බොහෝ මතකයන් ඉතිරි කොට නික්ම ගිය අච්චු කන්තෝරුවේ උපන් කොස්ගස්හන්දියේ කොලුගැටයා

721
“යමෙකුගේ ජීවිතයේ වටිනාකම මැනෙන්නේ ඔහු ජීවත් වූ දිගු හෝ කෙටි වර්ෂ ගණන අනුව නොව, එම කාලය තුළ ඔහු හෝ ඇය මුහුණ දුන් හරවත් අත්දැකීම්, ඉටු කළාවූ සත් කාර්යයන් හා ඔහු එම කාලය තුළ ජීවත් වූ සමාජානුගත ප්‍රශංසනීය ආකාරය අනුවය”යි ෆ්රෑන්ක් කෙන්ට් නම් සමාජ විද්‍යාඥයා වරක් පැවසීය.

ඔහුගේ ඒ කියමන කොතරම් සත්‍යදැයි මට පසක් වූ අවස්ථා කීපයෙන් එකකි. ඒ. ඩී. රන්ජිත් කුමාරයන්ගේ ‘කොස්ගස්හන්දියේ කොලුගැටයා’ නම් ග්‍රන්ථය කියවූ අවස්ථාව.

“ ඔහු මුහුණ දුන් විවිධ වූ හරවත් අත්දැකීම්, ඉටු කළාවූ සත් කාර්යයන් තමන් ජීවත් වූ ප්‍රශංසනීය ආකාරය, ඔහු නොදැනුවත්වම වාගේ අව්‍යාජව හා අකුට්ටලව මේ පොත තුළින් ප්‍රදර්ශනය වන්නේ ඔහු සියුම්ව තම සිතැඟි පළ කිරීමේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකුද වූ නිසාදැයි මට වරෙක සිතුණි.

මේ පොත මා අගය කරන්නේ දෙකරුණක් නිසාය. පළමුවැන්න නම් උපතින් පසු තමන් ලබාගත් බාහිර වූ හැකියාවන් මින් මැනවින් චිත්‍රණය කිරීමට ඔහු සමත්ව තිබීමයි. චිත්‍ර ශිල්පය, ලේඛකත්වය, මාධ්‍ය ක්ෂේත්‍රයේ වූ සූර බව, කවීත්වය, විචාරශීලී බව, මනාවූ සංවිධාන හැකියාව ආදී අංශ ගණනාවක තම හැකියාවන් ඉතා නිහතමානී ප්‍රවේශයකින් ඔහු අප හමුවට ගෙන ඒමයි.

දෙවැන්න නම් උපතෙහි සිටම තමන් ගෙන ආ මානව දයාව, පරහිතකාමීත්වය, අනුන් පැරදවීමට නොව අනුන් සමග එක්ව නැගීසිටීමට වූ ආශාව, දැඩි ඉවසීමේ හුරුව කළ ගුණදත් බව ආදී තමන් තුළ වූ ආධ්‍යාත්මික ගුණ විශේෂයන් අමුතු සාටෝපයකින් තොරව පාඨකයා හමුවට ගෙන ඒමට සමත්ව තිබීමයි.”

ප්‍රවීණ ලේඛක සිරිසේන විතානගේ මහතා තැබූ ඉහත සටහන අපට හමුවන්නේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන මං සලකුණු තබා පසුගිය මැයි 10 වැනිදා දිවිගමනට සමුදුන් ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතා අවසන් වරට දැයට දායාද කළ සිය ජීවන සටහන් ඇතුළත් ‘කොස්ගස්හන්දියේ කොලුගැටයා’ නම් අපූරු කෘතියෙනි.

බොහෝ මතකයන් ඉතිරි කොට නික්ම ගිය අච්චු කන්තෝරුවේ උපන් කොස්ගස්හන්දියේ කොලුගැටයා
ඒ.ඩී.රංජිත් කුමාරයන් ලියූ හෙළ සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකා පිළිබද ග්‍රන්ථය එළිදැක්වූ දා.එවකට අගමැති වූ රණසිංහ ප්‍රේමදාස මහතා සමග විජය කුමාරතුංග,ජෝ අබේවික්‍රම සහ ධර්මසිරි ගමගේ මහතා එම අවස්ථාවට එක්වූ අයුරු.

ගාමිණී ෆොන්සේකා (නළු නිළි සමරුව) – 1972, නව දෙබස (අංක1) – 1974 (අජිත් තිලකසේන සමග: සම සංස්කරණය කුලරත්න ආරියවංශ), නව දෙබස (අංක2)-1982 (විනෝදයයි වින්දනයයි: අජිත් තිලකසේන සමග), ගාමිණී හෙළ සිනමාවේ සක්විති (2986), කොස්ගස් හන්දිය: චරිතාපදාන සටහන් (1997), අනූභූතිය හා නිර්මාණය (1999), නව දෙබස (අංක03): කලාව සහ බස ගැන කතා බහක් (1999), රුක්මණී දේවි: යුගයක ස්වර්ණ ගීතය (2002), දස වසරක සුමති සම්මාන රූ සිරි වර්ණ (2004), සඳ ළඟ තරු: නවකතාව (2005), අඩ සියවසක රිදී රේඛාව (2006), නොව පැරණිය ලිපි සරණිය (2006), රුක්මණී දේවි ලියූ ජීවිත කතාව හා යුගයක ස්වර්ණ ගීතය (2008), සංකථන (2008), සම්ප්‍රදාය හා නවීකරණය (2008): අජිත් තිලකසේන සමග, සිංහල සිනමාවේ රිදී රේඛාව (2016), යෝධ සිතක රන්වන් ගී: ගායන ශිල්පී සෝමරත්න පෙරේරා ගැන ලියූ කෘතිය (2021), සහ කොස්ගස්හන්දියේ කොලුගැටයා (2022: සරසවි ප්‍රකාශනයකි.) ඒ. ඩී. රන්ජිත් කුමාර නම් වූ ලේඛකයා සිංහල පාඨක ප්‍රජාව හමුවට රැගෙන ආ ග්‍රන්ථ පෙළයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා ලේඛකයකු ලෙස කේෂ්ත්‍රයට පිවිසෙන්නේ වයස අවුරුදු 17දී ‘කලා’ සිනමා සඟරාවට එක් වෙමිනි. වෘත්තීය ලේඛකයකු ලෙස ‘විසිතුර’ සිනමා පුවත්පතට එක්වන ඒ. ඩී. රංජිත් කුමාර මහතා රටම දන්නා චරිතයක් ලෙස සිංහල කලා ලෝකය තුළ සිය නාමය සටහන් කර ගන්නේ ‘සරසවිය’ පුවත්පතේ වසර 25කට අධික කාලයක් ප්‍රධාන කර්තෘවරයා ලෙසද, විශේෂාංග ලේඛකයකු ලෙසද, උපදේශකවරයකු ලෙසද කටයුතු කරමිනි.

තමන් වෙත එන ඕනෑම අභියෝගයක් සාර්ථකව ජයගත හැකි නිපුනතාවකින් යුතු ඒ. ඩී. රන්ජිත් කුමාරයන් තමන් අතිශූර සංවිධායකවරයකු බව අපට පසක් කළේ වරක් දෙවරක් නොවේ. සරසවිය පුවත්පත අනුග්‍රහයෙන් ‘සරසවිය සිනමා සම්මාන උළෙල’ 17ක් සංවිධානය කිරීමට මූලිකත්වය ගත් ඔහු පසුව දශක දෙකකට අධික කාලයක් සුමති පුවත්පත් සමාගමට සම්බන්ධ වෙමින් ‘සුමති ටෙලි සිනමා සම්මාන උළෙල’ 20ක් සංවිධානය කළේය. කලක් ඔහු ‘සරසි’ සිනමා පුවත්පතේ කතුවරයා වශයෙන් සේවය කළ අතර මෙරට පළවූ නවකතා, කෙටි කතා, ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළු ලේඛකයින් විශාල පිරිසකගේ ග්‍රන්ථ රාශියක පිටකවර සැලසුම්කරුවා මෙන්ම ඒවායේ කංචුක චිත්‍ර නිර්මාණය කළ චිත්‍ර ශිල්පියාද වූවේය.

ප්‍රවීණ ගායන ශිල්පිනියක වන දමයන්ති ජයසූරිය මහත්මියගේ ආදරණීය සැමියා මෙන්ම සරසවිය පුවත්පතේ කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතාගේ ආදරණීය පියාණන්ද වූ ඒ මහතා දිවිසැරිය නිම කරන විට 77 වැනි වියේ පසුවිය. ඔහු අපට ඉතිරි කර තබා ගිය බොහෝ දැ අතර සිය ජීවන ගමනේ ඇසූ දුටුදේ පිළිබඳ නිහඬ සාක්ෂිය වන්වූ ‘කොස්ගස්හන්දියේ කොලුගැටයා’ නම්වූ වර්ණවත් අර්ථවත් සාරවත් කෘතිය ආරම්භ කරමින් මෙසේ සටහන් තැබීය.

කොළඹ කොඩිගහ යට:-

බොහෝ මතකයන් ඉතිරි කොට නික්ම ගිය අච්චු කන්තෝරුවේ උපන් කොස්ගස්හන්දියේ කොලුගැටයා

“මේ කතාව මා පටන් ගන්නේත් කීමට යන්නේත් මගේ පුරසාරම් කීමේ අදහසින් නොවන බව ඔබට අවංකව කිව යුතුය. මම පුවත්පත් කලාවේදියකු ලෙස වසර පනස් පහක් පමණ සේවය කර ඇත්තෙමි.

මේ කතාව සතුටින් එළිදක්වන්නේ මා කුඩාවියේ ගත කළ නගරයත් ඒ මහා නගරයේදී මට හමුවූ විවිධ මිනිස් චරිත, මා හදා වඩාගත් දෙමාපියන්, නෑයන්, හිතවතුන්, ඉගෙන ගත් පාසල්වලදී හමුවූ සිසුන්, ගුරුවරුන්, මිතුරු මිතුරියන්, පුවත්පත් ආයතනවලදී හමුවූ ධීර වීර චරිත, කලාකරුවන්, සිනමාකරුවන්, දේශපාලනඥයින්, ලේඛකයින් ගැන අපූරු තොරතුරු එක්රැස් කිරීමේ එකම අදිටනිනි. මෙහිදී “මම’‘ යන්න ඉස්මතු කිරීමට වඩා මට හමුවූ පුද්ගලයන් මතු කිරීම මගේ ඒකායන අභිප්‍රාය විය.

තමන් උපන් ගම ගැන කොයි කාගේත් හිතේ මතක සටහන් රැසක්ම එක්තැන් වී ඇතැයි මට සිතෙයි. පුංචි කාලයේ අප නගරයේ හෝ ගමේ ගත කළ සැටි, එහි රසවත් වෙන්ම දුක්බර තොරතුරු, ජීවිතයෙන් මුලිනුපුටා නොදැමිය හැකි ලෙස සටහන් වී ඇත.

පළමුවෙන් කිව යුත්තේ මට වෙනත් බොහෝ දෙනෙකුට මෙන් එවන් සුන්දරත්වයකින් මතක් කළ හැකි, නිඩුවකට හෝ සිංහල අලුත් අවුරුද්දට ගොස් ප්‍රීතියෙන් ගත කළ හැකි ගමක් නොතිබූ බවය. ලස්සන ගහකොළ තුරු ලතා, ගංගා, විල්, ජලාශ මා උපන් ගමෙහි නැත. කොළඹ “කොඩි ගහයට” උපන් මා “අමු කොළඹයෙකි” දූවිල්ල, ඝෝෂාව, රළු පරළු කට හඬවල්, උස් ගොඩනැඟිලි, තට්ටු නිවාස, මුඩුක්කු, කර්මාන්තශාලා, මේ සියල්ල සහිත කොන්ක්‍රීට් නගරයකින් මෙම කතාව මා ආරම්භ කළ යුතුය.

සුන්දර ගමක් ඇති යමෙකු තම ගම ගැන, එහි වටපිටාව ගැන, කතා කරන විට මා එය කුඩා කල අසා සිටියේ එහි සුන්දරත්වය මනසින් දැක ගන්නක් වැනි සතුටකිනි. මා කියවූ නවකතාවක, කෙටි කතාවක, චරිත කතාවක හා කාව්‍ය සංකල්පනාවක මැවෙන ගමකට මා මනසින් දිවි යන්නේ කුඩා දරුවකු ආදරයෙන් මවක වැළඳ ගන්නාක් වැනි සතුටකිනි.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කොග්ගලටත්, ගුණදාස අමරසේකරයන්ගේ යටලමත්තටත්, කේ. ජයතිලකයන්ගේ කන්නිමහරටත්, මහගමසේකරයන්ගේ තුංමංහන්දියටත්, විමලරත්න කුමාරගමගේ නාරම්පනාවටත්, කරුණාසේන ජයලත්ගේ පොකුණුවිටටත්, ගුණදාස ලියනගේගේ දියලකඩටත්, මඩවල එස්. රත්නායකගේ අලව්වටත්, මායා රංජන්ගේ දිගාමඬුල්ලටත් ඔවුන්ගේ පොතපත ඔස්සේ මා මනසින් ගොස් ඇත.

ඒ හෙයින් මා ගමට දැඩිව ආදරය කරන අතර මගේ උපන් නගරයටද අසීමිත ලෙස ආදරය කරමි. ලෝකයේ ඉපදුණු සෑම මිනිසකුටම තමා උපන්ගම වටිනවා මෙන්ම මමද මගේ මහ නරගයට ඇලුම් කරමි.

මම 1947 අප්‍රේල් මස 07 වැනිදා කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්හී කොස්ගස්හන්දියේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ පාරේ අංක 285 නිවසේදී උපත ලැබුවෙමි. මා උපදින විට අසල්වැසි වින්නඹු මාතාවකගේ උදවු අම්මාට ලැබුණු බව වැඩිහිටියන් කියනු මා අසා ඇත. මේ අනුව මගේ පෙකණි වැල කපා ඇත්තේද කොස්ගස් හන්දියේ අපේම නිවසේදීය. බහ තෝරන කාලයේ සිටම මගේ ලෝකය වූයේ මේ සුන්දර කොස්ගස් හන්දියයි.

බොහෝ මතකයන් ඉතිරි කොට නික්ම ගිය අච්චු කන්තෝරුවේ උපන් කොස්ගස්හන්දියේ කොලුගැටයා

අපේ නිවසේ එක් පැත්තක් තාත්තාගේ අච්චු කන්තෝරුවට වෙන් වී තිබුණි. මගේ ජීවිතය ගෙවුණේ මේ අච්චු කන්තෝරුවේත් ඒ නිවසේ කාමර වලත්ය. අපේ ගෙදරට ඇතුළු විය යුත්තේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ ප්‍රධාන පාරේ පදික වේදිකාවෙන් පඩි දෙකක් බැසීමෙනි. එසේ පිවිසෙන්නෙකුට දකුණු පසින් හමුවන්නේ තාත්තාගේ ලියන මේසය ඇති කාමරයයි. වම්පසින් ඇත්තේ අච්චු කන්තෝරුවයි.

මගේ පියාගේ නම අලුත්ගේ දොන් එඩ්මන්ය. තාත්තා උපත ලබා ඇත්තේ කොළඹ අලුත්කඩේ සාන්තබස්තියන් පාරේ අද ගුණසිංහපුරය පිහිටා ඇති ඩයස් පෙදෙසේ (සුචරිත මාවත) හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මහ ගෙදරට යාබද නිවසේය. මේ නිවෙස් දෙක අතර සමීප සම්බන්ධතාවයක් පැවතී ඇත. තාත්තා කොළඹ ආනන්ද විද්‍යාලයේ ස්වර්ණමය යුගය වූ පී. ද ඇස්. කුලරත්න විදුහල්පතිතුමාගේ කාලයේ ශිෂ්‍යයෙකි. රණපාල බෝධිනාගොඩ (ලේක් හවුස් හිටපු සභාපති), ඩග්ලස් වික්‍රමසිංහ (චිත්‍රපට නළු), මාපා ගුණරත්න (චිත්‍රපට නළු), ඩී. වී. සෙනෙවිරත්න (පුවත්පත් කලාවේදී), තාත්තාගේ සමකාලීන ආනන්ද සිසුහූය. තාත්තාගේ බාල සොයුරු ඒ.ඩී.ජේ. මාතුපාල, ආර්. ප්‍රේමදාස මහතාගේම වයසේ සිටි පාසල් ශිෂ්‍යයෙකි. දෙදෙනාම කලක් මරදාන ස්කිනර් පාරේ ලෝරන්ස් විද්‍යාලයේ එකම පන්තියේ උගෙන ඇත.

නව කලා මණ්ඩලය වෙනුවෙන් මගේ පියා නිෂ්පාදනය කළ “කානිවල්’‘ නම් වේදිකා නාට්‍යය රචනා කොට අධ්‍යක්ෂණය කලේ මාතුපාල බාප්පාය. 1942 මුලින්ම වේදිකාවට පැමිණි මෙම නාට්‍යයේ ‘ෂන්මුගම්’ නම් දෙමළ චරිතය රඟපෑවේ (එවකට 18 හැවිරිදි) රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාය. නව කලා මණ්ඩලය දීප ව්‍යාප්තව පැවැත්වූ සාහිත්‍ය තරඟයක් මාතුපාලයන් විසින් සංවිධානය කොට 1944 ජුනි 25 මරදානේ දකුණු ස්කිනර් පාරේ රජයේ පාසලේ පවත්වන ලදී.

