බුරුම හමුදා ආණ්ඩුව භික්ෂුව ඉදිරියේ දණ නමයි

536

බුරුමය ථෙරවාදී බෞද්ධ රටකි. ඈත අතීතයේ සිටම බුරුමයත් ලංකාවත් අතර ආගමික සබඳතා මෙන්ම රාජතාන්ත‍්‍රික සබඳතා ද පැවතිණ. භික්ෂූන් වහන්සේලා මෙන්ම වෙළෙඳ ප‍්‍රධානීහු ද මෙම සම්බන්ධතා ගොඩනැගීමට මූලික වූහ. ලංකාවේ මෙන්ම බුරුමයේද ථෙරවාදී බුදු දහම පිහිටුවන ලද්දේ භාරතයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ (කි‍්‍ර.පූ. 268 – 233) මූලිකත්වයෙන් පාඨලීපුත්ත නගරයෙන් පිටත්ව ගිය ධර්ම දූතයින් වහන්සේලා විසිනි. සෝණ හා උත්තර දෙදෙනා වහන්සේගේ් නායකත්වයෙන් යුත් ධර්ම දූතයින් ස්වර්ණ භූමියට වැඩම කළ බව වංශ කථාවල සඳහන් වෙයි. මේ ස්වර්ණභූමිය යනු බුරුමයයි. ලංකාව හා බුරුමය යන බෞද්ධ රටවල් දෙකේ ආගමික හා සංස්කෘතික සබඳතා තහවුරු කර ගැනීමට අනුරාධපුර මහා විහාරය ප‍්‍රධානත්වය ගෙන ඇත. රුවන්වැලි මහා සෑයේ මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වූ නියෝජිත පිරිස පිළිබඳ විස්තරයේ සූරිය ගුප්ත තෙරුන් පැමිණියේ බුරුමයෙනි. දුටුගැමුණු රජතුමාගේ යුද සටන් හා විහාරමහා දේවිය පිළිබඳ පුවත් බුරුමයේ පේගු හා මණ්ඩලේ වැනි නගරවල පිහිටි පුරාණ විහාරස්ථානවල බිතුසිතුවම් අතර දක්නට ලැබේ. එකොළොස් වන සියවසේදී අනුරුද්ධ හෙවත් අනෝරථ රජු බුරුමයේ බෞද්ධ රාජ්‍යයක් ගොඩනැඟීය. බුරුම රාජ්‍යය එක්සේසත් කළ රජු ඔහුය. අනෝරථ රජුට සමකාලීනව ලංකාව පාලනය කළේ පළමු වන විජයබාහු රජතුමාය. එතුමා හා බුරුම රජු හා පැවැති සබඳතා නිසා දෙරටේ ආගමික දියුණුව ඇතිවිය.

බි‍්‍රතාන්‍ය යටත්විජිතයක් වූ බුරුමයට නිදහස හිමිවූයේ 1948 දීය. ලංකාවට නිදහස හිමිවී මාසයකට පසුව එරට නිදහස් විය. වසර 50 කට වැඩි කාලයක් තිස්සේ මියන්මාරය හමුදා පාලනය යටතේ පැවැතිණි. 2009 වසරේදී එවක බුරුම හමුදා ආණ්ඩුවේ ප‍්‍රධානියා වූ ජෙනරාල් තාන් ශ්වේ මෙරට සංචාරය කළේය. අවුන් සාන් සුචීගේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමත් සමඟම 2011 දී හමුදා පාලනය අවසන් කෙරිණි. එහෙත් පසුගිය පෙබරවාරියේ මේ සියල්ල ආපසු හැරිණි. ‘ටට්මඩෝ’ නමින් හැඳින්වෙන මියන්මාරයේ බලසම්පන්න හමුදාව තුළ විවිධ නිල ලබමින් ක‍්‍රමයෙන් ඉහළට ගිය හමුදා ප‍්‍රධානි ජෙනරාල් මින් අවුං හ්ලේයින්ග්, පෙබරවාරි 1 වෙනිදා දියත් කෙරුණු කුමන්ත‍්‍රණයට පසු එරට රාජ්‍ය නායකයා බවට පත් විය. සිය මුළු වෘත්තීය ජීවිතය ම බලගතු හමුදාව වෙනුවෙන් ගත කළ 65 හැවිරිදි ජෙනරල්වරයා 1974 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ආරක්ෂක සේවා ඇකඩමියට ඇතුළු වූ අයෙකි. අවුං සාන් සුචීගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට සැලසුම් කිරීම බුරුම හමුදාවේ සතුටට හේතුවුයේ නැත. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හරහා හමුදා බලය සීමා කිරීමට එන්එල්ඞී පක්ෂය අරඅදින බව හමුදාපතිවරයා හොඳින්ම අවබෝධ කරගත්තේය.
ඇත්තෙන්ම වත්මන් ව්‍යවස්ථාව යටතේ එරට පාර්ලිමේන්තුවේ ආසනවලින් 25% ක් ද ආරක්ෂාව අතින් වැදගත් කැබිනට් තනතුරු ද හමුදාවට පවරා ඇත.කවරක් නමුත් ආණ්ඩුව හා සන්නද්ධ හමුදා අතර අර්බුදය මැද කුමන්ත‍්‍රණයක් දියත්වනු ඇතැයි යන අනුමානය පසුගිය ජනවාරියේ සිට වර්ධනය වන්නට විය.‘‘ව්‍යවස්ථාව අනුගමනය නොකරවානම්, එය අවලංගු කෙරේවි” යනුවෙන් ජෙනරාල් මින් අවුං හ්ලේයින්ග් අනතුරු ඇඟවීමක් කළේ 1962 සහ 1988 වසරවල හටගත් හමුදා කුමන්ත‍්‍රණ උදාහරණ ලෙස පෙන්වා දෙමිනි. ජනවාරි 27 වැනිදා මේ ප‍්‍රකාශය කළ ඔහු දින කිහිපයක් ගතවෙද්දී එරට බලය අල්ලා ගත්තේය. හමුදාව පාලනය අල්ලා ගැනීම ගැන බටහිර ලෝකය අකමැති වුණත් අපි නම් කැමතිය.

අසල්වැසි ඉන්දියාව පවා බුරුම හමුදා ආණ්ඩුවට දොසක් පවරන්නේ නැත. චීනය බුරුම ජෙනරාල්වරු ඉමහත් ආදරයෙන් වැළඳ ගනී. සැබෑ ලෙසින්ම බුරුම ථෙරවාදීන්ගේ ආරක්ෂාව හොඳින්ම සුරැකෙන්නේ හමුදාව යටතේ බව පැහැදිලිය. බුරුම හමුදා නායකයෝ ප‍්‍රසිද්ධියේම ඔවුන් භක්තිමත් බෞද්ධයින් බව පවසති. ආගම ආරක්ෂා කිරීම ජාතික යුතුකමක් බවත්, ටට්මඩෝව යනු රටේ අවසාන අධ්‍යාත්මික භාරකරු බවත් ජෙනරාල් මින් ප‍්‍රකාශ කර තිබේ. එනිසාම සිරගත කර සිටි අශ්වින් වීරතු හිමියන්ද සියලූ චෝදනා වලින් නිදහස් කර මුදා හැරීමට කටයුතු කර තිබිණි. හැනා බීච් මාධ්‍යවේදිනිය එදා 2013 දී ටයිම්ස් ස`ගරාවට ලිපියක් ලියමින් ‘‘බෞද්ධ භීෂණයේ මුහුණුවර” ලෙස වීරතු හිමියන්ට චෝදනා එල්ල කලද බුරුම හමුදාව ඒ චෝදනා විසිකර දමා තිබේ. මීට වසර අටකට පෙර විරාතු හිමියන් ත‍්‍රස්තයකු ලෙස හුවා දක්වමින් ඇය ලියූ ලිපියේ කොටසක් මෙලෙස උපුටා දක්වමි.

‘‘ඒ මුහුණේ පිළිමයක මෙන් ශාන්ත පෙනුමකි. ‘බුරුමයේ බින් ලාඩන්’ ලෙස හැඳින්වෙන බෞද්ධ භික්ෂුව දේශනාව අරඹයි. ඉදිරිපස සිය ගණනක් බැතිමතුන් සිටියේ දෙඅත් එකට තබාගෙනය. ඔවුන්ගේ ඇලෙනසුළු පිට දිගේ දහඩිය ගලා යයි. සංඥාවකට අනුව ඔවුහු පඩුපැහැ සිවුරක් හැඳි මිනිසා සමග තාලයට ගායනා කරති. රැන්ගුන් අගනුවරට පසුව බුරුමයේ දෙවැනි විශාල නගරය වන මණ්ඩලේ හි පිහිටි මේ පුදබිමේ උණුසුම් අහස ඒ මන්ත‍්‍රවලින් පිරී යයි. පෙනෙන ආකාරයට එය සාමකාමී දසුනකි. එහෙත් විරාතුගේ හඬෙහි ද්වේශය අඩංගුය. සංසුන්ව සිටිය යුතු කාලයක් නෙවෙයි මේක, භික්ෂුව දේශනා කරයි. බෞද්ධයන් බහුතරයක් වසන රටක සුළුතර මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී අදහස් සහිත එම දේශනයට වැය කෙරෙන කාලය මිනිත්තු 90කි. උදා වෙලා තිබෙන්නෙ නැගිටිය යුතු කාලයයි. ඔබේ ලේ උණුසුම් කළ යුතු කාලයයි. (උපුට ගැනීම අවසන්)

මේ කාන්තාවම පසුගිය අගෝස්තු 28 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට බුරුමය ගැන ලිපියක් ලියමින් පවසා තිබුණේ බුරුම භික්ෂුන් හමුදා ආණ්ඩුව නිසා දෙකට බෙදී ඇති බවයි. නමුත් එය පිළිගත නොහැක. බුරුමයේ ලක්ෂ 04ක පමණ භික්ෂු පිරිසක් වෙසේ. එරට භික්ෂු සමාජයේ ඉහළම නායකත්වයේ සිට අතිශය බහුතරය හමුදා ආණ්ඩුවේ දොස් දකින්නේ නැත. එහෙත් හැනා හමුදා ආණ්ඩුවට එරෙහිව මැන්ඩලේ නුවර උද්ඝෝෂණය කළ භික්ෂු කණ්ඩායමකගේ හඩ උලූප්පා පෙන්වයි. ඇත්තෙන්ම මේ මාධ්‍යවේදිනිය 2019 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ශී‍්‍ර ලංකාව හා බුරුමය: බෞද්ධ යුදකාමිත්වයක් මතුව තිබේද? යනුවෙන් ලිපියක් ලියමින් උත්සහ කළේ කුමකටද? ථෙරවාදීන්ට පහර දීමටය. බුරුම හමුදා ආණ්ඩුවට විරුද්ධව යැන්ගුන් නුවර උද්ඝෝෂණය කළ සමහරුන්ගේ අත තිබුණු පුවරුවල ලියවී තිබුණේ කුමක්ද? ඇමරිකානු හමුදාව එරටට පැමිණ හමුදා ජුන්ටාවෙන් බේරාගන්නා ලෙසය. ඇමෙරිකාව විසින් බේරාදුන් රට කවරේද? මෙය සැබවින්ම විහිළුවකි. ලිබරල් ඔළුවලට අවශ්‍ය ලෙස නටන්නට බුරුම හමුදා ආණ්ඩුව සුදානම් නැත. ලිබරල් ගෙම්බන්ට නටන්නට ඉඩදී ඇත්තේ මෙරටය. මේ ගෙම්බන්ට හමුදාව පෙන්න්නට බැරිය. බෞද්ධයන් ඒකාධිපතිත්වයට විරුද්ධව නැගීසිටිය යුතු යැයි කොළඹ සිට බුරුම හමුදා ආණ්ඩුවට විරුද්ධව ලියන ලිබරල් චින්තකයින් සටහන් කර තිබිණි. නමුත් මොවුන් තලේබාන් ආණ්ඩුවට විරුද්ධව මත ප‍්‍රකාශ කරන බවක් නොපෙනේ.

චතුර පමුණුව

advertistmentadvertistment