බූස්ටර් එන්නත ඇඟට දැනෙන හැටි

999

මේ දවස්වල ටිකක් ඇඟට තෙහෙට්ටුව වගේ හෙම්බරිස්සාව හැදෙන්න ද කොහෙද? යමෙක් එසේ පැවසුවහොත් ඊට ලැබෙන උපදෙස වන්නේ හෙම්බිරිස්සාවත් ලෙඩක්ද? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්නකො. එහෙම නැත්නම් විටමින් ‘සී’ පෙත්තක් දවස් කිහිපයක් ගන්න. ඇල්වතුර පාවිච්චි කරන්න එපා ලෙසය.

සෙම්ප‍්‍රතිශ්‍යාව යනු ශ්වසන පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන වෛරස රෝගයකි. මේ සඳහා බලපාන්නේ රයිනෝ නමැති වෛරස කාණ්ඩයයි. එම වෛරස් කාණ්ඩයේ ප‍්‍රභේද 14 ක් පමණ ඇති බව වෛද්‍යවරු හඳුනාගෙන ඇත.

එලෙස ශ්වසන පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන වෛරස් රෝගයක් වන මේ වනවිට ලොව පුරා ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඞ් රෝගයට දක්වන්නේ ඊට වඩා වෙනස්ව ප‍්‍රතිචාරයකි.

ඊට ප‍්‍රධානතම හේතුවී ඇත්තේ මින් මරණයට පත්වීමට ඇති ඉඩකඩ වැඩිවීමය. මේ වනවිට ලොව පුරා රටවල් 204ක පමණ පැතිර ඇති කොවිඞ් රෝගයට ගොදුරුව මිය ගිය ගණන ලක්ෂ 50 ඉක්මවා ඇත. ශ‍්‍රී ලංකාවේද කොවිඞ් නිසා මිය ගොස් ඇති ගණන මේ වනවිට පහළොස් දහසට ආසන්න වෙමින් පවතී. මින් අපට පැහැදිලි වන්නේ අප රෝගයකට බිය වන්නේ ඉන් මරණය ඇතිවීමට ඇති සම්භාවිතාව අනුව බවය.

එසේම එම රෝගයට ප‍්‍රතිකාර ඇත්නම් එවිටද අප බියවන්නේ නැත.

නිහඬ මාරාන්තික වසංගතයක් ලෙස ලොව පුරා පැතිර යන දියවැඩියාවට අප තුළ එතරම් බියක් නැත්තේද එය බෝ නොවන නිසා සහ රෝගය පාලනය සඳහා ප‍්‍රතිකාර ඇති නිසාය.

අද ටිකක් වැඩිපුර සීනි ආහාර ගන්නවා. හෙට ඉඳන් සීනි කෑම අඩු කරනවා. එසේ පවසන්නට තරම් අප තුළ එම නිහඬ මාරයාට බිය නැතිවී ඇත.

නමුත් කොවිඞ් රෝගයට එලෙස ප‍්‍රතිචාර දක්වන්නේ නැත. කොවිඞ් පාලනය සඳහා එන්නත් පැමිණි අලූත අප පොර කකා එම එන්නත විදගන්නට පෙළඹුණි. එක් මාත‍්‍රාවක් නොව මාත‍්‍රා දෙකක් ලබා ගතයුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ විට දෙවැනි මාත‍්‍රාවද ගැනීමට පෙළඹුණි.

දැන් දෙවැනි මාත‍්‍රාවට අමතරව බූස්ටරය ලෙස තෙවැනි මාත‍්‍රාවක්ද ලබාගත යුතු යැයි පැවසූ විට එයද විද ගැනීමට අප යොමුවී ඇත. ඒ අනුව මේ වනවිට ශ‍්‍රී ලංකාවේ එන්නත් මාත‍්‍රා තුනම ලබාගත් පිරිස් මිලියන 13. 8 ඉක්මවා සිටිති. එය ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 63 ක ප‍්‍රතිශතයකි.

ලෝකය දෙස බැලූවිට එන්නත් මාත‍්‍රා තුනම ගත් පිරිස බිලියන 3.63ක් පමණය. එය ලෝක ජනගහණයෙන් සියයට 46.6ක ප‍්‍රතිශතයකි. මෙලෙස එන්නත් ලබා ගන්නා අතර මේ සම්බන්ධව පැතිර යන විවිධ මත ද අතිවිශාලය. කොවිඞ් මර්දන එන්නත් ගත්විට වඳභාවයට පත්වේ යැයි පැතිරුණු මතයක් නිසා බොහෝ තරුණ පිරිස් එන්නත ගැනීමට බියක් දක්වති. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති ඇස්ට‍්‍රාසෙනිකා, සයිනෝෆාම්, මොඩර්නා, ජොන්සන් ඇන්ඞ් ජොන්සන් සහ ෆයිසර් යන එන්නත් ගැන ද විවිධ මත පළ වේ. කොවිඞ් මුල් ආරම්භය චීනය යැයි මත පළවන නිසා චීනයේ නිපදවන එන්නත් ගැන පිරිසක් විශ්වාසය පළ කරන විට තවත් පිරිසක් එය අවිශ්වාස කරති.

සයිනෝෆාම්වල එතරම් ප‍්‍රතිශතයක් නැතැයි පවසති. හොඳම එන්නත ෆයිසර් සහ මොඩර්නා යැයි සමහරු පවසති.

ඒනිසා ඇතැම් පිරිස් මොඩර්නා හෝ ෆයිසර් එන්නත් පමණක් ලබා ගැනීමට උනන්දු වෙති.

පළමුව ලැබෙන එන්නත හොඳම එන්නත ලෙස සිතා ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ පවසද්දී ද ඇතැම් දෙනා තමා විශ්වාස කරන එන්නත ලැබෙනතුරු තවමත් බලා සිටිති.

බූස්ටරය ලෙස හඳුන්වන තෙවැනි එන්නත් මාත‍්‍රාව ලෙස ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට නිර්දේශ කර ඇත්තේ මොඩර්නා සහ ෆයිසර් එන්නත්ය. ඒවා නිපදවා ඇත්තේ කොවිඞ් වෛරසයේ ඍභ් අනුවලින් ගත් කොටස්වලිනි. එබැවින් එය අනිත් එන්නත් වර්ගවලට ද ගැළපෙන බව පර්යේෂණ මගින් සහතික කර ඇත.

මෙම තෙවැනි මාත‍්‍රාව ගත්විට දැනට පළමු සහ දෙවැනි එන්නත් මාත‍්‍රා මගින් සිරුරට ලැබී ඇති ප‍්‍රතිශක්තිය තව වර්ධනය වන බව හෙළිවීම නිසා කොවිඞ් පැතිරීම පාලනයට බූස්ටර් එන්නත ගැනීමද අනිවාර්ය වී ඇත.

ෆයිසර් හෝ මොඩර්නා එන්නත වයස අවුරුදු 16 න් ඉහළ අයට බූස්ටරය ලෙස ලබාදිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේම දෙවැනි එන්නත් මාත‍්‍රාව ලබාගත් කොවිඞ් රෝගය ආසාදනය නොවූ අයට දෙවැනි එන්නත් ගෙන මාස 03කට පසු බූස්ටර් එන්න ලබා ගත හැකි බවටද නිර්දේශ කර ඇත. එන්නත් මාත‍්‍රා දෙක ලබාගත් කොවිඞ් ආසාදිත වූ අයට රෝගය සුවවී මාස 06කට පසු බූස්ටර් එන්නත ලබා ගැනීමට හැකි බව නිර්දේශ කර තිබේ.

මේ වනවිට අප සිටින්නේ බූස්ටර් එන්නත ලබා ගැනීමේ අවධියේය. ඒනිසා දැන් මත පැතිරෙන්නේ බූස්ටර් එන්නත ගැනය. මෙහි ප‍්‍රතිශක්තිය කෙතරම් කාලයක් පවතීද? මෙය ගත් පසුද ලිංගික දුබලතා ඇතිවේද? හෘදයාබාධ ඇතවීමේ ප‍්‍රවණතාවයක් පවතීද? ස්නායු දුර්වලවීමක් මතුවේද? ආදී ලෙසින් විවිධ මත පළවේ.

එසේම තෙවැනි මාත‍්‍රාව පළමු සහ දෙවැනි මාත‍්‍රාව මෙන් නොව සිරුරට දැඩිව දැනෙන බවත් උණ, ඇඟපත වේදනාව දින කීපයක් මතුවන බවත් පවසති. මේ සියල්ල පවසන්නේ තවම තෙවැනි මාත‍්‍රාව නොගත් අයවීම ද විශේෂත්වයකි.

ඔවුහු විවිධ මත පළකරමින් සහ පැතිර යන මත විශ්වාස කරම්දෝ නොකරම්දෝ යන දෙගිඩියාවෙන් පසුවෙති.

බූස්ටරය ගත්විට ඉන්දියාවේ ටී. වී. චැනලූත් පේනවා යැයි සමහරු රූපවාහිනී ඇන්ටනා බූස්ටරයට එන්නත සම කරමින් විනෝදයට පවසති.

බූස්ටරය ගැහැව්වහම බියර් වීදුරුවක් බිව්වා හා සමාන උත්තේජනයක් ඇතිවන බව තවත් සමහරු පවසති.

කෙසේ හෝ වේවා කුමන උත්තේජනයක් පැමිණියත් කොවිඞ් රෝගය වැළඳීමේ අවාදානමෙන් ආරක්ෂා වනවා නම් සහ රෝගය ආසාදනය වුවහොත් බරපතළ තත්ත්වයට පත්වීම වළකිනවා නම් එය ඉතා වැදගත්ය. ඒනිසා වසර දෙකක් පුරා මුළු ලොව භීතියට පත්කළ කොවිඞ් 19 වෛරසය පරාජය කිරීම සඳහා ලද පළමු අවස්ථාවේදීම එන්නත් මාත‍්‍රාව ලබා ගැනීම අප කාගේත් යුතුකමකි. මන්ද යත් මෙම එන්නත් නිපදවනු ලබන්නේ එන්නත් නිපදවීම සම්බන්ධව වසර සිය ගණනක අත්දැකීම් සහ පුහුණුවක් ඇති ඖෂධ නිෂ්පාදන සමාගම් විය. ඒ සඳහා පර්යේෂණ කරන්නේද ලොව කීර්තිමත්ම එන්නත් සම්බන්ධ පර්යේෂණ කරන පර්යේෂණ ආයතන සහ විද්‍යාඥයන්ය.

ගෝලීය වසංගතය ලෙස පැවැති පෝලියෝ, සරම්ප, කොළරාව ආදී වෛරස රෝග පාලනය කිරීමට හැකිවූයේද එන්නත් මගිනි. ගලපටලය, කක්කල් කැස්ස, වැනි වෛරස් රෝග පාලනය වී ඇත්තේ කුඩා කාලයේදී ලබාදෙන ත‍්‍රිත්ව එන්නත් මගිනි.

මෙවැනි එන්නත් ගත් අය වඳභාවයට පත්වූ හෝ විවිධ අතුරු ආබාධවලට ලක්වීම හෝ සුලභව වාර්තාවී නැත. ඕනෑම එන්නතක අතුරු ආබාධ ඇත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට බලපාන ආකාරය වෙනස්ය. ඊට බලපාන්නේ එම පුද්ගලයාගේ ශරීර සෞඛ්‍ය මට්ටම්ය.

එන්නතක් නිපදවන්නේ අදාළ රෝග කාරක වෛරසයෙන් සියයට එකක කොටස් ලබා ගෙනය. එන්නත් කුප්පියේ සම්පූර්ණයෙන්ම ඇත්තේ වෛරසය නොවේ. එහි ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන් වර්ග ආදී සංයෝග ද අඩංගුය. එබැවින් එන්නත ලබා ගත්විට විවිධ අතුරු ආබාධ ඇතිවෙනවා නම් සියයට සියයක් වෛරසය ආසාදනය වූ විට හෙවත් රෝගය වැළඳුනවිට කොතරම් හානියක් සිදුවේදැයි කියා මෙවැනි මතවල සිටින අය සිහි බුද්ධියෙන් යුතුව අවබෝධ කරගත යුතුය.

එන්නතක් මගින් සිදු කරන්නේ රෝග කාරක වෛරසයට එරෙහිව ක‍්‍රියාකිරීමට අවශ්‍ය ප‍්‍රතිශක්තිය සිරුර තුළ වර්ධනය ඇති කිරීමය. එවිට රෝග කාරක වෛරසය සිරුරට ඇතුළු වනවිටම එය හඳුනාගෙන ඊට එරෙහිව ප‍්‍රතිදේහ නිපදවා වෛරසය අඩපණ කිරීමට කටයුතු කරයි.

මෙසේ සිරුර ක‍්‍රියාකරනවිට උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇතැම් පුද්ගලයන්ට මතුවේ.

එන්නත ගත්විට ද මද උණ, සුළු ඇඟපත වේදනාව ඇතිවන්නේ සියයට එකක් වූ වෛරසයේ කොටස් ශරීර ගතවූ විට ඊට එරෙහිව අපගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ක‍්‍රියා කිරීමේදීය.

ඒනිසා අප බිය විය යුත්තේ එන්නතට නොව රෝගයට බව කොයි කවුරුත් වටහා ගත යුතුය.

බූස්ටර් එන්නත ඇඟට දැනෙන හැටි

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment