බොන්දුපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ පංති කාමරවලට ගිනි තබා දේපළ සොරාගෙන

229

සොකො නිලධාරීන් සහ ඇඟිලි සලකුණු නිලධාරීන් ගෙන්වා පරීක්ෂණ අරඹයි

තල්ගස්ගොඩ, බොන්දුපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ පංති කාමරවලට ඇතුළු වී ගිනි තබා, දේපළ සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි. විදුහල්පති හේමන්ත ජයසිංහ මහතා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

තමා නිවසේ සිටියදී විදුහලේ 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු දුරකථන ඇමතුමක් ලබාදී පංති කාමර තුළ ගිනි ගැනීමක් සිදුවී ඇති බව දැනුම් දුන් බවත් ඒ අනුව තමා පැමිණ පරීක්ෂා කළ බවත් විදුහල්පතිවරයා කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ.

ඉබි යතුරු කඩා පංති කාමර කීපයකට ඇතුළුවී ඒවායේ තිබූ පොත්පත්වලට ගිනි තබා ඇති බවත් අලුතෙන් නවීකරණය කරන ලද ගොඩනැගිල්ලේ පංති කාමරවලද ඉබි යතුරු කඩා ඇතුළුවී එහිවූ දේපළ හා විදුලි රැහැන් පද්ධතිය ද ගලවාගෙන ගොස් තිබූ බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.

පසුව ගොඩනැගිල්ලේ අලුත්වැඩියාව සිදු කරන කොන්ත්‍රාත්කරු ගෙන්වා පරීක්ෂා කීරීමේදී අලුත්වැඩියාව සඳහා ගෙනැවිත් තිබූ රුපියල් 95,500 ක් වටිනා වයර් රෝල්ද, සවි කර තිබූ රුපියල් 60,000 ක් වටිනා විදුලි පද්ධතිය ද ගලවාගෙන ගොස් ඇති බව අනාවරණයවී තිබේ.

මෙහි සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සොකො නිලධාරීන් මෙන්ම ඇඟිලි සලකුණු නිලධාරීන් ද ගෙන්වා පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ


advertistmentadvertistment