එහිදී සමස්ත ලංකා සාහිත්‍ය තරගයේ ගී ගායනා තරගයේ මුල් තැන දිනුවේ කොරළවැල්ලේ සිරි කලණ මිතුරු සමාජයේ සිරිමතී නන්දා වෙත්තසිංහය. දෙවන ස්ථානය මොරටුවේ එම මිතුරු සමාජයම නියෝජනය කළ ළාබාල වයලින් වාදන ශිල්පියකුද වූ ඇල්බට් පෙරේරා (පණ්ඩිත් අමරදේව) දිනා ගන්නා ලදී. පසු කලෙක අමරදේවයන් ගැයූ ප්‍රථම යුග ගීතය වූ “රසයි කිරි නෑ දියාරු” ගැයූවේද සිරිමතී නන්දා වෙත්තසිංහ සමගය. එහි ක්ෂණික කථික තරඟයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය කරුණාරත්න අබේසේකර (ගීත රචක), පද්‍ය රචනා තරඟයෙන් සමස්ත ලංකා එක්සත් ළමා සමිතියේ රොබට් ජයවර්ධන (ලංකාවේ ප්‍රථම සිනමා පුවත්පත වූ “සිනමා’‘ පුවත්පතේ කාර්තෘ), වාක්‍ය රචනා තරඟයෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කේ.ඩී.පී. වික්‍රමසිංහ (ආචාර්ය), විරුදු ගායනයෙන් ඇග්නස් තිසේරා (සිරිසේන) වූ ඇය මාධ්‍යවේදී කමල් දේශප්‍රියගේ මවය), ක්ෂණික වාක්‍ය රචනා තරඟයෙන් සුගතමුනි ඤාණසිරි (ප්‍රකට ලේඛකයකු විය), ගද්‍ය රචනා තරඟයෙන් ආරියදාස සෝමතිලක (පසුව ලේඛක), ඒකල ගායනයෙන් හත් හැවිරිදි කොළඹ ආනන්ද විදුහලේ ඇල්. පී. සෝමරත්න පෙරේරා (පසුව දක්ෂ තබ්ලා වාදක හා ගුවන් විදුලි ගායන ශිල්පී) යන සිසු සිසුවියෝ ත්‍යාග ලබා ගත්හ.”

ඒ. ඩී. රංජිත් කුමාරයන් එසේ සටහන් තබමින් “කොස්ගස්හන්දියේ කොලුගැටයා” ඔස්සේ තමන්ගේම පුරසාරම් කතාවක් කියනවා වෙනුවට මෙරට කලා ඉතිහාසයේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ඉතිහාස කතා රාශියක් පාඨක අප ඉදිරියේ දිගහැර පෑම අපූරුය. මනරම්ය.

නූතන සිංහල සිනමාවේ සැබෑ උපත සිදුවන්නේ 1956 දෙසැම්බර් 28 වැනිදා තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයෙන් බව ඒ. ඩී. රන්ජිත් කුමාරයන් අපට පැවසුවේ ඉන් හරියටම වසර 50ක් ඉක්මගිය මොහොතේ (2006 දෙසැම්බර් 28) “අඩසිය වසක රිදී රේඛාව” නමැති තවත් මහානර්ඝ ග්‍රන්ථයක් ෆාස්ට් පබ්ලිෂින් – සුරස පොතක් ලෙස එළිදක්වමිනි.

එහි හැඳින්වීමේ කීර්තිමත් සාහිත්‍යවේදී සෝමවීර සේනානායකයන් මෙසේ පවසයි.

“ඒ. ඩී. රන්ජිත් කුමාර තම පළමු ලිපිය ලියන ලද්දේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවකුව සිටියදී “සෙවන” පුවත්පතට 1966 දීය. එදා මෙදාතුරු විවිධ ලිපි, පතපොත ලියමින්, සිනමා පුවත්පත් රැසක කර්තෘත්වය දරමින් දීර්ඝ වූත් ගෞරවනීය වූත් ගමනක යෙදුණු රන්ජිත් “අඩසියවසක රිදී රේඛාව” ග්‍රන්ථය ලිවීමෙන් සිනමාවත් පුවත්පත් කලාවත් අභිනන්දනයට පාත්‍ර කරවයි.”

බොහෝ මතකයන් ඉතිරි කොට නික්ම ගිය අච්චු කන්තෝරුවේ උපන් කොස්ගස්හන්දියේ කොලුගැටයා

1973-1986 යුගයේදී නවයුගය හා සරසවිය පුවත්පත්වලට මෙරට ප්‍රමුඛ පෙළේ කලාකරුවන් 23 දෙනෙකු සමග තමන් පැවැත්වූ සංවාද මුල් කොටගෙන ඒ. ඩී. රන්ජිත් කුමාර ලේඛකයා රචනා කළ “ අනුභූතිය හා නිර්මාණය” කෘතිය (සරසවි ප්‍රකාශනයකි) ලේඛන කලාවේ නිරත අපහට කදිම අත් පොතක් වැනිය. එහි පෙරවදන සපයන මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේ පවසයි.

“සාහිත්‍ය කලාව පිළිබඳ අර්ථසම්පන්න සංවේදීතාවකින් පෙහොසත් පත්‍ර කලාවේදීන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. පත්‍ර කලාවේදීන් අතරින් අර්ථ සම්පන්න ග්‍රන්ථ සම්පාදනය කළ හැකි පුද්ගලයින් හමුවන්නේද කලාතුරකින්. ඒ. ඩී. රංජිත් කුමාර මේ කලාතුරකින් හමුවන චරිත අතර කැපී පෙනෙන චරිතයකි. ඔහු සාහිත්‍ය කලාව විෂයෙහි අපූරු බැඳීමක් ඇති මුල් පෙළේ ලේඛකයකු ලෙස හඳුන්වා දීමට දෙවරක් සිතිය යුතු නැත.”

එම කෘතියේම පසුවදන සපයන අපෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පුවත්පත් කතුවර බන්දුල පද්මකුමාර මහතා මෙසේ සටහන් තබා තිබේ. “රංජිත් කුමාර දක්ෂ ලේඛකයකු පමණක් නොව විශිෂ්ට පොත් කවර නිර්මාණ ශිල්පියෙකි. ඔහු පොත් කවර නිර්මාණ ශිල්පියකු ලෙස ‘අර්ථසාද් සන්නිවේදන ලක්ෂ්‍යයේ සම්මානය’ හිමිකර ගත්තේය. 1987-1997 වර්ෂවලදී සිනමා පුවත්පත් කලාවට කළ සේවය වෙනුවෙන් ඕ.සී.අයි.සී. සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු 1989දී නැවත එම සම්මානයෙන් බුහුමනට පාත්‍ර වූයේ නිර්මාණාත්මක චිත්‍රපට නාමාවලිය සකස් කිරීම උදෙසාය.”

දැයෙන් සමුගත් මේ අපූරු කලාකරුවා වෙනුවෙන් තැබූ සටහන් අප නිමා කරන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් අරියරත්නයන් තැබූ “කොස්ගස්හන්දියේ කොලුගැටයා” ගේ පසු වදනිනි.

“රන්ජිත් කුමාරගේ ගම වනාහී කොස්ගස් හන්දිය නම් සෙයිලමයි. ඒ සෙයිලමේදී රන්ජිත් ළඟින් ඇසුරු කළ අය අතර ජනාධිපතිවරු, නගරාධිපතිවරු, අමාත්‍යවරු, මන්ත්‍රීවරු, පුවත්පත් කර්තෘවරු, කිවිවරු, චිත්‍රපට නිෂ්පාදක _ අධ්‍යක්ෂවරු, ගායක ගායිකාවෝ ආදී මෙකී නොකී ලොකු ලොක්කෝ බොහෝ වෙති. එහි ඇති විශේෂත්වය නම් රන්ජිත්ට ඒ හැම කෙනෙකුම හමුවී ඇත්තේ සොක්කන් සේ ජීවත් වූ අවධියේදී වීමයි. කොස්ගස්හන්දිය කියවූවකු පුදුම වන්නේ රන්ජිත් පුවත්පත් කලාවේදියකු නොවුණ නම්ය, චිත්‍රපට කලාවට නැඹුරු නොවුණ නම්ය. මා පුදුම වන්නේ රන්ජිත් දේශපාලනඥයකු නොවීම ගැනය.”

සටහන:- සචිත්‍ර නේරංජන ඇල්වලගේ

බොහෝ මතකයන් ඉතිරි කොට නික්ම ගිය අච්චු කන්තෝරුවේ උපන් කොස්ගස්හන්දියේ කොලුගැටයා
advertistmentadvertistment
advertistmentadvertistment