බුදු දහම,  රාජ්‍ය පාලනය සහ ආර්ථිකය

251

මේ වෙසක් මාසයයි. වෙසක් පුන් පොහෝ දිනයට ඇත්තේ තවත් දින දෙකකි. එහෙත් මේ වෙසක් පොහෝ දිනයට දින කිහිපයක් තිබියදී රටම ගිනිගෙන ඇත. සමාජය විශාල වෛරයකට සහ ප්‍රචණ්ඩත්වයකට යොමු වී ඇත. මිනිස් ඝාතන, පහරදීම්, පොදු දේපොළ සහ පෞද්ගලික දේපොළ විනාශයන් රැසක් සිදුව ඇත. මේ නිසා මේ තත්ත්වයන් වහාම සමනය කරගෙන රට තව තවත් ආර්ථිකමය වශයෙන් අගාධයකට ගමන් කිරීම වහාම වළක්වා ගත යුතුව තිබේ. රටේ මහජන අවශ්‍යතා ඉටු කිරීමට රජය දිගු කලක් තිස්සේ අසමත් වීම නිසා රටේ මහජන විරෝධතා ඇති විය. ඒ සඳහා එම විරෝධතාකරුවන්ට අපට දොස් කිව නොහැකිය. එහෙත් රජය ඉතා ඉක්මනින් මේ බලවත් මහජන පීඩාවන් සමනය කිරීමට ප්‍රමාණවත් පියවර ගන්නවා වෙනුවට එම විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ක්‍රියා කළේය. රටම ගිනි ඇවිළීමට මේ ක්‍රියාව හේතු විය. ඒ සමගම රටේ බලවත් ප්‍රචණ්ඩත්වයක් පැතිර ගියේය. දැන් මේ ගින්න නිවා ගැනීම අප සියලු දෙනා හමුවේ ඇති බලවත්ම අභියෝගයකි. එසේ නැතහොත් සිදුවනු ඇත්තේ අපටම හානියකි. මේ නිවීම ඇති කිරීම සඳහා ආගමික නායකයන්ට ද විශාල කාර්යභාරයක් මේ මොහොතේ කළ හැකිව තිබේ. මේ පසුබිම තුළ බුදු දහම, රාජ්‍ය පාලනය සහ ආර්ථිකය ගැන අපි මේ ලිපියෙන් කතා කරමු.

 පසුගිය කාලයේ කොරෝනා වසංගතය හමුවේ රටම බලවත් අවදානම් තත්ත්වයකට මුහුණ දුන්නේය. එම වසංගතයෙන් ද වටිනා මිනිස් ජීවිත රැසක් හිමි විය. මේ වසංගත තත්ත්වයේ බලපෑම් මෙන්ම වත්මන් රජය පසුගිය කාලයේ නිසි තීන්දු තීරණ නොගැනීම නිසා මෙන්ම ඇතැම් වැරදි තීරණ ගැනීම නිසා මේ වන විටත් රට මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ බලවත්ම ආර්ථික අර්බුදයට ය. පසුගිය මාර්තු මාසයේ රුපියල පා කිරීමත් සමග වේගයෙන් රුපියල පිරිහීම නිසා බඩු මිල වේගයෙන් වැඩි වීමට පටන් ගත්තේය. මෙවැනි අතිශය තීරණාත්මක මොහොතක රජය සහ ආර්ථික බලධාරීන් විසින් නිසි තීන්දු තීරණ අප්‍රමාදව ගත යුතුව තිබුණි. එහෙත් ඒ දෙය හරිහැටි වූයේ නැති නිසා ජනතාවගේ පීඩනය දිනෙන් දින උග්‍ර තත්ත්වයට පත් විය. මේ නිසා ජනයා පාරට බැස විරෝධතා දක්වන තත්ත්වයට පත් විය. ඒ විරෝධතාවලින් අපේක්ෂිත සැලකිය යුතු ජයග්‍රහණ මුලින් සාමකාමීව ලබා ගැනීමට ද හැකි විය. එහෙත් මේ වන විට කොයි පැත්තෙන් හෝ වේවා රටේ ඇති වී ඇති ප්‍රචණ්ඩත්වය රටම තවත් පහළට ඇද වැටීමට හේතුවනු ඇත. එය ජනතාවගේ ආර්ථික පීඩනය තවත් වැඩි කිරීම්ට හේතු වන්නකි. මේ නිසා අප සියලු දෙනාම වහාම තම ආගම් අනුව හෝ කටයුතු කරමින් සමාජයේ නිවීම ඇති කරගත යුතු වේ.

 මිනිස් ජීවිත මෙන්ම ආර්ථිකය යන දෙකම අමතක කර රටකට තීන්දු තීරණ ගැනීමට අපහසු ය. මෙවැනි මොහොතක මෙන්ම පොදුවේ ද රජයේ ආර්ථික කළමනාකරණය පමණක් නොව පාලක පක්ෂය රාජ්‍ය පාලනය සිදුකරන ආකාරය ද ඉතා වැදගත්ය. එහි සිදු වූ බලවත් අඩුපාඩු විශාල විපතක් රටටත්, ජනයාටත් ඇති කර අවසන්ය. මේ වන විට රටේ අගමැතිවරයෙක් හෝ ඇමැති මණ්ඩලයක් නැත. ඒ නිසා රට අරාජික වීමට ඉඩ නොදී නව අන්තර්කාලීන රජයක් ඇතිකරගෙන හෝ සිදු වූ අඩුපාඩු හඳුනාගෙන මේ බලවත් ආර්ථික අගාධයෙන් රට මුදාගෙන ජනතාව මුහුණදී සිටින පීඩනය සමනය කරගත යුතු වේ.

 මේ පසුබිම තුළ අපගේ අවධානය යොමු වන්නේ බුදු දහම ඇසුරින් රාජ්‍ය පාලනය සහ රටේ ආර්ථිකය පිළිබඳව පොදුවේ අදහස් කිහිපයක් සාකච්ඡා කිරීමටය.

 බුදු දහමට අනුව රාජ්‍ය පාලනයේදී රාජ්‍ය පාලකයා දැහැමි අයකු වීම, එම රාජ්‍ය පාලනය තුළින් රටටත්, රටවැසියාටත් සමෘද්ධිය හා සෞභාග්‍ය උදාකර දීමට අත්‍යවශ්‍ය දෙයකි. ඒ නිසා ධාර්මික රාජ්‍ය පාලනය තුළින් රටෙහි දියුණුවක් ඇති වන බවත් පිරිහීමක් ඇති නොවන බවත් බුදුදහමේ නොයෙක් තැන්හි අවධාරණය කර ඇති දෙයකි. ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා හේතු වන බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේදී බුදුදහමේ සඳහන් ඉතා වැදගත් සංකල්ප කිහිපයක් පිළිබඳව අපට අවධානය යොමු කිරීමට සිදු වේ. ඒවා මෙසේයි.

 1. චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය

 2. දසරාජ ධර්මය

 3. සතර සංග්‍රහ වස්තු

 4. සතර අගතිය

 5. සප්ත අපරිහානීය ධර්ම

 දුර අතීතයේදී ‘රජ’ හෙවත් ‘රාජා’ යන ව්‍යවහාරය ඇති වූයේ දැහැමින් රට පාලනය කරන්නා යන අර්ථයෙනි. කූටදත්ත සූත්‍රයට අනුව මෙම රජු සතුව ප්‍රධාන ලක්ෂණ තුනක් තිබිය යුතුය. එනම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව (සුස්සුතො), ප්‍රඥාවන්ත බව (පණ්ඩිතො), සහ උගත් බව (වියත්තො) යන ගුණාංගයන් ය. බුදු දහම තුළින් අවධාරණය කරන චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේදී විශිෂ්ට රාජ්‍ය පාලකයකුගේ පරමාදර්ශී ස්වභාවය මූර්තිමත් කෙරෙන අතර, සක්විති රජු යනු ධාර්මික රාජ්‍ය පාලනයේ ඉහළම තලයයි. මේ සක්විති රජුගේ ප්‍රධාන කටයුතු හතරකි. ඒවා හැඳින්වෙන්නේ ප්‍රධාන සක්විතිවත් ලෙසය. ඒ මෙසේය.

 1. දැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම

 2. ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීම

 3. ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීම

 4. විශාරදයන්ගේ උපදෙස් ලබා ගැනීම.

 මේ අනුව යහපත් රාජ්‍ය පාලකයකුගේ මූලිකම කාර්යය විය යුත්තේ යහපත් රාජ්‍ය පාලනයක් ඇති කර ගැනීමයි. ඒ සඳහා සියල්ලටම ප්‍රථම රජතුමා ධාර්මික විය යුතුය. (රාජා භවතු ධම්මිකො) වර්තමානයට අනුව නම් පාලකයා නැතහොත් පාලක පක්ෂය ධාර්මික විය යුතුය. අති පුරාණයේ සිටම භාරත වැසියන්ගේ උසස්ම ප්‍රාර්ථනයක් වූයේ රජතුමා ධාර්මික විය යුතුය යන්නයි. භාරතයේ පමණක් නොව ඕනෑම රටක රටවැසියන් තම පාලකයා ධාර්මික, යහපත් අයකු විය යුතු බවට අපේක්ෂා කරන බවට සැකයක් නැත. අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේ ද පුරාණයේ සිටම රාත්‍රී වත් පිරිත් කියා අවසානයට කරන ප්‍රාර්ථනයක් ද තිබිණි. ඒ මෙසේයි.

 ‘දෙවො වස්සතු කාලෙන – සස්ස සම්පත්ති හේතුච

 පීතො භවතු ලොකොච – රාජා භවතු ධම්මිකෝ’

 කලට වැසි වසීවා, ශෂ්‍ය සම්පත් දියුණු වේවා, ලෝ වැසියන් ප්‍රීතිමත් වේවා රජතුමා ධාර්මික වේවා යන්න එකී ප්‍රාර්ථනයෙහි සිංහල අදහසයි. මෙය කවුරුත් දන්නා ඉතා ප්‍රකට ප්‍රාර්ථනයකි. මෙහි අති විශාල ආර්ථික වැදගත්කමක් ද තිබේ. මෙහි ‘දෙවො වස්සතු කාලෙන – සස්ස සම්පත්ති හේතුච’ යන කොටසින් ප්‍රාර්ථනා කරන්නේ කලට වැසි ලැබී, ශෂ්‍ය සම්පත් දියුණු වී රටේ නිෂ්පාදනය වර්ධනය වේවා යන්නයි. එසේ නම් මේ කියන්නේ අන් කිසිවක් නොව ආර්ථික වර්ධනය පිළිබඳවයි. ආර්ථික වර්ධනය යනු රටක මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව වර්ධනය වීමයි. ඉතා සරලව කියන්නේ නම් රටේ නිෂ්පාදනය දිගින් දිගටම වැඩි වීමයි. ආර්ථික සංවර්ධනයේ මූලික පූර්ව අවශ්‍යතාව වන්නේ මෙකී ආර්ථික වර්ධනයයි. ඒ නිසා ආර්ථික සංවර්ධනය සඳහා රටේ නිෂ්පාදනය අඛණ්ඩව වර්ධනය වීම (ආර්ථික වර්ධනය) අනිවාර්ය කරුණකි.

 ආර්ථිකය වර්ධනය වූ පමණින් ආර්ථික සංවර්ධනය ඇති නොවේ. ආර්ථික වර්ධනය සමඟ ලෝවැසියන් එනම් මහජනතාව සතුටු වීම, ප්‍රීතිමත් වීම ද අවශ්‍ය ය. ජනයා සතුටට ප්‍රීතියට පත්වන්නේ කුමක් නිසාද? මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටු වී දුප්පත්කම අඩු වී, විරැකියාව අඩු වී රටේ වැඩිවන නිෂ්පාදනයේ ඵලය රටවැසියන් අතර සාධාරණ ලෙස බෙදී ගොස් සමස්ත ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ නම් එහිදී ජනයා සතුටට, ප්‍රීතියට පත්වෙති. එසේ නම් ‘දෙවො වස්සතු කාලෙන – සස්ස සම්පත්ති හේතුච, පීතො භවතු ලොකොච’ යන කොටසින් කරන්නේ අන් කිසිවක් නොව ‘ආර්ථික සංවර්ධනය’ ඇති වේවා යන ප්‍රාර්ථනයයි.

 එසේ නම් ආර්ථික සංවර්ධනය යනු කුමක්ද? ආර්ථික සංවර්ධනය පිළිබඳ නොයෙකුත් නිර්වචන, අදහස් තිබිය හැකිය. එහෙත් මූලික වශයෙන් ම ආර්ථික සංවර්ධනය යනු ආර්ථික වර්ධනයත් සමඟ රටක ව්‍යුහාත්මක සහ ගුණාත්මක අංශ රැසක යහපත් වෙනස්කම් සමුදායක් තුළින් සමස්ත ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නංවන දිගු කාලීන ක්‍රියාවලියකි. ඒ නිසා ආර්ථික සංවර්ධනයේදී සිදු විය යුතු ප්‍රධානතම දෙය නම් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යෑමයි. ජීවන තත්ත්වය ඉහළ යන්නේ, ජනයා සතුටට ප්‍රීතියට පත්වන්නේ රුපියල් ශත හෝ ආර්ථික කරුණු කාරණා නිසාම පමණක් නොවේ. ජනතාව සතුටු වීමට, සමාජ, ආර්ථික දේශපාලන සහ ආධ්‍යාත්මික යන සෑම අංශයකින්ම රටක දියුණුවක් සිදු විය යුතුය. මේ නිසා ලෝ වැසියන් එනම් මහජනතාව ප්‍රීතියට පත්වීමට ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් ආර්ථික සංවර්ධනයක් ඇති විය යුතුය. එහෙත් මේ සියල්ලටම රජතුමා ධාර්මික විය යුතුය. (රාජා භවතු ධම්මිකො) එනම් රජතුමාගේ ධාර්මිකභාවය නැතහොත් පාලක පක්ෂයේ ධාර්මිකභාවය, මුළු රටේම සමෘද්ධියට හා සෞභාග්‍යයට හේතු වෙයි. කෙතරම් පාලම්, ගොඩනැඟිලි, වරායන්, මහාමාර්ග ඉදිකොට භෞතික සංවර්ධනයක් ඇති කළත්, පොදු මහජනයා සතුටු වන්නේ ධාර්මික රාජ්‍ය පාලනයක් ඇත්නම්ය.

 බුදුරජාණන් වහන්සේ දේශනා කළ අධම්මික සූත්‍රයට අනුව කිසියම් රටක රාජ්‍ය පාලකයකු අධර්මිෂ්ඨ වන්නේ නම් පාලක පක්ෂය (අමාත්‍ය මණ්ඩලය) ද අධර්මිෂ්ඨ වෙයි. රාජ්‍ය නිලධාරීන් මෙන්ම අවසානයේ ජනතාව ද අධර්මිෂ්ඨ වී ස්වභාව ධර්මයෙන් පවා නොයෙක් විපත් සිදු වෙයි. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ රජු (පාලකයා) අධාර්මික වන විට මුළු මහත් රාජ්‍ය තන්ත්‍රයම අධාර්මික බවට පත්වන බවයි. මේ නිසා රාජ්‍ය පාලනයේදී පාලකයාගේ දැහැමි බව බුදුදහම නිරන්තරයෙන් ම අවධාරණය කරන්නකි. මෙවැනි දැහැමි රාජ්‍ය පාලනයක් රටක ආර්ථිකයට නිරන්තරයෙන් ම යහපත් බලපෑමක් ඇති කරයි. සතුටින්, ප්‍රීතියෙන් නොසිටින ජනතාවක් වෙසෙන රටක් සංවර්ධිත රටක් වන්නේ නැත.

 පාලකයකු ධාර්මික වන්නේ කෙසේද? යහපත් රාජ්‍ය පාලනයක් සඳහා කවර ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුද? සැකෙවින් හෝ මේ කරුණු ද මතක් කර ගැනීම වැදගත් ය. පාලකයාගේ ධාර්මිකභාවයට හේතු වන කරුණු දහයක් බුදුරජාණන් වහන්සේ දශරාජ ධර්මයෙන් පෙන්වා දී ඇත. දානය, ශීලය, පරිත්‍යාගය, සෘජුබව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම හා අවිරෝධතාව යනු මේ දශ රාජ ධර්මයයි. මේ ගුණාංග මුළුමනින් ම කෙසේ වෙතත් හැකිතාක් දුරට මේවා අනුගමනය කරන්නේ නම් එයින් යහපත් දැහැමි පාලනයක් ඇති වෙයි. එසේම ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තු අනුගමනය කිරීමද, ඡන්ද, ද්වේෂ, භය සහ මෝහ යන සතර අගතියෙන් තොර වීම ද රාජ්‍ය පාලකයකුට ඉතාමත් අවශ්‍යය. බුද්ධකාලීන භාරතයේ ප්‍රබල රාජ්‍යයක්ව පැවැති වජ්ජි රාජ්‍ය මුල්කර ගෙන බුදුරජාණන් වහන්සේ අපරිහානිය ධර්ම හතක් ද දේශනා කර තිබේ. මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කිරීම ද රටක නොපිරිහීමට හා දියුණුවට හේතු වෙයි.

 බුදුදහමේ සඳහන් මේ සංකල්පීය කරුණු සියල්ලම පරිපූර්ණ වශයෙන් කිසියම් රාජ්‍ය පාලකයකුට හෝ රජයකට අනුගමනය කළ හැකි බවක් අප කියන්නේ නැත. එහෙත් මේ ගුණාංග සහ ප්‍රතිපත්ති හැකිතාක් දුරට තම රාජ්‍ය පාලනය සඳහා එකතු කර ගැනීමෙන් යහපත් රාජ්‍ය පාලනයක් ඇති වේ. මේ කාලය දෙස බැලීමේ දී පෙනෙන්නේ රටේ ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීමට වත්මන් රජය බලවත් ලෙස අසමත්ව ඇති බවයි. එසේම ජීවිත සුරක්ෂිතතාව ද අවදානමට ලක්ව ඇත. පසුගිය රජයේ බැඳුම්කර හොරු අල්ලනවා කියා බලයට පැමිණ අන්තිමට ඒ දෙය නොකර මේ රජය රට බංකොලොත් කර විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය කරගෙන තිබේ. එය මේ වන විට බලවත් සමාජ ප්‍රචණ්ඩත්වයක් කරා ද වර්ධනය වී ඇත. ඒ නිසා යහපත් රාජ්‍ය පාලකයකුගේ ගුණාංග අනුගමනය කරමින් දැන්වත් රට වැසියා සිටින දුක්ඛිත තත්ත්වය වටහාගෙන ඉදිරියේ දී පත්කර ගනු ඇති බව කියන අන්තර්පාලන රජය විසින් හෝ සමාජ හා දේශපාලන ස්ථාවරත්වය ඇති කරගෙන වහාම නිසි පියවර ගනිමින් රටේ ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීමට ගත යුතු පියවර කඩිනමින් ගත යුතු වේ. ඒ සඳහා වහාම මේ ප්‍රචණ්ඩකාරී වාතාවරණය සමනය කරගෙන මේ වන විට ඇති වී ඇති ගින්නට තවත් පිදුරු නොදමා එය සමනය කර ගැනීමට කටයුතු කළ යුතු වේ. ●

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment