බූස්ටර් බිය නැති කිරීමටතරුණ පිරිසට වගකීමක්

124
බූස්ටර් බිය නැති කිරීමටතරුණ පිරිසට වගකීමක්

මහාචාර්ය නදීශා බදනසිංහ
ක්‍ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍ය
රාගම වෛද්‍ය පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් අපට දිගින් දිගට කතා කරන්නට, දැනුවත් කිරීම් කරන්නට සිදුව තිබේ. මන්ද මෑත කාලීනව ලෝකයේ සෑම රටකට ම බලපෑ දරුණුතම වසංගතය එය බැවින් සහ තවමත් ලෝකයේ සෑම රටක් ම එයින් දැඩි ලෙස පීඩාවට පත්වෙමින් සිටින බැවින් ය. පළමු සහ දෙවන එන්නත්කරණය කෙරෙහි 80% ක 90% අතර පිරිසක් යොමු වූ නිසා ශ‍්‍රී ලංකාවේ පසුගිය මාස කිහිපය ඇතුළත කොවිඩ් රෝග ව්‍යාප්තියේ යම් කිසි පහළ යෑමක් දකින්නට ලැබුණි. නමුත් එම එන්නත් මාත‍්‍රාවල ප‍්‍රතිශක්තිකරණ කාලය අවසන් වෙමින් පැවතීම නිසා බූස්ටර් එන්නතක අවශ්‍යතාවක් ඇති වී තිබේ. එසේ වූවද වැඩි පිරිසක් බූස්ටර් එන්නත ලබාගැනීමට පසුබෑම නිසාත්, රට සම්පූර්ණයෙන් ම විවෘත වී ජනයාගේ ඒකරාශි වීම් වැඩි වී ඇති නිසාත් සහ ඉක්මන් ව්‍යාප්තියක් ඇති කරන ඔමික්‍රෝන් ප‍්‍රභේදය නිසාත් යළිත් කොවිඩ් ව්‍යාප්තියේ වැඩි වීමක් තිබෙන බව පෙනෙන්නට තිබේ.

කොවිඩ් 19 රෝගය හැදෙන්නේ SARS-Cov-2 නමැති වෛරසය මගිනි. 2019 දෙසැම්බර් පටන් ගත් මේ වසංගතය විවිධ ප‍්‍රභේද ඇතිකරමින් අඛණ්ඩව පැතිරෙමින් තිබේ. දැනට ලෝකයේ මිලියන 350කට ආසන්න සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වී ඇති අතර මිලියන පහමාරකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වී ඇති බවට වාර්තා වේ. මේ අවස්ථාව වනවිටත් ලෝකයේ දිනකට රෝගීන් මිලියන තුනකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකාවේ තත්ත්වය දෙස බැලීමේ දී දැනට ලක්ෂ හයකට වැඩි සංඛ්‍යාවකට රෝගය ආසාදනය වී ඇති අතර පහළොස් දහසකට වැඩි ප‍්‍රමාණයක් මරණයට පත් වී ඇත. වර්තමානය වනවිට ලංකාවේ ආසාදිත සංඛ්‍යාව දහසකට ආසන්න අගයක් ගනියි. නමුත් වාර්තා නොවුණු රෝගීන් පිරිසක් සමාජයේ සිටිති. කොවිඩ් වසංගතය ආරම්භ වී වසර දෙකක් සම්පූර්ණ වුවද සමස්තයක් වශයෙන් ගත් කල කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් මිස අඩුවක් දක්නට නො ලැබේ. අත් සේදීම්, මුව ආවරණ පැළඳීම් වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් පරෙස්සම් වුවද නැවත බූස්ටර් එන්නතක අවශ්‍යතාව තදින්ම අපට දැනෙන්නේ මේ නිසාය.

ශ‍්‍රී ලංකාව එන්නතකරණය අතින් ඉදිරියෙන් සිටින රටක් වන අතර ඒ සම්බන්ධයෙන් ලෝකයේ ඇගයීමට පවා ලක් වී තිබේ. කොවිඩ් 19 සඳහා වූ පළමු එන්නත් මාත‍්‍රාව 95% පමණ ද දෙවන මාත‍්‍රාව 80% ක් වැනි ප‍්‍රමාණයක් ද ගෙන තිබීම ඉතාමත් හොඳ ප‍්‍රවණතාවකි. නමුත් බූස්ටර් මාත‍්‍රාව සම්බන්ධව සමාජයේ යම් කිසි බියක් ඇති වී තිබෙන බවක් පෙනෙන්නට තිබේ. මේ වනවිට බූස්ටර එන්නත ලබාගෙන ඇත්තේ මිලියන පහක් වැනි අඩු ප‍්‍රමාණයකි. එය ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. එන්නතකින් කෙරෙන්නේ කුමක් ද යන්න නිසියාකාර අවබෝධයක් නොමැති වීම සමාජයේ එන්නත් සම්බන්ධ දුර්මත පැතිරීමට ප‍්‍රධාන හේතුවක් විය හැකිය. අප බූස්ටර මාත‍්‍රාවක් ගත යුුත්තේ ඇයි යන්න පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුය. පළමු සහ දෙවන මාත‍්‍රා දෙකෙන් පසුව අපට සම්පූර්ණ ආරක්ෂාවක් ලැබේ. පළමු මාත‍්‍රාවෙන් පමණත් එම සම්පූර්ණ ප‍්‍රතිශක්තිය නො ලැබේ. නමුත් දෙවන මාත‍්‍රා ව සම්පූර්ණ කළ විට අපගේ ශරීරයේ හොඳ ප‍්‍රතිශත්තියක් ඇති වේ. එය සියයට අනූවක් පමණ හොඳ ප‍්‍රතිශක්තියකි. නමුත් එය තාවකාලික ප‍්‍රතිශක්තියකි. දැනට පරීක්ෂණවලින් සොයාගෙන ඇති ආකාරයට කොවිෂීල්ඩ්, ෆයිසර් වැනි එන්නතකින් මාස හයක් වැනි කාලයක ප‍්‍රතිශක්තියක් ද සයිනොෆාම් වැනි එන්නතක් මගින් මාස තුනක් වැනි කාලයක ප‍්‍රතිශක්තියක් ද ලැබේ. මේවා හඳුනාගෙන ඇත්තේ තාවකාලික ප‍්‍රතිශක්තියක් වශයෙනි. සියයට අනූවක ප‍්‍රතිශක්තිය මාස හයක් පමණ යන විට සියයට හතළිහ දක්වා අඩු විය හැකිය. එම ප‍්‍රතිශක්තිය අඩුවනවිට නැවත රෝගය වැලඳීමේ අවස්ථාවක් තිබේ. බූස්ටර් මාත‍්‍රාවක් ලබා දිය යුත්තේ මෙසේ ප‍්‍රතිශක්තිය අඩුවේගෙන යන අවස්ථාවේදීය. එම නියමිත කාලසීමාවේදී බූස්ටර් එන්නත ලබාගතහොත් අපේ ප‍්‍රතිශක්තිය යළිත් ඉහළ මට්ටමකට පැමිණෙයි. එසේම එම ප‍්‍රතිශක්තිය වැඩි කාලයක් රඳා පවතියි. බූස්ටර් එන්නතකින් එම ප‍්‍රතිශක්තිය උපරිම මට්ටමට ගෙනවිත් වැඩි කාලයක් රඳවා ගැනීමේ හැකියාව ඇති කරයි.

සාමාන්‍යයෙන් අපට ලබා දෙන එන්නත් වර්ග දෙකකි. එනම් සජීවි (live) සහ අජීවි (killed) වශයෙනි. සජීවි එන්නත් වර්ගවලින් අපට උපරිම ප‍්‍රතිශක්තිය ලබා දෙයි. එහිදී එන්නතෙහි ඇති සජීවි වෛරස් කොටස්වලට අපේ ශරීරය තුළ නැවත නැවත වර්ධනය වීමේ හැකියාවක් පවතී. කුඩා කල අපට එන්නත් කරන සරම්ප, පැපොල එවැනි සජීවි එන්නත් වර්ගවලට උදාහරණ වශයෙන් දැක්විය හැකිය. අජීවි නැතිනම් මැරුණු එන්නත් වශයෙන් අපට ලබා දෙන වෛරස් වර්ගවලට අපේ ශරීරය තුළ වර්ධනය වීමේ හැකියාවක් නැත. බූස්ටර් මාත‍්‍රා වැඩි වශයෙන් ලබා දීමට අවශ්‍ය වන්නේ එවැනි එන්නත්්වලටය. උදාහරණ වශයෙන් පිටගැස්ම, ගලපටලය, හෙපටයිටිස් බී වැනි රෝගවලට එන්නත් මාත‍්‍රා කිහිපයක් ලබා දීමට සිදුවේ. මන්ද එම එන්නතෙහි ඇති වෛරස් කොටස් නැවත නැවත අප ශරීරය තූළ වර්ධනය වීමක් සිදු නොවන නිසාය. කොවිඩ්වලට තිබෙන සියලුම එන්නත් අජීවි වෛරස් කොටස් අඩංගු වන එන්නත් ය. ඒවා අපේ ශරීරය තුළ නැවත නැවත වර්ධනය වීමක් සිදු නොවේ. කොවිඩ්වලට එන්නත් මාත‍්‍රා කිහිපයක් අවශ්‍ය වන්නේ එම නිසාය. තුන්වන මාත‍්‍රාවෙන් පසු වුවද මෙම එන්නත ඉදිරියටත් අවශ්‍ය විය හැකිය.

එන්නත් මගින් බොහෝ ආසාදන පාලනය කිරීමට අපට හැකියාව ලැබී ඇත්තේ ආසාදනවලට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ ශරීරයේ වැදගත් පද්ධතියක් වන ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම සහ සකස් කිරීමෙනි. ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය රෝග ඇතිකරන විෂබීජ හඳුනාගෙන මරා දමයි. තවද ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට එම විෂබීජ මතක තබා ගත හැකි අතර අනාගතයේදී අප නැවත එම විෂබීජවලට නිරාවරණය වුවහොත් එම විෂබීජ ඉක්මනින් විනාශ කළ හැකිය. අපගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ මෙම වැදගත් ලක්ෂණය එන්නත් කිරීම සඳහා පදනම ලෙස භාවිතා කරයි. එන්නත්වල අඩංගු වන්නේ රෝගකාරක විෂබීජවල විවිධ කොටස්ය. (දුර්වල කරන ලද වෛරස් හා බැක්ටීරියා) අපගේ ප‍්‍රතිසංස්කරණ පද්ධතිය මෙම එන්නත කොටස් හඳුනාගෙන මතකය සමඟ ප‍්‍රතිශක්තීකරණ ප‍්‍රතිචාරයක් ඇති කරයි.

ඩෙල්ටා ප‍්‍රභේදයෙන් පසුව මේ දිනවල පැතිරෙමින් තිබෙන්නේ ඔමික්‍රෝන් ප‍්‍රභේදයයි. මෙම වෛරස ප‍්‍රභේදයට ඉක්මනින් පැතිරීමට හැකියාව ඇත. වෛරසයට නව ප‍්‍ර‍්‍රභේද ඇති කර ගැනීම සඳහා එසේ වෛරසය වැඩි වැඩියෙන් ගුණනය වීම වාසියක් වේ. එන්තත්කරණයෙන් සිදුවන්නේ පැතිරීම අඩුකිරීමය. එවිට වෛරසයේ නව ප‍්‍රභේද ඇතිවීම ද පාලනය වේ. ඔමික්‍රෝන් ප‍්‍රභේදය පළමුවරට සොයා ගත්තේ අප‍්‍රිකානු රටකිනි. ලෝකයේ සැම රටකම එකම වේගයෙන් එන්නත්කරණය සිදු නොවේ. අප‍්‍රිකානු රටවල ද එන්නත්කරණය සිදුවන්නේ ඉතාමත් අඩුවෙනි. මේ තත්ත්වය අලුත් අලුත් ප‍්‍රභේද ඇතිවීමට පසුබිමක් සැකසේ.

ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන් ඉතාමත් සාර්ථකව කි‍්‍රයාත්මක වේ. සෑම ජන කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි ග‍්‍රාමීය මට්ටමට විහිදී ගිය එන්නත්කරණ වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඉතා වගකීමෙන් මේ කාර්යය සඳහා කැපවී සිටී. ලෝකයේ අනෙක් රටවල් හා සැසඳීමේදී එන්නත් කිරීමේ වැඩසටහන් ක‍්‍රි‍්‍රයාත්මක කිරීමේදි අප ඉදිරියෙන් සිටිනවා යයි කිව හැකිය. අප ඒ සඳහා සහයෝගය දෙමින් එන්නත්කරණ කටයුතු නිසි පරිදි කරගත යුත්තේ මේ නිසාය. අපගේ දෛනික කටයුතු නිසිපරිදි පවත්වාගෙන යමින් ආර්ථිකය ගොඩනැගීමට දායකත්වයක් සැපයිය හැක්කේ අප නිරෝගිමත්ව සිටියහොත් පමණි. අපේ තරුණ පිරිස කොවිඩ් බූස්ටර් එන්නත ගැනීම මඟහරින බවක්ද දක්නට ලැබේ. ඔවුන්ට අනෙක් අයට වඩා හොඳ ප‍්‍රතිශක්තියක් ඇති බව ඔවුන් සිතීම මෙයට ප‍්‍රධාන හේතුවයි. සාමාන්‍යයෙන් වෙනත් රෝගවලින් පෙළෙන්නේ නැති තරුණ පිරිසට වඩා හොඳ ප‍්‍රතිශත්තියක් ඇති කිරීමට හැකියාව තිබෙන බව සැබෑය. නමුත් පසුගිය කොවිඩ් රැලිවල දී තරුණ අයට පවා කොවිඩ් වැලඳී ඉතාමත් අසාධ්‍ය වූ ආකාරය, මේ අතරින් ඇතැම් පිරිස් ICU වලට යොමු කළ ආකාරය, මිය ගිය ආකාරය අපි දුටුවෙමු. තරුණ පිරිසට එන්නත්කරණයෙන් පසු වඩා හොඳ ප‍්‍රතිශක්තියක් ලැබේ. ඔවුන්ට ලැබෙන ප‍්‍රතිවාරය ඉතාමත් ඉහළය. තරුණ පිරිස එන්නත්කරණයට වැඩි අවධානයක් යොමු කළ යුතු තවත් හේතු ගණනාවක් තිබේ. සමාජයේ වැඩි පිරිසකට නිරාවරණය වන්නේ ඔවුන්ය. අධ්‍යාපනයට, රැකීරක්ෂා කටයුතුවලට සහ වෙනත් වෙනත් කාරණාවලට සමාජයට වැඩිපුර නිරාවරණය වන්නේ ඔවුන්ය. ඔවුන් සමාජයේ ගැවසීමෙන් පසු නිවෙස්වල සිටින එන්නත් නොකරන ලද කුඩා දරුවන් වැඩිහිටියන් සමඟ ගැටීමට සිදුවේ. යම් කිසි විදියකින් ඔවුන් මෙම රෝගයට ගොදුරු වුවහොත් බරපතළ සංකූලතා ඇති විය හැකිය. මේ නිසා තරුණ පිරිස හැකි තරම් එන්නත්කරණයට යොමු වී වඩා හොඳ ප‍්‍රතිශක්තියක් ලබාගෙන තමන් ආරක්ෂා වීමත් අනෙක් අයට පැතිරිම වළක්වා ගැනීමත් ඔවුන්ගේ වගකීම වේ.

මේ එන්නත්කරණය නිසි පරිදි සිදු නොවී දිගින් දිගටම රට අකර්මණ්‍ය වුවහොත් එයින් වැඩි බලපෑමක් ඇතිවිය හැක්කේ ද තරුණ පිරිසටය. විශ්වවිද්‍යාල දීර්ඝ කාලයක් තිස්සේම වසා දමා තිබේ. ඔවුන් සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා යුතුය. අකර්මණ්‍ය වී තිබෙන කර්මාන්ත ශාලා, බිඳ වැටී තිබෙන සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කර ගනිමින් රට නැවත ගොඩනගා ගැනීමට එන්නත්කරණයට උපරිම සහයෝගය දිය යුතුය.

තරුණ පිරිස එන්නත්කරණයට යොමු නො වීමට බලපා ඇති තවත් හේතුවක් වන්නේ සෞඛ්‍යමය වශයෙන් ඔවුනට යම් යම් බලපෑම් ඇති වනවා යන මතයක ඔවුන් එළඹගෙන සිටීමය. නමුත් මේ හැම එන්නතක් ගැනම විද්‍යාත්මකව පර්යේෂණ කර ඒවායේ ආරක්ෂිත බව තහවුරු කිරීමෙන් පසුවයි ඒවාට අනුමැතිය ලැබෙන්නේ. කාන්තාවන්ගේ සරුභාවය අඩු වනවා යන කාරණය සම්බන්ධයෙන් ද පර්යේෂණ කර එවැන්නක් සිදු නොවන බව තහවුරු කර ඇත. කාන්තා හෝ පිරිමි පාර්ශ්වයට එවැනි කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැත. එන්නත්කරණයේ දී ගර්භණි කාන්තාවන්ට ප‍්‍රමුඛත්වයක් ලැබේ. යම්කිසි හේතුවකින් ඔවුනට වෛරසය ආසාදනය වුවහොත් වැඩි අවදානමත් ඇති විය හැකිය. පසුගිය කොවිඩ් රැලිවලදී කොවිඩ් වැලඳුණු ගර්භණී කාන්තාවන් මරණයට පවා පත් වූ ආකාරය අපට මතකය. වයසක අයට ද මෙම එන්නත ලබා දීමට ඇතැම් පිරිස් මැළිකමක් දක්වන්නේ ඔවුනට සංකූලතා ඇතිවෙයි යන බිය නිසාය. නමුත් ඔවුනගේ ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිචාරය අඩු මට්ටමක පවතින බැවින් අනෙක් අයට වඩා එන්නත මගිින් ඇතිවන අතුරු ආබාධ අවමව දක්නට ලැබේ. මේ නිසා ඔවුනට නොපමාව එන්නත ලබාදිය යුතු වේ.

තවත් සමහර අයගේ මතයක් නම් මේ එන්නත නිසා DNA විකෘති වීමක් සිදු විය හැකිය යන්න ය. නමුත් කිසිම කොවිඩ් එන්නතක DNA අඩංගු නොවේ. ෆයිසර් එන්නතෙහි ඇත්තේ mRNA. mRNA එන්නතක ජාන අඩංගු නොවේ. එම නිසා DNA වලට කිසිම බලපෑමක් ඇති නොවේ. මෙයින් සිදුවන්නේ වෛරස් ප්‍රෝටීන් හැදීමට සංඥාවක් නිකුත් කිරීම පමණි. එම නිසා එන්නත්වල අඩංගු වන්නේ වෛරස් ප්‍රෝටීන කොටස් හදවන සංඥාවක් ඇතුළත් කේතයක් පමණි. එයින් අපගේ ජානවලට කිසිදු බලපෑමක් ඇති නොවේ. ප‍්‍රතිශක්තිය ගොඩනැගෙන්නේ අපේ ශරීරයේ මෙම වෛරස් ප්‍රෝටීනවලට හදන ප‍්‍රතිදේහවලිනි. එම කාර්ය සිදු කළ පසු මේ එන්නත් කොටස් අපේ ශරීරයෙන් ඉවත් වේ. ඊට එරෙහිව හැදෙන ප‍්‍රතිදේහ පමණක් දිගටම පවතී. එන්නතක් විද ගැනීමෙන් පසු අතේ අමාරු, උණ, ඇඟපත වේදනාව ඇතිවන්නේ එම ප‍්‍රතිශක්තිය ඇති කරන කාලයේදීය. මෙය මාංශපේශීන්ට විදින නිසා මාංශපේශි වේදනා පැති කිහිපයකින් ඇති විය හැකිය. කොවිඩ් ආසාදිත වූ කෙනකුට වුවද එන්නත ලබා ගැනීම ඉතා වැදගත්ය. එවැනි කෙනකු එන්නත ගත් පසු ඔවුනට ඉතා ඉහළ ප‍්‍රතිශත්තියක් ලැබෙන බව සොයා ගෙන ඇත. නැවත රෝගය හැදුනද අසාධ්‍ය තත්ත්වයට පත් නොවේ. ඇතැම්විට රෝග ලක්්ෂණයක් පවා නො පෙන්වයි. මේ රෝගයෙන් මිය යන සහ අසාධ්‍ය තත්ත්වයට පත්වන අයගෙන් වැඩි පිරිස එන්නත නොගත් අය බව ඉතා පැහැදිලිය.

බටහිර රටවල දිගින් දිගටම එන්නත් කළේ ෆයිසර් එන්නත ය. එම නිසාම මේ එන්නත සම්බන්ධව වැඩිවැඩියෙන් පර්යේෂණ කෙරී ඇත. එම එන්නත සම්පූර්ණ ආරක්ෂා සහිත එකක් බව ඔවුන් තහවුරු කරගෙන තිබේ. ෆයිසර් එන්නත අපට ලැබුණේ ප‍්‍රමාද වෙලාය. බොහෝ අය ඉල්ලුවේත් ෆයිසර් එන්නතය. දැන් අවශ්‍ය ප‍්‍රමාණයට අපට එය ලැබී තිබේ. මේ නිසා තිබෙන අවස්ථාවේ එය එන්නත් කරගෙන වෛරසයෙන් ආරක්ෂා වීම නුවණට හුරුය.

මේවන විට ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ පැතිරීම ඉතා ප‍්‍රබලය. නමුත් බරපතළ රෝග ලක්ෂණ නොපෙන්වන්නේ අප පළමු සහ දෙවන එන්නත් මාත‍්‍රා දෙක අරන් තිබූ නිසා ය. දැනට සොයාගන ඇති අන්දමට ෆයිසර් එන්නත මේ ඔමික්‍රෝන් ප‍්‍රභේදයට සහ අනෙකුත් ප‍්‍රභේදවලට වඩා හොඳ ප‍්‍රතිශක්තියක් ලබා දෙයි.

මෙම එන්නතකරණ කාර්යයේදි සමාජයේ තරුණ කොටස්වලට විශේෂ වගකීමක් පැවරේ. තමන්ද එන්නතකරණයට ලක් වී අනෙක් පිරිස ද දැනුවත් කරමින් කටයුතු කිරීමට ඔවුනට පහසුය. සමාජ මාධ්‍ය හරහා ද වැඩමුළු පවත්වමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කළ හැකිය. එන්නත ලබා ගැනීමෙන් සහ අනෙක් අයව දැනුවත් කිරීම මගින් සමාජය, රට යළි ගොඩ නැගීමේ වගකීම් සහිත පුද්ගලයකු බවට පත් වීමට ඔවුනට හැකියාව ඇත.

සකස් කළේ
රසිකා එස්. රණවීර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment