බොදු සිතුවමේ ජනතා භාවිතය: ඇම්. සාර්ලිස් මාස්ටර්

181

ලංකාවට නිදහස ලබා වසරක් හෝ දෙකක් ගත වූවා පමණි ර්‍ණ මහා කලාකරුවකු හමුවීමට ගල්කිස්සේ ඔහුගේ නිවසට පණිවුඩකරුවකු පැමිණෙයි. පණිවුඩයේ වූයේ පසුදිනම ගොස් අගමැතිව හමුවන ලෙසය. පසුදිනම මෙම මහා කලාකරු නියමිත වේලාවට ආඩම්බරයෙන් එකල අගමැති වූ ඩී. ඇස්. සේනානායක විසූ වුඩ්ලන්ඩ් මන්දිරයට ගියේ අගමැති වූ නිසාම පමණක් නොව තමා මෙයට පෙර දැන හැඳිනගත් මහතෙකු හමුවීමටය. මෙම මහා කලාකරුවා දුටු විගසම අගමැති සේනානායක “ආ කොහොමද, තමුන්නැහේගේ නමට ඉස්සරහින් සර් යන්න දාන්න මහ රජ්ජුරුවන්ට රෙකමදාරු කිරීමටයි අපි හිතන් ඉන්නේ” යැයි පැවසීය. ඉතා නිහතමානීව අගමැතිට නිසි ගෞරවය දෙමින් මෙම කලාකරු ‘අනේ අගමැතිතුමෝ මට මොකටද නමට තව සාර් කෑලි, උපන් ගමන්ම මට සාර් කෑල්ල අපේ තාත්තා දැම්මනේ’ යැයි අපූරු පිළිතුරක් දුන්නේය. තමාට හිමිවීමට ගිය නම්බු නාමය ප්‍රතික්ෂේප කළ එම මහා කලාකරු අන් කවරෙක්වත් නොව මෙයට වසර 66 කට පෙර නොවැම්බර් මසක ලොව හැර ගිය යුගයේ මහා චිත්‍ර ශිල්පියා ඇම්. සාර්ලිස් මාස්ටර්ය.

බොදු සිතුවමේ ජනතා භාවිතය: ඇම්. සාර්ලිස් මාස්ටර්

ලංකාව යටත් විජිතයක්ව පැවති යුගයේ අධිරාජ්‍ය විරෝධී අරගලයන්හි පිබිදීමක් 20 වන සියවසේ මුල් භාගය වන විට දක්නට ලැබේ. දේශීය අධ්‍යාපනයේ ප්‍රබෝධය, නව ජාතිකවාදී පිබිදීම, දේශීයත්වයේ පුනරුදය යන කරුණු මෙම අධිරාජ්‍ය විරෝධී අරගලයේ ප්‍රබලම අංගයන් විය. නව කථා, පුවත්පත්, ලිපි, ගීතයන් හා වෙනත් විවිධ මාධ්‍ය ඔස්සේ මෙම නව ජාතික ප්‍රබෝධය ශක්තිමත් කළේය. එසේම චිත්‍ර කලාව තුළින් ද ජාතික ප්‍රබෝධයට කළ මෙහෙවර සුළුපටු නොවේ. එහි ප්‍රබලතම කාර්යභාරය කරනු ලැබුවේ ඇම්. සාර්ලිස් මාස්ටර් ය.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් නිදහසට පසුව කෙටි කාලයක් තුළත් ලංකාවේ බොහෝ නිවාස හා වෙනත් ස්ථානවල බ්‍රිතාන්‍ය රජ පවුලේ ඡායාරූප එල්ලා ප්‍රදර්ශනය කිරීම දක්නට ලැබුණි. එපමණක් නොව කුඩ මිට, අභ්‍යාස පොත් සැරසීමට ද රජ පවුලේ ඡායාරූප යොදාගෙන තිබුණි. මෙම යටත්විජිත මානසිකත්වය බිඳ හෙළීමටත් නව ජාතික ප්‍රබෝධයක් ඇති කිරීමටත් මෙම රජ පවුලේ ඡායාරූප වෙනුවට ජාතික හා බෞද්ධාගමික සිද්ධි පාදක කරගෙන උසස් තත්ත්වයේ චිත්‍ර නිර්මාණය කොට ඒවා ප්‍රචාරණය කිරීමට ජාතිමාමක බුද්ධිමතුන් ඉදිරියට පැමිණියේය. එහි මුද්‍රණ කටයුතු සඳහා දේශීය ව්‍යාපාරිකයෝ ආයෝජනයට පෙරට ආහ. මෙම චිත්‍ර නිර්මාණය කළ මහා ශිල්පියා වූයේ ඇම්. සාර්ලිස් මාස්ටර් ය. රජ පවුලේ ඡායාරූපයට විකල්පයක් ලෙස ආ දුප්පත් පොහොසත් නිවෙස් සැරසූ සීවලී මහ රහතුන් වහන්සේ දේවාරාධනාව මහාභිනිෂ්ක්‍රමණය වැනි සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර එකල මහත් ජනප්‍රියත්වයට පත් විය.

මාලිගාවගේ සාර්ලිස් 1880 ජුනි මස 25 වන දින අම්බලන්ගොඩ ආඳාදොළ ග්‍රාමයේ උපත ලැබීය. ඔහුගේ පියා වූ මාලිගාවගේ නන්දෝරිස් දෛවඥයකු විය. සාර්ලිස් දරුවා කුඩා කළ සිටම පියාගේ නක්ෂත්‍ර ශාස්ත්‍රයට වඩා කලා කටයුතුවලට රුචිකමක් දැක්විය. ගමේ පන්සලේ වැඩ විසූ පඬිරුවනක් වූ වැලිතර ඥාණතිලක හිමිගෙන් මූලික අධ්‍යාපනය ලබන සාර්ලිස් දරුවා පාලි සිංහල සංස්කෘත භාෂාවන් ද උන්වහන්සේ යටතේ හදාරනු ලැබුවේය. සමහර ලේඛකයන් මෙම හිමිනම වැලිතර සරණංකර හිමි ලෙස දක්වා ඇත. තිස්ස හේවාවිතාරණයන් හා Old Masters and their Pupils පත්‍රිකාවේ සඳහන් වන්නේ වැලිතර ඥාණතිලක හිමි ලෙසය.

බොදු සිතුවමේ ජනතා භාවිතය: ඇම්. සාර්ලිස් මාස්ටර්

සාර්ලිස් මාස්ටර් වැඩිදුර අධ්‍යාපනය සඳහා මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන වෙත යවන ලදී. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය විය. මෙහිදී පෙරදිග භාෂාවන් පිළිබඳව පුළුල් ඉගැනීමක් කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි‘ එපමණක් නොව චිත්‍ර කලාව හා මූර්ති කලාව ඉගැනීමටද අවස්ථාව ලැබුණේ ද මෙම පිරිවෙනේ අධ්‍යාපන කටයුතු කරන විටය.

● නවනාරි කුංචකය

මෙතුමාගේ චිත්‍ර හා මූර්ති කලාවේ ආරම්භය පිළිබඳ විවිධ මත පවතී. සාර්ලිස් මාස්ටර්ගේ කිට්ටුම අසල්වැසියා වූත් සුසිල් ප්‍රේමරත්න හා ජී. ඇස්. ප්‍රනාන්දුගේ ගෝලයකු වූත් චිත්‍ර ශිල්පී තිස්ස හේවාවිතාරණයන් ප්‍රකාශ කරනුයේ සාර්ලිස්ගේ බාප්පා වූ විදානේ නම් එකල ගමේ ප්‍රසිද්ධ විත්‍ර ශිල්පියාගෙන් සාර්ලිස් මාස්ටර් මුලින්ම චිත්‍ර කලාව හා මූර්තිය ඉගෙන ගත් බවය. විදානේ බාප්පා ද එකල ආගමික සිද්ධි පාදක කොට ගමේ නිවාස සැරසීමට චිත්‍ර ඇඳ ඇති අයෙකි.

මාලිගාකන්ද විහාර මන්දිරයේ වැඩකටයුතු මෙකළ ආරම්භව පැවති අතර එහි සිතුවම් කිරීමේ කාර්ය පැවරී තිබුණේ රිචඞ් හෙන්ඩි්‍රකස්ට ය. මෙකල මරදානේ 1911 ඇරඹි ටවර් රඟහලෙත් එකල වූ වෙනත් රංග ශාලාවලත් වේදිකාගත වූ නාට්‍යවල විශාල පසුබිම් තිර ඇදීම කළ ප්‍රසිද්ධම චිත්‍ර ශිල්පියා වූයේ රිචඩ් හෙන්ඩි්‍රකස් ය. මාලිගාකන්ද විහාරයේ වැඩ කරමින් සිටින අතර හික්කඩුවේ සුමංගල නාහිමියන් සාර්ලිස්ව ඔහුට හඳුන්වා දෙමින් බිතු සිතුවම් කලාව උගන්වන ලෙස ඉල්ලා සිටි බව එක් මතයකි. සාර්ලිස් හෙන්ඩි්‍රකස්ගේ ගෝලයකු ලෙස විහාර මන්දිරයේ සිතුවම් කිරීමට සහය විය.

බොදු සිතුවමේ ජනතා භාවිතය: ඇම්. සාර්ලිස් මාස්ටර්

තවත් මතයක් වනුයේ මාලිගාකන්ද පිරිවෙන සිට ඇවිදින දුරක පිහිටි ටවර් රඟහලේ පුළුල් පසුබිම් තිර හෙන්ඩි්‍රකස් නිර්මාණය කරනවා බැලීමට සාර්ලිස් නිතර එහි ගොස් හෙන්ඩි්‍රකස් හා මිතුරු වූ බවය. එහිදී හෙන්ඩි්‍රකස් ගෙන් චිත්‍ර ශිල්පය ඉගෙන ගෙන ඇත. මාලිගාකන්දේ පිරිවෙණේ විහාර මන්දිරය

ගොඩනැගීමට පෙර 1909 දී හෙන්ඩි්‍රකස් තම ගෝලයා වූ සාර්ලිස් සමග ග්‍රැන්ඩ්පාස් හි ජයතිලකාරාමයේ විහාර බිතු සිතුවම්වල යෙදී ඇත. හෙන්ඩි්‍රකස් යටතේ මෙසේ බිතුසිතුවම් ඉගෙනගන්නා අතරේ ජයතිලකාරාම විහාරයේ බුද්ධ ප්‍රතිමාව සාර්ලිස් මාස්ටර් තනියෙන් නිම කර ඇත. මරදානේ මාළිගාකන්ද විහාරයේ බිතු සිතුවම් ඇඳීම හා ප්‍රතිමා නිර්මාණයන් ආරම්භ කරන ලද්දේ 1911 දීය. එනම් ජයතිලකාරාමයේ වැඩ ආරම්භ වී වසර දෙකකට පසුවය මරදානේ මාළිගාකන්ද විහාරයේ කටයුතු කොට ඇත්තේ කරකඩොල්ගොල්ලේ මහා සිත්තර ගුරුන්නාන්සේ ය. එතුමාගෙන්ද සාර්ලිස් දේශීය චිත්‍ර ශිල්පය හා මූර්ති කලාව ඉගෙන ගෙන ඇත.

● ස්වර්ණ සම්මාන ලාංඡනය

එසේම සාර්ලිස්ගේ මූර්තීන් සඳහා දොස්තර ගේබි්‍රයල් ගුණවර්ධන ගේ උපදෙස් ද ලැබී ඇත. චිත්‍ර ශිල්පී තිස්ස හේවාවිතාරණයන් ප්‍රකාශ කරනුයේ කීර්තිමත් කලාකරුවකු වූ මහා මුදලිඳු ඒ.සී.ජී.ඇස්. අමරසේකරගේ බලපෑමත් සාර්ලිස් මාස්ටර්ට වූ බවය. සාර්ලිස් මාස්ටර් ජනප්‍රිය චිත්‍ර ශිල්පියකු ලෙස කාගෙත් ගෞරවයට පාත්‍ර වනුයේ නිවාස අලංකරණයට බොදු සිරිත ආශ්‍රය කරමින් චිත්‍ර නිර්මාණය කිරීම නිසාය. බි්‍රතාන්‍ය යටත්විජිත යුගයේ දුප්පත් පොහොසත් බොහෝ නිවාස තුළ එල්ලා සරසා තිබුණේ බි්‍රතාන්‍ය රජ පවුලේ ඡායාරූපවලිනි. මෙම යටත් විජිත මානසිකත්වයට අභියෝග කළ හැක්කේ ලාංකික සංස්කෘතියට ගැළපෙන සිතුවම් ප්‍රවර්ධනයෙන් බව එකල අධිරාජ්‍ය විරෝධී අරගලයේ පෙරමුණේ සිටි නායකයෝ අවබෝධ කරගති. විශේෂයෙන් අනගාරික ධර්මපාලතුමා, හික්කඩුවේ සුමංගල නාහිමියන් මේ සඳහා නායකත්වය ගත් අතර චිත්‍ර නිර්මාණය කිරීමේ කාර්ය පැවරුණේ සාර්ලිස් මාස්ටර්ටය. සාර්ලිස් ඇඳි එම චිත්‍ර මුද්‍රණය කළේ එකල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වූ පේදිරිස්වරුන්ය.

බොදු සිතුවමේ ජනතා භාවිතය: ඇම්. සාර්ලිස් මාස්ටර්

පිටකොටුවේ කයිමන් දොරකොඩ පිහිටා තිබුණු විලියම් පේදිරිස්ගේ සාප්පුව කණ්ණාඩි ව්‍යාපාරයේ එකල ප්‍රසිද්ධම ව්‍යාපාරික ස්ථානයකි. කණ්ණාඩි ව්‍යාපාරික ලෝකයේ පසුකලෙක කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ඇල්බට් එදිරිසිංහ පේදිරිස් සාප්පුවේ සේවකයකු ලෙස සිට ඇත. ඔහු ප්‍රකාශ කළේ විලියම් පේදිරිස් සාප්පුව විහාර කර්මාන්තයන්හි චිත්‍ර ඇඳීමට අවශ්‍ය දුම්මල සායම් වර්ග ආදී ද්‍රව්‍යයන් ආනයනය කොට අලෙවි කළ බවය. මේ නිසාම නිතර බෞද්ධ භික්ෂූන් කලාකරුවන් මෙහි නිතර ආ ගිය බවද ඔහු ප්‍රකාශ කරයි. මෙම සාප්පුවට ඉහළින් විශාල අකුරින් William Pedris – The Paint People කියා නාම පුවරුවක් එල්ලා තිබූ බවද ඔහු ප්‍රකාශ කරයි. සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර ජර්මනියට යවා ඒවා උසස්ම තත්ත්වයෙන් ලිතෝ මුද්‍රණයෙන් නිම කොට බෙදාහැරියේ විලියම් පේදිරිස් සමාගම විසිනි. එකල පැවති තාක්ෂණයේ ඉහළම තත්ත්වයෙන් වර්ණවත් චිත්‍රයන් මුද්‍රණය වීම නිසා බි්‍රතාන්‍යයේ මුද්‍රණය කොට ආ රජ පවුලේ ඡායාරූප හා වෙනත් ඡායාරූපයන් සමඟ පහසුවෙන් තරග කිරීමේ හැකියාව ලැබුණි. එසේම බුද්ධ චරිතයේ සිද්ධීන් ශාසන ඉතිහාසයේ සිද්ධීන් ජාතක කථා ඓතිහාසික සිද්ධීන් ආශ්‍රිතව මෙම මුද්‍රණය කළ සාර්ලිස්ගේ චිත්‍ර පහසුවෙන් අලෙවි කළ හැකි විය. මේවා නිවසේ එල්ලා තැබීමට පහසු වන ලෙස උසස් තත්ත්වයෙන් රාමු කොටද විකිණීමට තිබුණි. මෙම පසුබිම තුළ බොහෝ බෞද්ධ නිවාසවල සාර්ලිස්ගේ චිත්‍ර දක්නට ලැබුණි.

සාර්ලිස්ගේ චිත්‍ර අතරින් වඩාත්ම ජනප්‍රිය චිත්‍රය වූයේ සීවලී මහ රහතුන් වහන්සේගේ චිත්‍රය ය. මෙහි අලෙවිය ඉතා ඉහළ මට්ටමක විය. මෙම තත්ත්වය ඇසින්ම දුටු ඇල්බට් එදිරිසිංහ ප්‍රකාශ කොට තිබුණේ විලියම් පේදිරිස් මුලින්ම සීවලී රහතුන් වහන්සේගේ චිත්‍රය ජර්මනියේ මුද්‍රණය කර එමගින් විශාල අලෙවියක් ලැබ මහා ව්‍යාපාරයක් බවට පත් වූ බවය. එයට පසුව අනෙක් චිත්‍රද මුද්‍රණය කරන ලදී.

සාර්ලිස් මාස්ටර් වරක් තම පුතුට තෑගි කර ඇත්තේද දිය සායම්වලින් අඳින ලද සීවලී මහා රහතන් වහන්සේගේ චිත්‍රයකි. මෙම චිත්‍රය අදත් එම පවුල සතුව පවතියි.

මෙයට අමතරව සූවිසි විවරණය, දේවාරාධනය, මහමයා දේවියගේ සිහිනය, සිද්ධාර්ථ කුමාර උප්පත්තිය, සිදුහත් කුමරු ගිහි ගෙය හැරයෑම ආදී බුද්ධ චරිතයේ බොහෝ වැදගත් සිද්ධීන් පමණක් නොව කුස ජාතකය ආදී ජාතක කථාවන්ද චිත්‍රයට නැඟ ජර්මනියේ මුද්‍රණය කොට විලියම් පේදිරිස් සාප්පුව හරහා අලෙවි කළ අතර ඒවාද ජනප්‍රිය ඉහළම තලයක විය.

මෙම චිත්‍ර ප්‍රවර්ධනය සඳහා ස්වදේශීය මිත්‍රයා පුවත්පතේ විශේෂ අතිරේකයක් ද පළ කළේය.

දෙවන ලෝක යුද්ධය පැවති මුල් කාලයේ බි්‍රතාන්‍ය පාලකයන්ගේ අවධානය පේදිරිස්වරුන්ට පමණක් නොව සාදිරිස් කෙරේ ද යොමු වී තිබුණි‘ මෙයට හේතු වූයේ එවකට පේදිරිස්වරුන්ගේ ව්‍යාපාරික කටයුතු බොහෝමයක් ජර්මනිය සමඟ සිදුවීමය.

විලියම් පේදිරිස් සාප්පුව හරහා මුද්‍රණය කොට අලෙවි කළ සාර්ලිස් චිත්‍ර ජනප්‍රිය වීමත් සමඟම බැස්ටියන් සමාගම හා එච්. ඩබ්ලිව්. කේව් සමාගම සාර්ලිස්ගේ චිත්‍ර උසස් තත්ත්වයෙන් මුද්‍රණය කර රට පුරා අලෙවි කරන ලදී. විජයාවතරණය, මද්දුම බණ්ඩාරගේ හිස ගසා මරණයට පත් කිරීම ආදී ජාතික වැදගත්කමක් ඇති ඓතිහාසික සිද්ධීන් මෙම චිත්‍රවලට ඇතුළත් විය.

සාර්ලිස් මාස්ටර් කළ බිතු සිතුවම් බුදුපිළිම මූර්ති නිර්මාණ ඇතුළත් විහාර රාශියක් දිවයින පුරා විහිදී ඇත. 1909 දී පමණ සාර්ලිස් මාස්ටර් තම ගුරු රිචඩ් හෙන්ඩි්‍රකස් සමඟ ග්‍රැන්ඩ්පාස් හි ජයතිලකාරාමයේ විහාර බිතු සිතුවම්වල යෙදුනි. හෙන්ඩි්‍රකස් යටතේ මෙසේ බිතු සිතුවම් ඉගෙනගන්නා අතරේ ජයතිලකාරාම විහාරයේ බුද්ධ ප්‍රතිමාව සාර්ලිස් මාස්ටර් තනියෙන් නිම කළ අතර එය ඔහු තනියෙන් කළ පළමු නිර්මාණය ද වේ.

මෙයට වසර කීපයකට පසු 1911 දී මරදානේ මාළිගාකන්ද විහාරයේ බිතු සිතුවම් ඇඳීම හා ප්‍රතිමා නිර්මාණයන් ආරම්භ කරන ලදී. මෙහි කටයුතු භාරදී තිබුණේ කඩොල්ගොල්ලේ මහා සිත්තර ගුරුන්නාන්සේටය. සාර්ලිස් මාස්ටර් ඔහුගේ ගෝලයා ලෙස එහි කටයුතු කළ අතර මෙම සිත්තර ගුරුන්නාන්සේගෙන් දේශීය චිත්‍ර කලාව හැදෑරීමේ භාග්‍යය ද ඔහුට ලැබුණි‘ මෙම විහාරයේ වැඩකටයුතු කර ගෙන යන අතර කඩොල්ගොල්ලේ මහා සිත්තර ගුරුන්නාන්සේට හදිසියේ තම ගමට ගොස් ටික කලක් එහි සිටීමට සිදුවිය. සාර්ලිස්ගේ දක්ෂතා වටහා ගත් පන්සලේ නායක හිමියන් සාර්ලිස්ට විහාර මන්දිරයේ වැඩ නිම කිරීමට අවසර දුනි.

කොළඹ මාළිගාකන්ද විහාරය ජයතිලකාරාමය හැරුණු විට පසුකාලීනව මහා සිත්තරකු බවට පත් සාර්ලිස් මාස්ටර් කොළඹ අශෝකාරමය ඉසිපතනාරාමය, වේළුවනාරාමය, පොතුපිටියේ පූජාරාමය, කිරිබත්ගොඩ, ඊරියවැටිය සුදර්ශනාරාමය, තිස්සමහාරාම වරාගොඩ විහාරය, ඉඳුරුව යාලේගම විහාරය, යතම්මිට බෝධිමළු විහාරය, බෙම්මුල්ලේ සිරිවර්ධනාරාමය, පාන්තිය ශ්‍රී මංගල විහාරය මහනුවර කටුකැලේ විහාරය ආදි විහාර රාශියක බුද්ධ මන්දිර තම සිතුවමින් හා මූර්තියෙන් අලංකාර කොට නිර්මාණය කරන ලදි.

සාර්ලිස් මාස්ටර් අතින් කොළඹ ඉසිපතනාරාමයේ බුද්ධ මන්දිරය නිර්මාණය වීමේ පසුබිම් කථාව සංවේදී ජනකය. 1915 ඇති වූ සිංහල මුස්ලිම් කෝලහාලයනට අත්අඩංගුවට ගත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් නම් තරුණයාට මරණ දඬුවම නියම වේ. මෙම තරුණයා අන් කිසිවකු නොව සාර්ලිස්ගේ චිත්‍ර ලිතෝ මුද්‍රණයට පසුකාලීනව ආයෝජනය කළ ව්‍යාපාරික ඩී. ඩී. පේදිරිස්ගේ පුතණුවන්ය. තම පුතු බේරා ගන්නට පුතාගේ බරට රත්රන් දීමට පවා පේදිරිස් ඉදිරියට ආ බව පැරැන්නෝ පවසති. කෙසේ වෙතත් තම උත්සහය අසාර්ථක වූ විට තම පුතුට නිදහස් කර ගැනීමට හෝ දඬුවම ලිහිල් කර ගැනීමට ආණ්ඩුකාර චාර්මස්ට ලබාදීමට තිබූ රුපියල් ලක්ෂ තුනක් යොදා අංග සම්පූර්ණ විහාර මන්දිරයක් සෑදීමට සාර්ලිස් මාස්ටර්ට භාර දේ. එහි ප්‍රතිපලය හිඳි පිළිමයක් සැතපෙන බුදු පිළිමයක් අගසව් දෙපල පිළිම මකර තොරණ බිතු සිතුවම් සහිත මනරම්ව සැලසුම් කොට තුන් මහල් විහාර මන්දිරයක් සාර්ලිස් මාස්ටර් විසින් නිම කිරීමය.

සාර්ලිස් කිට්ටුවෙන් ඇසුරු කළ අනගාරික ධර්මපාල, දොස්තර සී. ඒ. හේවාවිතාරණ පමණක් නොව මියුසියස් හිඟින්ස්, හෙන්රි ඕල්කට්, ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා වැනි අයගේ ප්‍රතිමා ඔහු අතින් නිර්මාණය විය.

සාර්ලිස්ගේ චිත්‍ර පිළිබඳව විවිධ මතවාදයන් පවතී. රිචඩ් හෙන්ඩි්‍රකස්ගේ ඇසුර හේතුකොට ගෙනත් සාර්ලිස්ගේ චිත්‍රවල යුරෝපියානු චිත්‍ර කලාවේ ආභාෂය දක්නට ලැබෙන බව සමහරුන්ගේ මතය වේ. දීප්තිමත් වර්ණ භාවිතය එළිය හා අඳුර පැහැදිලිව දැක්වීම වැනි යුරෝපියානු චිත්‍ර ශෛලිය තුළ ඇති ලක්ෂණ ඔහුගේ චිත්‍ර තුළ දක්කට ලැබීම එයට හේතු ලෙස දක්වයි. එසේම තවත් මතයක් වනුයේ දේශීය චිත්‍ර සම්ප්‍රදාය තුළ ශාස්ත්‍රාලයීය නව චිත්‍ර කලා ප්‍රවණතාවයක් සාර්ලිස් ඇති කිරීමය. එම නිසා සාර්ලිස්ගේ චිත්‍ර තුළින් හැඟීම් කුළුගැන්වීමේ ලක්ෂණ ඇති බව කියයි.

සාර්ලිස් මාස්ටර්ගේ නවනාරි කුංජරය, පංචනාරි ඝටය හා හංස පූට්ටුව යන චිත්‍රයන් තුන උගතුන්ගේ කථාබහට ලක් විය. නවනාරි කුංජරය ලංකාව තුළ හා ඉන්දියාවේ පැරණි චිත්‍ර අතර බහුලව දක්නට ලැබේ. එසේම පංච නාරි ඝටය හා හංස පූට්ටුව ලංකාවේ පැරණි පන්සල් බිතු සිතුවම් තුළත් ලී කැටයම් ඇත් දත් කැටයම් තුළත් දක්නට ලැබේ.

සාර්ලිස්ගේ මෙම චිත්‍ර තුළ පෙරදිග චිත්‍ර සම්ප්‍රදායේ විශිෂ්ට ලක්ෂණ වූ බව වියතුන්ගේ මතය විය. 1922 දී පවත්වන ලද සමස්ත ලංකා කර්මාන්ත ප්‍රදර්ශනයේදී එකල කීර්තිමත් චිත්‍ර ශිල්පියකු වූ මුදලිඳු ඒ. සී. ජී. ඇස්. අමරසේකරගේ අනුග්‍රහයෙන් පෙරදිග චිත්‍ර ශිල්පය සඳහා චිත්‍ර කලාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන ස්වර්ණමය මුද්‍රාව නවනාරි කුංජරය, පංචනාරි ඝටය හා හංස පූට්ටුව චිත්‍ර තුන සඳහා සාර්ලිස් වෙත පිරිනමන ලදී.

සාර්ලිස් මාස්ටර්ගේ බොදු චිත්‍රයන් සම්බන්ධව නව පිබිදීමක් නැවත 1990 ගණන්වල අග ඇති වේ. 1990 දී උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රකාශයක් ලෙස සාර්ලිස්ගේ බිතු සිතුවම් හා චිත්‍ර රාශියක් ඇතුළත්ව බුදු මඟ – සිතුවම් සහිත බුද්ධ චරිතය බුද්ධ ධර්මය ශාසන ඉතිහාසය නම් පොතක් නිකුත් වේ. මෙය බොදු චිත්‍ර හා බිතු සිතුවම්වලින් යුත් ග්‍රන්ථයක් විය. මේ සමගම බොහෝ පිරිස්වල අවධානය නැවත මෙම චිත්‍රයන් කෙරේ යොමු විය. වර්තමානයේ සාර්ලිස්ගේ මුල් චිත්‍ර සංරක්ෂණය කිරීමටත් නැවත මුද්‍රණය කොට අලෙවි වන චිත්‍රවලින් නිවෙස් සැරසීමටත් බොහෝ පිරිස් ඉදිරියට පැමිණ ඇත. එදා මෙන්ම අදත් සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍රවලට ඇති ඉල්ලුම නොඅඩුව බව විශේෂිත කරුණකි.

ප්‍රේමදාස තෙලිකෝරල – කටුබැද්ද
මුහුණු පොතේ පළවූ ලිපියක් ඇසුරිනි

බොදු සිතුවමේ ජනතා භාවිතය: ඇම්. සාර්ලිස් මාස්ටර්

advertistmentadvertistment
advertistmentadvertistment