බුදු දහම ජීවිතයට

431

පොසොන් පුන් පොහෝ දිනය හෙට (21දා) ට යෙදී තිබේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දිනක ධර්ම දූත පිරිසක් සමග ලංකාවට වැඩම කළ අතර එතැන් පටන් බුදු දහම මෙරට ස්ථාපිත වූයේය. මේ නිසා සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහෝ දිනය මෙන්ම අපට පොසොන් පොහෝ දිනයේ ද අතිශය වැදගත්කමක් ඇත. මේ බුදු දහම ලංකාවට පැමිණීම නිසා මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදුවිය. එසේම මෙරට බෞද්ධ ප්‍රබෝධයක් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ජනයාගේ ජීවන පැවතුම් උසස් තත්ත්වයට පත්වීමට එය හේතු විය.

එහෙත් එතැන් පටන් අද වන විට විශාල කාල පරාසයක් ගතවී සමාජය අතිශය සංකීර්ණ හා තරගකාරී තත්ත්වයට පත්ව ඇත. ජනමාධ්‍ය පරිශීලනය කරන විට රටේ සිදුවන වංචා දූෂණ, අපරාධ, හොරකම් සහ පාතාල ක්‍රියා වැනි සමාජ විරෝධී ක්‍රියාවන් විශාල වශයෙන් වර්ධනය වී මිනිස් සමාජය දූෂිත තත්ත්වයට පත්ව ඇත. මේ නිසා අප සමාජයේ බොහෝ දෙනෙක් සතුටින් ජීවත් වෙනවා වෙනුවට ජීවත් වන්නේ අසතුටිනි, අසහනයෙනි, ඉමහත් පීඩාවන්ට මුහුණ දෙමිනි.

2022 වර්ෂයේ අප රට බංකොලොත් තත්ත්වයට පත්විය. එනම් අප ගෙවිය යුතු විදේශ ණය කලට වේලාවට ගෙවාගත නොහැකි තත්ත්වයට රට පත්විය. මෙයට හේතුව ඉතිහාසයේ උග්‍රතම විදේශ විනිමය අර්බුදයට රට මුහුණ දීමයි. රුපියල කෘත්‍රිම ලෙස රැකගත්තා මිස විදේශ සංචිත වේගයෙන් පිරිහෙන තත්ත්වය ගැන එවකට මහ බැංකුව එතරම් තැකීමක් නොකළේය. ඒ නිසා වූයේ කුමක්ද? අප ගෙවිය යුතු විදේශ ණය වගකීම් ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව අපට අත්‍යවශ්‍ය ඛනිජ තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආනයනයන් ගෙන්වාගත නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි. මේ තත්ත්වයට හේතුව එවකට රජය සහ ආර්ථික බලධාරීන් ආර්ථික සුරක්ෂිතතාවයෙන් කටයුතු නොකිරීමයි.

දුර අතීතයේදී ‘රජ’ හෙවත් රාජා යන ව්‍යවහාරය ඇති වූයේ දැහැමින් රට පාලනය කරන්නා යන අර්ථයෙනි. කූටදත්ත සූත්‍රයට අනුව රජු සතුව (පාලකයා සතුව) ප්‍රධාන ලක්‍ෂණ තුනක් තිබිය යුතුය. එනම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, ප්‍රඥාවන්ත බව සහ උගත් බව යන ගුණාංගයන්ය. අපේ රටේ පාලකයන් හරිහැටි ප්‍රඥාවෙන් බුදු දහමින් පෙන්වා දී ඇති මාර්ගයට අනුව රට පාලනය කළා නම් 2022 වසරේදී රට එවැනි අගාධයකට ඇදවැටෙන්නේ නැත. බුදු දහමින් අර්ථවත් කෙරෙන චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේ දී විශිෂ්ට රාජ්‍ය පාලකයකුගේ පරමාදර්ශී ස්වභාවය මූර්තිමත් කරයි. සක්විති රජ යනු ධාර්මික පාලනයේ ඉහළම තලයයි. බුදු දහම මගින් පෙන්වා දී ඇති පරිදි මේ සක්විති රජුගේ ප්‍රධාන කටයුතු හතරකි. ඒවා හැඳින්වෙන්නේ සක්විතිවත් ලෙසය. ඒවා මෙසේ සඳහන් කළ හැකිය.

  1. දැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම
  2. ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීම
  3. ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීම
  4. විශාරදයන්ගේ උපදෙස් ලබාගැනීම

සක්විති රජුගේ මට්ටමට මේ ගුණාංග අපට කිසිසේත්ම වර්තමාන රාජ්‍ය පාලකයන්ගෙන් අපේක්‍ෂා කළ හැකි නොවේ. කෘෂිකර්මය පිළිබඳ නිසි විශාරදයන්ගේ උපදෙස් ලබාගෙන එවකට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා කටයුතු කළේ නම් කිසිවිටෙකත් එක් දිනකින් ගැසට් ගසා රසායනික පොහොර ආනයනය තහනම් කර, කාබනික කෘෂිකර්ම පිළිවෙතකට වහාම ගමන් කරන්නේ නැත. එසේම මෙහි සඳහන් ආර්ථික සුරක්‍ෂිතතාව ද රටේ නැති වී ගියේය. විදේශ සංචිත බිංදුවටම හිඳෙනතෙක් එවකට ආර්ථික බලධාරීන් කළේ රුපියල කෘත්‍රිම ලෙස රකිමින් සියලු විදේශ ණය ගෙවිය හැකි බව රටට, ලෝකයට ප්‍රකාශ කිරීමය. එහෙත් රට විශාල ආර්ථික ප්‍රපාතයක් කරා ගමන් කරමින් තිබිණි. රට බලවත් අරාජික තත්ත්වයකට පත්ව අරගල තත්ත්වයන් නිර්මාණය වී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට රටින් ද පැනගොස් ඉල්ලා අස්වීමට සිදුවීමය. එම අරාජික තත්ත්වය තවත් වර්ධනය වූයේ නම් අන්තිමට රටේ ආර්ථික සුරක්ෂිතතාව කෙසේ වෙතත් ජනතාවගේ ජීවිත සුරක්‍ෂිතතාව ද තහවුරු කළ නොහැකි මට්ටමකට පරිසරය සකස් වී තිබුණි.

මේ නිසා රටක් ණය විය යුත්තේ ඒවා කලට වේලාවට ගෙවා ගැනීමේ හැකියාව ආරක්‍ෂා කර ගනිමිනි. එහිදී ප්‍රමාණවත් විදේශ සංචිත තත්ත්වයන් අප ආරක්ෂා කරගත යුතුද වේ. රජයක් මුහුණ දෙන මේ තත්ත්වය අපට සාමාන්‍ය ජනයාගේ ජීවන මාර්ගයට ද ආදේශ කළ හැකිය. සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත්තේ අප දුක් මහන්සියෙන් උපයාගත් ධනය කොටස් හතරකට බෙදා පරිහරණය කළයුතු බවයි. එනම් ඉන් එක් කොටසක් එදිනෙදා ප්‍රයෝජනයට (පරිභෝජනයට) ගත යුතු අතර, කොටස් දෙකක් තමා කරනු ලබන වෙළහෙළෙඳාම් යනාදි කර්මාන්ත හෝ ව්‍යාපාරයන්හි දියුණුව පිණිස යෙදවිය (ආයෝජනය) යුතුය. ඉතුරු කොටස කරදරයක්, විපතක් පැමිණි විට ප්‍රයෝජනයට ගනු පිණිස (ඉතිරිකිරීම) ආරක්‍ෂිතව තැබිය යුතුය. මේ උපදේශය පුද්ගලයකුගේ ජීවන මාර්ගයට පමණක් නොව ව්‍යාපාර ආයතනයකට මෙන්ම රටකටත් අදාළ වේ. මෙසේ තමන් උපයන ධනය මේ ආකාරයෙන් නිසි කළමනාකරණයකින් පරිහරණය නොකරන්නේ නම් පුද්ගලයකුගේ මෙන්ම පවුලක ජීවන මාර්ගය ද අවුලකට පත්වනු ඇත. උපයන ධනයෙන් වැඩි කොටසක් කාබී විනෝද වීමට යෙදෙව්වොත් වන්නේ ආයෝජනය දුර්වල වී අනාගත ධනෝපායන ශක්තිය දුර්වලවීමයි. එවිට අනාගතයේ ඉතිරිකිරීම, ආයෝජනය කිරීමට තබා එදිනෙදා කෑමට බීමටවත් ආර්ථික ශක්තියක් නොමැති දුර්වල තත්ත්වයකට පත්වනු ඇත. මේ නිසා කිසියම් පවුලක දියුණුවට, සාමකාමී පැවැත්මට එම පවුලේ ආර්ථික තත්ත්වය බෙහෙවින් බලපාන සාධකයකි. නිරන්තරයෙන්ම පවුලේ දියුණුව සඳහා මෙන්ම සතුට රැකගැනීමට නම් පවුලේ ආර්ථික ශක්තිය පිරිහීමට නොදී රැකගත යුතුවේ. ධනය ඉපයීම මෙන්ම එය ආරක්‍ෂා කරගැනීමත් අත්‍යවශ්‍ය දෙයකි. මෙහිදී ගෘහස්ථ ජීවිතයේ ආර්ථික ශක්තිය පිරිහීමට හේතු වන ප්‍රධාන කරුණු 4ක් ද බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. ඒවා නම් නැතිවූ දෙය සොයා නොබැලීම, දිරාපත් වූ දේ පිළිසකර නොකිරීම, ආහාර, ඇඳුම් පැලඳුම් යනාදියට අසීමිතව වියදම් කිරීම සහ සිල්වත් නොවූ ස්ත්‍රියක හෝ පුරුෂයකු පවුලේ ප්‍රධානත්වයට පත්වීම යන කරුණුයි. මෙලෙස බුදු දහමට අනුව පුද්ගලයන්ගේ ජීවන මාර්ගය ආර්ථිකමය වශයෙන් සුරක්‍ෂිත කරගැනීමට අදාළ වන තවත් උපදෙස් රැසක් බුදුන් වහන්සේ විසින් විවිධ සූත්‍රවලදී දේශනා කර තිබේ. පොසොන් පොහෝ දිනයේ අප ලක්වැසියනට දායාද වූ මේ අගනා ධර්මයෙන් මෙසේ අපගේ ජීවන මාර්ගය සාර්ථක කරගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා ගන්නේ නම් ගෘහස්ථ ජීවිතය වඩාත් සාර්ථක කරගත හැකි වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment