බුදු සමය හා සාමය

74
ජාතීන් එකිනෙකාට බියෙන් යුද වැද සටන් කරනු ලබන්නා වූද, ඕනෑම අවස්ථාවකදී විනාශය සඳහා යෙදවිය හැකි න්‍යෂ්ටික අවි ආයුධ හේතුවෙන් මිනිස් දිවිය අන්තරායදායක තත්ත්වයක පවත්නා වූද කලබලකාරී යුද්ධයෙන් පීඩිත වූ අද වැනි ලෝකයක බුදුදහමේ දක්නට ලැබෙන සාමය පිළිබඳව සාකච්ඡා කිරීම උචිත වේ. සෑම දෙනකුම එකම ලෝකයක සොහොයුරු සොහොයුරියන් මෙන් සාමයෙන් හා සමාදානයෙන් ජීවත්වීම සඳහා විශ්ව ව්‍යාප්ත සාමය හා මෛත්‍රිය පිළිබඳ වූ පණිවුඩයට ලෝකයට ඉතාමත් අවශ්‍යව පවතී, කෙනකු විනාශකාරී බෝම්බවලින් හා අවි ආයුධවලින් බියට පත්ව සිටින අවස්ථාවක සාමය පවත්වා ගැනීම හා මෛත්‍රිය පැතිරවීම එතරම් ක්‍රියාත්මක වේද? එසේම ඉහළ අහසින් බෝම්බ බිමට පතිතවත්ම දුබල මිනිසුන් කුමක් කිරීමට සමත් වේද? එවැනි උග්‍ර අවස්ථාවක් ඔවුනට මඟහැරිය හැකි වේද?

කෙනකු මරණයට මුහුණපානා අවස්ථාවේදී එවැනි මාරානිතික බෝම්බ පිළිබඳව ඇති එකම පිළිතුර වනාහි බුදුදහමෙහි ඉගැන්වෙන මෛත්‍රිය හා සාමය වේ. භෞතික වාදයට අයත් විනාශකාරී අවි ආයුධ වෙනුවට මෛත්‍රිය පුහුණු කිරීමට ද ලොව පාලනය කිරීම සඳහා බලය වෙනුවට යුක්තිය හා මෛත්‍රිය යෙදවීමට ද යුදකාමී ජාතීන් මෙහෙයවනු ලබනුයේ නම් එකල පමණක්ම මෙලොව නියම ප්‍රීතිය හා සාමය දක්නට ලැබෙනු ඇත.

ඉහත සඳහන් අදහස නේරුතුමාගේ පහත සඳහන් වචනවලින් සනාථ කෙරේ. මනුෂ්‍යයාට අද දින බුදුරජාණන් වහන්සේගේ පණිවුඩය හා ජලකර බෝම්බ යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුව ඇත. ඒ දෙක අතුරින් තෝරා ගැන්මට කිසිවක් නොමැත. බුදුරජාණන් වහන්සේගේ නාමය සඳහන් කරන කල්හි හිස නමා ආචාර කිරීමට තරම් සෑහෙන භක්තියක් (විශ්වාසයක්) මා තුළ පවතී. අන්තර් ජාතික ගෝලය තුළ කතා කිරීම හෝ ක්‍රියාකිරීම පහසු වේ. එහෙත් ස්වකීය දේශය තුළ වූ ප්‍රශ්නයකට මුහුණදීම වඩා දුෂ්කර වේ. එහෙත් දේශීය හා ජාතික ක්‍ෂෙත්‍රය තුළ බුදුරජාණන් වහන්සේගේ පණිවුඩය ක්‍රියාත්මක කරන තුරු අන් කිසිම තැනක එය ක්‍රියාත්මක කිරීම සුකර නොවේ. බුදුරජාණන් වහන්සේ හා අසෝක රජතුමා විසින් පෙන්වා දෙන ලද මාර්ගය අමතක නොවී ඇති අතර එය කෙසේ හෝ ඉන්දීය සිතෙහි තැන්පත්ව ඇත. අප ජීවිත කාලය තුළ මහත්මා ගාන්ධිතුමා එම මගෙහිම ගමන් කළ අතර එසේ ගමන් කිරීම හේතුවෙන් ජාතියේ ගෞරවය හා ශක්තිය ඉහළ නැගුණි. බුදුරජාණන් වහන්සේ විසින් දක්වා වදාරන ලද සාමය හා මෛත්‍රිය පිළිබඳ පණිවුඩය රහතන් වහන්සේට පමණක් සීමා නොකළ යුතු අතර එය අපගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධ කළ යුතු වේ. අප විසින් පුහුණු කරනු ලබන අවිහිංසාව අපගේ දිනපතා ජීවිතයෙහිදී අපට ශක්තිය ලබාදෙනු ඇත. යම්කිසි ප්‍රශ්නයක් සලකා බැලිය යුතු වේ නම් එය බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා ඇති පරිදි සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සලකා බැලිය යුතු වේ. මිහිඳු මහ රහතන්වහන්සේ විසින් මේ ධර්මද්වීපයට හඳුන්වා දෙන ලද්දේ මේ ශක්තිය හා ප්‍රීතිය පිළිබඳ වූ අමරණීය පණිවුඩය වේ.

බුදුරජාණන් වහන්සේ හඳුන්වනු ලබන එක් ගෞරව නාමයක් නම් ශාන්තිරාජ වන අතර අවසාන විමුක්තිය වන නිවන් කරා යොමුව ඇති මාර්ගය ශාන්ති මාර්ගය නමින් හැඳින් වේ. මේ සියල්ටම වඩා උත්තරීතර නිවන ද ශාන්ති නමින් හැඳින් ්වේ. බුදුදහමෙහි මේ සාමය පිළිබඳ වූ අදහසට හිමි වනුයේ ඉතා වැදගත් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයම ශාන්තිය කරුණාව හා මෛත්‍රිය ලක්‍ෂණයන් ගෙන් පිරී පවතී. සත්‍ය වශයෙන්ම යහපත් දිවියක් ගත කිරීම යනු ස්වකීය අසල්වාසීන් සමග සාමයෙන් හා සමගියෙන් ජීවත්වීම විය යුතු වේ. මිනිස් ඉතිහාසයෙහි ප්‍රථම වරට බුදුරජාණන් වහන්සේ විසින් මිනිසාගේ සුවය හා සුඛය පතා ධම්ම චක්කය පවත්වන ලද්දේ මේ සඳහා වේ. වැඩිදුරටත් මේ ධර්ම චක්‍රය පැවැත්වීමෙන් පසු, කල් යෑමට පෙර ශ්‍රාවකයන් සැටනමකට සත්‍යය අවබෝධ කරවීමට සමත් වූ අතර මොවුන් සාම දූතයන් මෙන් දෙදෙනකු එක මඟ නොයවා මෙහෙවරෙහි යෙදවීමට ද තීරණය කර ගති. උන්වහන්සේලා මුල මැද අග යන තුනම මනෝහරවූ ධර්මය දේශනා කරන ලද අතර එම පණිවුඩයෙහි ප්‍රධාන ලක්‍ෂණය වූයේ මිනිස් වර්ගයා කෙරෙහි යොමුව පවත්නා ශාන්තිය, හොඳ හිත හා ප්‍රීතිය ද වේ. හොඳ හිත හා ශාන්තිය බෞද්ධ පොත්වල නොකඩවා දක්නට ලැබෙන මාතෘකාව වන අතර මේ ලක්‍ෂණ ස්වර්ණමය හුයක් මෙන් අතිශය විශාල වූ මුළු බෞද්ධ සාහිත්‍යය පුරා දිවෙයි.

බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබෙන මාණික්‍ය රත්නයක් බදු “ධම්මපදයෙහි” මෙසේ දැක් වේ. “වෛරය, වෛරයෙන් නොසන්සිඳේ වෛර නොකිරීමෙන්ම වෛරය සන්සිදේ. මේ වනාහි සනාතන ධර්මයකි.” මේ අදහස පාලි පෙළෙහි දක්නට ලැබෙන පහත සඳහන් පාඨයෙහි ඉතා ගැඹුරින් ප්‍රකාශ වේ. එයට අනුව පිං ලබා ගැනීම සඳහා කරනු ලබන කුසල ක්‍රියා මෛත්‍රි වැඩීමෙන් ලැබෙන කුසලයෙන් කොටසකු දු නොවටිනා බවද මේ සියල්ලම මෛත්‍රිය පිළිබඳ වූ තේජාන්විත සෞන්දර්ය හා නිසසල ප්‍රභාව ඉදිරියෙහි නොසැළකිය යුතු තත්ත්වයට පත්වන බව දැක් වේ.

“මහණෙනි, මෙලොවදී කරනු ලබන කිසිම කුසල කර්මයක්, චිත්ත විමුක්තිය ලබාදීමෙහි සමත් මෛත්‍රියෙන් දහසයෙන් කොටසකුදු නොවටී. මේ චිත්ත විමුක්තිය ලබාදෙන මෛත්‍රී භාවනාව දීප්තියෙන් හා ප්‍රභාවයෙන් මේ සියල්ලක්ම පසුබස්වන්නේය.”

දුක්විඳින සත්වයා වෙත කාරුණික සාමයේ පණිවුඩය රැගෙන ලෝකයේ නොයෙක් දිසාවනට ධර්ම දූතයන් යැවීමට අශෝක රජතුමා ආභාෂය ලැබුවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන ලද උතුම් අදහස් හා ශ්‍රේෂ්ඨ චින්තාවන්ගෙනි. සත්‍ය වශයෙන්ම අශෝක රජතුමාගේ ජීවිතය කෙරෙහි බුදුදහම කෙතරම් දුරට බලපෑවේ ද යත් රණ බෙර වෙනුවට දහම් බෙර හඬ පැතිරවීමට එතුමා කටයුතු සලසන ලදී. බුදුදහම අසෝක රජතුමා කෙරෙහි නොමැකෙන අන්දමින් බලපා ඇති අන්දම එතුමාගේ මෙවන් වචන වලින් ප්‍රකට වේ. “සියලු දෙනාම මාගේ දරුවන් වේ. මාගේ දරුවන්ගේ මෙලෝ පරලෝ දියුණුව හා සැපය මා බලාපොරොත්තු වන්නාක් මෙන් අනෙක් මනුෂ්‍යයින් පිළිබඳව ද මගේ බලාපොරොත්තුව එසේම වේ.”

සත්‍ය වශයෙන්ම මේ වනාහි ඉතිහාසයෙහි ඒකීය චරිතයක් වූ ඉතා බලසම්පන්න රජ කෙනෙකි. මෙතුමා අන්‍ය ආගමකින් බුදුදහම වැළඳ ගනිත්ම, යුද මගින් රාජ්‍යයන් ජය ගැන්ම අත්හැර දමන ලදී. මේ වනාහි පරාජය වෙනුවෙන් නොව ජයගැන්ම වෙනුවෙන් යොමු වූ ප්‍රතිපත්තියකි. ධම්ම පදයෙහි දැක්වෙන පරිදි “දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි. පරිදින්නා දුකසේ වෙසේ. උපශාන්තයා ජයත් පරාජයත් හැර සුවසේ වෙසේ” වේ.

මෙහි අදහස එතුමා ප්‍රත්‍යක්‍ෂ කරගෙන තිබුණි. තවද සංයුක්ත නිකායෙහි දැක්වෙන පරිදි ආක්‍රමණිකයා තමා ආක්‍රමණය කිරීමට කෙනකු ලබයි, යන්න ද එතුමා ප්‍රතයක්‍ෂ කර ගති.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ශාන්තියට හා හොඳ හිතට සීමාවක් නොමැත. එය කාලය හා අවකාශය ඉක්මවා පවත්නා අතර පැතිර පවත්නා අප්‍රමාණ අවකාශයෙහි දක්නට ලැබෙන නා නා ලෝක මණ්ඩලවල ජීවත්වන්නා වූ සියලු සත්වයින් කෙරෙහි සකල දිශාවනටම දීප්තිමත් සූර්යයාගේ රශ්මි මාලාව මෙන් රශ්මි ධාරා විහිදුවනු ලබයි. එය විශ්ව ව්‍යාප්ත වේ. අප්‍රමාණ්‍ය වේ. තවද මිණිය නොහැකි වේ. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත. ඒ තැනැත්තා ස්වකීය සිත මෛත්‍රියෙන් පුරවා ගනිමින් සතර දිශාවනටම මේ මෛත්‍රිය පතුරුවා හරියි. මෙසේ මුළුමහත් ලොව ඉහළ පහළ අවට හා සෑම තැනම, ක්‍රෝධයෙන් හා වෛරයෙන් තොරවූ අත්‍යුත්තම වූද, ශ්‍රේෂ්ඨතම වූද, අසීමිත වූද මෛත්‍රී චින්තාවන් පතුරුවා හරියි. මෙසේ ස්වකීය සිත කරුණාවෙන් පුරවා ගනියි.

යුද්ධයට විරුද්ධව දේශනා කිරීම පමණක් නොව නියම වශයෙන්ම යුද්ධ අවස්ථාවලදී ඒ ගැන මැදිහත්වී එය වළකාලීමට ක්‍රියාකරන ලද ශාස්තෲවරයාණන් වහන්සේ කෙනකු පිළිබඳව වාර්තා වී ඇති ප්‍රථම අවස්ථාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව වේ. දේශපාලන ක්‍ෂෙත්‍රයෙහි අවිහිංසාව පිළිබඳ වූ ප්‍රථම ක්‍රියාත්මක පාඩම එය වේ. සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වනාහි ශාන්ති නායකයාණන් වහන්සේ වේ. දිනක් රෝහිණි ගඟබඩ රැස්වූ ස්ත්‍රීන් සමහරු ස්වකීය ස්වාමිපුරුෂයන් වෙනුවෙන්ද, තවත් සමහරු ස්වකීය පියවරුන් වෙනුවෙන් ද තවත් සමහරු ස්වකීය සහෝදරයන් හෝ වෙනත් ප්‍රියයන් වෙනුවෙන් ද වැළපෙමින් සිටිනු දක්නට ලැබුණි. මෙවැනි සංවේගජනක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මැදිහත් වී මේ සියලු දෙනාම ගලවාගන්නා ලදී. තවද උන්වහන්සේ රෝහිණි නදිය ලේ විලක්වීම වළක්වාලන ලද්දේ ද වේ.

මේ වනාහි තමන්ගේ ප්‍රයෝජනයට ගැනීම සඳහා ජලය බෙදා ගැනීමට අසමත්ව ඔවු නොවුන් වැනසීම සඳහා යුද වැදීමට සූදානම් වූ රජවරුන් දෙදෙනකු අතර ඇතිවූ අරගලයක් පිළිබඳ සිද්ධියකි. පහත දැක්වෙනුයේ විරුද්ධ රජවරුන් හා බුදුරජාණන් වහන්සේ අතර ඇතිවූ සංවාදයකි. බුදුරජාණන් වහන්සේ මෙසේ විචාරන ලදී.

“රජවරුනි ජලය කෙතරම් අගීද?”

“ස්වාමීන්වහන්ස ජලය වටිනාකමින් ඉතා සුළු වේ.” යනු ඔවුන්ගේ පිළිතුර විය.

“මේ පොළොව කෙතරම් අගනේද?”

“ස්වාමීන්වහන්ස මේ පොළොව බොහෝ අගනේය.”

“රජවරුන් කෙතරම් අගනේද?”

“ස්වාමීන්වහන්ස රජවරුන් ද බොහෝ අගනේය.”

“ඔබගේ මහේෂිකාවන් කෙතරම් අගනේද?”

“ඔවුන් ද ඉතා අගනේය, ගරු ස්වාමින්වහන්ස”

“රජවරුනි, ඔබගේ ලේ සබඳකම් කෙතරම් අගනේද?”

යනුවෙන් බුදුරජාණන් වහන්සේ අන්තිමේදී විචාළ සේක.

“ස්වාමින්වහන්ස, එය නම් අපට මහාමේරු පර්වතය මෙන් විශාල දැයක් වන්නේ වේ යයි ඔවුන් සියලු දෙනාම එක හඬින් පිළිතුරු දුන්හ. එකල්හි බුදුරජාණන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක.

“සත්පුරුෂ ජනයිනි, මුහුදට ගලාබසින්නා වූද වටිනාකමක් නැත්තා වූද මේ සුළු ජලය වෙනුවෙන් ලෝකයක් වටිනා රජවරුන්ද, ආදරණීය රාජ මහේෂිකාවන් හා ඔවුන් සියල්ලටම වඩා වටිනා ලේ සබඳකම් ද විනාශ කරන්නේ ඇයි?”

මේ වචන ශ්‍රවණය කිරීමත් සමග ඔවුන්ට ප්‍රඥා ලෝකය ලැබී ඉබේම වාගේ ඔවුන්ගේ හස්තගත ආයුධ බිම වැටුණු අතර තමන්ගේ ක්‍රියාවෙහි ඇති අඥානකම ඔවුනට වැටහුණෙන් ඔවුහු නිශ්ශබ්ද වූහ. එකල්හි බුදුරජාණන් වහන්සේ ඔවුන්ට මෙසේ ඇමතූහ.

“යහපත් රජවරුනි, මේ කාරණයෙහිදී ඔබ මෙසේ ක්‍රියාකරන ලද්දේ ඇයි? අද මා මෙතැනට නොපැමිණෙන්නට මේ ස්ථානය ලේ විලක් වීමට ඉඩ තිබුණි. මේ වචන ඔවුන්ගේ දරුණු සිත්වල තදින් කාවැදුණු අතර බුදුරජාණන් වහන්සේ මේ උත්තරීතර ධර්ම පාඨය දේශනා කළ සේක.

“වෛර කරන්නන් මධ්‍යයෙහි අපි අවෛරීව ජීවත්වන්නෙමු. ක්‍රෝධ කරන්නන් මධ්‍යයෙහි අපි ප්‍රීතියෙන් ජීවත්වන්නෙමු.”

සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වනාහි ශාන්ති නායකයාණන් වේ. ෆීල්ඩින් හෝල් මහතා “මිනිසුන්ගේ ආත්මය (Mens Soul) නම් වූ එතුමාගේ මනහර ග්‍රන්ථයේ දක්වා ඇති පරිදි බුදු දහම පිළිබඳ යුද්ධයක් කිසි කලෙකත් තිබිය නොහැක. බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන්ගේ බලය හේතුකොට ගෙන කිසිම දේශයක් විනාශ වී නොමැත. උන්වහන්සේගේ නාමයෙන් එකම මිනීමැරුමකුදු සිදුවී නොමැත. උන්වහන්සේගේ නාමයට ස්වර්ගය තෙක් ශාප කිරීමට, විපතට පත් කිසිම ස්ත්‍රියක් නොවීය. බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය ලේ පැල්ලම්වලින් කිලිටි වී නොමැත. බුදුරජාණන් වහන්සේ වනාහි මහා ශාන්තිය හා මෛත්‍රිය හා අනුකම්පාව පිළිබඳව දේශනා කරන ලද උත්තමයාණන් වහන්සේ වේ. තවද උන්වහන්සේ දේශනා කරන ලද ධර්මය කෙතරම් පැහැදිලි ද යත් එය කිසි කලෙකත් වරදවා තේරුම් නොගැනේ. සමාජ විරෝධී ආකල්පයන් ලෝකයෙන් ඉවත් කිරීම සඳහා උන්වහන්සේ මෛත්‍රිය කරුණාව, මුදිතාව හා උපෙක්‍ෂාව නමැති සතර අප්පමඤ්ඤ ධර්මයන් උගන්වා වදාළ සේක. ඉවසීම ඇතිවනුයේ මෙකරුණ මුල්කොට ගෙන වන අතර මේ උතුම් ගුණාංගය සැබෑ බෞද්ධයකු හඳුනාගැන්මේ ලකුණ වේ. මේ උතුම් ගුණාංගය බුදුදහමෙහි පමණක් දක්නට ලැබේ. මේ ගුණාංගය හේතුවෙන් මිනිස් වර්ගය තුළ ශාන්තිය, සාමය හා සමාදානය ඇති වේ.

බුදු සමය හා සාමය
එවක ඉන්දියානු අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරූ තුමන් අනුරාධපුරේ සමාධි පිළිමයට මහත් භක්තියක් ආදරයක් දැක්විය. මේ එතුමන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගත් අවස්ථාවකි.

බෞද්ධ ග්‍රන්ථයක දක්නට ලැබෙන පහත සඳහන් සිද්ධිය ගැන සලකා බලත්ම බුදුරජාණන් වහන්සේ කෙරෙන් යොමුවූ පැතිරගිය ඉවසීම පිළිබඳව අවබෝධයක් ලබාගත හැක. නාලන්දාවාසී උපාලි නමැති ධනවත් ගෘහපතියා බුදුරජාණන් වහන්සේ සරණ යෑමට අවසර ඉල්ලන ලද අවස්ථාවේදී උන්වහන්සේ ඔහුට මෙසේ ඇමතූ සේක. “ගෘහපතිය සුපරීක්‍ෂාකාරී වන්න. ඔබ වැනි කීර්තිමත් පුරුෂයන් පරීක්‍ෂාකාරී විය යුතු වේ.” වැඩිදුරටත් බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ අවවාද කළ සේක. “ගෘහපතිය බොහෝ කාලයක් තුළ ඔබගේ ගෘහය නිගන්ඨනාථයින්ට නොවරදින උල්පතක් සේ විය. එබැවින් ඔවුන් ඔබගේ දොරකඩ කරා පැමිණි විට දානය සැපැයීමට සිහියේ තබා ගන්න.” බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් අද දක්වා මේ උතුම් අවවාදය ඉතාමත් ඕනෑකමින් පිළිපදිනු ලැබේ.

ක්‍රිස්තියානි මිෂනාරීවරයකු වන සමිත් පාදිලි තුමා මුළු බුරුම දේශයෙහිම අතේ සතයකුදු නොමැතිව ගමන් කිරීමට සමත් වී ඇති අතර මේ උතුම් ගුණාංගය කොතෙක් දුරට ලාංකිකයන් කෙරෙහිද බලපා ඇත්ද යනු රොබට් නොක්ස්ගේ පහත සඳහන් වාර්තාවෙන් දැක් වේ. ලංකාවාසී මිථ්‍යා දෘෂ්ටික ජනයා දෙවියකු ප්‍රිය උපදවන ලෙස කෙතරම් යහපත් අන්දමින් දුගී ජනයාට සළකනු යත් එහි සිඟමනේ යන ජනයා දක්නට නොමැත. ඒ එසේ වනුයේ ඔවුන් ස්වකීය පවුල්වල අයට ආධාර කරන බැවිනි. සිඟාකෑම සඳහා විදේශයන්ගෙන් පැමිණෙන අමුත්තන් එහි දක්නට ලැබෙන අතර සිඟායෑමක් ලබා ගැන්ම සඳහා ඔවුන් ඉදිරිපත් කරන තතිය වනාහී “පින් පිරෙන්ට” යන්න වේ. ඕනෑම ජාතියකට හෝ අගමකට අයත් මිනිසුනට මොවුන් කරුණාව දක්වන අතර එවැනි අවස්ථාවකදී ඔවුන්ගේ මුවින් පිටවනුයේ “ඒත් අම්මා කෙනෙකු දරුවෙකි” යන්න වේ. ස්වකීය ගෘහයේ එදිනෙදා ඉවීමට ගන්නා සහල් කොටසින් මිටක් ඉවතට ගෙන එය වෙනත් භාජනයක එකතු කරනු ලබන්නේය. මෙය “මිටි හාල්”නමින් හඳුන්වනු ලබන අතර තම ගේදොරට පැමිණෙන දුප්පතුන්ට මෙය තම සිත්සේ බෙදාදෙනු ලබයි.”

බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා වදාරන ලද ඉවසීම හා මෛත්‍රිය බෞද්ධයන්ගේ ජීවිතයට කොතෙක් දුර කාවැදී ඇත්ද යනු මෙයින් පෙනේ.

පුරා වර්ෂ 2500 කටත් වඩා දිගු කලක් මුළුල්ලෙහි බුදුදහමෙහි කරුණා බලපෑම දක්නට ලැබුණි. සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ලෝකයේ ආලෝකය වන අතර උන්වහන්සේගේ කය කෙරෙන් ආලෝකය පිට වේ. මේ ආලෝකය මධ්‍යයෙහි ආශිර්වාද කරන ලීලාවෙන් බුදුරජාණන් වහන්සේ ඔසවන ලද හස්තය වේ. ඒ වනාහී සංසුන්, එමෙන්ම තේජස් සම්පතක බුදුපිළිමය වේ. ලෝක සාමයට මාර්ගය සොයන මනුෂ්‍ය වර්ගයා, උන්වහන්සේගෙන් ඒ ගැන විචාරනු ලබන අතර මහා කාරුණිකයාණන් වහන්සේ එයට මෙසේ පිළිතුරු සපයන සේක.

“මනුෂ්‍යයිනි, මාගේ ධර්මයට අනුව ජීවත්වනු එකල්හි සදහටම ශාන්තිය හා සාමය ඔබගේ වනු ඇත. මගේ ධර්මය වනාහී ශාන්ති ධර්මයකි. මගේ ධර්මය පුරා පස්විසි සතවර්ෂයකට අධික කාලයක් පැතිර ගිය නමුදු, එමෙන්ම දැනට මනුෂ්‍ය වර්ගයාගෙන් තුනෙන් එකක් පමණ එම ධර්මය අදහන නමුදු මගේ ශ්‍රාවකයන් ජයග්‍රහණය කරන ලද්දේ මෛත්‍රියෙන් මිස හිංසාවෙන් නොවේ. මා වෙනුවෙන් කෝටි ගණන් අල්තාර ගොඩනඟා ඇති නමුදු ශත වර්ෂ ගණනාවක් ඇතුළත මේවා එකම ලේ බිඳකුදු අපවිත්‍ර නොවීනියි පවසති.

මගෙන් උපදෙස් ලත් චණ්ඩාශෝක, ස්වකීය නග, කොපුව තුළ දැමීය. එවක් පටන් මනුෂ්‍ය වර්ගයා අතර සදහටම එතුමා ධර්මාශෝක මෙන් සැලකේ. මාගේ නාමයෙන් එතුමා අසල්වාසී රජවරුන් වෙත සාම දූතයන් යවන ලද නමුදු එකල එම පණිවුඩය පිළිගැනීමට ලෝකයා සූදානමින් නොසිටි බැවින් වර්ෂ දෙදහසක් පුරා එවැනි ශ්‍රේෂ්ඨ තත්ත්වයකට මොවුන් පත්කරන ලද්දේ පරාර්ථකාමී සේවය, කරුණාව, ඉවසීම ලද පමණින් සතුටුවීම ප්‍රීතිමත් බව, යුක්තිගරුක බව, පැතිරපවත්නා මනුෂ්‍යත්වය කලා ශාස්ත්‍ර පිළිබඳ ලැදියාව යනාදි බුදුදහමෙහි දක්නට ලැබෙන උසස් වූද ප්‍රඥාගෝචර වූද මේ ප්‍රතිපත්ති වේ. මේ අත්‍යුත්තම ගුණධර්ම මිනිසුන්ගේ චිත්ත සන්තානයන්හි පතුළට කිඳාබසින ලද අතර මේවා ඔවුන්ගේ ජීවිතයේ කොටසක් විය.

දාගැබ් නිර්මාණය පිළිබඳ සෑම අවස්ථාවකදීම එම දාගැබ තුළට මේ ප්‍රධානතම දහම් කොටස් ඇතුළු කිරීම පිළිබඳව සලකා බලත්ම දර්ශනාත්මක සත්‍යයන් හා න්‍යාය ධර්මානුකූල ධර්මය කොතෙක් දුරට මිනිසුන් කෙරෙහි බලපා ඇත්ද යනු අවබෝධ කරගත හැක. දාගැබ පූර්ණ වශයෙන් පදනම, පේසා වළලු, ගර්භය, දේවතා කොටුව, කොත් කැරැල්ල හා කොතකින් සමන්විතව පවතී.

පදනම මඟින් ශ්‍රද්ධාවද පේසා වළලු තුන මඟින් තිසරණියද එසේත් නැතහොත් සමහරුන් පිළිගන්නා පරිදි පේසා වළලු තුන මඟින් නාම, රූප, අරූප යන භවත්‍රයද ගර්හය මඟින් බුද්ධ ශාසනය ද පැති සතරින් යුත් කොත්කැරැල්ල මඟින් චතුරාර්ය සත්‍යයද, බුදුදහම පිළිබඳ වූ මිණි කිරුළ වන නිවන, කොත මඟින්ද නියෝජනය වේ.

මෙසේ සලකා බලත්ම දාගැබ වනාහි බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය පිළිබඳ ජිවමාන සංකේතයකි. දාගැබ දෙස බලත්ම අප සිහියට නැඟෙනුයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ මහා කරුණාව හා සුවිසුදු නුවණද එමෙන්ම බෞද්ධයන් ආධ්‍යාත්මික ධ්‍යානයනට හා ස්වාධියනට යොමුකරනු ලබන ධර්මය පිළිබඳව පවත්නා අසදෘශ සෞන්දර්්‍යයද වේ.

බුදු පිළිමය වනාහි බුදුරජාණන් වහන්සේ පිළිබඳ දෘශ්‍යමාන නියෝජනයක් වන අතර එමඟින් සමාධිය, කරුණාව, නිහඬියාව විමුක්තිය මෙන්ම ඒ සියල්ලටත් වඩා බුදුදහමින් ගෙන එන පණිවුඩය ප්‍රකට කරයි. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ වනාහි තමන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු ගුණධර්මයන්ගේ මූර්තියක් වන බැවිනි. රුසියානු ජාතික දාර්ශනිකයෙකු වූ පී.ඩී. උස්පෙන්ස්කි තුමාගේ කියමන මෙය සනාථ කරයි. දෙහිවල කරගම්පිටියේ බුද්ධ ප්‍රතිමාව දුටු එතුමා මෙසේ පවසා ඇත.

නිල්මිණි නෙත් යුගළකින් බුදුරජාණන් වහන්සේට සම කළ හැකි කිසිවක් ක්‍රිස්තියානි කලා කෘතිවල මට දක්නට නොලැබුණි. එනම් බුදුදහමෙහි ගැබ්ව ඇති ධර්මය, බුදු මුහුණින් පළවන ආකාරයට ක්‍රිස්තු ධර්මය පිළිබඳ අදහස් ඒ අන්දමින් දැක්වෙනු මා කිසිම කලා කෘතියක දැක නොමැත. මේ මුහුණ අවබෝධ කර ගැන්ම වනාහි බුදුදහම අවබෝධ කරගැන්ම වේ.”

ඇලෙක් රොබට්සන්

පරිවර්තනය, ජයසුමනා ද සිල්වා රොබට්සන් මහත්මිය

advertistmentadvertistment
advertistmentadvertistment