බොර තෙලේ කොමිස් ගසන තෙල් අර්බුදයේ ඉවර නොවන කතාව

100

මන්නාරම් ද්‍රෝණියේ තෙල් නිධිය ගැන දැන් කතා කරන්නේ නැත. ඔය කියන තෙල් නිධිය ගැන ආයෙත් අපට අසන්නට ලැබෙන්නේ ඊළඟ මැතිවරණයකදීය. හරියට නත්තල් කාලෙට නත්තල් සීයාත්, අවුරුදු කාලෙට කොහා ගැනත් කතා කරනවා මෙන් මන්නාරම් තෙල් නිධිය ගැනත් මතක් වෙන්නේ මැතිවරණ කාලවලය. ඒකත් හරියට නියඟයක් සමග ලයිට් කැපිල්ල පිළිබඳ කතා කරනවා වගේමය.

රටේ ප‍්‍රශ්න අපමණය. ඒ ඒ පවුල්වලට තිබෙන ප‍්‍රශ්නද අපමණය. ජනතා ප‍්‍රශ්න දැන් හරියට මීතොටමුල්ල කුණු කන්ද තරම් විශාලය.

කොවිඞ් වසංගතය නිසා මේ සියලූ ප‍්‍රශ්න නිර්මාණය නොවූ බව ආණ්ඩුවේම ඇත්තෝ පිළිගන්නා දෙයකි. පිළිගත්තත් නොගත්තත් මහපොළවේ ජීවත්වන මිනිසුන්ට මුහුණදීමට සිදුව තිබෙන ප‍්‍රශ්න ගැන ඔය ලොකු ලෝක්කෝ අමුතුවෙන් නිර්වචන දියයුතු නැත. දේශපාලනඥයින් ගමට එනතුරු කොස්ස අතේ තබාගෙන සිටින අය පිළිබඳව දන්නේ ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ය. මේ අටුවා ටීකා පසෙකට කරමු.

මේ ප‍්‍රශ්න මැද කෝටි ගණන් මුදල් හම්බ කරන පිරිසක් බොරදියේ මාළු බාමින් කටයුතු කරති.

විදුලි මාෆියාව එකකි. දෙවැන්න තෙල් මාෆියාවය. තුන්වැන්න ඖෂධ මාෆියාවය. මේ මාෆියාකාරයින්ගෙන් තෙල් මාෆියාව ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අප මේ හෙළි කරන්නේ ඩොලර් හිඟයට මුවාවී තෙල් සංස්ථාවේ පිරිසක් මේ රටේ ජනතාවගේ මුදල් ටික කම්බස් කරන නිසාය.

කොරෝනා වසංගතයත් සමග රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ගිය බව ඇත්තය. ඉකුත් 2020 මාර්තු මස සිට රට වරින් වර වසා දැමීය. බස් කර්මාන්තයේ සිට සියලූ කර්මාන්ත බිමට සමතලා වී ගියේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. රට වසාදමා තිබූ කාලයේ දී ඉන්ධන පාරිභෝජනය අඩුවී ගියේ ගමන්බිමන් මිදුලට සීමා වූ නිසාය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිලද පහළ ගියේය. නමුත් ඒ කාලයේ දී බොරතෙල් මිලදී ගෙන ගබඩාකර තබන්නට ප‍්‍රමාණවත් ගබඩාද අප සතුව නැත. තිබෙන ගබඩාවල

ගබඩාකරන්නට තෙල් සංස්ථා ප‍්‍රධානීහු කල්පනා කළේද නැත. මේ අතර ලෝකයේ රටවල් ටික ටික ඒ රටවල්වල කටයුතු සාමාන්‍ය අතට පත්කළ පසු කොරෝනා එන්නත ලබාදී අප රට ක‍්‍රම ක‍්‍රමයෙන් සාමාන්‍ය අතට පත්කළේ තවදුරටත් සංචරණ සීමා පනවා කටයුතු කිරීමට බැරිම තැනය.

ඩොලර් සංචිත පහළ වැටිණි. සංචාරක කර්මාන්තය බිමට සමතලා වී යෑම, විදේශ රැකියාවල නිරතවූවන්ගේ පේ‍්‍රෂණ අඩුවීම හා තවත් කාරණා බොහොමයක් ඩොලර් හිඟයට බලපා ඇති බව කොයි කවුරුත් දනිති.

දැන් තිබෙන ප‍්‍රශ්නය එය නොව බොරතෙල් මිලදී ගන්නට අවශ්‍ය ඩොලර් නොමැති කමය. මෙනිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙවන වතාවටත් වසා දැමීමට සිදුවී ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදුව පළමු වතාවට වසා දැමුවේ නොවැම්බර් මස 15 වැනිදාය. හේතුව බොරතෙල් නොමැති වීමය. එලෙස වසා දැමූ සපුගස්කන්ද යළි දෙසැම්බර් 07 වැනිදා පිරිපහදු කටයුතු සඳහා වැඩ ආරම්භ කළේය. නමුත් දෙසැම්බර් 30 යළි පිරිපහදුව වසා දැම්මේ බොරතෙල් නොමැති නිසාය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ රටේ වටිනාම ජාතික සම්පතකි. එය හරියට සැලූන් දොර සේ වහනවා අරිනවා කියන්නේම අපරාධයකි. සපුගස්කන්ද පිරිපහදුව වසා දමා පිරිපහදු කළ පෙට‍්‍රල්, ඞීසල් භූමිතෙල්, දැවිතෙල්, නැප්තා හා තාර පිටරටින් ආනයනය කිරීම ලාබදායක බව ඇතැම්හු කියන්නට ගත්තේ මන්දැයි නොදනිමු.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා දිනකට රටට සිදුවන පාඩුව රුපියල් කෝටි දහයකි. හේතුව වන්නේ පිරිපහදු කළ ඉන්ධන පිටරටින් ගෙන්වීමේදී ඒ සඳහා වැඩිපුර ඩොලර් ප‍්‍රමාණයක් වැයවන නිසාය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දිනකට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 1250ක්, පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 500ක්, නැප්තා මෙටි‍්‍රක් ටොන් 350ක්, දැවිතෙල් මෙටි‍්‍රක් ටොන් 300ක්, තාර මෙටි‍්‍රක් ටොන් 300ක්, එල්. පී. ගෑස් සියයට 5ක් නිපදවනු ලබයි. ඒ විශාල නිෂ්පාදනය දැන් රටට අහිමිය. මෙරට විදුලි බලාගාරවලට අවශ්‍ය නැප්තා හා දැවිතෙල් මෙපමණ කලක් ලබා ගත්තේ මේ මාහැ`ගි සපුගස්කන්ද පිරිපහදුවෙනි. යුගදනවි බලාගාරයට අවශ්‍ය ඉන්ධන, කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයේ බලාගාර දෙකට අවශ්‍ය ඉන්ධන මෙන්ම සපුගස්කන්ද විදුලි බලාගාරයටත් පිටරටින් ඞීසල් හා දැවිතෙල් නැප්තා ඩොලර් ගෙවා ආනයනය කිරීමට සිදුවීමෙන් ආර්ථිකයට එල්ල වී තිබෙන අනිසි බලපෑම්වලට වගවීමට කිසිවකු නැත. අද වනවිට රථ වාහනවලට අවශ්‍ය පෙට‍්‍රල් හා ඞීසල් මෙන්ම දුම්රියට අවශ්‍ය ඞීසල් ලබාදීමට අර්බුදයකට ගොස් ඇත්තේ මේ අල්ලපනල්ලේදීය. ගුවන්යානාවලට ලබාදෙන ගුවන්යානා ඉන්ධනද හෙට අනිද්දා වනවිට ආනයනය කිරීමට සිදුවනු ඇත.

  • බොරදියේ මාළු බාන තෙල් මාෆියාව

තෙල් මාෆියාවට නම් මේ තත්ත්වය මරුය. ඩොලර් හිඟය පිරිපහදු කළ ඉන්ධන ආනයනය මරු ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරය අයිති ධනේෂ්වර පංතියටය. හොද්ද බොර වී ඇත. මේ දිනවල මෙරටට අත්‍යවශ්‍ය ඉන්ධන වර්ග සියල්ල මිලදී ගන්නේ ක්‍ෂණික මිලදී ගැනීම් යටතේය. සාමාන්‍ය කාලයක නම් ඉන්ධන මිලදී ගත යුත්තේ ටෙන්ඩර් පටිපාටිවලට අනුවය. මුදල් අමාත්‍යාංශය, තෙල් අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයින්ගෙන් සමන්විත ටෙන්ඩර් කමිටුවක් හරහා ඉන්ධන මිලදී ගන්නට වැඩපිළිවෙලක් සකසා ඇත්තේ මෙය ජාවාරමක් කරගන්නා පිරිසට වැට බැඳීමටය. නමුත් අපේ රටේ ඉහළම පුටුවල ඉන්නේද මනුෂ්‍යයෝය. මේ මනුෂ්‍යයෝ හැම විටම උත්සාහ ගන්නේ මුදල් හම්බ කිරීමටය. මීට කලකට පෙර විදුලිබල හා බලශක්ති ඇමැති ලෙස කටයුතු කළ සුසිල් පේ‍්‍රම්ජන්ත මහතාගේ කාලයේ මෙරටට බාල තෙල් ආ හැටි අපට මතකය. බාල තෙල් ආවේ නිසි ටෙන්ඩර් පටිපාටියක් තිබූ සමයකය. එදා වාහන අතරමග නතර වූ හැටි මතකය. අවසානයේදී බාල තෙල් ජාවාරම හෙළි වූ පසු වාහන හිමිකරුවන්ට වන්දි ගෙවීමටද සංස්ථාවට සිදුවිය. තවත් කලක අසන්ත ද මෙල් නම් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තෙල් සංස්ථා සභාපති පුටුවේ සිටි සමයක හෙජින් ගිවිසුමකට ගොස් ඩොලර් කෝටි 3000ක පමණ මුදල් කන්දරාවක් කාබාසිනියා කර දැමීය. අදටත් ඒ පාඩුව කළ අයට දුන් දඬුවමක් නැත. මේ දිනවල රටට ගෙන්වන පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීමේ ක‍්‍රියාවලිය එහෙම පිටින්ම ගේමකි. මේවා ගෙන්වන හා මිලදී ගැනීමේ ක‍්‍රියාවලියේ නිරතවී සිටින තෙල් සංස්ථා ලොක්කන්ගේ වත්කම් සොයා බැලූවහොත් ලැබෙන කොමිස් කන්දරාව පිළිබඳ දල අදහසක් ලබාගත හැකි බව සංස්ථාවේම උසස් නිලධාරීහු පවසති.

මෙහි අනෙක් කාරණය නම් ඉකුත් ජනවාරි 08 වැනිදා සිට මෙරටට ගෙනා ඉන්ධන නෞකා හයක් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මුදාහැරීම පමා කිරීම නිසා පමණක් ප‍්‍රමාද ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 10කට වඩා වැඩිපුර ගෙවා දැමීමට සිදුව ඇත. ඒ කියන්නේ රුපියල් ලක්‍ෂ 2000කට වඩා වැඩි වටිනාකමින් යුත් ඩොලර් ප‍්‍රමාණයක් රටට අහිමිව යාමකි. මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ද මේ පිළිබඳව මරු ප‍්‍රකාශයක් කළේය. ඉන්ධන නෞකා මෙරටට ගෙන්වීමට පෙර මහ බැංකුව දැනුම්වත් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන ඩොලර් මුදාහැරීමට පුළුවන්. එසේ නොකර නෞකා වරායට ආවට පසු ඩොලර් ඉල්ලීම සාධාරණ නෑ යන්න ඒ ප‍්‍රකාශයයි.

සැබැවින්ම බරපතළ ඩොලර් අර්බුදයක් තිබියදී කළ යුත්තේ ඒ ආකාරයටය. නමුත් මේ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරු කුලල් කා ගන්නේ වම් අත කරන දේ දකුණු අත නොදන්නා බව කියමිනි.

විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේය. බලශක්ති ඇමැති උදය ගම්මන්පිලය. ඇත්තටම මේ විෂයන් දෙක කලක් තිස්සේ තිබුණේ එක් ඇමැතිවරයෙකු අතය. ඒ විෂය පැවරුණේ විදුලිබල හා බලශක්ති ඇමැති කෙනෙකුටය. ඩොලර් දුන්නොත් තෙල් දෙන්නම් කියා බලශක්ති ඇමැති, විදුලිබල ඇමතිට සත්තම් දමන්නේ එනිසාය. තෙල් දුන්නොත් ලයිට් කපන්න වෙන්නේ නෑ. විදුලිබල ඇමැති එහෙම කියන්නේද මේ විෂය දෙක දෙන්නෙකුට දී ඇති නිසාය.

ඇත්තම තත්ත්වය නම් මේ විෂය එක් ඇමැතිවරයෙකුට දුන්නත් අර්බුදය උඩුදුවලා හමාර බව පමණකි.

ඉන්ධන නෞකා ගෙන එන්නේ කවර රටකින්ද? ඒ සමාගම් මෙරට ලියාපදිංචි, පිළිගත් සමාගම්ද නැද්ද. ප‍්‍රමාද ගාස්තු ගෙවන තැනට පත්වන තුරු කොළඹ වරායේ රඳවා ඇත්තේ මේ ගෙවන ප‍්‍රමාද ගාස්තු වරාය ගාස්තු හා සේවා ගාස්තුවලින් කොටසක් මේ රටේ කාගේ හෝ නිලධාරින්ගේ බලධාරින්ගේ සාක්කුවලට එන නිසාද. ඒ පිළිබඳ සොයන්නට කෙනෙක් නැත.

  • දැන් මේ රටේ විකුණන්නේ ඔක්ටේන් 91 පෙට‍්‍රල්ද?

ඒකත් මරු වැඩකි. මෙතෙක් කලක් මේ රටේ රථ වාහනවලට භාවිතයට ගත්තේ ඔක්ටේන් 92 සහ 95 පෙට‍්‍රල්ය. නමුත් ඉන්දියාවේ භාවිතා කරන්නේ ඔක්ටේන් 91 පෙට‍්‍රල්ය. හේතුව නම් ඉන්දියාවේ නිෂ්පාදන යතුරුපැදි හා රථවාහනවලට ඔක්ටේන් 91 ගැළපෙන නිසාය. නමුත් මේ රටේ විවිධ රටවල නිෂ්පාදනය කළ වාහන තිබෙන නිසා ඔක්ටේන් 92 භාවිතා කිරීම කලක පටන් තිබූ ප‍්‍රමිතියය. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය පසුගිය වසරේ අග භාගයේ නිකුත් කළ පිරිවිරතයන් සම්බන්ධ ලියවිල්ලක නම් මෙරට පෙට‍්‍රල්වල ඔක්ටේන් ප‍්‍රමාණය 91 දක්වා පහළ දමා ඇත. ඉන්ධනවල ප‍්‍රමිතිය නියාමනයට මේ රටේ ආයතනයක් නැත. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් එල්. පී. එල්. මිත‍්‍රගේ මහතා නම් පවසන්නේ ඉන්ධනවල ප‍්‍රමිතිය සහතික කිරීමට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ වගකීමක් නොවන බවය. ඉන්ධනවල ප‍්‍රමිතිය සහතික කරන්නේ තෙල් සංස්ථාවය.

  • හොරාගේ අම්මාගෙන් පේන බැලීම

පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය ඔක්ටේන් 92 සිට 91ට අඩුකර ඇද්දැයි පරික්‍ෂා කරන්නේ සපුගස්කන්ද සහ කොළොන්නාවේ පිහිටි රසායනාගාර දෙකෙනි. එම රසායනාගාරවල ප‍්‍රධානීන් නම් කියන්නේ ඔක්ටේන් 92 හැර ඊට වඩා අඩු ඔක්ටේන් ප‍්‍රමාණය සහිත පෙට‍්‍රල් වෙළෙඳපොළට නිකුත් නොකරන බවය. නමුත් අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව ඔක්ටේන් 91 පෙට‍්‍රල් මේ රටට ආවත් එය පරික්‍ෂා කර බලන්නට කිසිම ආයතනයක් නැත. අනෙක් අතට මේ වනවිට මෙරට භාවිතා වන යතුරුපැදි හා මෝටර් රථවලින් සාතිශය බහුතරයක් ඉන්දීය වාහනය. එනිසා ඔක්ටේන් 91 පෙට‍්‍රල් ආවත් ප‍්‍රශ්නයක් නොවීමටද ඉඩ ඇත. බලශක්ති ඇමැති පැමිණිලි පිළිබඳ විමසන්නේ එනිසාදැයි අපි නොදනිමු. නමුත් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය නිකුත් කර තිබෙන SLS – 768-2021 පිරිවිතරයන් අඩංගු ලියැවිල්ලේ නම් ඇත්තේ ඔක්ටේන් 91 පෙට‍්‍රල් පිරිවිතරයකි.

මෙකී කාරණා සියල්ල වැසී ඇත්තේ දිය බොරව තිබෙන නිසාය. එහෙන් විදුලි අර්බුදයකි. මෙහෙන් ඩොලර් අර්බුදයකි. අනෙක් පැත්තෙන් හාල්මිල හඳේය. එළවළු ගිනි ගණන්ය. ඔමික්‍රොන් හිස ඔසවලාය. හඳේ හාවත් සැගවී සිටින්නේ අර්බුද පිට අර්බුද නිසාය.

මේ අතර ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ට අදාළ ගිවිසුමකට අත්සන් කළේද මහ ?ය. එහි ඇති හොඳම තෙල් ටැංකි 14 ඉන්දීය තෙල් සමාගමට දී ඇත්තේ වසර පනහකටය. ඉන් තෙල් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලැබී ඇත. එක තෙල් ටැංකියක් නවීකරණයට යන මුදල ඩොලර් බිලියනයකි. ඒ කියන්නේ ඩොලර් කෝටි 100 කි. අනෙක් තෙල් ටැංකි 61 එක්කර ටි‍්‍රන්කො පෙට්‍රෝලියම් ටර්මිනල් නමින් සමාගමක් ස්ථාපිත කොට ඇත. සමාගමේ සභාපති අපේ රටේ කෙනෙකි. කළමණාකාර අධ්‍යක්‍ෂ (MD) ඉන්දීය ජාතිකයෙකි. සමාගමේ අධ්‍යක්‍ෂ මන්ඩලයට පත් කරන අධ්‍යක්‍ෂවරු හත්දෙනාගෙන් තිදෙනෙක්ම ඉන්දීය ජාතිකයින්ය. සමාගමේ කොටස්වලින් සියයට 51ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවටය. සියයට 49ක් ඉන්දීය තෙල් සමාගමට හිමිය. මෙම සමාගමට හිමි භූමිය අක්කර 827කි. එක ටැංකියක ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 10,000ක් ගබඩා කළ හැකිය. ත‍්‍රිකුණාමලයට ඔබ්බෙන් යන නෞකාවලට ඉන්ධන ලබාදීම ගිවිසුමේ කොන්දේසියකි. මේ මුහුදු තීරය ඕස්සේ වැඩිපුරම ගමන් කරන්නේ ඉන්දීය නෞකාය. ඒ අතර මෙරට විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ඉන්දීය තෙල් සමාගමෙන් කෙළින්ම මිලදී ගන්නට රාජ්‍ය ත‍්‍රාන්ති‍්‍රක සාකච්ඡාය. මේ අතර ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ඉල්ලූ ඩොලර් මිලියන 500 මෙරටට ලබාදීමට එරට අනුමැතිය පළකර ඇත. මෙකී ටි‍්‍රන්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම ස්ථාපිත කළ පසු එහි ඇතිවන රැකියා වලින් සියයට 49ක් ඉන්දීය ජාතිකයින්ට හිමිය. සියයට 51ක් ශ‍්‍රී ලාංකිකයින්ටය. මෙම ගිවිසුම අත්සන් කිරීමත් සමග බළශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා මරු පොතක් මුද්‍රණය කර ඇත. එම පොත නමින් තෙල් ටැංකි යළි රටටය. එම මරු පොතේ 39 වැනි පිටුවේ මෙලෙස සඳහන් කර ඇත.

ප‍්‍රශ්නය- 2003 දී අත්සන් කළ ගිවිසුමේ බදු කාලය වසර 35ක් බැවින් ඉන්දියාව විසින් භුක්ති විඳිමින් සිටනි තෙල් ටැංකි 99, 2038 දී අපට යළි ලැබෙනවා. එසේ නම් කිසිම ගිවිසුමක් අත්සන් නොකර තෙල් ටැංකි සියල්ලම 2038 දී අප සතුවෙනාව නේද?

පිළිතුර 2015 දී අත්සන් කළ පැරිස් ගිවිසුම අනුව ශ‍්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ රටවල් 19ක් 2050 වනවිට ඛනිජතෙල් භාවිතය අත්හැරීමට ප‍්‍රතිඥා දී තිබෙනවා. 2038 වනවිට මේ ටැංකි අපට භාර දුන්නත් ඒවා අලූත්වැඩියා කර භාවිතා කර ආදායම් ඉපැයීමට තිබෙන්නේ ඉතාම කෙටි කාලයක්. මේ වනවිට ලෝකයේ තෙල් ටැංකි අතිරික්තයක් තිබිය හැකි බැවින් මේ ටැංකි භාවිතා කිරීමට නොහැකි වෙන්නත් පුළුවන් කියාය.

ඒ කියන කතාවලට උත්තර දෙන්නට සිදුවන්නේ අනාගතයේදීය. අනාගතය අපට අයිති නැත. එය හිමිවන්නේ මේ රටේ ජීවත්වන අහිංසක දරුවන්ටය. එදා ගහපු හෙජින් ගිවිසුමට කිසිවකු වගවූයේ නැත. බැඳුම්කර මගඩියට උර දුන්නේ පිටරටවලය. පාස්කු ප‍්‍රහාරය කළ උන් මළවුන් අතරය. එනිසා තවදුරටත් මේ රටේ අහිංසක දුප්පත් ජනතාව තළා පෙළා නොදමා ගත යුත්තේ නිවැරදි තීරණය. ක‍්‍රියාත්මක කළ යුත්තේ නිවැරදි තීරණයන්ය. මිනිසුන් දැන් ශාප කරන්නේ සුද්දන්ට නොව නිදහසින් පසු රටටම සුද්දෙ දුන් දේශපාලඥයින්ටය. නිදහස ලබා වසර 74ක් සමරන්නේ ලබන 04 වැනිදාය.

ඒ වසර 74ක කෙරුවාවෙන් අප වැටී සිටින්නේ ලිප මත තිබෙන කබලටය. කබලෙන් ලිපට වැටුන පසු මේ කිසිවක් කතා කර පළක් නැතැයි අපගේ වැටහීමය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment