බුරුම හාමුදුරුවෝ ඇමරිකාවේ ඒකාධිකාරියක් කරගෙන සිටිය භාවනා ක්‍රමය මම වෙනස් කළා…

472

* සමාධිය නැතිව විපස්සනා භාවනාව වඩන්න බෑ…

* ළමා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ උගන්වන්න මටත් ආරාධනා කළා…

* ගුණරතන හාමුදුරුවෝ නාන තැනට අනඟ රුවක්…

* දලයි ලාමාටත් වඩා ලෝකයේ බුදුදහම ප‍්‍රචලිත කළ සිංහල හාමුදුරුවෝ…
 

තරංග රත්නවීර

අයහපත් ගති පැවතුම් සමාජයෙන් අතු ගා දැමීමට නම් අපේ රටේ වල්මත් වෙච්ච අධ්‍යාපන ක‍්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස්් කරන්න ඕනෑ. ප‍්‍රථමයෙන් කළ යුත්තේ රට දියුණු කිරීමට වැඩ කිරීම නෙමෙයි. යහපත් පුරවැසියන් නිර්මාණය කරන්න කටයුතු කිරීමයි. රටේ නීතියට ගරු කරන, විනයක් සහිත දැහැමි සමාජයක් නිර්මාණය වූ පසු අපේ රට පහසුවෙන්ම සංවර්ධනය කරා ගමන් කරනවා. හිතලා වැඩ කරන්න පුළුවන් බුද්ධිමක් දරුවන් නිර්මාණය වෙනවා. ළමයි තුළ ඉගෙන ගන්න තියෙන උනන්දුව වැඩි වෙනවා.

වයසට ගිහිල්ලත් ඉගෙන ගන්න උනන්දු වුණේ ඇමරිකන් ජාතික උගත්, බුද්ධිමත් මිනිසුන් අතරට යන්න ඕනෑ නිසයි. එහෙම නැතිව උපාධිවලින් මට වැඩක් නෑ. ධර්මය හොඳින් ඉගෙන ගෙන, ඉංග‍්‍රීසි කතා කරන්න පුළුවන්කම තිබුණා නම් මගේ වැඩකටයුතු කරගෙන යන්න හොඳටම ප‍්‍රමාණවත්. ඒත් ඇමරිකාව තුළ බුදුදහම ව්‍යාප්ත කිරීමට සහ බෞද්ධ විහාරස්ථාන ආරම්භ කිරීමට නම් ඇමරිකානු උගත්, බුද්ධිමත් මිනිසුන් හඳුනාගැනීම අමතර වාසියක් බව මට වැටහුණා. ඒ මිනිසුන් අතරට ගිහින් දැන හැඳුනුම්කම ඇති වූ විට වැඩ කරගෙන යෑමේදී මතු වන ඕනෑම ගැටලූවක් සුහදව සාකච්ඡා කර විසඳගන්න පුළුවන් වෙනවා. ඇමරිකාවට පැමිණි කාලයේ සිට එරට විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වීමේදී ශිෂ්‍යයන්ගේ සහ ගුරුවරුන්ගේ ආකල්ප, සිතුම් පැතුම්, උගත් බුද්ධිමතුන්ට සමාජයේ තියෙන ගෞරවය ගැන මට හොඳින් වැටහුණා. ආචාර්ය උපාධිය දක්වා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට මම තීරණය කළේ ඒ නිසයි. ඒත් මගේ අධ්‍යාපන චාරිකාව අතිශය කටුක ගමනක් වුණා. ඒ දුෂ්කර ගමනේ අවසානයේදී මම ඉලක්කයට ගියා. ආචාර්ය උපාධියට මම කළේ ‘ථෙරවාදී බෞද්ධ ධ්‍යාන පිළිබඳ විචාරාත්මක නිබන්ධනය. පිටු හාරසීය තිස්හයක්. මගේ විශ්වාසය අනුව ලෝකයේ තවත් කිසිදු භික්‍ෂූන්වහන්සේනමක් ධ්‍යාන පිළිබඳ පී. එච්.ඞී. විචාරාත්මක නිබන්ධනයක් ලියලා නෑ.

ඔය කාලේ ඇමෙරිකාවේ භාවනාව පුරුදු, පුහුණු කළේ බුරුම හාමුදුරුවෝ. ‘අපි කරන්නෙ විපස්සනාව. ඒකට ඔය භාවනාවේ කිසිම සම්බන්ධයක් නෑ…. කියලා ධ්‍යාන, සමාධිය පිළිබඳ කතා කරන්නවත් ඉඩ දුන්නෙ නෑ. ධ්‍යාන වැඞීමෙන් කිසිම ඵලක් නෑ කියලා තමයි විපස්සනා භාවනා ගුරුවරු කිව්වේ. මම ඒ මතය වෙනස් කළා. සමාධිය නැතිව විපස්සනාව විතරක් කරන පුද්ගලයන් අනුගමනය කරන්නෙ ආර්ය අෂ්ඨාංග මාර්ග නෙමෙයි, ආර්ය සත්තංග මාර්ගයයි. සමාධියක් නැතිව ආර්ය අෂ්ඨාංග මාර්ග සම්පූර්ණ වෙන්නෙ නෑ. සමථ, විපස්සනා භාවනා දෙකම එකට කරන්න ඕනෑ. එතකොට තමයි භාවනාව සම්පූර්ණ වෙන්නෙ. සමාධියට පෙර විපස්සනාව තියෙන බව සැබෑව. සම්මා සති, සම්මා සමාධි. සම්මා සතියක් නැතිව කිසිදු ආකාරයකින් සම්මා සමාධියක් වඩන්න බෑ. බුදුරජාණන්වහන්සේ බුදු වෙන්න පෙර සමාධිය වඩලා තිබුණා. උන්වහන්සේ ළමා කාලයේදීම සමාධියට සමවැදිලා තිබුණා කියනවා. උන්වහන්සේගේ ගුරුවරුත් සමාධියට සමවැදිලා ඉඳලා තිබුණා. සිදුහත් කුමාරයාට ගිහිගෙය අතහැරලා යෑමටත් ධ්‍යාන සමාධිය වැඞීම හේතුවක් වුණා. ජාති, ජරා, මරණ දැකලා ගිහිගෙය අතහැරලා ගිහින් දුෂ්කර ක‍්‍රියා කළේ සමාධියක් ලබාගෙන ඉන්න නෙමෙයි, මේ සංසාරෙන් එතෙර වෙන්න. වසර හයක් දුෂ්කර ක‍්‍රියා කරමින් උන්වහන්සේ සෙව්වෙත් ජාති, ජරා, මරණ නැති කරන සමාධියට එහා ගිය ක‍්‍රමයක්. එම බලාපොරොත්තුවෙන් උන්වහන්සේගේ සිත සම්පූර්ණයෙන් පිරීමත් සමඟ කෑම, බීම, විවේකය සියලූ අවශ්‍යතා සිතින් අමතක වුණා.

අනිත්‍ය දකිනකොට උන්වහන්සේට යා යුතු මාර්ගය තේරුම් ගියා. අනිත්‍ය පේන්නෙ විපස්සනාවට. ආත්ම සංකල්පය නැති කරන්න පුළුවන් විපස්සනාවට විතරයි. ඒත් විපස්සනාව වඩන කෙනෙක් සමාධිය ලබන්නම ඕනෑ. බුරුම හාමුදුරුවෝ සමාධිය අමතක කරලා විපස්සනා භාවනාව විතරක් කරගෙන ගියා. එහෙම කරන්න බෑ. සමථ, විපස්සනා භාවනා දෙකම එකට බැඳිය යුතු බව මජ්ජිම නිකායේ උපරිපන්නාසකයේ මහා සලායතනික සූත‍්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මම ඒක දැනගෙන හිටියේ. ආචාර්ය උපාධියට ‘ථෙරවාදී බෞද්ධ ධ්‍යාන පිළිබඳ විචාරාත්මක නිබන්ධනය. ලියවීමටත් ඒක ප‍්‍රධාන හේතුවක් වුණා. සමාධිය වඩන ආකාරයත්, සමාධියෙන් විපස්සනාව දියුණු කර ගන්නා ආකාරය ගැනත් නිබන්ධනය තුළ මම හොඳින් විග‍්‍රහා කරලා තියෙනවා. එම විෂය සම්බන්ධයෙන් ලෝකයේ කිසිම කෙනෙක් පොතක් එළිදක්වලා තිබුණේ නෑ. අවසානයේ මගේ නිබන්ධනය ගැන දේශනා පැවැත්වීමට ඇමරිකාවේ විශ්වවිද්‍යාලවලින් ආරාධනා කළා. යම් පුද්ගලයෙක් අලූත් නිර්මාණයක් ඉදිරිපත් කළ විට ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමට ඇමෙරිකානු ජාතිකයන් අතිශය උනන්දු වෙනවා. ඒක ඇමරිකාවේ සුවිශේෂීත්වයක්.

මම උපාධි නිබන්ධන සකස් කළේ, විශ්වවිද්‍යාල උපාධි ලබාගත්තේ සියලූ අධ්‍යයන කටයුතු කරගෙන ගියේ ථෙරවාදී බොදු දහම ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට යම් මෙහෙවරක යෙදීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරේ, විශ්වවිද්‍යාලවල දේශන පවත්වන අතරේ වොෂින්ටන් බෞද්ධ විහාරයෙත් පින්කම් රාශියක්ම සිදු කළා. වෙසක් උත්සවය, කඨින පින්කම්, සෑම වසරකම පෙබරවාරි මාසෙ ඕල්කට් දිනය වෙනුවෙන් උත්සවයක් සංවිධානය කළා. වොෂින්ටන් බෞද්ධ විහාර සමාගමේ වාර්ෂික උත්සවයක් පවත්වන්න වුණා. ඔය අතරේ විහාරයට ලැබෙන ආධාර මුදල් සකසුරුවම් සහිතව තැන්පත් කරන්න වුණා. ඒ ලැබෙන සෑම මුදලක්, වියදමක් ගැන සමාගමට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන්න වුණා. විහාරයේ නඩත්තුු කටයුතු, දානය පිළියෙළ කරගැනීම සියලූම වැඩ කන්දරාව මගේ දෑතින්ම සිද්ධ කරන්න වුණා. වොෂින්ටන් විහාරයට ගිය දවසෙ ඉඳලා ඔය වැඩ කොටස කරගෙන ගියා.

1976 අවුරුද්දෙ බොස්ටන් ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයක ප‍්‍රධානියකුගෙන් මට ආරාධනාවක් ලැබුණා. එම භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරලා තිබුණේ 1974 වර්ෂයේදී. මූලික වෙලා තිබුණේ ජෝෂප් ගෝස්ටීන්, ජැක් ඕන්ෆීල්ඞ් සහ ෂැරින් හෝස්බ‍්‍රක් කියන තිදෙනා. මට ආරාධනා කළේ ජෝෂප් ගෝස්ටීන්. එම ආරාධනාවට අනුව මට භාවනා වැඩසටහන් කරගෙන යන්න තිබුණේ නිව් මෙක්සිකෝවේ ‘ළමා පවුන්ඬේෂන්. කියන මධ්‍යස්ථානයේ. එතකොට මම ඇමරිකාවට අලූත්. වැඩි ප‍්‍රසිද්ධියක් නෑ. ඒත් ජෝෂප් මා ගැන දැනගෙන මට ආරාධනා කළා. ‘ළමා. කියන්නෙ ටිබෙට් ජාතික නමක් නිසාත් ටිබෙට් හාමුදුරුවො පිරිලා ඇති කියල හිතලා ආරාධනාව පිළිගෙන මම ගියා.

වොෂින්ටන් ඉඳලා ඇල්බෝ කා ගුවන් තොටුපළට ෆ්ලයිට් එකේ ගිහින්, එතැන ඉඳලා භාවනා මධ්‍යස්ථානයට වාහනයකින් පැය හතරක දුරක් ගමන් කරන්න තිබුණා. භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබුණේ කැලෑ ප‍්‍රදේශයක. ඇල්බෝ කා ගුවන් තොටුපළින් බහිනකොට එදා හොඳටම හවස් වෙලා තිබුණා. මාව ගන්න ගුවන්තොටුපළට පැමිණ සිටියේ ඇමරිකානු යුවළක්. ජෝන් සහ ඈන්. එදා රෑ ජෝන්ලාගේ ගෙදර නවාතැන් ගෙන පහුවෙනිදා උදේ පාන්දරින්ම ජෝන් ඔහුගේම වාහනයෙන් මාව භාවනා මධ්‍යස්ථයානයට එක්කරගෙන ගියා. ජෝන්ගේ බිරිඳ, දරු දෙදෙනා හතරදෙනාම මාත් සමඟ භාවනා මධ්‍යස්ථානයට ගියා. එදා උදේ යන ගමන් හීල් දානය ගත්තෙ ගස් සෙවණක් යට.

භාවනා මධ්‍යස්ථානයට යනකොට දවල් වෙලා තිබුණා. භාවනා මධ්‍යස්ථානය සුන්දර තැනක් බව පෙනුණා. ඒත් මම බලාපොරොත්තු වෙච්ච ළමාවරු පේන්න හිටියේ නෑ. භාවනා මධ්‍යස්ථානය තුළට ගිය හැටියේ විවේක ගන්න මට කුටියක් දුන්නා. ඒ කුටිය පිහිටා තිබුණේ භාවනා මධ්‍යස්ථානයෙන් තරමක් එපිට හද්ද කැලේ කඳු මුදුනක. ලයිට් නෑ. භූමිතෙල් ලාම්පුවක් තිබුණා. ඉටිපන්දම් තිබුණා. කුටිය රත් වෙන්න දර පත්තු කරන ලිපක් තිබුණා. නිදාගන්න තිබුණේ මෙට්ටයක්. බාත්රූම් නෑ. කුටිය පිටුපස වතුර බටයකට ලොකු වතුර මලක් සවි කරලා නාන තැන ගෝනි පඩංගුවලින් ආවරණය කරලා තිබුණා. දොර වගේ වහන්න තිබුණෙත් ගෝනි පඩංගුවක්. කුටියෙන් තරමක් ඈතට වෙන්න වැසිකිළියක් තිබුණා. වැසිකිළිය වටේට ලී ගහලා, දොරක් තිබුණේ නෑ. වැසිකිළියට ඉදිරිපිට මදක් ඈතින් කුඩා නාන තටාකයක් තිබුණා. එම භාවනා මධ්‍යස්ථානයට ගිය දවසට පහුවෙනිදා දවල් මම වැසිකිළියට ගිහින් බිම බලාගෙන ඉඳලා ඔලූව උස්සනකොට තරුණ ගැහැණු ළමයි තිදෙනෙක් නාන තටාකයේ නාන්න ඇවිත් අමු නිර්වස්ත‍්‍රයෙන් ඉන්නවා මම දැක්කා. මට නොසෑහෙන්න ලැජ්ජා හිතුණා. ඒ වගේම කේන්ති ගියා. මම වැසිකිළියෙන් එළියට ඇවිත් කෙළින්ම ගියේ භාවනා මධ්‍යස්ථානයේ කළමනාකරු මුණගැහෙන්න.

‘‘දොරක් නැති වැසිකිළියකට යන්න දීලා, ඉදිරියෙන් නිරුවත් ගැහැණු ළමයින්ට දිය නාන්න දීම භාවනා ගුරුවරුන්ට කරන විශේෂ සැලකිල්ලක්ද? ඔයලා සලකන්නෙ ඒක ගෞරවයක් හැටියට ද? මට මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න බෑ. මට යන්න ඕනෑ….. මම උච්ඡ ස්වරයෙන් එසේ කියා සිටියා. මගේ කතාවෙන් කළමනාකරු වික්‍ෂිප්ත වුණා. මොහොතකින් ඔහු මගෙන් සමාව අරගෙන ඒ අවස්ථාවේම වෙන කුටියක් ලබාදෙන්න කටයුතු කළා. ඒ කුටියට ගිහින් දෙවැනි දවසේ ගෝනි පඩංගුවලින් ආවරණය වෙච්ච නාන තැනට ගිහින් පැන් පහසු වෙන්න හදනකොටම අවුරුදු දහඅටක් විතර ළමිස්සියක් නිර්වස්ත‍්‍රයෙන් නාන තැනට ආවා. මම කෙන්තියෙන් බැනලා එලෙව්වා. එතකොට ඒ ගෑනු ළමයා කියනවා ‘මට ප‍්‍රශ්නයක් මතු වුණා, ඒකට විසඳුමක් ලබාගන්න ආවේ. කියලා.

‘ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්න වෙන වෙලාවක එන්න කරුණාකර දැන් යන්න. කියලා ඒ ළමයව එළෙව්වා. ඒ සිද්ධියත් මම කළමනාකරුට දැනුම් දුන්නා. ඔය කාලේ තමයි ඇමෙරිකාවේ ‘හිපි සංස්කෘතිය නිර්මාණය වෙන්න පටන්ගෙන තිබුණේ. විනයක්, සදාචාරයක් නැති විකෘති උප සංස්කෘතියක්. කොණ්ඩ රැවුල් වවාගෙන, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, ගැහැණු පිරිමින්ට කැමති කෙනෙක් සමඟ ලිංගිකව එකතු වෙන්න පුළුවන් විකෘති ජන කොටසක් තමයි හිපියො කියන්නෙ. ළමා භාවනා මධ්‍යස්ථානයේදීත් විකෘති ඇවතුම්, පැවතුම් දකින්න ලැබුණේ හිපි සංස්කෘතියේ ප‍්‍රතිඵලයක් විදිහට තමයි. මගේ ජීවිතේට අත්දකින්න නොලැබුණු, හීනෙකින්වත් අත්දකින්න නොහිතපු අමුතුම අත්දැකීම්. ඒ භාවනා මධ්‍යස්ථානයේ හිටිය අනිත් අයට නම් හිපි සංස්කෘතිය පුදුමයක් වෙලා තිබුණේ නෑ.

මතුසම්බන්ධයි

advertistmentadvertistment
advertistmentadvertistment