසාගේ නියම ස්වභාවය අත්පත් කර ගැනීමක් බව ද පවසා ඇත. ලෞකික සම්පත්වලට ගිජුවීම හා ආත්මාර්ථය නිසා ගිලන් වූ සමාජය සුවපත් කළ හැක්කේ ඒවා පරාජය කිරීමෙන් බව මාක්ස් පිළිගනී. මාක්ස්ගේ විප්ලවය මානව දහමක් නොව, හිංසා මාර්ගයක් ලෙස සමාජගත කළේ ධනවාදයේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටි අතළොස්සකි. කුමක් වුවත් මානවහිතවාදී සමාජ ප්‍රතිසංස්කරණයක් යෝජනා කළ මාක්ස් සමග බුදුන් වහන්සේ බඳු මහා පුරුෂයකු සැසඳිය නොහැක. අප මෙහිදී දැක්වූයේ බුදුන් වදාළ දර්ශනයෙන් පොදු සමාජය සඳහා අදාළ වූ විශ්ලේෂණවලින් ද බින්දු මාත්‍රයකි. බුදුසමය කිසිවිටෙක දේවවාදී ආගම්වල මෙන් සදාචාරයේ හා ආගමේ නාමයෙන් හිංසනය ද ඝාතනය ද අනුමත නොකරයි. ආගමේ නාමයෙන් ඝාතනය ශුද්ධ යුද්ධයක් ලෙස ද ඇතැම් ආගම්වල දක්වා තිබේ. සමාජයේ තිබිය හැකි උසස්ම පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය බව බුදුහු අනුමත කළහ.

එහෙත් බුදුන් වහන්සේට පරමාදර්ශී ලෞකික රාජ්‍යයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවක් නම් කිසි විටෙක නොවූ බව ද අවධාරණය කළ යුතුය. එසේම පීඩිත සමාජ කොටස් කෙරෙහි බුදුහු අප්‍රමාණිකව කරුණාභරිත වූහ. සමාජය විසින් ගර්හාවට ලක් කරන ලද පහත් කුලවලට අයත් අය බුදුසසුනට ඇතුළත් කරගත් ආකාරය බොදුනුවෝ දනිති. බුදු සසුනෙහි විනය නීතිය පිළිබඳ අගපත් උපාලි හිමියන්, පහත් යැයි සම්මත කුලයකට අයත් වූවෙකි. සුනීත හිමියන්, චාපා, පුණ්ණ වැනි චරිත ථෙර ගාථාවල විචිත්‍ර ලෙස දක්වා තිබේ.

බුදුන් වහන්සේට පවා සමථයකට පත්කළ නොහැකි වූ විඩූඪභ – ශාක්‍ය යුද්ධය මෙම කුලගර්වයේ භීෂණය හා වෛරය විදහා දක්වන අතිශය ඛේදජනක පුවතකි. පසේනදී කොසොල් රජු විවාහ වංචාවකට හසුකිරීම මේ විනාශකාරී යුද්ධයට හේතු වී ඇත. ශාක්‍යයන්ට පහර දී තම නෑසියන් සමූලඝාතනය කළ ඒ විනාශය කොතරම් කුරිරු කුලවාදී උමතුවක්ද? බුදුන් වහන්සේගේ විවේචනයට ලක්වූ කුලය, බ්‍රාහ්මණ හා උපනිෂද් ග්‍රන්ථවල අගැයුමට ලක්වූවකි. බ්‍රාහ්මණ උපත බ්‍රහ්මයාට සම්බන්ධ කර තිබුණු අතර ශුද්‍ර ලෙස හැඳින්වූ කොටසට මානව හිමිකම් පවා අහිමි විය. බුදුන් වහන්සේ හා වාසෙට්ඨි අතර වූ සංවාදයේදී ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ වෛශ්‍ය හා ශුද්‍ර යන කුලවල උසස් බව තහවුරු කිරීමේ ප්‍රයත්නය නිෂේධ කිරීමට බුදුහු සමත් වූහ. පුරාණ ඉන්දියාවේ නියත පීඩනයට ගොදුරු වූ කාන්තා නිදහස කෙරෙහි බලපෑවේ ද බ්‍රාහ්මණ ආධිපත්‍යයයි. බුදුන් වහන්සේ විසින් කොසොල් රජුට ස්ත්‍රීත්වයෙහි මහිමය පැහැදිලි කළ පුවත බෞද්ධ සාහිත්‍යයෙහි ද එයි. දිනක් කොසොල් රජු බුදුන් බැහැදැකීමට ගොස් සිටියදී රාජ දූතයකු පැමිණ මල්ලිකා බිසවට දියණියක් ලද පුවත සැළකර ඇත. එහිදී අපේක්‍ෂාභංගත්වයට පත් කොසොල් රජුට බුදුහු මෙසේ වදාළහ.

බුදුන් වහන්සේ, කාල්මාක්ස් සහ දේශපාලන විකට රූප!

“මහරජ ඇතැම් ස්ත්‍රියක් පිරිමියකුට ද වඩා ශ්‍රේෂ්ඨය. ඇය පෝෂණය කරන්න. නුවණැතිව ද සිල්වත්ව ද වැඩෙන ඇය පතිවත රකින යහපත් බිරිඳක්ව වෙසෙයි. ඇය ලබන පුතෙක් දක්ෂයෙක් වෙයි. හෙතෙම රාජානුශාසනා කරන්නෙක් ද වේ.”

කාන්තා විමුක්ති සංවිධාන, කාන්තාවාදය අද සමාජ දේශපාලනයෙහි ද දැකගත හැකිය. එහෙත් තවමත් ස්ත්‍රියට දේශපාලනය තුළ නියමිත බුහුමන ලැබී තිබේ ද? අද තිබෙන ස්ත්‍රී හිංසන මෙන්ම ගෘහස්ථව ඇයට විඳීමට සිදුවන පීඩා කෙබඳු දැයි අමුතුවෙන් කිව යුතු නැත. රටක ශිෂ්ටත්වය විදහා දැක්වෙන නිශ්චිත ලකුණ වන්නේ එරටේ ස්ත්‍රීන්ට දක්වන ගෞරවය හා ඔවුන්ට සලකන ආකාරය යැයි ජගත් පූජිත බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් ද වරක් සඳහන් කර ඇත.

මේ සියල්ල විමසා බලන ප්‍රබුද්ධ පුරවැසියකුට හැඟෙන්නේ, අද මේ රට දේශපාලන වනාන්තරයක් බවය. එහි බුදු උපදෙස්, ඒ සමාජ සාරධර්ම හුදු සැරසිලි බවට පත්ව තිබේ. දේශපාලනය යනු සමාජයක් සුපුෂ්පිත කරනු ලබන උත්තරීතර ව්‍යාපාරයකි. එය සුපෝෂණය වන්නේ සමාජ සාරධර්ම, මානුෂික වටිනාකම් වලින් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී උල්පත්වලින්ය. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටකැයි යන හැඳින්වීම කෙතරම් උචිත ද? යෝග්‍ය ද? යන්න පවා ප්‍රශ්නයකි. අදත් දේශපාලනයේ එකම අරමුණ ‘බලය’ පමණි. බලය රඳවා ගැනීමටත් බලය අත්පත් කර ගැනීමටත් දේශපාලන නායකයෝ මැදිහත්ව සිටිති. මේ දේශපාලන බල අරගලය සඳහා ඔවුන් ගුරු තැන්හි තබාගනු ලබන්නේ කෞටිල්‍යගේ හා මැකියාවෙලි වැනි අයගේ ඉගැන්වීම්ය. මේ චරිත දෙකම අතිශය විවාදාත්මකය. මැකියාවෙලි හා කෞටිල්‍ය යන දෙදෙනාම දාර්ශනිකයන්ට වඩා දේශපාලන බලය පිළිබඳ සූත්‍ර සැකසූ රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ වූවෝය. බලය යනු ආචාරධර්ම හා සදාචාරය නොතකමින් අත්පත් කරගත යුතු පරමාර්ථයක් ලෙස මැකියාවෙලි ඔහුගේ ‘ද ප්‍රින්ස්’ නම් කෘතියෙන් පෙන්වා දෙයි. පාලකයාගේ කාර්ය බලය ලබාගෙන එය තහවුරු කර ව්‍යාප්ත කිරීමය. ඒ සඳහා යුක්ති සහගත නොවන දෙයක් වුව ද කළ හැකිය. බලය යනු යුක්තියෙන් හා ධර්මයෙන් ඉවත් කළ යුතු දෙයක් බව ඔවුන්ගේ අවධාරණයයි. මැකියාවෙලිට අනුව පාලකයා සර්වබලධාරියෙකි. කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය ද කූට පාලනයකට වුවමනා සියලු උපදෙස්වලින් සමන්විත කෘතියකි. කෞටිල්‍යගේ න්‍යාය සඳහා ඉන්දියාවේම සිටි පූර්වගාමීන්ගේ අදහස් උපකාර වූ බව ද කියති. සාම්ප්‍රදායික ඉන්දියාවේ ඔහුගේ බලපෑම අඛණ්ඩවම තිබුණු බව පසුකාලීන සමාජ දේශපාලන විචාරකයෝ ද පිළිගනිති. සුප්‍රකට භගවත්ගීතාවෙහි එන්නේ ‘යුද්ධයෙන් මරුමුවට වැටෙන ඔබට දෙව්ලොව දොරටු විවර වන’ බවකි. එහෙත් බුදුසමය ඒ අදහස ප්‍රතික්ෂේප කරයි. අශෝක අධිරාජ්‍යයා විසින් සිය යුද පිළිවෙත අත්හරින ලද්දේ බුදු දහම නිසා බව ද සඳහන් වේ. ඉන්දියාවේ කීර්තිමත් අගමැතිවරයකු වූ ශ්‍රී නේරු වරක් ප්‍රකාශ කර ඇත්තේ ද සාමයේ පදනම ශක්තිමත් කිරීමෙන් ලෝකය ද වෙනස් කළ හැකි බවය. ඉන්දියාව සම්බන්ධයෙන් කියන්නේ නම් ඇයට ආක්‍රමණයක් සිදු නොකරන්නේ නම් ඇය අනාගත යුද්ධයක කොටස්කරුවකු නොවන බව ද නේරු පවසා තිබේ.

ඉහත සඳහන් කළ පරිදිම මේ මොහොත මෙරටේ දේශපාලන බල අරගලයේ අතිශය තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරයි. ඒ එළැඹෙන ජනාධිපතිවරණය හා මහමැතිවරණය මුල්කරගත් බල සටනකි. ඇත්තටම මුලින්ම එන්නේ කවර මැතිවරණයක් ද යන්න පවා කිසිවකුට නිශ්චිතව කිව නොහැකිය. මෙරටේ මැතිවරණය තීරණය කරනු ලබන්නේ ද දේශපාලන බලය සහිත පාර්ශ්වය විසිනි. මැතිවරණ කොමිසම කුමක් සඳහා දැයි විටෙක සිතේ. පොදුජන පෙරමුණට තවමත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් ද නැත. රාජපක්‍ෂ පවුල උරදී සිටින්නේ පාලන බලය තම පවුලෙන් ගිලිහී යෑමේ උභතෝකෝටිකයට ය. ජනාධිපති රනිල් පස්මහ බැලුම් බලන්නේ බලය නිසැකවම ලබාගත හැකි උපායක් නැති පසුබිමක අත්විය හැකි ඉරණම පිළිබඳ චකිතය නිසාය. පසුගිය මැතිවරණයේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ එජාපය සමග සන්ධානගත වීමෙන් තම පක්‍ෂයට සිදුවිය හැකි අලාභය දේශපාලන කෞටිල්‍යයකු වන මහින්දටත් දැනේ.

ජනාධිපති රනිල් මෙතෙක් හැම දේශපාලන තීන්දුවක්ම රැගෙන ඇත්තේ පොහොට්ටුවේ ඔළුගෙඩි සංඛ්‍යාව නිසා බව හොඳින්ම දැන දැනත් මහින්ද රටට පේන්නට විහිලු නිවේදන කරයි. ඔවුන් විසින්ම පත්කර ගන්නා ලද ජනාධිපති රනිල් සමග එකඟ නොවන බවට ඇඟවුම් පවා සිදු කරයි.

සෝදාපාළුවට ලක්වූ එ.ජා.පය හිස ඔසවා තිබෙන්නේ ජනාධිපති රනිල්ගේ හයියෙන් බව දැන් කරළියට පැමිණ සිටින පරාජිත එ.ජා.ප. දේශපාලනඥයෝ ද දනිති. ජනාධිපතිවරණ ප්‍රතිලාභ අපේක්‍ෂාවෙන් සිදු කෙරෙන ඇතැම් ක්‍රියාකාරකම් සඳහා විපක්‍ෂ මෙන්ම සිවිල් සංවිධාන ද විරෝධය දක්වති. මුදල් නැතැයි දාහක් කතන්දර කී ආණ්ඩුව දැන් පළාත් පාලන බල ප්‍රදේශවල සංවර්ධනයට මුදල් වෙන් කිරීම ද උත්ප්‍රාසයට වඩා දේශපාලන සටකපටකම් විදහා දක්වනසුලුය. තම පක්‍ෂවල දේශපාලන විකටරූප බලගැන්වීම එහි අරමුණ බව සැඟවිය නොහැක.

හිටපු ජනාධිපතිවරුන්ගේ නඩත්තුව සඳහා ජනතා මුදල් කෝටි ගණනින් වැය කළ යුත්තේ ජනගහනයෙන් 68%කට කෑම වේලාක් ලබාගත නොහැකි පසුබිමක බව ජා.ජ.බ. අනුර කුමාර දිසානායක කියද්දී, තවත් මන්ත්‍රීවරුන් පිරිසක් තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා සිටිති. දූෂණය, වංචාව වැළැක්වීම ගැන ආණ්ඩුවේ අඬහැරය කුමක් වුවත් මේ වනවිට ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු හා හිටපු රාජ්‍ය ඇමැතිවරියක සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ දේශපාලන සදාචාරය පමණක් නොව ජනතා මුදල් අවභාවිත කිරීම ගැන ද චෝදනා විවේචන නැඟෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය නොවන්නට මේ අමන දේශපාලන හැසිරීම් පාලනය කිරීමට ද නොහැකි වනු ඇත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment