එකම දවසේ තිරයට ආ සුපිරි චිත්‍රපට දෙක
මේ දවස්වල බොලිවුඩ්වලට ගොඩක් කාර්යබහුල කාලයක්. මොකද ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු ජනප්‍රිය චිත්‍රපට දෙකක් මේ දවස්වල තිරගත වෙන නිසා. අද අපි කතා කරන්න යන්නේ ඒ චිත්‍රපට දෙක ගැන. ඒ අතුරින් එකක් තමයි අනීස් බස්මී විසින් අධ්‍යක්ෂණය කරන ලද බූල් බුලයියා 3 චිත්‍රපටය. අනික රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහම් අගේන් කියන චිත්‍රපටය. තිරගත වෙන්න කලින් ඉඳලම ගොඩක් දෙනෙක් මේ චිත්‍රපට දෙක පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තියාගෙන තමයි හිටියේ. ඉතින් ඒ හිතුවා වගේම තිරගත වෙලා වැඩි දවසක් යන්න කලින් ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර ලබාගන්න චිත්‍රපට දෙකට ම හැකිවෙලා තියෙනවා. හැබැයි මේ චිත්‍රපට දෙකම තිරගත වුණේ එකම දවසේ. දීවාලි උත්සවය දවසේ චිත්‍රපටය රිලීස් කරන්න තමයි නිෂ්පාදකවරුන් තීරණය කරලා තිබුණේ. ගොඩක් දෙනෙක් හිතුවේ මේ විදිහට සිද්ධ වෙන ක්ලෑෂ් එක චිත්‍රපට දෙකට ම ලොකු අසාධාරණයක් වෙයි කියලා. හැබැයි එහෙම දෙයක්නම් වුණේ නෑ. තිරගත කරලා පළමුවෙනි දවසෙම චිත්‍රපට දෙකම හොඳ ප්‍රතිචාර ලබාගන්න සමත්වුණා වගේම බොහෝ දෙනාගේ ආදරය දිනාගන්නත් සමත් වුණා.
මේ චිත්‍රපට දෙක පිළිබඳව ගොඩක් දෙනෙක් කතා කරන්න හේතුවුණු එක කාරණයක් තමයි චිත්‍රපට දෙකේම ගොඩක් දක්ෂ ඒ වගේම ගොඩක් ජනප්‍රිය නළු නිළියන් රැසක්ම රංගනයෙන් දායකවීම. බූල් බුලයියා චිත්‍රපටයේ කාර්තික් ආර්යන්, විද්‍යා බාලන් වගේම මධුරි ඩිස්කිත් කාලෙකට පස්සේ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම සිංහම් අගේන් චිත්‍රපටයේ අජය දේව්ගන් එක්ක දීපිකා පදුකෝන් කරීනා කපූර් මෙන්ම අර්ජුන් කපුර්, ජැකී ෂෙරොෆ් වගේ අය එකතු වෙලා ඉන්නවා. අනිත් විශේෂත්වය තමයි ආක්ෂය කුමාර් සහ රන්වීර් සිං මේ චිත්‍රපටයේ විශේෂ කාමියෝ charaters දෙකකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණීම. ඒ වගේම මේ චිත්‍රපට දෙකම ෆැන්චයිසර් චිත්‍රපට. ඒ කියන්නේ බූල් බුලයියා චිත්‍රපටය 2017 වසරේ පළමු කොටසත්, 2022 වසරේ දෙවැනි කොටසත් තිරගත කළා. එහි තුන්වන කොටස තමයි බූල් බුලයියා 3 විදිහට ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. සිංහම් පළමු කොටස තිරගත වෙන්නේ 2011 වසරේ දී. ඉන්පසුව සිංහම් අගේන්, සූර්යවංශි, සිම්බා චිත්‍රපට ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගත්තා. ඒ විදිහට තමයි එහි පස්වන කොටසත් ප්‍රේක්ෂකයන් අතරට අරගෙන එන්න රෝහිත් තීරණය කරන්නේ.
ටී සීරිස් චිත්‍රපට වෙනුවෙන් ආක්ෂේ කුන්ද්‍රා තිර රචනය කරපු බූල් බුලයියා 3 චිත්‍රපටය විශේෂ වෙන්න තවත් එක හේතුවක් බලපාලා තියෙනවා. ඒ තමයි මධුරි ඩිස්කිත් සහ විද්‍යා බාලන්ගේ අපූරු නර්තනයක් චිත්‍රපටයේදී ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්න හැකියාව ලැබීම. කාර්තික් ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එයා තාරුණ්‍යයේ උන්මාදයක් වෙලා ඉවරයි. ඉතින් කාර්තික් රඟපාන චිත්‍රපටයක් එනකං ප්‍රේක්ෂකයෝ මඟ බලාගෙන ඉන්නේ. රෝහිත්ගේ සිංහම් අගේන් ගැන කතා කළොත්, මේක නිෂ්පාදනය කරන්න රෝහිත් ෂෙට්ටි වගේම අජය දේව්ගන් එකතු වෙලා. ඇක්ෂන් ෆිල්ම් ගණයට වැටෙන සිංහම් අගේන් ප්‍රේක්ෂකයෝ බලාගෙන හිටපු චිත්‍රපටයක්. ජනප්‍රිය තරු රැසක් තමන්ගේ සුපිරි රංගනයන් චිත්‍රපටයට එකතු කරන නිසා මේ චිත්‍රපටය වසරේ අතිසාර්ථක චිත්‍රපටයක් වෙයි කියලා ගොඩක් දෙනෙක් විශ්වාසය පළ කරනවා.
අනෙක් කාරණය තමයි දීවාලී උත්සවය දවසේ මේ චිත්‍රපට දෙකම තිරගත කරන්න නිෂ්පාදකවරු තීරණය කරපු එක. මේ නිසා ගොඩක් අය හිතුවේ මේ ක්ලෑෂ් එක නරක විදිහට චිත්‍රපට දෙකට බලපායි කියලා. හැබැයි ඒක එහෙම වුණේ නැහැ. තිරගත කරපු පළමුවෙනි දවසෙම චිත්‍රපට දෙකම හොඳ ආදායමක් ලබාගන්න සමත්වුණා. ඒ වගේම කාර්තික් තමන්ගේ සිනමා ජීවිතේ චිත්‍රපටයක් තිරගත කිරීමේ පළමු දිනයේදී උපයපු වැඩිම මුදල බූල් බුලයියා 3 චිත්‍රපටයෙන් උපයන්න සමත් වුණා. ඒ ඉන්දියානු රුපියල් කෝටි තිහකට වැඩි ආදායමක්. මිනිත්තු එකසිය පනස් අටක් පුරා දිවෙන මෙය ඉන්දියානු රුපියල් කෝටි 140ක් වියදම් කරලා නිර්මාණය කරලා තියෙනවා. තිරගත කරලා දවස් හතරක් යන්නත් කලින් තමන් වැය කරපු මුදල හොයාගන්න චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විදියට ඔවුන් මේ වෙන කොට ඉන්දියානු රුපියල් කෝටි එකසිය හැටහයක් උපයන්න සමත් වෙලා තියෙනවා. ඉදිරියේදී මේ චිත්‍රපටයත් තවත් ඉහළ ආදායම් වාර්තා රැසක් තබයි කියලා තමයි විචාරකයන් පවසන්නේ.
සිංහම් අගේන් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 350-375ත් අතර මුදලක් වියදම් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ වෙනකොට චිත්‍රපටය ඉන්දියන් රුපියල් කෝටි 188ක් උපයාගන්න සමත් වෙලා තියෙනවා. එය ඉදිරියේදී බොක්ස් ඔෆිස් වාර්තා තබයි කියලා ගොඩක් දෙනෙක් විශ්වාසය පළ කරනවා. මිනිත්තු එකසිය හතළිස්හතරක තිර කාලයක් පුරා දිවයන සිංහම් අගේන් චිත්‍රපටය ඇතුළේ ඔයාලා ගොඩක් ආදරය කරන චරිත වගේම ගොඩක් ආදරය කරන සටන් ජවනිකා රැසක් නරඹන්න හැකියාව ලැබෙනවා. ඉදිරියේදී තවත් ආදායම් වාර්තා රැසක් මේ චිත්‍රපට දෙකම තබාවි කියලා විචාරකයන් මත පළ කරද්දී, අපිත් ඔයාලට ආරාධනා කරනවා ළඟම තියෙන සිනමා ශාලාවකට ගිහින් මේ චිත්‍රපට දෙකම නරඹන්න කියලා. මොකද අපි එහෙම කියන්නේ චිත්‍රපට දෙකෙන්ම ඔබට වෙනස් රසයක් වෙනස්ම විදිහකට විඳගන්න පුළුවන්කම ලැබෙන නිසා.
අමිල නුවන් මධුසංඛ