බොහෝ කාලයකට පසු නියම ටයිම් එකට කොහා කෑ ගසයි

752

2025 අප්‍රේල් මස 13 වැනිදා ඉරිදා

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දරුණු තීරුබදු ප්‍රතිපත්තිය දින 90 කට කල් නොතබන්නට මෙවර අපේ සිංහල අලුත් අවුරුද්ද අපායේ සිංහල අලුත් අවුරුද්ද හා සමාන වීමට ඉඩ තිබිණි. ට්‍රම්ප්ගේ අලුත් බදු ප්‍රතිපත්තියේ ආරංචියටම ඇතැම් ඇමෙරිකන් සමාගම් ලංකාවේ ඇඟලුම් ඕඩර් නවත්වා තිබිණ. සමහර ඇඟලුම් ආයතන සිංහල අවුරුදු බෝනස් එක දීම පවා ප්‍රතික්‍ෂේප කර තිබේ. මේ නිසා එම ආයතනවල වැඩ කරන සේවක ප්‍රජාව වැඩවර්ජන සහ උද්ඝෝෂණ ක්‍රියා පටන්ගෙන ඇත. අවුරුද්දක් පුරා වැඩ කරන ඇඟලුම් සේවකයෝ මේ රටේ අනෙක් ශ්‍රමිකයන් මෙන් සිය බෝනස් එක ගැන අප්‍රමාණ බලාපොරොත්තුවකින් සිටිති. එම බෝනස් එකෙන් කිරීම සඳහා දේවල් බොහෝමයක් ඔවුන් විසින් සැලසුම් කරනු ලැබේ. ඇඟලුම් ආයතනයක් යනු සල්ලි නැතිව දුප්පත් වූ ආයතනයක් බව කවුරුවත් පිළිගන්නේ නැත. ඇඟලුම් සේවකයන් බෝනස් එක නොලැබුණු විට මරා ගන්නට උත්සාහ කරන්නේ මේ නිසාය.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනු වසර සිය ගණනක් පැරණි චාරිත්‍ර සමූහයකි. ලංකාව ශිව දෙවියන්ගේ ආගම සහ වෙනත් කුඩා ආගම් ඇදහූ රටක්ව තිබූ සමයෙහි සිංහල අවුරුදු උත්සවයක් වාර්ෂිකව පැවැත්වූ බවට ආරංචියක් නැත. දේවානම් පියතිස්ස රජු පවා ශිව දෙවියන් ඇදහූ රාජ්‍ය පාලකයෙක්ව සිටියේය. ඔහු සිය ආගම මාරු කර බෞද්ධයකු වන්නේ මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර ධර්මය දේශනා කිරීමෙන් පසුවය. එදා පටන් දේවානම් පියතිස්ස රජු බෞද්ධයෙක් බවට පත්විය. ශ්‍රී ලංකාවේ අනාගත රාජ පරම්පරාව බෞද්ධයන් බවට පත්වන්නේ ද එතැන් සිටය. ඉන්දියානු සම්භවයක් ඇති නිශ්ශංකමල්ල රජතුමා බුදු දහමට විශාල වශයෙන් උදව් කළ නරපතියෙකි. ඔහු ඕනෑම විජාතිකයකුට බුදු දහම වැළඳ ගැනීමෙන් සිංහලයකු බවට පත්වීමට හැකි බව ප්‍රකාශ කළේය. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සිංහල සහ දෙමළ ජනකොටස් දෙකටම පොදු සංස්කෘතික උත්සවයක් බවට පත්වන්නේ අතීතයේ දී පෙර කී ජනවර්ග දෙකම ඉතා සමගියෙන් මේ රටේ ජීවත් වූ නිසාය. සිංහල රජ කාලයේ දී සිංහල අවුරුදු උත්සවය පවත්වන ලද්දේ මාර්තු මාසයේ අග හරියේ දින තුනකදී ය. මේ දින තුන සමහර විට සුළු වශයෙන් එහා මෙහා විය. සිංහල අවුරුදු කාලයේ දී රටේ රජුගේ මාලිගාව ඉතා විසිතුරු ලෙස සකස් කරන ලද බව රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොතේ සඳහන් වේ. සිංහල අවුරුද්ද නිමිත්තෙන් රට වැසියෝ රජු බැහැ දැකීම සඳහා රාජ මන්දිරයට ගියහ. ඒ හැම දෙනකුම රජු සතුටු කිරීම සඳහා තෑගි ද රැගෙන ගියහ. මෙම තෑගි හඳුන්වනු ලබන්නේ “තෑගිභෝග” ලෙසය. එනම් රට වැසියන් රජතුමාට තෑගි කළේ තමන් විසින්ම සිටුවන ලදුව උපයාගත් භෝග වර්ගය. මේ භෝග අතරට ධාන්‍ය වර්ග ද එළවළු වර්ග ද පලතුරු වර්ග ද විය. එහෙත් රජතුමා රට වැසියන් හැම කෙනෙක්ගේම තෑගි පිළිගත්තේ නැත. දුප්පත් මිනිසුන් විසින් ගෙනා තෑගි ඔවුන්ටම භාරදුන් රජතුමා රටේ ඉඩම් හිමි ධනවත් පන්තියේ තෑගි භාරගෙන ඒවා රාජ්‍ය භාණ්ඩාගාරයට යැවීය. අවුරුද්දේ ඉතිරි කාලය තුළ රජතුමාත්, රජ පවුලත් නඩත්තු කිරීම සඳහා මේ තෑගි යොදා ගත්හ. අතීත ලංකාවේ රාජ්‍ය පාලකයා බර දරු පවුල්කාරයෙකි. ඔහුට එක බිරියක් නොව බිරියන් තිහ හතළිහකින් සමන්විත අන්තඃපුරයක් විය. මේ අන්තඃපුරයට කෑම කැවීමත්, ඇඳුම් සැපැයීමත්, ස්වර්ණාභරණ ලබාදීමත් පොඩි සෙල්ලමක් නොවේ. එසේම අන්තඃපුර බිසවුන් වහන්සේලාට උපන් දූ දරුවන් රැක බලා ගැනීම ද පොඩි සෙල්ලමක් නොවේ. මේ නිසා රජතුමා සිටින්නට ඇත්තේ විශාල පීඩනයකිනි. ඉතා සුළු වරදටත් මිනිසුන්ගේ හිස ගසා දමන ලෙස ඔහු නියෝග කරන්නට ඇත්තේ මේ පීඩනය නිසාම විය යුතුය.

නූතන ශ්‍රී ලංකාවේ සිංහල අවුරුද්ද මේ රටේ නූතන සංස්කෘතිය මෙන්ම පොලිෂ් වී ඇත. එම පොලිෂ් එක බලා ගැනීමට හැකි හොඳම මාධ්‍ය වන්නේ රූපවාහිනිය යි. රූපවාහිනි නාලිකා මගින් විවිධ අවුරුදු උත්සව පවත්වන අතර ඒවා අතිශයින්ම නවීකරණය වී තිබේ. එම උත්සව සඳහා ස්පොන්සර් කරන දැන්වීම්කරුවන් ද සිංහල අලුත් අවුරුද්දට අලුත්ම මොඩන් ඇඳුම් අන්දවා දැන්වීම ලෙස ඉදිරිපත් කරන ආකාරය දැකිය හැකිය. අපි හණමිටිකාරයන් නොවෙමු. හැම සංස්කෘතියක්ම ස්වකීය ඇඳුම් පරණ වූ විට අලුත් ඇඳුම් අඳින්නට පටන් ගනිති. එසේ ඇඳුම් මැසීමේ දී හමුවන්නේ අලුත් රෙදි ය. ලැබෙන මෝස්තර අලුත් ය. ලෝකය නවීකරණය වීම කිසිසේත්ම වැළැක්වීමට නොහැකිය. එය වැළැක්වීමට හැදුවොත් ගෝත්‍රික සමාජයකට ගමන් කිරීමට අපට සිදුවේ. එවිට කොළ අතු ඇඳගෙන, පොලු මුගුරු ගෙන වනසතුන් පස්සේ දිවගොස් උන් මරා පුළුස්සා අනුභව කරන යුගයක් නිර්මාණය වේ. ඒ නිසා අපට සිදුවී ඇත්තේ සංස්කෘතියේ බාහිර ස්වරූපය ආරක්‍ෂා කිරීම නොව සංස්කෘතිය සතු සාරධර්ම ආරක්‍ෂා කිරීම පමණි. බුදුදහම විසින් මේ රටේ සමාජයට ලබාදුන් අගනා සාරධර්ම සමූහයක් තිබේ. අපේ රටේ තිබෙන සවිමත් සමාජ අත්තිවාරම නිර්මාණය වී ඇත්තේ මේ සාරධර්මවලිනි. මෙයින් එක සාරධර්මයක් කැඩුණොත් අනෙක් සාරධර්ම ටික ද සට සට ගා කැඩී යෑමට නියමිතය.

මතුපිටින් බැලූ විට පෙනී යන්නේ මෙවර සිංහල අවුරුද්ද කලකින් උදාවන හොඳම සිංහල අලුත් අවුරුද්දක් බවය. වෙන එකක් තියා මෙවර නියම වෙලාවට කොහාගේ හඬ පවා අපට අසන්නට ලැබිණි. පසුගිය අවුරුදු ගණනාව තුළදීම අප්‍රේල් මාසයේ දී හඬ නැඟුවේ රූපවාහිනිය සහ ගුවන්විදුලියේ සිටින කොහා පමණි. ඇත්ත කොහා කෑ ගැසුවේ මැයි මාසයේ මැද හෝ මැයි මාසයේ අන්තිම හරියේ දීය. මෙය පරිසරවේදීන් පවා පිළිගත් කාරණාවකි. කෙසේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු විරාමය ගැන නැවත වරක් කතා කරමු. මෙය අපායේ ඉන්ටවල් එක හා සමාන විරාමයකි. ඉදිරි තුන් මාසය තුළ ලංකාවේ බදු ප්‍රශ්නය හරියට කළමනාකරණය කර නොගත්තොත් එයින් පසු එළැඹෙන සෑම සිංහල අවුරුද්දක්ම අපායේ සිංහල අවුරුද්දක් බවට පත්වෙනවා ඇත.


advertistmentadvertistment