බෙහෙත් ගෙන්වූ සැපයුම්කරුවෝ බ්ලැක්ලිස්ට් – ගෝස් කැබැල්ලේ සිට සේලයින් දක්වා  නොමැතිවීමේ අවදානමක් – සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් ගෙවා නෑ

490

අගමැතිට වාර්තාවක් දෙමින් එජාප නි. නායක කියයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ සැපයූ ආනයනකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් නොගෙවීම නිසා එම ආනයනකරුවන් අසාදු ලේඛනගත කිරීමට විදෙස් ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටින බව මෙරට ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඖෂධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ අතර එම කමිටුව පෙරේදා (14 දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්විය.

ඖෂධ, ශල්‍ය උපකරණ හා රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04 කින් ගෙවීම් සිදුකර නැති බවත් මේ වන විට ඔවුන්ට රුපියල් බිලියන 34 ක හිඟ මුදලක් ගෙවීමට ඇති බවත් සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

ඇණවුම් කළ කිසිදු ඖෂධයක් හෝ උපකරණයක් පසුගිය අප්‍රේල් මාසයෙන් පසු ශ්‍රී ලංකාවට ලැබී නැති බවත් පවතින ඖෂධ හා උපකරණ හිඟය සපුරා ගන්නේ විදේශ රටවල සිටින මිතුරන්ට පෞද්ගලිකව කථා කිරීමෙන් බවත් සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය ලේකම්වරයා කමිටුව හමුවේ වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කර ඇත.

ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි සෞඛ්‍ය අමාත්‍යංශය විවෘත කර ඇතත් ඩොලර් හිඟය හේතුවෙන් හා ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් කිසිවක් ආනයනය කිරීමට නොහැකි වී ඇත. මේ නිසා ඖෂධ හිඟයක් ආරම්භ වෙද්දී හදිසි අවශ්‍යතා ලෙස අප්‍රේල් මාසයේ සිට යම් කිසි ප්‍රමාණයක් ආනයනය කිරීමට අවස්ථාව ලබාගත් බව ද ලේකම්වරයා කීය.

අත්‍යවශ්‍ය ඖෂධ 14 ක් තිබෙන අතර ඉන් ඖෂධ දෙකක් වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැත. ඉන් එකක් හෘද රෝගවලට භාවිතා කරන ඖෂධයකි. එහෙත් ඊට විකල්ප බෙහෙත් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කීය. ප්‍රතිජලභීතිකා ඖෂධය මේ වන විට අවසන්ව ඇති අතර එයට ආදේශක ඖෂධ කිසිවක් රට තුළ නැත. වෛද්‍ය සැපයුම් අංශයේ එය නැතත් පෞද්ගලික අංශයේ තිබෙන බවද ලේකම්වරයා කීවේය.

රෝගීන්ට අවශ්‍ය ඖෂධ 646 ක් ඇති අතර එයින් වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 188 ක් නොමැත. පිට ආයතනවල ඉන් 50 ක් නොමැත. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 486 කින් 21 ක් වෛද්‍ය සැපයුම් අංශයේ නැත. එම ඖෂධ 49 ක හිඟයක් රෝහල් තුළ පවතියි. ශල්‍ය උපාංග 7854 ක් තිබෙන අතර ඉන් නිතර භාවිතයේ තිබිය යුතු උපකරණ 2048 ක් පැවතිය යුතු වුවත් ඉන් 1155 ක් නොමැත.

අනුපූරක උපකරණ 3416 ක් පැවැතිය ද ඉන් 1405 ක් නොමැත. රසායනාගාර ද්‍රව්‍ය 3900 ක් තිබෙන අතර ඉන් සාමාන්‍ය උපකරණ 800 ක් තිබිය යුතු වුවත් 250 ක් නොමැති බව හෙළිවින. අනුපූරක උපකරණ 3100 ක් තිබිය යුතු අතර ඉන් 600 ක් නොමැත.

මෙම ගැටලුව අප්‍රේල් මුල සතිය වන විට දැඩි ලෙස දැනෙන්නට වීම නිසා ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු මගින් ආරම්භ කර තිබූ සංවර්ධන ව්‍යාපෘතිවල මුදල්වලින් නැවත ගත හැකි මුදල් ඖෂධ හා ශල්‍ය උපකරණ ගෙන්වීමට යොදාගැනීමට අපේක්ෂා කරන බව ද මෙහිදි සෞඛ්‍ය ලේකම්වරයා අනාවරණය කළේය. ඩොලර් මිලියන 27 ක මුදලක් ඉන් ලබාගත හැකිව ඇත. ඔවුන් තව ඩොලර් මිලියන 50 ක් දිය හැකි බව දැනුම් දී ඇතැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

නමුත් එම මුදල් යොදවා ඖෂධ මිලදී ගැනීමේදී එම ආයතනවල ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇතිදැයි සොයා බලන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් පටිපාටිය ඊට වඩා වෙනස් බැවින් එම මුදල්වලින් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලියට දිගු කාලයක් ගතවිය හැකි බවත් ලේකම්වරයා කීවේය.

ගෝස් කැබැල්ලේ සිට සේලයින් දක්වා ඖෂධ හා උපකරණ නොමැතිවීමේ අවදානමක් පවතින බවද මෙහිදී හෙළිදරව් වූවේය. විදුලිය කප්පාදුවත්, ජෙනරේටර්ස්වලට අවශ්‍ය ඩීසල් නොමැතිවීමත් නිසා පෞද්ගලික අංශයේ ඖෂධ ගබඩාවල තිබෙන ඖෂධවල ගුණාත්මකභාවය ගැන ගැටලුවක් පවතින බවද හෙළි වුවේය.

චීනයෙන් ඩොලර් මිලියන 28.36 ප්‍රදානයක් මේ වන විට ලැබී ඇති බැවින් අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ ලැයිස්තුවක් ඔවුන් වෙත යොමු කර තිබේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලියන 400 ක් ඖෂධ වෙනුවෙන් යොමු කර ඇත. මිලියන 126 ක් රාජ්‍ය ඖෂධ සංස්ථාවටත්, මිලියන 4 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවටත් මිලියන 45 ක් පෞද්ගලික අංශයට ඖෂධ ආනයනයටත් මිලියන 25 ක් දේශීයව ඖෂධ නිෂ්පාදනය කරන ආයතනවලටත් යොමු කර තිබේ.

වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ හා උපකරණ මිලිදී ගැනීම වෙනුවෙන් මසකට මිලියන 20 ක් අවශ්‍ය වේ. වෛද්‍ය සැපයුම් අංශය මිලදීගත් ඖෂධ හා උපකරණ වෙනුවෙන් රුපියල් බිලියන 34 ක හිඟ මුදලක් ගෙවීමට ඇති බව ද මෙහිදී අනාවරණය විය. ඖෂධ, උපකරණ මෙන්ම රෝහල්වල රෝගීන්ට සපයන ආහාර මිලදී ගැනීම වෙනුවෙන් මෙම මුදල ගෙවීමට තිබේ.

සැපයුම්කරුවන්ට මෙම මුදල් නොගෙවීම හේතුවෙන් සමහර සැපයුම්කරුවන් සැපයුම් නතර කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය. ණයවර ලිපි විවෘත කොට ඖෂධ ඇණවුම් කළත් මුදල් නොගෙවීම නිසා ඖෂධ සංස්ථාව අසාදු ලේඛනගත කිරීමට විදෙස් ඖෂධ නිෂ්පාදකයන් කටයුතු කරමින් සිටින බවද මෙහිදී අනාවරණය විය.

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිවීමත් ඩීසල් නොමැති කමත් නිසා කර්මාන්තශාලා පවත්වාගෙන යාමට නොහැකිවී ඇති බවත් මෙහිදී හෙළිදරව් විනි. එසේම සැපයුම්කරුවන්ගේ මිල ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද හෙළි විනි. “ගෝස්” නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හ`ිග වීම නිසා ඉදිරියේදී ගෝස් හා කොට්න් නූල් ද අහිමිවීමට ඉඩ ඇති බවත් අනාවරණය විය.

විදුලිය කප්පාදුවේදී ඩීසල් ගැටලුව නිසා ජෙනරේටර්ස් ක්‍රියාත්මක කර ගත නොහැකිවීම නිසා පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාරවල හා දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් අපහසුතාවයට පත්ව ඇතැයි ද හෙළිවිය. තවද ඖෂධ ආනයනකරුවන් කියා සිටියේ ඩොලර් ගැටළුව නිසා ඖෂධ ආනයනය ගැටලු සහගත වී ඇති බවය. එසේම අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% ක් පමණ ආනයනය කිරීම ගැටලුවක්ව ඇතැයි ද හෙළිවිය. රටේ තිබෙන ඖෂධ ද අවසන් වෙමින් යන බවත් ළදරුවන්ට දෙන සිරප් වර්ගයන් ද අවසන් වෙමින් යන බවද කියා සිටියේය.

එසේම ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් කීවේ අවම උෂ්ණත්වයක් යටතේ පවත්වාගෙන යා යුතු ඖෂධ ගබඩාවලට විදුලිය නොමැති අවස්ථාවල ජෙනරේටර්ස් යොදා උෂ්ණත්වය පවත්වාගෙන යා යුතු වුවත් ඩීසල් හිඟය නිසා එය ගැටලුවක්ව ඇති බවය. “ඉන්සියුලින්” ඖෂධය පැය 24 ම යම් උෂ්ණත්වයක පවත්වාගෙන යා යුතු බවත් එසේ නොවුණහොත් එය වතුර බවට පත්වන බවත් ඔවුහු කීහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ, ශල්‍ය උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය අංශයේ මේ වන විට පවතින ගැටලු සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අගමැතිවරයා වෙත යොමු කරන බවත් ඖෂධ ගැටලු සොයා බැලීමේ කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට පොරොන්දු වූවේය.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කොට හදිසි ප්‍රතිකාර ශල්‍යාගාරවල හා දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් වෙනුවෙන් පෞද්ගලික අංශයේ රෝහල්වලට අවශ්‍ය ඩීසල් ලබා දීමට අවශ්‍ය සහාය සපයන බවද රුවන් විජයවර්ධන මහතා කීවේය. පෞද්ගලික අංශයේ ඖෂධ ආනයනකරුවන්ගේ ගබඩාවලට මෙන්ම දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනාගාරවල ජෙනරේටර්ස්වලට අවශ්‍ය ඩීසල් ද ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම, දේශීය ඖෂධ හා උපකරණ නිෂ්පාදක සංගම්, පෞද්ගලික රෝහල් සංගම්, ඖෂධ ආනයනකරුවන්ගේ සංගම් යනාදී ආයතන නියෝජනය කරමින් නිලධාරින් හා සාමාජිකයෝ රැසක් සහභාගී වී සිටියහ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment