බුරුම ජාතිකයන්ට පාලි උගෙනීමට බුරුම බසින් පොත් ලියූ අග්ගමහා පණ්ඩිත මහාචාර්ය පොල්වත්තේ ශ‍්‍රී බුද්ධදත්ත මහා නාහිමි

146

බුරුමයේ පැවැත්වූ ඡට්ඨ මහා සංගායනාවේ එක් අවස්ථාවකදී බුද්ධදත්ත මහ නාහිමියෝ මුලසුනේ දේශනය කරති.

පසුගිය 20 වන සියවසේ මෙරට වැඩ විසූ මහා යතිවරයාණන් වහන්සේලා අතර උගතෙකු, වියතෙකු, ලේඛකයෙකු වශයෙන් ප‍්‍රීති ඝෝෂාවට පත් වූ අග්ගමහා පණ්ඩිත මහාචාර්ය පොල්වත්තේ ශ‍්‍රී බුද්ධදත්ත මහා නාහිමියන්ගේ 59 වෙනි ගුණ සමරුව අද දිනට (06 දාට) යෙදී ඇත. උන්වහන්සේගේ ගුණ ශරීරය හා යසෝ කීර්තිය වර්තමාන භික්ෂූන් වහන්සේලාට හා හෙරණපාණන් වහන්සේලාටත් ගෙන දෙනුයේ මහත් ආදර්ශයකි. එම ස්වාමින්වහන්සේලා විසින් ශ‍්‍රී බුද්ධදත්ත චරිතය හොඳින් අධ්‍යයනය කර තම පැවිදි දිවියට උරා ගත යුතු සංඝ ශෝභන ආදර්ශයන් ප‍්‍රමාණය අප‍්‍රමාණිකය. විඳ ගත යුතු ගුණ සුවඳ අති මහත්ය.

වර්ෂ 1887 ක් වූ ජූලි මස 23 වන දින දකුණු සිරිලක ගාලූ දිසාවේ අම්බලන්ගොඩ පොල්වත්ත නම් ගම්වරයේදී ජන්ම ලාභය ලැබූ පොල්වත්තේ ශ‍්‍රී බුද්ධදත්ත මහා නාහිමි සිය පවුලේ 6 වන දරුවා ලෙස එම ගමේ විසූ ශ‍්‍රද්ධාධික මාතාවක් වූ තුයියාගම්හේවා සාංචි හාමි මාතාව මවු තනතුරේ තබාගෙන උපත ලද්දේ ඕබඩගේ ලොයිඞ් ද සිල්වා උපාසක මහත්මාණන්ගේ පුතණු කෙනෙකු ලෙසය.

පොල්වත්ත ග‍්‍රාමයේ පිහිටි බෞද්ධ පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව අම්බලන්ගොඩ ඉංග‍්‍රීසි බෞද්ධ පාසලට ඇතුළත් වූ මෙම දරුවා පාසල් අධ්‍යාපනයෙන් සමුගෙන පැවිදි දිවියට පත් වන්නේ 12 වැනි වියේදීය. ඒ වන විට මෙම දරුවාගේ මව මියගොස් තිබූ අතර පැවිදි දිවියට ඇතුළු වූයේ මෙම දරුවා පැවිදි කිරීමට මවුතුමිය තුළ ජීවත්ව සිටියදී පැවැති බලවත් කැමැත්ත ඉටු කිරීම උදෙසාය. ඒ අනුව 1899 නොවැම්බර් 09 වෙනිදා අම්බලන්ගොඩ පොල්වත්තේ පිහිටි වර්තමානයේ අග්ගාරාමය ලෙස හඳුන්වන විහාරස්ථානයේදී පොල්වත්තේ බුද්ධදත්ත නමින් පැවිදි දිවියට පත්වූයේ සිරිලක ප‍්‍රථම සිංහල බෞද්ධ පාඨශාලාව පිහිටවූ අතිපූජ්‍ය දොඩන්¥වේ ශ‍්‍රී පියරතන තිස්ස මහානායක මා හිමියන්ගේ උපාධ්‍යායකොට අග්ගාරාමාධිපතිව වැඩ විසූ පෝරඹ ශ‍්‍රී ධර්මාරාම මා හිමියන්ගේ ආචාර්යත්වයෙනි.

පැවිදි වීමෙන් පසු සිය ගුරු හාමුදුරුවන් සෙවණේ සිට මූලික අධ්‍යාපනය ලබාගත් බුද්ධදත්ත හිමියන් තම පැවිදි ගුරු හිමියන් සමග 1903 වසරේදී බුරුම දේශයට (මියන්මාරයට) වැඩම කර වසර 2 ක් එහි වැඩ සිටිමින් බුරුම භාෂාවත්, බුදුදහමත් උගත්තේ දිනෙන් දින බැබළෙන සිසු රුවනක් ලෙසිනි. 1905 වසරේදී ආපසු ලංකාවට වැඩමකරන බුද්ධදත්ත හිමියන් යළි වසරකින් බුරුමයට ගොස් තවදුරටත් අධ්‍යාපනය ලබන අතරේ විසි වයස් පැමිණි කල එනම්, 1907 ජනවාරි 23 වන දින බුරුමයේ වැඩවෙසෙන උගත් විනයධර, ධර්මධර යතිවරයාණන් වහන්සේලා වෙතින් අධිසිල් ලබා ගත්හ. බුද්ධදත්ත හිමියන් සිය අධ්‍යාපන කටයුතු අවසන් කර යළි ලක්දිවට වැඩම කළේ 1911 වසරේදීය.

සිංහල, පාලි, සංස්කෘත, බුරුම සහ ඉංග‍්‍රීසි භාෂාවන් පිළිබඳව හසළ දැනුමක් ලබා තිබූ බුද්ධදත්ත හිමියන් ලංකාවේ කිසිම පිරිවෙණකින් හෝ අධ්‍යාපන ආයතනයකින් උගෙන තිබුණේ නැති අතර, මෙරටින් ලැබුණු කිසිම අධ්‍යාපන සහතිකයකට හිමිකම් පෑවේද නැත. ථෙරවාදී බුදුදහමත් මහායාන බුදුදහමත් හොඳින් දැන ගෙන සිටි පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ලංකා ඉතිහාසය, ශාසන ඉතිහාසය පිළිබඳව විශාල දැනුමකින් යුතු විය. උන්වහන්සේ බුරුමයේ පැවති ඡුට්ඨ මහා සංගායනාවේ එක් අවස්ථාවකදී මුලසුනේ දෙසුමද පැවැත්වූහ.

බුද්ධදත්ත හිමියන් ලේඛකයෙකු වශයෙන් ග‍්‍රන්ථකරණයට පිවිසෙන්නේ බුරුමයේ වැඩ වාසය කරන සමයේ සිටය. 1908 වසරේ පළමුවෙන්ම නිකුත් කළ පොත බුරුම භාෂාවෙන් ලියවූවකි. ‘‘පාලි භාසජ්ජ වේෂනි” යනුවෙන් හැඳින්වෙන මෙම පොත ලියුවේ බුරුම වැසියන්ට පාලි භාෂාව උගෙන ගැනීම සඳහා අත් පොතක් වශයෙනි. උන්වහන්සේ ලියූ අවසාන පොත වූයේ 1962 පළ කළ ‘‘පාලි සංදේශාවලිය” නම් ග‍්‍රන්ථය වේ. මේ අනුව 1908 සිට 1962 දක්වා ගෙවී ගිය වසර 54 ක් තුළ පොල්වත්තේ මා හිමියන් ලියා පළ කළ ග‍්‍රන්ථ ප‍්‍රමාණය 87 කි. පුවත් පත් වලට සැපයූ ලිපි ප‍්‍රමාණය දහස් ගණනකි. එම ලිපි සිංහල, ඉංග‍්‍රීසි හා බුරුම ආදී භාෂා වලින් ලියවී ඇත.

ලේඛනයට මෙන්ම දේශනයට සමත්කම් දැක්වූ මාහිමියෝ දේශීය වශයෙන් හා විදේශීය වශයෙන්ද බොහෝ රටවලට ගොස් දහම් දෙසුම් පවත්වා ඇත. එංගලන්තය, ඉන්දියාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, කාම්බෝජය ආදී රටවල් නාහිමියන් ධර්ම ප‍්‍රචාරයේ යෙදුණු විදේශයන්ය. විද්‍යොදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පිහිටුවීමටත් පෙර ලංකාවේ තිබූ ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියකින් සම්මානිත අප මාහිමියෝ පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳව මහාචාර්ය පදවිය දැරීය.

බුරුම රාජ්‍යයෙන් පිරිනැමෙන අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලද අප මා හිමිපාණන් වහන්සේට විද්‍යොදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍ර ශූරී උපාධිය පිරිනැමූ අතර කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක‍්‍රවර්තී සම්මාන උපාධිය පිරිනැමිනි.

ජාතික, ආගමික ප‍්‍රශ්නවලදී පෙරමුණට පැමිණි පොල්වත්තේ මාහිමියන් ලංකාවේ වමටත්, දකුණටත් නොමැති දේශපාලන ක‍්‍රමයක් තිබිය යුතු බව දේශනා කළ හිමි නමකි. අමරපුර භික්ෂු වංශය නියෝජනය කළ බුද්ධදත්ත මා හිමියෝ අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ මහානායක පදවිය ද හෙබවූ අතර නිබඳවම බෞද්ධ සංඝ සාමග‍්‍රීය පිළිබඳව දේශනා කළ අතර ඒ සඳහාම කැප විය. කුමන පදවි, තනතුරු ලැබුවත් උපන් ගමත්, පැවිදි වූ ආරාමයත් අතනොහැර අගනුවර ආදී ප‍්‍රදේශවල වැඩම කර එම ප‍්‍රදේශයන්හි සිටිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අදහස් නොකළ අතර, උන්වහන්සේ අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමයේ වැඩ වසමින් ඉතා අල්පේච්ඡුතාවයෙන් යුතු ජීවිතයක් ගත කරමින් ලොවට පසක් කළේ පැවිදි දිවියක ඇති අරුතයි.

සියදිවි මගේ 75 වෙනි වසර ඉක්මවමින් තිබූ 1962 වසරේ නොවැම්බර් මස 06 වන දින පොල්වත්තෙ ශ‍්‍රී බුද්ධදත්ත මහා නා හිමියෝ සිහි නුවණින් යුතුව අපවත්වී වදාළේ ගුණ ශරීරය ඉතිරි කරමිනි. නා හිමියන් දැයෙන් සමුගෙන එකුන්සැට වියට පිවිසෙන මේ අවස්ථාවේදී අප කෘතගුණ දත් බොදුණුවන් ලෙස අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අම්බලන්ගොඩ පොල්වත්තේ ශ‍්‍රී බුද්ධදත්ත නා හිමියන්ගේ ශ‍්‍රී නාමය සැමරිය යුතුය. ඒ උතුම් වූ ශ‍්‍රී නාමයත්, නායක මා හිමිපාණන් වහන්සේ සතු ගුණ ශරීරයත් නිබඳව සුවඳ විහිදෙන සඳුන් රුකක් මෙනි.

වජිර අබේවර්ධන,
හිටපු අමාත්‍ය,
සභාපති – එක්සත් ජාතික පක්ෂය

advertistmentadvertistment