බේරේ වැවේ වසන්තය

2875

ගෝල්ෆේස් විරෝධතාව සහ අරලිය ගහ මන්දිරයේ විරෝධතාව මර්දනය කළ කුණු පෙරේත ආකාරය අපි තරයේ හෙළා දකිමු. එම මර්දනය සඳහා පැමිණි දේශපාලන කුලී හේවායන් කිහිපදෙනකු කුදලා බේරේ වැවට වීසි කරන ලද අතර මේ පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේදීත් ගොඩ ඒමට නොහැකිව දියබුං ගසමින් සිටියහ. ඉතිහාසයේදී මෙවැනි පෙරේත වැඩ කළ නායකයන්ට උරුම වූ ඉරණම පිළිබඳ උදාහරණයකින් අද මේ කතු වැකිය පටන් ගමු. මෙයට අවුරුදු 22 ට පෙර වසර 2010 දෙසැම්බර් 17 වන දින ටියුනීසියාවේ කඩමණ්ඩියකදී එළවළු වෙළෙන්දෙක් සිරුරුට ගිනි තබාගෙන මළේය. එයට හේතු වූයේ පදික වේදිකාවේ එළවළු විකිණීම සඳහා ඉඩ දීමට ටියුනීසියාවේ පොලිසිය ඔහුගෙන් පගාවක් ඉල්ලීම ය. මේ කියන වකවානුවේදී ටියුනීසියාවේ විශාල ආර්ථික අර්බුදයක් තිබිණ. ඩොලරය ඉතා වේගයෙන් මිල ඉහළ යෑමට ලක්ව තිබූ අතර අවුරුදු 23 ක් එක දිගට ටියුනීසියාව පාලනය කළ ජනාධිපති බෙන් අලි ඒ ගැන කිසිදු වැඩපිළිවෙළකට ගියේ නැත. මේ නිසා ටියුනීසියානු ජනතාව රජය කෙරෙහි මහත් වෛරයකින් පසු විය. සිරුරට ගිනි තබාගත් මොහොමඩ් බුවාසි නමැති එළවළු වෙළෙන්දා මිය යෑමත් සමගම ෆේස්බුක් හරහා එම සිද්ධිය ටියුනීසියාව පුරා පැතිරෙන්නට පටන් ගත්හ. එවිට කුපිත වූ ජනතාව ජනාධිපති බෙන් අලිට විරුද්ධව ටික ටික පාරට බසින්නට පටන් ගත්හ. අන්තිමේදී මහජන විරෝධය දෙගොඩතලා ගිය අතර ප්‍රචණ්ඩ ක්‍රියා සහ මිනී මැරුම් මාලාවකින් පසු කෲර පාලකයකු වූ ජනාධිපති බෙන් අලි රටින් පැන ගොස් සෞදි අරාබියේ දේශපාලන රැකවරණ ලබා ගත්තේය. ටියුනීසියානු ජන විරෝධය සඳහා රටේ තැන් තැන්වල එකතු වීමටත් විරෝධතා පෙළපාලි පැවැත්වීමටත් අවශ්‍ය පණිවුඩ හුවමාරුව ටියුනීසියානු ජනයා විසින් තනිකරම කරන ලද්දේ ෆේස්බුක් සහ sms හරහාය. මේ නිසා ෆේස්බුක් නමැති digital platform එක මාධ්‍යයක් හැටියට පාවිච්චි කර පෙරළන ලද ලොව පළමුවන ආණ්ඩුව ටියුනීසියානු ආණ්ඩුව බවට පත්වෙයි. හැබැයි sms හරහා පණිවිඩ හුවමාරු කරගෙන පෙරළීමට සූදානම් වූ පළමුවන ආණ්ඩුව මාලදිවයින් ආණ්ඩුවයි. එරට ජනාධිපති අබ්දුල් ගයුම් දුෂ්ට ලෙසත් දුර්දාන්ත ලෙසත් දිගුකාලයක් තිස්සේ මාලදිවයින පාලනය කළ විට කුපිත වූ එරට ජනතාව 2005 දී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් පටන් ගත්හ. ඒ පිළිබඳ මතය සම්පූර්ණයෙන්ම පතුරුවා හරින ලද්දේ sms මගිනි. එකල sms යනු වහා block කළ හැකි පණිවිඩ හුවමාරු ක්‍රමයකි. ඒ අනුව මාලදිවයින් ආණ්ඩුව රටේ දුරකථන හුවමාරු සංඥා පද්ධතිය හරහා sms ජාලය සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය කර කුමන්ත්‍රණය පැරදවීය.

අරාබි වසන්තය හඳුන්වනු ලබන්නේ popular uprising එකක් හෙවත් ජනප්‍රිය විප්ලවයක් ලෙසය. 100% ක විප්ලවීය ලක්ෂණ නැතත් ඒ වර්ගයේ popular uprising එකක් මේ දිනවල මේ රටේ පවතී. නායකයන් නැති පුරවැසි සහභාගීත්වය පමණක් ඇති මෙකී විප්ලවීය ක්‍රියාමාර්ගයේ ප්‍රමුඛ අරමුණ වන්නේ ගෝඨාභය සහ මහින්ද ගෙදර යවා දැනට පවතින පොහොට්ටු ආණ්ඩුව අහෝසි කර වෙනත් බලවේගයකට රට භාර දීමය. එහි මුල් කොටස දැනටමත් හරි ගොස් ඇත. දැනට සිටින පාලකයන් ඉතාම නරක බවත් මිනිසුන් කුසගින්නේ වැහැරෙනු දැක දැක ඔවුන් චූන් එකේ සිටින බවත් මේ රටේ මිනිස්සු විශ්වාස කරති. මේ ව්‍යාපාරය ආරම්භ වන්නේ Go home Gota විරෝධතා පාඨය පෙරදැරි කරගෙනය. එය ගෝල්ෆේස් භූමියත් එහි තිබෙන ජනාධිපති ලේකම් කාර්යාලයත් ඉලක්ක කරගෙන සිදු වූ අතර ඊයේ දවල් වන විට තනිකරම සිවිල් යුද්ධයක් බවට පත්විය. ‘මයිනා ගෝ හෝම්’ යන සටන් පාඨය ‘ගෝඨා ගෝ හෝම්’ යන පාඨයේ දෙවන අවස්ථාවයි. මයිනා ගෝ හෝම් ව්‍යාපාරයේ මුඛ්‍ය අරමුණ මහින්ද රාජපක්ෂ ගෙදර යැවීම ය. මේ ව්‍යාපාරය ඊයේ දහවල් වනවිට උච්ච ස්ථානයකට පත්වූ අතර “මයිනා ගෝ හෝම්” යැයි කියන පිරිසට එරෙහිව “මහින්ද ඩෝන්ට් ගෝ හෝම්” යනුවෙන් තවත් කුලී සටන් ව්‍යාපාරයක් ඇති විය. අන්තිමේදී මහින්දට ඉන්න කියන අයත් මහින්දට යන්න කියන අයත් එක ගොඩේ ගුටි කෙළ ගන්නට පටන් ගත්හ. මෙවැනි විටක ජනතාවගේ රාජ්‍ය නායකයකු ලෙස මහින්ද රාජපක්ෂ කිසියම් කැප කිරීමක් කළ යුතු බව අපගේ වැටහීමය. බැලූ බැල්මට මුළු රටම කියන්නේ ආණ්ඩුව බලය අත්හැරිය යුතු බවය. ඒත් ආණ්ඩුව කිසිදු ආකාරයකින් බලය අත්හරින බව නොපෙනේ. බලය අත් නොහැර දිගටම ඉන්නවා නම් ආණ්ඩුව කළ යුත්තේ තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, ආහාර ප්‍රශ්නය සහ ඩොලර් අර්බුදය විසඳීම ය. මේ ප්‍රශ්න විසඳනවා යැයි කියන්නේ ෂෙඩ් එකේ ඇති තරම් තෙල් තිබීම නොවේ. පරණ මිලට ජනතාවට ඇති තරම් තෙල් ලබා දීමය. එසේම පරණ මිලට ඇති තරම් ගෑස් ලබා දීම, අඩු මිලට ඇති තරම් ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට මුදා හැරීම, දැනට රුපියල් 400 පවතින ඩොලරය රුපියල් 210 ක

225 ක මට්ටමට ගෙන ඒම යනාදිය ආණ්ඩුව කළ යුතුය. ඒ එක ලබු ගෙඩියක්වත් (ලබ්බක් කියන්නේත් මෙයමය.) කිරීමට ආණ්ඩුවට නොහැක. එසේ නම් ඊළඟ පියවර විය යුත්තේ ආණ්ඩුව බලය අත්හැරීමය. එසේ බලය අත්හළ පසු ඊළඟට ආණ්ඩුව භාර ගන්නා කට්ටියට එය හරිආකාරව කර ගැනීමට බැරි වුණොත් ජනතාව මේ ආකාරයෙන්ම ඔවුන් ද මරාගෙන කනවා ඇත. ගෝඨාභය සහ මහින්ද බලය අත්හළ විට මීළඟ ආණ්ඩුව සෑදීමට සජිත් ප්‍රේමදාස සූදානමින් සිටින බව පෙනේ. සජිත්ට වැඩේ හරියට කර ගැනීමට බැරි වුණොත් ඔහු ද පලවා හැරීම සඳහා  Reject Sajith යනුවෙන් Hash Tag එකක් දැනටමත් නිර්මාණය කර තිබේ. එය සාදන ලද්දේ ද Go home Gota නමැති Hash Tag එක සෑදූ අයම ය.

ආණ්ඩුවේ අර්බුදය කොතරම් නරක ලෙස ඔඩුදුවා ඇද්ද යත් පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර යා යුතු බව කියන ව්‍යාපාරයක් ද නිර්මාණය වී තිබේ. පසුගියදා පාර්ලිමේන්තුව වැටලූ ආණ්ඩු විරෝධීන් පිරිසක් මනූෂ නානායක්කාරටත්, හෙක්ටර් අප්පුහාමිටත්, හරීන් ප්‍රනාන්දුටත් රෙදි ගැලවෙන්නට කතා කළහ. ඒ අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු බලවත් කෝපයට පත්වූ අතර තව පොඩ්ඩෙන් විරෝධතාකරුවන් හරීන්ට පහර දීමට පවා ඉඩ තිබිණ. තමන් පාර්ලිමේන්තුව තුළ මාර ගේමක් ගැසූ බවට මනූෂ පල් බොරුවක් කියා බේරෙන්නට උත්සහ කළ ද ජනතාව එයට ඉඩ දුන්නේ නැත. 69 ලක්ෂයක ජන වරමක් ලැබූ ආණ්ඩුවක් 18 මාසයකින් බිමට සමතලා වීමත් පාර්ලිමේන්තුවේ සිටින 225 ම ගෙදර යා යුතු බව පොදු ජනතාවගේ අපේක්ෂාව වීමත් ඉතා නරක අනාගතයක පූර්ව ප්‍රචාරක පටයක් ලෙස අපි දකිමු. මේ පූර්ව ප්‍රචාරක පටයෙන් පසු පෙන්වීමට සිදුවනු ඇත්තේ තනිකරම War film එකකි. විරෝධතාකරුවන් සිටි ස්ථානයට ගිය සජිත් ප්‍රේමදාසට පහරදීම නොම්බර එකේ හිඟන වැඩකි. ඔහු මේ රටේ විපක්‍ෂ නායකයා ය. එසේම Shadow Prime minister ය. ඊළඟ හිඟන වැඩේ මෙසේය. ගෝඨාභයේ ඇඟේ මැක්කකු මෙන් එල්ලී සිටි මහාචාර්ය චන්න ජයසුමන පවතින තත්ත්වයට විරෝධය පළ කරමින් ඇමැතිකමින් ඉල්ලා අස්විය. රෙද්දක් ඇඳගෙන සිටීමට නම් ඔහු මන්ත්‍රීකමින් ද ඉල්ලා අස්විය යුතුය. මහින්ද රාජපක්‍ෂට ද එයම පොදුය. මේ දෙදෙනාම දැනට භුක්ති විඳින වරප්‍රසාද රජයට ආපසු භාරදිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment