31 C
Colombo
|
Wednesday, September 28, 2022
Home අතිරේක ඉරිදා සංග්‍රහය අතිරේක බෙලිහුල්ඔය චමත්කාරය මතකයෙන් බැහැර වෙන්නේ නෑ – ඩොනල්ඩ් ජයන්ත

බෙලිහුල්ඔය චමත්කාරය මතකයෙන් බැහැර වෙන්නේ නෑ – ඩොනල්ඩ් ජයන්ත

86

චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂවරයෙක් හා අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ඩොනල්ඩ් ජයන්ත මේවන විට ඔහුගේ සිනමා දිවියේ වසර 37 ක් සම්පූර්ණ කර අවසන්ය. ප්‍රවීණ මාධ්‍යවේදී, චිත්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි ගමගේ මහතා විසින් අධ්‍යක්‍ෂණය කළ “පූජා” සිනමා නිර්මාණය හරහා සිනමාවට අත්පොත් තබන ඩොනල්ඩ් ජයන්ත විසින් මේ වනවිට සිනමා නිර්මාණ 63 ක පමණ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කර ඇත. ඊට අමතරව ‘ප්‍රවේගය’, ‘මායා’ යන ජනප්‍රිය චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්‍ෂණය කර ඇත. මෙවර My Favourite Location වෙන්වන්නේ සිංහල සිනමාවේ අංක එකේ සහාය අධ්‍යක්‍ෂවරයා වන ඩොනල්ඩ් ජයන්ත මෙරටදී දුටු ලස්සනම දර්ශන තලය පිළිබඳ කතාබහ කිරීම පිණිසය.

● මෙරට සිටින ප්‍රවීණතම සිනමා සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස මෙරට තුළ ඔබ දුටුව ලස්සනම දර්ශන තලය කුමක්ද?

ලංකාව ගත්විට වචනයෙන් විස්තර කළ නොහැකි ලස්සනක් සහිත රටක් කියල මුලින්ම සඳහන් කරන්න ඕන. ඒ අතරින් මගේ සිත තදින්ම ඇදීගිය ස්ථානයක් තමයි “ආදරණීය කතාවක්” රූගත කළ දර්ශන තලය. ඒ දර්ශන තලය පිහිටල තිබුණෙ බෙලිහුල්ඔය තානායමට තරමක් ඉහළින් පිහිටි ඉහල ගලගම කියන උස්බිමක. ඒ උස්බිම තුළ දකින්නට ලැබුණ විශේෂත්වයක් තමයි විශාල වෙල්යායක් සහ ඒ වෙල්යාය කෙළවරින් ආරම්භ වන මනස්කාන්ත කඳු පන්තියක් පිහිටා තිබීම. එය ඉතාමත් සුන්දර දර්ශනයක්. ඊට අමතරව ගත්විට මම ඉහත සඳහන් කළ වෙල්යායට යාබදව කිතුල් පීලි දිගේ වතුර ගලාගෙන එන දියනාන ස්ථානයක් පවතිනවා. “ආදරණීය කතාවක්” රූගත කරද්දී විඳපු ඒ පරිසර චමත්කාරය මගේ මතකයෙන් කවදාවත් බැහැර වෙන්නේ නැහැ.

● “ආදරණීය කතාවක්” රූගත කරද්දී සිදුවූ විශේෂ සිදුවීම් මොනවාද?

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කළ ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක බවට පත්වුණේ හේමාල් සහ උදාරි. කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේ රුවන් කොස්තා. එහි නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළේ ප්‍රවීණ මාධ්‍යවේදී (දිවංගත) ධර්මසිරි ගමගේ මහතාගේ පුත් චමින්ද ගමගේ. අපි සියලුදෙනා කණ්ඩායමක් වශයෙන් ඉතාමත් සැහැල්ලුවෙන් ඒ කටයුත්තෙ නිරත වුණා. මට මතක හැටියට දවස් 15 ක් 20 ක් විතර අපි ඒ ප්‍රදේශයේ නතර වී සිටියා. අපේ නවාතැන්පළ පිහිටලා තිබුණෙත් ඒ දර්ශන තලය ආසන්නයේ පිහිටි ස්ථානයක. ඇත්තටම එය වනාන්තරයක් සහිත භූමියක් . තරමක් උසක පිහිටි ඒ නවාතැනට ගොඩවුණාට පස්සෙ පහළින් ගලාබසින දොළ පාර දැකගන්න පුළුවන්. ඊට අමතරව හවස හය හත වෙනකොට තොරතෝංචියක් නැති රුහැයියන්ගේ හඬ ඇහෙන්න ගන්නවා. ඊට අමතරව පරිසරය සිහිල් වාතාශ්‍රයෙන් පිරෙන්න ගන්නවා. එවිට ඇතිවන හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකියි. ඒ කාරණා එක්ක ගත්විට අපේ කණ්ඩායමේ සියල්ලන්ම පාහේ පෙර නොවිඳි අත්දැකීමක් වින්ද කාලපරාසයක් ලෙස ඒ සති දෙක, තුන හදුන්වන්න පුළුවන්.

බෙලිහුල්ඔය චමත්කාරය මතකයෙන් බැහැර වෙන්නේ නෑ - ඩොනල්ඩ්  ජයන්ත

● “ආදරණීය කතාවක්” චිත්‍රපටය පිළිබඳ ලැබුණ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මොන වගේද?

වානිජමය වශයෙන් ඉතාමත් සාර්ථක නිර්මාණයක් බවට පත්වුණා. එපමණක් නොවෙයි ඒ චිත්‍රපටය නැරඹූ බොහෝදෙනෙක් මේ දර්ශන තලය තිබෙන්නෙ කොහෙද කියල සොයන්න විමසන්න ගත්තා. එක්තරා ව්‍යාපාරිකයෙක් මට දුරකථන ඇමතුමක් ලබාදීල ඒ

ස්ථානයට යන ගමන්මාර්ගය පවා මගෙන් ලබාගත්තා. පසුව ඔහු ඇතුළු පවුලේ උදවිය මාතර සිට බෙලිහුල්ඔයට ගිහින් මම ඉහත සඳහන් කළ ගම්මානයේ පිහිටි කිතුල් පීල්ලෙන් දිය නාල ඒ අවට සිරි නරඹලත් ඇවිත් තිබෙනවා.

● ඔබ විසින් අධ්‍යක්‍ෂණය කළ සිනමා නිර්මාණ දෙක පිළිබඳ කතාබහ කරනවනම්

ඔව්… මා “ප්‍රවේගය” සහ “මායා” කියන චිත්‍රපට දෙක අධ්‍යක්‍ෂණය කළා. මායා චිත්‍රපටය රූගත කිරීම් සිද්ධ කළේ කොළඹ සහ ඒ අවට. එහි එක් දර්ශන තලයක් පානදුර වෙරළ තීරය ආශ්‍රිතව ඉදිකරන්න සිද්ධ වුණා. ඒ දර්ශන තලය අඩි දයක් පහළොවක් පමණ උසකින් තමයි ඉදිකළේ. කෝවිලක් සහ කාලි අම්මගේ රූපයක් තමයි ඒ දර්ශන තලයෙන් දිස්වුණේ. එහි රූගත කිරීම් සිද්ධ වුණේ රාත්‍රි කාලයට. දහවල් කාලයට අපේ කණ්ඩායමේ කිසිවෙක් ඒ ස්ථානයේ

රැඳෙන්නෙ නෑ. එහෙම වෙලාවට අළුතින් ඉදිකළ කෝවිලක් කියල හිතල මිනිස්සු ඒ ස්ථානයට ඇවිත් කාලි මෑණියන් වන්දනා කරල පඬුරු පවා පූජා කරපු අවස්ථා තිබුණා. එය ඒ තරම් විශිෂ්ට ලෙස නිර්මාණය කරන්න, ඒ චිත්‍රපටයේ කලා අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ

ඇහැලියගොඩ සෝමතිලක දක්‍ෂ වෙලා තිබුණා. රූගත කිරීම් නිමවුණාට පස්සේ දේවාලයක කපු මහත්තයෙක් ඇවිත් ඒ කාලි අම්මගෙ රූපය ඉල්ලුවා. පසුව අපි තීරණය කළා එය ඔහුට ලබාදෙන්න.

● නැවත අධ්‍යක්‍ෂණයට පිවිසෙන්න අදහසක් පවතිනවාද?

මම චිත්‍රපටයක් මුල්වරට අධ්‍යක්‍ෂණය කළේ චිත්‍රපට 50 ක පමණ සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස කටයුතු කිරීමෙන් පසුවයි. ඒකෙත් විශේෂත්වයක් පවතිනවා. ඒ තමයි 1987 වසරේ ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්‍ෂණය කළ “දැහැන” චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ මම මගේ 50 වන චිත්‍රපටය ලෙස සහාය අධ්‍යක්‍ෂණයෙන් දායක වන්නෙත්

ප්‍රියන්ත කොළඹ ගේ විසින් අධ්‍යක්‍ෂණය කළ “ආදරණීය කථාවක්” චිත්‍රපටයට. දැනට මම චිත්‍රපට 67 ක පමණ සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවනම් මම අදත් වැඩි කැමැත්තක් දක්වන්නෙ සහාය අධ්‍යක්‍ෂණයට. ඒ හරහා විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්.

● ඔබ විසින් සහාය අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට අතරින් ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට කීපයක් පිළිබඳ සඳහනක් කරනවානම්

චිත්‍රපට 08 ක් පමණ ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ අතරින් ‘සිහින අභිෂේක” කියන චිත්‍රපටය රූගත කළේ හපුතලේ ප්‍රදේශයේ. ඊට අමතරව “පරාවර්තනය” නමින් තවත් චිත්‍රපටයක් තිරගත වීමට නියමිතයි. එය රූගත කළේ ගල්ගමුව නගරයේ සිට කිලෝමීටර් අටක් පමණ දුරකින් පිහිටි ස්ථානයකයි. ඒ ප්‍රදේශයත් ඉතාමත් දර්ශනීය පරිසර පද්ධතියක් සහිත ස්ථානයක් විශාල වැවක් සහ ඒ වැවට තරමක් ඈතින් විශාල ගල්තලාවක් සහිත කඳු පන්තියක් දකින්නට ලැබෙනවා. එයත් මා දුටුව ලස්සනම ස්ථානයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්‍ෂණය කළ මහේන් පෙරේරා ගේ නිෂ්පාදනයක් වන ‘මන්දාරා’ කියන චිත්‍රපටයත් ඉහත නිර්මාණ අටට ඇතුළත් වෙනවා.

සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස මතු බලාපොරොත්තු මොනවාද?
 

චිත්‍රපට 100 කට පමණ සහාය අධ්‍යක්‍ෂණයෙන් දායක වෙලා වාර්තාවක් තැබීමේ කැමැත්තෙන් පසුවෙනවා. වසර 37 ක් පුරා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින මට ඒ ඉලක්කයට යන්න පුළුවන් වේවි කියල ලොකු විශ්වාසයක් මා තුළ පවතිනවා. මාතර වැනි දුර බැහැර ප්‍රදේශයක සිට කොළඹට ඇවිත් සිනමා ක්‍ෂේත්‍රයට පිවිසුන මට ඒ හපන්කම කරන්න පුළුවන්කම ලැබුණොත් සිනමා නිර්මාණ 100 ක් සඳහා සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ලෙස ලෝක වාර්තාවක් තබන්න පුළුවන්කම ලැබේවි.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment
ePaper