බුදු දහමින් ජ්‍යොතිෂ විද්‍යාව ප්‍රතික්‍ෂේප වේද?

280

සිද්ධාන්ත හෙවත් ගණිත, හෝරා හා සංහිතා යන ත්‍රිත්වයේ සංකලණයෙන් සුසැදි ජ්‍යොතිෂ ශාස්ත්‍රය භූගෝල විද්‍යාවත් තාරකා විද්‍යාවත් පදනම් කරගත් විශිෂ්ට ගණිත ශාස්ත්‍රයකි. ජෝති යනු, ආලෝකය හෙවත් බැබළීම යන අරුතයි. ඉංග්‍රීසි භාෂාවෙන් Astrology ලෙස හඳුන්වන ජ්‍යොතිෂ විද්‍යාව ග්‍රීක භාෂාවේ Astra yd යන වචනවලට නෑකම් කියයි. ජ්‍යොතිෂය උගත් බොහෝ දෙනා පවසන පරිදි ජ්‍යොතිෂ විද්‍යාව වසර 5000කටත් වඩා පැරණිය. සත්‍ය වශයෙන්ම ගතහොත් උතුම් ජ්‍යොතිෂය විද්‍යාව වසර ලක්‍ෂ ගණනක් පැරණි විය හැක. එය එසේ වනුයේ, ජ්‍යොතිෂ විද්‍යාව වත්මන් කලියුග වර්ෂය වූ 5121ට පෙර පැවැති යුගය වූ ද්වාපර යුගයේ විසූ සෘෂි උතුමන් වහන්සේලා උපැද්ද වූ නිසාවෙනි. ද්වාපර යුගය වර්ෂ 864,000ක් තරම් දිගුය. එනිසා ජ්‍යොතිෂ විද්‍යාවත් බොහෝ විට එතරම්ම පැරණි විය හැක. එය එසේ වනුයේ අටළොස් සෘෂි උතුමන් වහන්සේලා බහුතරයක් ද්වාපර යුගයේ කවර වර්ෂවල වැඩ සිටියාදැයි කිසිවකු නොදන්නා බැවිනි.

ජ්‍යොතිෂ විද්‍යාව ඉතාම ගැඹුරු ශාස්ත්‍රයකි. දිසි අදිසි ආකාශ වස්තූන් පෘථිවි වාසී මනුෂ්‍යයා කෙරෙහි කරන බලපෑම් පුරෝකථනයට ජ්‍යොතිෂ විද්‍යාව තරම් තවත් ශාස්ත්‍රයක් නැත. එසේම ජ්‍යොතෂ ශාස්ත්‍රය යනු, අචින්තය වූ කර්ම විෂය කරණකොට නව ග්‍රහයන් ගෙන දෙනා අපල සඵල මනුෂ්‍යයා කෙරෙහි බලපවත්නා ආකාරය සැලකිය යුතු දුරකට හෝ නිවැරදිව අවබෝධ කරගත හැකි එකම ශාස්ත්‍රය ද වේ. පුළුල් පරාසයක විසිරී පවතින ගැඹුරු ශාස්ත්‍රයක්වූ ජ්‍යොතිෂ විද්‍යාව මහා සාගරය බඳුය. එමඟින් කර්ම විපාක ශක්තිය මොනවට විදහාපායි. එනිසාම සැඟවුණු අතීතයේ වූ දෑ ද තවම මතු නොවූ අනාගතයෙන් විය හැකි දෑ ද මොනවට අනාවරණය කර ගත හැක.

අර්ථාන්විත බුද්ධිගෝචර ශාස්ත්‍රීය පදනමකින් යුතු තර්කානුකූල මාහැඟි උතුම් දිව්‍යමය විෂයක් වූ ජ්‍යොතිෂය නියතවාදි නොවන නිසාවෙන්ම මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසාම යොදාගත යුතුය. ඒ සඳහා ජ්‍යොතිෂය දැන උගෙන නිවැරදිව භාවිත කර අතීතයේ වූ ග්‍රහ පිහිටීම්වලින් පාඩම් උගෙන මනුෂ්‍යයන්ට අනාගතයේ වන විපත් උවදුරු ආදිය කල්තියා දැන ඊට අවැසි ප්‍රතිකර්ම, වත්පිළිවෙත් ආදිය ඉෂ්ට කර එම අපල උපද්‍රවයන්හි දැඩි බව සමහන් කිරීම හෝ සහමුලින්ම වළකා ගැනීම සිදුකළ හැක. කෙසේ නමුත් එවන් වටිනා ශාස්ත්‍රයක් වන ජ්‍යොතිෂ විද්‍යාව යම් පමණ හෝ නිවැරදිව වටහා අවබෝධ කරගැනීමට ද ඉන් යම්තාක් දුරට හෝ ඵල ප්‍රයෝජන ලැබීමට ද ඒහා සබැඳිව යම් යම් අර්ථ කථන, තර්ක විතර්ක, යෝජනා චෝදනා, මතවාද ආදිය ඉදිරිපත් කිරීමට ද නම් පළමුව ජ්‍යොතිෂ විද්‍යාව; නිසි උගත් වියත් ප්‍රවීණ දක්‍ෂ ගුරු ඇසුරක් යටතේ සැලකිය යුතු

ගැඹුරකට හැදෑරිය යුතුමය. එසේ හදාරා එහිදී පවත්වනු ලබන පරීක්‍ෂණාදිය තම තමාට හැකි උපරිම ඉහළ මට්ටමින් සමත් විය යුතුය. මෙය හුදෙක් ශාස්ත්‍රයන්හි පැවැත්ම උදෙසා අනිවාර්ය විය යුත්තකි. කෙසේ නමුත් අදටත් අප කාගේත් වාසනාවට එවන් උගත්, වියත්, දක්‍ෂ, පරිණත බුද්ධියකින් යුතු ජ්‍යොතිෂ විෂය උගන්වන ගුරුවර ගුරුවරියන් දිවයින පුරා නන්දෙස විසිරී සිටී. එනිසා සැලකිය යුතු වසර ගණනාවක් ඔවුන්ගේ ගුරුහරුකම් ලබා මෙම වටිනා දිව්‍යමය උතුම් ශාස්ත්‍රය ක්‍රමානුකූලව සංයමයෙන් ගුරු භක්තියෙන් යුතුව දක්‍ෂව නිවැරදිව උගත යුතුය.

එසේ නොමැතිව මාස කිහිපයකින්, සති කීපයකින්, දින කීපයකින් ආදී ලෙසත් අනේක විධ වැරදි සහගත කෙටි සරල ක්‍රම භාවිතයෙනුත් අතිධාවනකාරී ලෙස ජ්‍යොතිෂ විද්‍යාව ඉගෙන අවසන් කිරීමට උත්සාහ කිරීම කිසිසේත්ම ප්‍රතිඵලදායක නොවේ. එසේම එය කිසිදා ප්‍රායෝගිකව සාර්ථක ද නොවේ. බොහෝ දෙනෙක් නොදන්නවා වූවාට සමස්ත ජ්‍යොතිෂ විද්‍යාවෙන් 80%කටත් අධික ප්‍රමාණයක් විවිධ ගණිත කර්මම වේ. ඒවා හුදෙක් නැකැත් හා සබැඳි හෝරා කොටසටත් පලා පල කථනය හා සබැඳි සංහිතා කොටසටත් ඍජුවම අදාළය. එනිසා ජ්‍යොතිෂ ගණිතය පිළිබඳ නිසි පළුල් හැදෑරීමකින් තොරව මෙන්ම එම ගණිත කොටස් සම්බන්ධ නිසි අවබෝධයකින් තොරව හුදෙක් පරිගණක මෘදුකාංග භාවිතයෙන් පමණක්ම ජ්‍යොතිෂ කටයුතු සිදුකිරීම කොතෙක් දුරට සාරථක ද යන වග සිතා බැලීම වටී. 19 වැනි සියවසේ අග භාගයේ අ.පො.ස. උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් හදාරා සමත් වූ මා කොයි ලෙසකටවත් නවීන විද්‍යාව මෙන්ම නවීන තාක්‍ෂණය ප්‍රතික්‍ෂේප නොකරමි. එනිසාම විද්‍යාත්මක ගණක යන්ත්‍රය, පරිගණකය, ස්කෑනරය, පින්ටරය ආදී දියුණු නවීන තාක්‍ෂණික මෙවලම් ද වටිනා බොහෝ දුරට නිවැරදි පරිගණක මෘදුකාංගයන් ද ඒවාහි උපයෝගිතාව නොසලකා එක හෙළාම ප්‍රතික්‍ෂේප නොකරමි. මා එසේ කරනුයේ මෙන්ම කියනුයේ මන්දයත් කොතෙක් නිවැරදි ජ්‍යොතිෂ පරිගණක මෘදුකාංගයකින් වුවද නිසි ඵල ප්‍රයෝජන උපරිමයෙන් ලැබීමට නම් එය භාවිතා කරන්නා මැනවින් ජ්‍යොතිෂය වසර ගණනාවක් හොඳින් ප්‍රගුණ කර තිබිය යුතු නිසාය. එසේම මෙවැනි මෘදුකාංග භාවිතා කරන්නා පරිගණකයට යම් යම් දත්ත ආදිය කැවීමෙන් ලබාගන්නා පිළිතුරුවල නිරවiතාව අතින් ගණනය කර සසඳා බැලීමට සමත් විය යුතුය. එවැනි තත්ත්වයක් මත පවසන පලාපල ආදියේ නිරවiතාව 100%ක උපරිමයටම ළඟා කරගත හැක.

ජ්‍යොතිෂ ශාස්ත්‍රය වනාහි කිසිම ආගමක ඉගැන්වීමකට අයත් ශාස්ත්‍රයක් නොවේ. එසේම එය බොහෝ දෙනෙක් සිතා සිටිනා පරිදි ගුප්ත ශාස්ත්‍රයක් ද නොවේ. එහි ඇති ගුප්ත බවක් නැත. එය තර්කානුකූල විවෘත සථ්‍ය වූ විෂයකි. පාර විද්‍යාවක් වූ ජ්‍යොතිෂ විද්‍යාව වර්තමාන සියලු ආගම් හා දර්ශනවලට වඩා අතිශයින් බොහෝ පැරණිය. සකල ලෝකවාසී මනුෂ්‍යයාගේ යහපත, අභිවෘද්ධිය, ආරක්‍ෂාව උදෙසා නිර්ලෝභීව ගුරුමුෂ්ටි සැඟවීමකින් තොරව ද්වාපර යුගයේ විසූ තුන්කල් දුටු පංච අභිඤ්ඤාලාභී අෂටසමාපත්තිලාභී ඍෂි උතුමන් වහන්සේලා ලොවට දායා ද කළ විෂයන් අතරින් ජ්‍යොතිෂ ශාස්ත්‍රය ද එක් විෂයකි. මෙම උතුම් ශාස්ත්‍රය හුදෙක් මනුෂ්‍යයාගේ ජීවිතය සැපවත් කර ආරක්‍ෂාව, යහපත සලසා ගත හැකි ලෞකික ශාස්ත්‍රයකි. ඒ නිසාම අනිත්‍ය, දුක්ඛ, අනත්ත යන ත්‍රිලක්‍ෂණය ගැන දහම් දෙසූ බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන දහම් දෙසූ බුදුන් වහන්සේ ජ්‍යොතිෂය ලෝකෝත්තර ධර්මමාර්ගයට ඉඩ අහුරන ලෞකික ශාස්ත්‍රයක් වූ නිසාවෙන් උත්තරීතර වූ නිවන පසක් කර ගැනීමට වෙර වීර්යය දරන්නකු විසින් නොසෙවිය යුතු ශාස්ත්‍රයක් විද්‍යාවක් ලෙස ජ්‍යොතිෂ ශාස්ත්‍රය දක්වා ඇත. උන්වහන්සේ එය එසේ දක්වා ඇත්තේ එය නිවනට මඟ කියන සනාථන දහමක් නොවන නිසාවෙනි. එසේම එය ඉහතදී සඳහන් කළ ලෙසම ලෝකෝත්තරයෙන් පරිබාහිර වූ ලෞකික විද්‍යාවකි.

බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු උන්වහන්සේගේ ජීවිත කාලය තුළ හැමවිටම උත්සාහ කළේ පදනම් විරහිත ප්‍රාථමික මිථ්‍යා විශ්වාස මෙන්ම අනේක විධ ඇදහිලිවල එල්බ සිටි එකල විසූ මනුෂ්‍යයෝ ඉන් මුදා සුගතිගාමී වීමට අවැසි මඟ පහදා දීමටය. ඒ අනුව යමින් බුදුන්වහන්සේ වැඩිම කලක් වැඩ සිටි සැවැත් නුවර කෝටි 7ක් ජනතාවගෙන් කෝටි 5ක්ම මාර්ගඵල ලැබූ බව ධර්මයේ සඳහන්ය. කෙසේ නමුත් බුදුන් දවස ජ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රමුඛ ඒහා සබැඳි බොහෝ විෂයන් ඉතා දියුණු තත්ත්වයක පැවැති හෙයින් ඒවාට රාජ්‍ය අනුග්‍රහය පවා හිමිවී තිබුණි. එවන් උතුම් ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිසි ආකාරව සැලකිය යුතු මට්ටමකට නූගත් ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳවත් බුදුන් වහන්සේ දේශනා කළ නිර්මල බුදු දහම සම්බන්ධවත් නිසි අවබෝධයක් වග විභාගයක් නොමැති අන්තගාමී බෞද්ධයන් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් තම උගත්කම පවා හෑල්ලු කර ගනිමින් තම විචක්‍ෂණ භාවය වත්මන් සමාජය ඉදිරියේ හුවා දැක්වීමට බුදුන් වහන්සේ ජ්‍යොතිෂ විද්‍යාව තිරස්චීන විද්‍යාවක් ලෙස ප්‍රතික්‍ෂේප කිරීමට අනුදැන වදාළයි තර්ක කරති. මෙය හුදෙක් නිසි ධර්මාවබෝධයකින් තොරව වල්ගය පාගා ගැනීමකි. කෙසේ නමුත් සැබෑ බෞද්ධයන් නොවන අවබෝධයෙන් තොර වූවෝ බුදුන් වහන්සේ දේශනා කළ නක්ඛන්ත ජාතකයෙහි එල්ලී

“නක්ඛන්තං පතිමානත්තං අතේථා බාලං උපච්චගා
අතේථා අත්ථස්ස නකඛත්තං කිං කරිස්සන්ති තාරකා”

යන පාලි ගාථා පාඨය හුවා දක්වති. මෙහි අර්ථය වනුයේ නකැත් ගැන සිතමින් වැඩ කල් දැමීම බාලයන්ගේ සිරිත බවත් වැඩක් පටන් ගන්නා වේලාවට වැඩයට නැකැත ලෙසත්ය. ඒ නිසා තාරකා කුමක් කරත්ද යන්නයි. මෙය බුදුන් වහන්සේ දේශනය කළේ අලසකමින් යුතු උත්සාහයෙන් තොරවූ මනුෂ්‍යයන් තම වගකීම්, යුතුකම් පැහැර හැර සියල්ල නැකැත් බලයටම පවරා ජ්‍යොතිෂ ශාස්ත්‍රය උපයෝගී කොට නොගෙන ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළින් පෙනෙනා විපත්ති, දුර්විපාක ආදිය නොවළකා අත්‍යවශ්‍යයෙන් කළයුතු කටයුතු කල් දමනු දුටු නිසාවෙනි. එසේ නොමැතිව උන්වහන්සේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය බුදු දහම තුළින් කෙලෙසකටවත් ප්‍රතික්‍ෂේප කළේ නැත. උන්වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට නැකැත් ශාස්ත්‍ර ආදිය උගැනීමට අනුදැන වදාළහ. ඒ “නක්ඛත්ත පදානි උන්ගහේ තබ්බානි සකලානි වා එක දෙසානිවා” ලෙසය. එනම් භික්‍ෂුන් සියලුම දෙනා වහන්සේ හෝ එක් කොටසක් හෝ නැකැත් උගත යුතුය යනාදී ලෙසය. එහෙත් උන්වහන්සේ නිවනට බාධාවක් වන බැවින් තිරස්චීන ලෙස හුවා දැක්වූ ජ්‍යොතිෂය, ආයුර්වේදය, යන්ත්‍ර මන්ත්‍ර ආදී කොට ඇති ගුප්ත විද්‍යා ශාස්ත්‍රය වැනි කිසිදු ශාස්ත්‍රයක් වෘත්තියක් වශයෙන් සිදු කිරීමටත් ඉන් මිල මුදල් ආදිය ඉපැයීමටත් තුටු පඬුරු ලාභ සද්කාර ආදිය ලැබීමටත් අනුදැන වදාරා නැත. මෙහිදී තිරස්චීන විද්‍යා ලෙස මෙකී විද්‍යාවන් අර්ථකථනය කර ඇත්තේ පෙර සඳහන් කළ ලෙසම මෙලොවට පමණක් ප්‍රයෝජනවත් සසර දුකින් අත්මිදීමට උපකාර නොවන විද්‍යාවක් නිසාවෙනි. එනිසා සත්‍ය වශයෙන්ම නිර්මල වූ බුද්ධ ධර්මයත් මා හැඟි දිව්‍යමය විෂයක් වූ ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් අතිපණ්ඩිතකමින් යුතුව පටලවා ගැනීම සැබවින්ම තම උගත්කමටත් නිඟා දෙන අනුවණ කමකි. තවද භික්‍ෂුන් වහන්සේලා උදෙසා මෙම විෂයන් තිරස්චීන බව බ්‍රහ්මජාල සූත්‍රයේ 32 වැනි විවරණයේ ද දක්වා ඇත.

තවද බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ කිසිදු තැනක ගිහියන් වූ අප හට විවිධ ශාස්ත්‍ර හැදෑරීමටත් ඒවායින් කවර ලෙසකට හෝ සාධාරණව මුදල් ඉපැයීමටත් වාරණ දමා දේශනාදිය කර නොමැත. කෙසේ නමුත් බුද්ධ ධර්මය දෙසත් ජ්‍යොතිෂ විද්‍යාව දෙසත් මතුපිටින් බලා සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍යය පටලවා වටහා නොගත යුතුය. සැබැවින්ම බුදුන් වහන්සේ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් අනුකම්පා පිණිස දේශනය කළ ශ්‍රී සත් ධර්මය තම පටු පරමාර්ථ, පිළිගැනීම් මෙන්ම මතවාද සමාජගත කරනු සඳහා දැන දැනම විකෘති කර නොයෙසේ නම් යාවත්කාලීන කර අවභාවිතා කිරීම සැබවින්ම බරපතළ අකුසල කර්මයකි. එපමණක් නොව “අනුජානාමි භික්ඛවේ සම්බේහෙව පක්ඛ ගණනං උග්ගහෙතුං” හෙවත් මහණෙනි සියල්ලන් විසින්ම පක්‍ෂ ගණන ඉගෙන ගන්නට අනුදැන වදාරමි යනුවෙන් ද දේශනා කර ඇත. ඒ හුදෙක් චන්ද්‍ර සූර්ය ගමන පිළිබඳ ජ්‍යොතිෂ විද්‍යාත්මක පසුබිම හා ඒ හා සබැඳි ගණන ක්‍රමවේද භික්‍ෂුන් වහන්සේලා විසින් දැන උගෙන තිබීම අත්‍යවශ්‍ය වූ බැවිනි. විශේෂයෙන් පොහොය කර්ම සිදුකිරීම, වස් විසීම, ධර්මප්‍රචාරය සඳහා චාරිකාවේ යෙදීම ආදිය සඳහා සුදුසු කාල නිර්ණයට ජ්‍යොතිෂ විද්‍යාව අත්‍යවශ්‍ය බව උන්වහන්සේ දැන සිටියහ. එනිසා උන්වහන්සේ ශාසනික කටයුතුවලට අවශ්‍ය දේ පමණක් සඳහා ජ්‍යොතිෂය භාවිතා කරන ලෙස අනුදැන වදාළහ.

තවද බුදුන් වහන්සේ දේශනා කර ඇති ලෙසට සෙත් පිරිත් සජ්ජායනා ආදියේදී “නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණං” යනාදී වශයෙන් දේශනා වේ. එහි ජ්‍යොතිෂ විද්‍යාත්මක පැහැදිලි කිරීම වනුයේ නැකැතින් මෙන්ම ශනි, කුජ ආදී කොට ඇති පාප ග්‍රහයන් ගෙන දෙනා දෝෂ පිරිතේ අනුහසින් දුරුවේවා යනුයි. එසේම “අනුජානාමි භික්ඛවේ නක්ඛත්තං” හෙවත් භික්‍ෂණි නැකැත් තාරකා අනු දනිමි යන මෙකී නොකී සියලු දෙයින්ම බුදු දහමින් ජ්‍යොතිෂ විද්‍යාව ප්‍රතික්‍ෂේප නොවන බව මොනවට පැහැදිලිය.

මේ නයින් බලන කල බුදු දහම තුළින් මිනිසාගේ ලෝකෝත්තර දියුණුව සලසාගත හැකි බවත් ජ්‍යොතිෂ විද්‍යාව තුළින් මිනිසාගේ ලෞකික දියුණුව සලසාගත හැකි බවත් ඉතාම පැහැදිලිය. කෙසේ වෙතත් බුදු දහම සේම ජ්‍යොතිෂ තුළින් ද සිදු කරනුයේ මනුෂ්‍යාට මානසික සුවය ගෙන දීමකි. නමුත් මුදල පසුපසම හඹා යන වර්තමානයේ එය එසේම සිදුවේ ද යන්න නම් සැක සහිතය. කෙසේ නමුත් බුදුන් දවස සිට වර්තමානය දක්වාම විවිධ අවස්ථාවල විවිධ ශාසනික සිදුවීම් මෙන්ම විවිධ ශාසනික කටයුතු සඳහා ජ්‍යොතිෂ විද්‍යාව භාවිතා වනු දැකිය හැක. ඊට නිදසුන් කීපයක් ලෙස අප මහ බෝසතාණන් ඇසළ පුන් පොහෝ දින උත්‍රසල නැකැතින් මව් කුස පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු මෙලොවට බිහිවීම විසා නැකැතින් සිදුවීම, බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව වූ දම්සක් පැවසුම උත්‍රසල නැකැතින් සිදුවීම, අනුරාධපුරයේ මහමෙව්නාවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතාම බලගතු නැකැතක් වූ රෙහෙන නැකැතින් භූමියේ පිහිටීම, රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු විසා නැකැතින් ඇරඹීම පෙන්වාදිය හැක.

කෙසේ නමුත් පංචාංග ග්‍රහස්ථුට ලිත් ආදිය භාවිතා කර හෝ අන්තර් ජාතික ලිත්, භාවලේඛන ආදිය භාවිතා කර හෝ නිවැරදිව දළ රාශි කේන්දරය ගොඩනඟා එතුළින් නිරයන භාව කේන්දරයවත් නිවැරදිව සකසාගත නොහැකිව පලාපල පවසන නක්‍ෂත්‍ර සුචකයන් නිසාවෙන් ද ඔවුන් පවසන පලාපල ඉෂ්ට සිද්ධ නොවන නිසාවෙන් ද මෙම උතුම් විශිෂ්ට දිව්‍යමය ශාස්ත්‍රය උගතුන්, බුද්ධිමතුන්ගේ උපහාසයට, අපහාසයට, නිග්‍රහයට ලක්ව ඇති බව නොරහසකි. ඒ මේ ගැටලුවේ එක් පැතිකඩකි.

මෙහි අනිත් පැතිකඩ වනුයේ බොහෝ උගත් බුද්ධිමත් ඉහළ පිළීගැනීමකින් යුතු වෘත්තීන්වල නියැළෙන වෘත්තිකයන් ජ්‍යොතිෂ විද්‍යාවට හිස එසවීමට ඉඩ නොදී දිගින් දිගටම පහර ගසා යටපත් කිරීමට උත්සාහ කිරීමයි. එය එසේ වීමට හේතුව වී ඇත්තේ සමාජය ඉදිරියේ සුදු චරිත රඟදක්වන බොහෝ දෙනාගේ සැබෑ චරිත ස්වභාවය නිවැරදිව අනාවරණය කරගත හැකි එකම මාධ්‍යය ජ්‍යොතිෂ විද්‍යාව බව ඔවුන් හොඳාකාරවම දැන සිටීමයි. එනිසා හුදෙක් ඔවුන් ඔවුන්ගේම පැවැත්මේ ආරක්‍ෂාව සඳහා ජ්‍යොතිෂ විද්‍යාව මිථ්‍යාවක් යැයි හංවඩු ගසා මනුෂ්‍ය සමාජයෙන් අතුගා දැමීමට නිරර්තක උත්සාහයක යෙදේ.

කෙසේ නමුත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයට බොරුව වංචාව සිදු කරන්නවුන් අටමහා නිරයෙන් චෞරව නම් නරකයේ ඇස් අනධව උපදින බව දැන දැනත් ජ්‍යොතිෂ විද්‍යාව නිසි හැදෑරීමකින් තොරව හුදෙක් මුදල් ඉපැයීමේ පටු පරමාර්ථයෙන්ම අවභාවිතා කිරීම සැබවින්ම පිළිකුල් සහගත තත්ත්වයකි. මෙනිසාම ජ්‍යොතිෂය පිළිබඳ වත්මන් මනෂ්‍යයන්ගේ විශ්වාසය දිනෙන් දිනම පිරිහී බිඳවැටෙමින් පවතී. ඈත අතීතයේ උගත් බ්‍රාහ්මණ පඬිතුමන් අතර පැවැති ජ්‍යොතිෂ විද්‍යාව කාලයාගේ ඇවෑමෙන් පසුකාලීනව බොහොමයක් කපටි, වංචාකාරී, නූගතුන්ගේ ජීවන වෘත්තිය බවට පත්විය. එයම මෙම උතුම් ශාස්ත්‍රයේ පිරිහීමට මූලික විය. බොහෝ බටහිර රටවල විද්වතුන් ජ්‍යොතිෂ විද්‍යාවට ගරුකර එහි වටිනාකම දැන නොයෙකුත් පර්යේෂණ කර ඉන් විපුල ඵල ප්‍රයෝජන ලබද්දී අප රටේ උගත් යැයි සම්මත ඇතැම් පිරිස් සිදු කළේ අන්තගාමීව ජ්‍යොතිෂ විද්‍යාව හාස්‍යට, උපහාසයට, විවේචනයට හා අවමානයට ලක් කිරීම පමණි. එනිසා ජ්‍යොතිෂ විද්‍යාව සැලකිය යුතු මට්ටමකට උගත් අප මෙම වටිනා ශාස්ත්‍රය රැකගෙන මතු පරපුරට ද දායාද කළ යුතුය. එය ජ්‍යොතිෂ්‍යවේදීන් වන අප සතු වගකීමකි. යුතුකමකි.

බුදු දහමින් ජ්‍යොතිෂ විද්‍යාව ප්‍රතික්‍ෂේප වේද?

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment