බූලියක් අතට දී කංචන තෙල් පෝළිමකට යවමු

1691

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිiාලයේ මහාචාර්යවරයකු වන ස්ටීව් හැන්කේ නමැති අර්ථ ශාස්ත්‍රඥයා උද්ධමනය පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති මහතෙකි. හැන්කේගේ උද්ධමන දර්ශකය මේ වන විට මුළු ලෝකයේ ම ප්‍රසිද්ධ ය. ඔහුගේ නිරීක්‍ෂණයට අනුව මේ මොහොතේ ලංකාවේ උද්ධමනය 128% කි. තුර්කියේ උද්ධමනය 118% කි. ලෙබනනයේ උද්ධමනය 103% කි. වෙනිසියුලාවේ උද්ධමනය 98% කි. මේ මොහොතේදී ලෝකයේ ඉහළම උද්ධමනය පවතින රට අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යය ය. එහි උද්ධමනය 377% කි. ඉහත සඳහන් දත්තවලට අනුව උද්ධමන රේස් එකේ දෙවැනි තැන ලැබ සිටින්නේ ශ්‍රී ලංකාව ය. මේ ශූරතාව නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව පෙනේ. ලංකාවේ අර්බුදය කොතරම් දරුණු වී ඇත්ද යත් මේ වන විට අපේ රටේ බැංකුවල ණයවර ලිපි පිළිගැනීමට විදේශික භාණ්ඩ නිෂ්පාදකයන් සූදානම් නැත. එබැවින් පසුගියදා මේ රටේ රාජ්‍ය බැංකුවක් නිකුත් කළ ණයවර ලිපියක් ලංකා මුහුදු සීමාවට එමින් සිටි රුසියානු තෙල් නැවක් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. පුටින් සහ ගෝඨාභය දිවට දිව ගාගෙන හිටියත් රුසියානු තෙල් නිෂ්පාදන සමාගම් අපට ණයට තෙල් දෙන්නේ නැත. ණයට තියා ණයවර ලිපියකටවත් තෙල් නිකුත් කරන බව නොපෙනේ. පසුගිය දිනවල ආණ්ඩුව කියා සිටියේ තෙල් නැව් ලංකාවට ඒමට කල්ගත වන බවය. මෙහි ඇත්ත කතාව මෙසේය. නූතන ලෝකයේ අමුතුවෙන් තෙල් ඕඩර් කිරිල්ලක් නැත. තෙල් සහ ගෑස් පුරවා ගත් නැව් සිය ගණනින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගුරම්ලා සිටිති. ගැනුම්කරු විසින් කළ යුතුව ඇත්තේ රේඩියෝ මැසේජ් එකක් නැවට යවා නැව තමන්ගේ මුහුදු සීමාවට ගෙන්වා ගෙන තෙල් මිලට ගැනීම පමණි. ඊට පෙර එම නැවට හෝ එම නැව හිමි තෙල් සමාගමට කිසියම් බැංකුවකින් ණයවර ලිපියක් යැවිය යුතුය. මෙහිදී අප කිසියම් බැංකුවක් කියන්නේ සමුපකාර ණයදෙන බැංකුවක් හෝ ග්‍රාමීය බැංකුවක් හෝ නොවේ. ණයවර ලිපි යවන බැංකුව ඉතා ශක්තිමත් මූල්‍ය ස්ථාවරයක් සහිත බැංකුවක් විය යුතුය. අපේ අවාසනාවට විදේශ ණය නිසි කලට ගෙවා ගැනීමට නොහැකිවීම නිසා ලංකාව ජාත්‍යන්තර මූල්‍ය ව්‍යාපාරය තුළ  BLACK LIST වී තිබේ. ඒ නිසා මෙහි මුලින් සඳහන් කළ රුසියානු තෙල් නැව ශ්‍රී ලංකාවේ බැංකුවක් මගින් නිකුත් කළ ණයවර ලිපිය ගැරන්ට් කරන ලෙස විදේශීය බැංකුවකින් ඉල්ලා සිටියේය. ඒ විදේශීය බැංකුවේ ආසියානු කලාපය භාර ලොකුම මූලස්ථානයක් මේ රටේ තිබේ. ඒ බැංකුවම මීට කලින් ආණ්ඩුවේ හදිසි අවස්ථාවකදී ඩොලර් මිලියන 500 ක් ණයට ද දුන්නේය. අද වන විට එම බැංකුව ද අපට පිටුපා ඇති අතර ලංකාවේ බැංකුවක් නිකුත් කරන ණයවර ලිපිවලට සහතික දීමට බැරි බව කියා ඇත. මේ නිසා අපට තවදුරටත් තෙල් නැත. තෙල් නැති නිසා ප්‍රවාහනය ද නැත. ප්‍රවාහනය නැති නිසා කොළඹින් බඩු පිටට යෑමක් හෝ පිට තිබෙන බඩු කොළඹට ඒමක් ද නැත.

 විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර දැනට මාස එකහමාරක පමණ සිට දවස් තුනෙන් තුනට වැදගත් කතාවක් කියයි. එනම් ඉදිරි දවස් තුනේදී ෂෙඩ්වලට තෙල් බෙදා නොහරින බවත්, එබැවින් තෙල් පෝළිම්වලට නොයන ලෙසත් ය. ඔහු එසේ කියන හැම දවසකම ලංකාව පුරා තිබෙන ෂෙඩ් හාරදහස් ගණනින් අඩක පමණ තෙල් පෝළිම්වල සිටි ජනයා තම රථවාහනවලට තෙල් ටික ටික හෝ ගසාගෙන ගෙවල් බලා ගියහ. අද වන විට ඔහු කියන්නේ මේ අර්බුදය තව අවුරුද්දක් පමණ පවතින බව ය. එසේ නම් මේ ආණ්ඩුව තව මාස දෙකකට වඩා තිබෙන්නේ නැත. කංචන විජේසේකරගේ ඇමැති තනතුර ද දවස් 60 කට පසු මූඩියකට වත්කරන ලද පෙට්‍රල් ස්වල්පයක් මෙන් වාෂ්ප වී යනවා ඇත.

 මේ රටේ ජනතාව මහජන නියෝජිතයන් 225 ක් ස්වකීය ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවා හැටනම ලක්‍ෂයක ඡන්දයක් දී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කරන්නේත්, දේශපාලනඥයන්ගේ නැති බණේ අසාගෙන සිටීමට නොවේ. මෙදා සැරේ පත් කළ ඇමැති මණ්ඩලයෙන් 90% ක් පමණ නැති බණේ පමණක් දේශනා කරති. කංචන විජේසේකර කට ඇරපු ගමන් කියන්නේ තෙල් නැති බව ය. ගෑස් නැති බවය. ඇති තරම් බේත් හා සෞඛ්‍ය උපකරණ තිබෙන බව සෞඛ්‍ය ඇමැති කීවත් දොස්තරලා කියන්නේ ඒ කිසිවක් නැති බවය. ඔවුන් කියන විදිහට ලබන සුමානේ සිට සියලු රෝහල් වසා දැමීමට සිදුවේ. වෙළෙඳ ඇමැතිට අයත් වන්නේ සහල් සැපයුමය. එහෙත් වෙළෙඳපොළේ සාධාරණ මිලට හාල් නැත. සීනි ද නැත. පිටි ද නැත. සෙසු ආහාර ද්‍රව්‍ය ද නැත. එබැවින් කෙළින්ම නෑ නොකිව්වත් රටේ තිබෙන තත්ත්වයට අනුව පෙනී යන්නේ වෙළෙඳ ඇමැති නිහඬවම ඉහත සඳහන් බඩු නෑ කියන බව ය. මෙවැනි දේශපාලනඥයන්ගෙන් මේ රටට ඇති ප්‍රයෝජනය කුමක් ද? කංචන විජේසේකරව නම් බූලියක් අතට දී තෙල් පෝළිමකට හෝ යැවිය හැකිය. එහෙත් අනෙක් අයට එවැන්නක්වත් කිරීමට නොහැක. දැනට අප පාවිච්චි කරන්නේ ඉන්දියාව දුන් ක්‍රෙඩිට් ලයින් එකේ අන්තිම තෙල් ටික ය. එය නිම වූ පසු වාහන ගෙවල්වල තබාගෙන සිටීමට සිදුවන අතර, සියලු දෙනාටම සිදුවන්නේ පයින් යෑමට ය. මේ වැඩේ හරියාකාරව කරගෙන යෑමට බැරි නම් මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුම ය. ඉන් පසු මහ මැතිවරණයක් පවත්වා ඊළඟ පරිප්පුව කෑම සඳහා තවත් අලුත් ආණ්ඩුවක් තෝරා ගැනීමට අපට හැකියාව ලැබේ.

 ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මුල් වතාවට ඉතා දිළිඳු ආර්ථික අනාථයෙක් බවට පත් වී තිබේ. මේ රට අනාථ භාවය වෙත කැඳවාගෙන එන ලද්දෝ මේ රටේ දේශපාලකයෝ ය. හිට්ලර් ආරම්භ කළ දෙවැනි ලෝක යුද්ධය පැරදුනු පසු ජර්මනියේ නියුරම්බර්ග්  නගරයේහි යුද අධිකරණයක් පිහිටුවා යුද අපරාධකරුවන්ට දඬුවම් දෙන ලදී. එවැනි අධිකරණයක් පිහිටුවා මේ සාපරාධී දේශපාලනඥයන්ට ද දඬුවම් දිය යුතු බව අප විශ්වාස කරමු. ඒ මොනවා කරන්නටත් මිනිසුන් කෑම කටක් කා ගමනක් බිමනක් ගොස්  රැකියාවක් කර ජීවත් විය යුතුය. අපට අහිමිවීමට යන්නේ ජීවිතයයි. ඒ නිසා දේශපාලන අපරාධකරුවන්ට දඬුවම් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment