බෙලිඅත්තේ ඝාතකයන්ට සහාය දුන් කාන්තාවෝ දෙදෙනෙක් අත්අඩංගුවට

176

බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී පසුගිය 22 වන දින අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සැකකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු හක්මන පොලිසිය මගින් 29 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 හා 33 වයසේ පසුවන ගාල්ල බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හක්මන පොලිසියට ලද තොරතුරක් මත ගාල්ල රත්ගම ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතකයන් විසින් අදාල වෙඩි තැබීම සඳහා යොදාගත් බව කියන ටී. 56 වර්ගයේ ගිනි අවි දෙක ඝාතනයෙන් පසු අත්අඩංගුවට පත් එක් කාන්තාවකගේ යතුරුපැදියකින් ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ෂණ පවත්වති.

මත්තල දිලීප් එන්. ජයසේකර


advertistmentadvertistment