නීතිඥ සාගර කාරියවසම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ජාතික ලැයිස්තු අපේක්ෂක
මේ වනවිට දේශපාලන කරලිය ඡන්ද උණුසුමෙහි තීරණාත්මක අවසන් දින කිහිපය ගත කරමින් සිටී. ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් වත්මන් දේශපාලන තත්ත්වය ගැන දක්වන ලද අදහස් මෙසේ පෙළ ගැසේ. එම පක්ෂ අතර ජාතික ජන බලවේගය, සමගි ජන සන්ධානය, ජන අරගල සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජනබලය, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සිටී.
ප්රශ්නය – මහමැතිවරණය සඳහා තවදුරටත් ඉතිරි වී තිබෙන්නේ දින 4ක කාලයක් පමණයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම මැතිවරණය සඳහා තිබෙන්නේ කෙබඳු සූදානමක් ද?
පිළිතුර – ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සියලුම දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා ලබාදුන්නා. නමුත් පසුගිය වතාවේ සියලු දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා ලබාදුන්නේ නැහැ. එම මැතිවරණයේදී සමහර දිස්ත්‍රික්කවලදී අපත් සමග සහයෝගයෙන් කටයුතු කරන පක්ෂ සමග ඔවුන්ගේ ලකුණ යටතේ තරග කළා. නමුත් මේ අවස්ථාවේදී සියලුම දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා භාර දී තිබෙනවා.
මෙම මැතිවරණයේදී අපි ගෙන් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට එරෙහිව වපුරලා තිබෙන බොරුව පරාජය කිරීමට නම් ගෙන් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුවත් කළ යුතු වනවා.
ප්රශ්නය – ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කළ අවස්ථාවේදී 62%ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේ දී ලබාගත්තේ 2.5%යි. ඔබ දකින ආකාරයට එම කඩාවැටීමට හේතුව කුමක්ද? එම හේතු සාධකයන් මේ වනවිට නිවැරදි කර ගැනීමට හැකිවී තිබෙනවාද?
පිළිතුර – සමාජ ගතකරන ලද බොරු අපගේ ඡන්ද ප්‍රමාණය අඩුවීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා. ඒ වගේම ස්වභාවිකවම ඇති වූ කොවිඩ් වසන්ගතය පාලනය කිරීමට ගත් පියවර නිසා ඇති වූ අර්ථිකය කඩා වැටීමේ පසුබිමක් එම බොරු සමාජගත කිරීමට හොඳ පසුබිමක් නිර්මාණය කළා. ඒ වගේම ඉටුකරන්න බැරි පොරොන්දු රාශියක් ලබාදීමත් එම තත්ත්වයට තවත් හේතුවක් වී තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාවට ලැබුණු ඡන්දවලින් අති බහුතරයක් පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ඒවා. ඒ මේ රටට, ජාතිකත්වයට ආදරය කරන අවංක ජනතාවගේ ඡන්ද බව අපි දැඩිව විශ්වාස කරනවා.
පසුගිය කාලයේදී වපුරන ලද බොරුව තේරුම් ගත් සැණින් ජාතිකත්වයට ආදරය කරන එම අවංක ජනතාව යළිත් ඔවුන්ගේ සුපුරුදු නිවහන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන බව විශ්වාසයි. ජනතාව නුදුරු අනාගතයේදීම තේරුම් ගනීවි බොරු කියන්නේ කවුද ඇත්ත කියන්නේ කවුද කියලා. ඒ සඳහා අපගේ පාර්ශ්වයෙන් කළයුතු කටයුතු මේ වනවිටත් අප විසින් කරමින් සිටිනවා.
ප්රශ්නය – මොනවද ජනතාවට කියපු බොරු? එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගෙන තිබෙන පියවර කුමක්ද?
පිළිතුර – අපි මෙම මැතිවරණයේදී ගෙන් ගෙට යමින් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට එරෙහිව ප්‍රකාශ කරන ලද බොරු පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. මේ රටේ ආර්ථිකය කඩා වැටීමට බලපෑ ප්‍රධානම කාරණය තමයි යහපාලන ආණ්ඩුව. එම ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා මුල් වෙලා. එම ආණ්ඩුවෙන් තමයි මහ බැංකුව කොල්ල කෑවේ. එම කොල්ලය නිසා අයෝජකයන්ට මේ රට පිළිබඳව තිබුණ විශ්වාසය නැති වූවා. ඒ වගේම තමයි එම ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව පිරිහීමට ඉඩ හැරිය නිසා පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූවා. එම ප්‍රහාරය නිසා විදේශිකයන්ට මේ රට පිළිබඳව තිබුණ විශ්වාසය නැති වූවා.
ඒ වගේම එම ආණ්ඩුව විශාල වශයෙන් විදේශ ණය අරගෙන පාරිභෝජනය සඳහා යෙදවූවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීත් ණය ගත්තත් එම ණය වියදම් කළේ අයෝජනයන් සඳහා මුදල් යෙදවූ විට ඉන් ප්රතිලාභ ලැබෙනවා. එම හේතුව නිසා රටක් කඩාගෙන වැටෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස සඳහන් කරනවා නම් දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා මේ රටට විශාල ප්රතිලාභ ප්‍රමාණයක් ලැබෙනවා.
කඩා වැටුණු ආර්ථිකයක් සහිත රටක් තමයි ගේඨාභය රාජපක්ෂ මහතා භාර ගත්තේ. එම පසුබිම තුළ තමයි කොවිඩ් වසන්ගතය ඇති වූයේ. එබඳු ආර්ථික පසුබිමක් සහිත රටක් දිගින් දිගටම වසා තැබිය නොහැකි බවත් රට විවෘත කළ යුතු බවත් අපි දිගින් දිගටම කිව්වා. නමුත් එබඳු අවස්ථාවලදී මහානායක හිමිවරුන් පවා ජනාධිපතිතුමාට ලිපි යොමු කළා රට අරින්න එපා කියලා. එම අවස්ථාවේදී ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රකාශ කළා රට වසා තැබීම නිසා ආර්ථිකය කඩා වැටුණොත් එහි වගකීම තමන් වෙත පවරන්න එපා කියමින් තමයි එතුමා රට වැසුවේ. ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා රට වැසුවත් ආර්ථිකය කඩාගෙන වැටුණා.
ඒ වගේම සෑම ඩීසල් ලීටරයකින්ම ඇමැතිවරයා කොමිස් ලබාගන්නා බවත්, බිත්තරයෙන් පවා ඇමැතිවරයා කොමිස් ලබාගන්න බවත් ඔවුන් ප්‍රකාශ කළා. ඔවුන් විසින් ප්‍රකාශ කළ එම බොරුවලට ජනතාව රැවටී තිබෙන බව පසුගිය ඡන්ද ප්‍රතිඵල අනුව පෙනී යනවා.
බොරුවට ආයුෂ නැහැ කියන එක සදාතනික සත්‍යයක්. එය ලෝක පාලන ධර්මයක්. ඒ අනුව නම් බොරුවෙන් පිහිටවපු මේ ආණ්ඩුවටත් වැඩිය ආයුෂ තිබෙන්න විදියක් නැහැ.
ප්රශ්නය – ඔබ ජාතිකත්වය පිළිබඳවත් සඳහන් කළා. ඒ වගේම ජාතිකත්වය නියෝජනය කරන පිල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් එම සඳහන් කළා. එහෙත් මෙම මැතිවරණයට ජාතිකත්වය නියෝජනය කරන බව ප්‍රකාශ කරන තවත් කණ්ඩායම් තරග කරනවා. එම කණ්ඩායම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝගයක් නෙවෙයිද?
පිළිතුර – කිසිම කණ්ඩායමක් අපිට අභියෝගයක් නම් නොවෙයි. 2015දී ජාතිකත්වය නියෝජනය කළ කඳවුර බිඳ දැමීමට කටයුතු කළා. නමුත් එම කඳවුර යළිත් නැගී සිටියා. මේ අවස්ථාවේදීත් සිද්ධ වූයේ 2015දී වූ දේම තමයි. ඒ සඳහා කටයුතු කළ බලවේග දන්නවා යළිත් ජාතිකත්ව කඳවුර නැගී සිටින බව. එම නිසා මෙම අවස්ථාවේදී එම බලවේග ව්‍යාජ ජාතිකත්ව කඳවුරු නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ තුළින් මෙම කඳවුර කෑලිවලට කැඩීමට උත්සාහ දරමින් සිටිනවා.
එම ව්‍යාජ ජාතිකවාදීන් වියදම් කරන මුදල් සහ ඔවුන් පිටුපස සිටින්නේ කවුද යන්න හොඳින් සොයාබැලුවොත් පෙනී යනවා ඔවුන් ව්‍යාජ ජාතිකත්ව රූකඩ ටිකක් බව. ඔවුන්ට බැහැ මේ රටේ ජනතාව රවටන්න. මේ රටේ ජනතාව දශක කිහිපයක සිට අත්දැකීමෙන්ම දන්නවා අවංකව ජාතිකත්වය නියෝජනය කරන්නේ කවුද කියලා. අද ඔය ජාතිකත්වය කතා කරන සමහර අය තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට කිට්ටුවෙලා එතුමාගේ ආණ්ඩුව බිඳ වැට්ටවීමට කටයුතු කළේ.
සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය