රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිසි කරුණු සොයා බැලීමක් තොරව ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීමෙන් තම ධුරය බොළඳ තත්ත්වයකට පත්කර තිබීම කනගාටුදායක බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය මෙසේය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් 2023.01.29 දිනැතිව නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය මගින් “පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමුකර නැත.” යනුවෙන් සඳහනක් කර ඇත. වගකිවයුතු රාජ්‍ය නිලධාරියකු විසින් වගකීම් විරහිත මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමෙන් අපේක්‍ෂා කරන ප්‍රතිඵලය කුමක්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සියලුම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලියට සහයෝගය ලබාදීමට ව්‍යවස්ථාපිත බැඳීමක් තිබියදී හා එය ඉටුනොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම ප්‍රකාශිතව තිබියදීත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තම නොදැනුවත්භාවය ප්‍රසිද්ධියට පත්කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්ද විමසීම ආරම්භ කරන ලද්දේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් 2023 ජනවාරි මස 04 දින දැන්වීම නිකුත් කරමින් නාමයෝජනා කැඳවීමෙන් බව ද ඔහුට අමතකව ඇති බව පෙනේ. එසේම 2017 අංක 16 පනතින් සංශෝධිත පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ 38 වගන්තිය ප්‍රකාරව ඡන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත් කරනු ලබන්නේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් බව ද මීට පූර්වයෙන් ද ක්‍රියාකර ඇත්තේ ඒ ආකාරයෙන් ම බවද ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නොසලකා හැර ඇති අතර, එම දැන්වීම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන් අත්සන් කළ යුතු දැන්වීමක් නොවන බවට වන මූලික නීතිමය දැනුම පවා ඔහු වෙත නොමැති බව පෙනී යයි.
අදාළ නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන් විසින් අද දින (2023.01.30) රජයේ මුද්‍රණාලය වෙත භාර දී ඇත. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිසි කරුණු සොයා බැලීමකින් තොරව ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීමෙන් ස්වකීය ධුරය මෙවැනි බොළඳ තත්ත්වයකට පත්කර තිබීම කනගාටුදායක බවද නිවේදනය කර සිටිමි.