බොහෝ දේ කියාදුන් ඇදුරිඳු කාලෝ

210

ශ‍්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා තම දිවි සැරියෙන් සමු අරන් දෙවසරක් ඉකුත් වී තිබේ. 86 වසරක ජීවන ගමන් මඟ තුළ ඔහු සිය අවසන් සුසුම් පොද වා තලයට මුසු කරන තෙක් ලෝකයට, රටට, සමාජයට ඉතිරි කර ගිය දෑ බොහෝය. ඒ අතර ඔහුගේ ඇසුරේ හැදුණු වැඩුණු, ඔහුගෙන් ගුරුහරුකම් ලබා තම වෛද්‍ය වෘත්තිය ජය ගත් දක්ෂ වෛද්‍යවරු දැනුදු එතුමන්ගේ  ඉගැන්වීම් හා යහපත් ක‍්‍රියාවන් අගය කරති. මෙලෙස මහාචාර්ය කාලෝගේ ඇසුරේ හැදී වැඞී අද කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය ෂෙහාන් විලියම්ස් මහතා සමඟ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවකි.

 ජීවිතයේ බොහෝ ගුරුවරු අපට හමු වී ඇතිමුත් මහාචාර්ය කාලෝගේ මා දුටු සුවිශේෂත්වය නම් ඔහුගේ ආකර්ෂණීය ඉගැන්වීමේ විලාසයයි. ඒ ඉගැන්වීමේ හැඩය, රටාව තුළ අපූරු ආශ්වාදජනක ස්වභාවයක්, විශේෂත්වයක් තිබිණි. ඔහු කරුණු  ඉගැන්වීම පමණක් නොව ඉන් ඔබ්බට ගොස් අවට පරිසරය, පසුබිම ඒ සියල්ලම පාඩම තුළට එක්කාසු කර හරි සරලව සංකීර්ණ ගැඹුරු කරුණු විග‍්‍රහ කිරීමට සැබෑම දක්ෂයෙකි. ඒ ක‍්‍රමවේදය තුළ ඕනෑම අයෙකු තුළ උගන්වන දේ ආයාසයෙන් තොරව මතකයේ රැඳේ. ඇල්බට් අයින්ස්ටයින් ”Education is not the learning of facts; it’s the training of the mind to think˜ යැයි පවසා ඇති අතර, මහාචාර්ය කාලෝ යනු ඒ මඟ ගමන් කළ සුන්දර මහාචාර්යවරයෙකි.

 එපමණක් නොව ඔහු සතුව පැවැති තවත් විශේෂ ගුණාංගයක් නම් ශිෂ්‍යයින්ට නිදහසේ ප‍්‍රශ්න අසන්නට, තර්ක විතර්ක කරන්න අවස්ථාව ලබා දීමයි. ඊට හොඳම නිදසුනක් ලෙස වරක් අපගේ විභාග කටයුත්තක් අවසානයේ එතුමා පැමිණ අප සමග එම විභාගයේ ප‍්‍රශ්න හා ඊට පිළිතුරු සාකච්ඡුා කළ අතර එහිදී අප ලබා දුන් පිළිතුරු නිවැරදි බවත් ඔහුගේ පිළිතුරු වැරදි බවත් ඉතා නිහතමානිව පිළිගත්තේ ය. එමෙන්ම ඒ නිසා හැමදෙනාටම මුළු ලකුණු මම ලබාදෙනවා යැයි මුවඟ සිනහවක් රඳවා ගනිමින් ඔහු පැවසුවේය. ඒ මහාචාර්ය කාලෝගේ මානව දායාව පිරි නිහතමානි ස්වභාවයයි. සැබැවින්ම ‘ගුරුන්ටත් අකුරු වරදී’ යැයි සමාජයේ කියමනක් තිබුණ ද එය නිහතමානීව  පිළිගැනීමට හැකි මෙවැනි විද්වතුන් අද සමාජයේ අල්පය.

බොහෝ දේ කියාදුන් ඇදුරිඳු කාලෝ
වෛද්‍ය ෂෙහාන් විලියම්ස්

මහාචාර්ය කාලෝ යනු නිරන්තරයෙන් අලූත් පොත පත කිය වූ, ලෝකය හා මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ ගැඹුරින් හැදෑරූ, කිසිවිට සිය පුද්ගලික අදහස් ඉදිරිපත් නොකර සෑම විටම විද්‍යාත්මකව අදහස් ඉදිරිපත් කළ, ඉතා සංවේදී හදවතක් හිමි විශිෂ්ට විද්වතෙකි. ඔහු මතු කළ අදහස් තුළ විද්‍යාව හා දර්ශනය යන මේ සියල්ල මුසු වූ නව අදහස් ඇතුළත් විය. ඔහුව හමුවුණු දා සිට ඔහු අවසන් ගමන් යන තුරු මම නිරන්තරයෙන් ඔහුව ඇසුරු කළේය. ඔහුට මනා මතක ශක්තියක් තිබුණි. මා දුටු තැන කුමක් හෝ අලූත් පොතක්, අලූත් විද්‍යාත්මක සොයා

 ගැනීමක් ගැන විමසීමත්, ඒ පිළිබඳ ඔහු දරන මතය නිවැරදිද යැයි නැවත අසා එය ස්ථීර කර ගැනීමත්, නව දැනුම හුවමාරු කර ගැනීමත් ඔහු සතු ව තිබූ වටිනා පුරුද්දකි. මේ පුරුද්ද නිසාම ඔහු සමඟ සාකච්ඡුා කිරීමට පෙර මමද සූදානම් විය යුතු බැවින් වෛද්‍ය වෘත්තියේ බොහෝ අවස්ථාවල නව දැනුම සෙවීමටත් එය භාවිතා කිරීමටත් මට අභිපේ‍්‍රරණයක් ලැබිණි. කිසියම් හෝ කරුණක් ගැන සැකයක් ඇති වුවහොත් පොත්පත් ඇසුරෙන් එය නිවැරදි කරගන්නා තුරු ඒ පසු පස හඹා යෑමට ඔහු අපව දිරිමත් කළේය.

 ඔහුගේ ඉගැන්වීමේ තිබු තවත් සුවිශේෂී ඉගැන්වීමක් නම් බුද්ධිය (Intelligence) හා සන්නිවේදන හැකියාව (Communication ability) යන්න එක සමාන යැයි පිළිගැනීමයි. අප ශිෂ්‍ය අවදියේදී ඔහු මේ පිළිබඳ කිහිපවතාවකදීම ප‍්‍රකාශ කළේය. කිසියම් පුද්ගලයකුට කොතරම් බුද්ධියක්, දැනුමක්, උගත්කමක් තිබුණත් එය තව කෙනෙකුට කුමන හෝ විධියකින් ප‍්‍රකාශ කළ නොහැකි නම් එම බුද්ධියෙන් ඇති ඵලය කිම? යන්න ඔහුගේ තර්කය විණි. මන්ද එම පුද්ගලයා සතුව බුද්ධිය, දැනුම තිබෙන බව අපට දැනගත හැකි එකම මඟ ඔහු සතු සන්නිවේදන හැකියාවයි. ඇතැමෙකුට මේ තර්කය වැරදි යැයි පැවසිය හැකිය. නමුත් ගැටලූව වන්නේ, යම් අයෙකුට තමාගේ බුද්ධියේ අඩංගු දෑ සරලව අන් අයට වැටහෙන පරිදි කියා දීමට නොහැකි නම් ඔහුගේ බුද්ධියෙන් සමාජයට ප‍්‍රයෝජනයක් නොමැති වීමයි.

 ඔහු කලාකාමී මහාචාර්යවරයකු වූ නිසාම වෛද්‍ය පීඨයේ කලා සංගමයක් පිහිටුවා මසකට වරක් කලාකරුවන් ගෙන්වා වැඩසටහන් පැවැත්වීම, විශේෂ සිනමාපට ප‍්‍රදර්ශනය කිරීම, කථික හා විවාද මණ්ඩප ආදිය සංවිධානය කළේය. එමගින් වෛද්‍ය ශිෂ්‍යයන් තුළ කලාත්මක කුසලතා ඔප් නැංවීමට නොමඳව කටයුතු කළේය. එමෙන්ම මහාචාර්ය කාලෝ නිතරම ප‍්‍රශ්න කළ කරුණක් නම් වෛද්‍යවරු මෙතරම් ධනය පිටුපස හඹා යන්නේ ඇයි ද යන්නයි. ධනයට වඩා එහා ගිය වෙනත් විශිෂ්ට සේවයක් වෛද්‍යවරුන්ගෙන් ඉටු විය යුතු බව ඔහු නිතරම දැරූ අදහසකි. ඔහුගේ ගීත නිර්මාණවල ද මේ සම්බන්ධයෙන් ඔහු රචනා කර තිබේ. කොතරම් රාජකාරි තිබුණ ද ශිෂ්‍යයකුගේ සතුටක දී, දුකක දී ඔවුන් සමඟ ඒ සියල්ල බෙදා ගැනීමේ උතුම් මනුෂ්‍යත්වයක් ඔහු තුළ තිබුණු අතර කොතරම් දුරක වුවත් ශිෂ්‍යයන්ගේ අවමඟුලකට යෑමට ඔහු අමතක කළේ නැත. හැකි සෑමවිටම ඒ අවස්ථාවන්ට සම්බන්ධ වීමටත්, හැකි සෑම අයුරකින් උදව් කිරීමටත් ඔහු නොපැකිළි විණි. කවුරුන් කුමන මට්ටමක හිටියත් ඒ අයට අලූත් දෙයක් කියා දීමට, දෙවරක් නොසිතා උදව් කිරීමට ඔහුට ලොකු වුවමනාවක් තිබුණි. අද කොතරම් ඉහළට ඉගෙන ගත් උගතුන් සමාජයේ හිටියත් මෙවැනි උතුම් මහත්මා ගති පැවැතුම් ඇති, මානව ගුණධර්ම ඇති ශ්‍රේෂ්ඨ විද්වතුන් ඉතා දුර්ලභ බව අප පිළිගත යුතුය.

 මහාචාර්ය කාලෝ ෆොන්සේකා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මට හමු වූ විශිෂ්ටතම ගුරුවරයා යැයි පවසනුයේ ඉතාම ආඩම්බරයෙනි. ශිෂ්‍යයින්ට නොමසුරුව උගන්වා අවසානයේ ඔවුන් වෘත්තීය වශයෙන් ඉදිරියට ගිය විට ඔවුන්ගේ මුවින් ‘තමන්ට ජිවිතයේ මුණගැසුණු විශිෂ්ටතම ගුරුවරයා’ යැයි ගුරුවරයකුට අසන්නට ලැබීම ඔහුට ලැබෙන අනර්ඝතම භාග්‍යයකි.

 ඔහු මිය යෑමට මාස කිහිපයකට ප‍්‍රථම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශනයක දී මම ඔහුට මේ බව පැවැසූ විට ඔහු මාව ආදරයෙන් සිපගත් අයුරු මට කිසිදා අමතක නොවේ. මහාචාර්යවරයෙකු ලෙස, කලාකරුවකු ලෙස, වරෙක දේශපාලන සමාජ ක‍්‍රියාකාරකයෙකු ලෙස හා ජනතා සම්මානයට පත් ප‍්‍රකට කථිකයෙකු ලෙස නිහතමානි දිවිපෙවෙතක් ගත කළ ඔහුගෙන් අපට ගත හැකි ජීවන ආදර්ශ බොහෝ ය. ඒ සියල්ල තුළින් රටට සමාජයට වැඩදායී පුරවැසියකු ලෙස කටයුතු කිරීම අපගේ යුතුකම වන්නේ ය.

 සංවාද සටහන
 අමානි ඉරේෂිකා රූපසිංහ
 සන්නිවේදන හා මාධ්‍ය ඒකකය – කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment