බොරැල්ලේ කනත්තේ ඇසෙන විලාපය

13205
බොරැල්ලේ කනත්තේ ඇසෙන විලාපය

විනිවිද

බොරැල්ල පොදු සුසාන භූමියට වසර 150ක පමණ අතීතයක් ඇති ස්ථානයකි. මෙම සුසාන භූමිය බෞද්ධ, හින්දු, කතෝලික ජනතාවගේ දේහයන් මිහිදන් කිරීමට සහ ආදාහනය කිරීමට කොළඹ නගරයේ ඇති සුසාන භූමිවලින් එකක් පමණි.

දෙවැනි ලෝක යුද සමයේ දී රණවිරුවන්ගේ දේහයන් මෙන්ම, ඉතා සුප්‍රසිද්ධ කලාකරුවන්, රංගන ශිල්පීන්, සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවන් ඇතුළු විවිධාකාරයෙන් සුප්‍රසිද්ධ අයගේ දේහයන් මිහිදන් කර ඇති අතර ඉතා මනරම් සොහොන් කොත් ඉදිකර ඇත. එම ස්ථාන පවුලේ අය විසින් නඩත්තු කරන අතර වාර්ෂිකව ගුණානුස්මරණ උත්සවද පවත්වති. මෙම සොහොන් භූමිය කොළඹ මහ නගර සභාවට අයත් වන අතර සොහොන් භූමියේ නඩත්තුව සහ ආරක්‍ෂාවට සේවකයන් යොදවා ඇත. බොරැල්ල පොදු සුසාන භූමියේ කීර්තිමත් ඉතිහාසය මේ වනවිට ඇතැමුන්ගේ ක්‍රියා කලාපය නිසා අවමානයට ලක්කොට තිබේ.

මෙහි මිනී වළක් හෑරීමට විශාල මුදලක් ගෙවිය යුතු වේ. භූමදාන කටයුත්තක් සඳහා ස්ථානයක් වෙන්කර ගැනීමට කොළඹ නගර සභාවට ගෙවනු ලබන මුදලට අමතරව තවත් අයකුට අල්ලස් දිය යුතුව ඇතිද?

බොරැල්ලේ කනත්තේ ඇසෙන විලාපය

එසේ නොකළහොත් ඔවුන් බැණ තර්ජනය කරන අතර වළ හෑරීම මඟහරිති. ආදාහන කටයුත්තක් සඳහා වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීමට කොළඹ නගර සභාවට ගෙවනු ලබන මුදලට අමතරව තවත් අයට සන්තෝෂම්ද දිය යුතුව තිබේ ද? එහි ඇත්ත නැත්ත දන්නේ අත්දැකීම්වලට මුහුණ දුන් අය ය.

කනත්තේ සමහර සේවකයන් නිල ඇඳුම් භාවිත නොකරන අතර විවිධාකාරයේ ඇඳුම් ඇඳ සිටින බැවින් සේවකයන් ද කුඩුකාරයන් ද නිලධාරීන් ද ආරක්‍ෂක නිලධාරීන් ද යන්න හඳුනාගත නොහැක. (ඔවුන්ට අවශ්‍ය නිල ඇඳුම්, නිසි පඩිනඩි පහසුකම් පරිපාලනය විසින් සපයාදිය යුතුය. ඔවුන්ද දිවා රෑ නොබලා මළවුන් වෙනුවෙන් ජීවිතය හා ශ්‍රමය කැපකරන අපේම මිනිසුන් වන හෙයිනි) මත්ද්‍රව්‍ය හා මත්පැනින් මත්වූවන් ඇතමකුද අපට හමුවේ. ඔවුන් සේවකයන්ද පිටස්තරයන්ද යන්න අපි නොදනිමු.

ආදාහනාගාර ගොඩනැඟිලි ජරාවාසව කඩාවැටීමට ආසන්නව ඇත. ප්‍රධාන දොරටුව අසල ඇති කාර්යාලයද කඩාවැටීමට ආසන්නව ඇත. වහළයට මුක්කු ගසා ඇත. අලුත්වැඩියා කටයුතු නොකරයි. කනත්ත භූමියේ මිනී ඇටකටු, මිනී අළු තැනින් තැන දමා ඇති අතර ඩෙංගු මදුරුවන් බෝ කරන ප්‍රධාන ස්ථානයක් බවට පත්ව ඇත. තණකොළ කපන යන්ත්‍ර අක්‍රීයව ඇත.

කොළඹ මහා නගර සභාවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා බොරැල්ල කනත්තේ කටයුතු සම්බන්ධව සොයා බැලීමක් කරන්නේ ද?

ඇතමුන්ගේ විවිධාකාරයේ තර්ජන හේතුවෙන් නිලධාරීන් ඔවුන්ට බියෙන් රාජකාරි කරන්නට සිදුවී ඇද්ද? ඇතැම් සේවකයන්ට අවශ්‍ය පරිදි කනත්තේ පරිපාලනය කරන්න සිදුවි ඇද්ද? ඇතුළත සමහර ප්‍රදේශවල ගමන් කළ නොහැකි වන සේ කැළිකසළ ගොඩගසා ඇත.

බොරැල්ලේ කනත්තේ ඇසෙන විලාපය
බොරැල්ලේ කනත්තේ ඇසෙන විලාපය

විදුලි පහන් නොමැත. විවිධ ස්ථානවල යකඩ වැටවල් කඩාදමා ඇති අතර සොරුන් විසින් ඒවා ගලවාගෙන ගොස් ඇත. රාත්‍රී කාලයට මත්ද්‍රව්‍ය පානය කිරීමට මෙම ස්ථානය යොදාගෙන ඇත. විවිධ පුද්ගලයන් පැමිණ මත්පැන් පානය කිරීම සිදු කරයි.

බොරැල්ලේ කනත්තේ ඇසෙන විලාපය

මීට වසර ගණනාවකට පෙර බොරැල්ල පොදු සුසාන භූමියේ පිරිසිදු භාවය, නඩත්තුව පරිපාලනය ඉතා විධිමත්ව තිබුණි. නමුත් මේ වනවිට කොළඹ මහ නගර සභාවේ පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් කනත්ත කැලයක් වී ඇත. තවත් ටික කලක දී මිනියක අවසන් කටයුතු සිදු කිරීම සඳහා පවුලේ අයට කනත්තට යෑමට සිදු වන්නේ, කැලයක් කපාගෙනය.

සටහන – ධර්මසේන වැලිපිටිය

ඡායාරූප -තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment