බෝම්බයට බැටරි දෙකක් දුන් පෙරාරිවාලන් නිදහස්….! රජිව් ගාන්ධි ඝාතනය

543

තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින්, නිදහස් ලද පේරාරිවලන් වෙත සුබ පතන අයුරු.
පේරාරිවලන්ගේමව අර්පුතම්මාල් ද මෙහි සිටියි….

1990 සැප්තැම්බර් මාසයේ දිනක, ශ්‍රී ලංකාවේ ඊසාන දෙස මුහුදු තීරයෙන් පලා යමින් සිටි දෙමළ සිවිල් වැසියන් රැගත් බෝට්ටුවක්, තමිල්නාඩු වෙරළබඩ නගරයක් වන රාමේෂ්වරම් වෙත ළඟා විය. කණ්ඩායමේ පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවක් සිටියහ. ඉන්දීය නිලධාරීන් හමුවී සරණාගතයෝ ලෙස ඔවුහු ලියාපදිංචි වූ නමුත්, නගරයේ සිය දැන හැඳුනුම්කම සහිත මිතුරන් සිටින බව පවසමින්, සරණාගත කඳවුර බලා යෑම අතහැර මේ පිරිස, චෙන්නායි බලා පිටත් වූහ.දින කිහිපයකට පසු තවත් දෙමළ සරණාගත බෝට්ටුවක් ද තමිල්නාඩු වෙරළට ළඟා විය. පළමු අවස්ථාවේදී මෙන්, පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවක් සරණාගතයන් ලෙස ලියාපදිංචි වූ අතර ඔවුන් ද චෙන්නායි හි මිතුරන් සමඟ ජීවත් වීමට කැමති බව පවසා පිටත්ව ගියහ. මෙසේ ආරම්භ වූ කතාව සඳහා පසුගිය දහ අටවෙනිදා තව පරිච්ඡේදයක් එකතු වන්නේ, ‘සරණාගතයන්ගේ මිතුරෙකු වූ’ පේරාරිවාලන්ගේ නිදහස් වීම සමගය.

බෝම්බයට බැටරි දෙකක් දුන් පෙරාරිවාලන් නිදහස්....! රජිව් ගාන්ධි ඝාතනය
නිදහස ලද පේරාරිවලන්

දේශපාලනයේ යෙදෙන්නාගේ එක් අතක අන්වීක්ෂයක් ද අනෙක් අතේ දුරේක්ෂයක් ද තිබිය යුත්තේ යැයි කියමනක් පවතියි. සිද්ධියක් ලෙස කුඩා වුවද එය කෙතරම් දුරට ව්‍යාප්ත වන්නේ ද යන්න බැලීම සඳහා අන්වීක්ෂය ද, කල් තබා සිද්ධි ගණනය සඳහා දුරේක්ෂය අවශ්‍ය බව ද මෙයින් ගම්‍ය වේ. ඉන්දිරා ගාන්ධි ඝාතනයට වසර දෙකකට පමණ පෙර, එක්සත් ජනපද බුද්ධි සේවාව වන, සීඅයිඒ සංවිධානය, ඉන්දියාවේ ඊළඟ පියවර පිළිබඳව ‘ඇමරිකානු දුරදක්නයෙන්’ බලා තිබුණේය. 1983 ජනවාරි 14 වෙනිදා, සීඅයිඒ සංවිධානය මේ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළේය. ඉන්දිරාගේ හදිසි මරණයක් සිදුවුවහොත්. ඊළඟ නායකත්වය සඳහා රජීව් සිටින ලද්දේ ‘නොමේරූ’ තත්ත්වයක බව එම වාර්තාවේ සඳහන් විය.මෙලෙසම ‘රජිව්ගෙන් පසු ඉන්දියාව’ නමින්, සීඅයිඒ සංවිධානය වාර්තාවක් නිකුත් කරනු ලබන්නේ, 1986 මාර්තු මාසයේදීය. පිටු 23ක වාර්තාවක් වූ එය, රජීව් ගාන්ධි ඝාතනය කිරීමට වසර පහකට පෙර, රජීව් ඝාතනය කළහොත් හෝ ඉන්දීය දේශපාලන වේදිකාවෙන් ඔහු ‘හදිසියෙන් පිටව ගියහොත්’ කුමක් සිදුවේද යන්න පිළිබඳව කෙටි නමුදු සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළේය. සීඅයිඒ සංවිධානය පසු කලෙක මෙම වාර්තාව නිකුත් කරන ලද්දේ, එහි කොටස් කිහිපයක් මකා දමමිනි.

වාර්තාවේ මකා නොදැමූ කොටසේ, පළමු පිටුවේ, පළමු වාක්‍යයේම මෙසේ සඳහන් වේ: අගමැති රජිව් ගාන්ධි 1989 දී, ඔහුගේ නිල කාලය අවසන් වීමට පෙර ඝාතනයට ලක්වීමට පවා ඉඩ තිබේ. රජීව් වෙත ඇති ආසන්නතම තර්ජනය, ඝාතනය බවත් “සීක් හෝ කාශ්මීර මුස්ලිම් ඝාතකයෙකු විසින් රජීව් මරා දැමුවහොත්, උතුරු ඉන්දියාව තුළ අසහනයක් පුපුරා යනු ඇත. ප්‍රදේශය පුරා හමුදාව සහ අතුරු සන්නද්ධ කණ්ඩායම් යෙදෙවීම වැනි ආරක්ෂක පියවරයන්, එහිදී ඉන්දීය ජනාධිපතිවරයා ගනු ලැබුවද, පළුල්ව පැතිරුනු වාර්ගික ප්‍රචණ්ඩත්වය පුපුරා යෑම වළක්වාලිය නොහැකි වනු ඇත.” යනුවෙන් එහි සඳහන්ව තිබුණි. වාර්තාවේ සැලකිය යුතු කොටසක් මකා දමා ඇති බැවින්, එම විශ්ලේෂණයේ දී ශ්‍රී ලංකාවේ දෙමළ අන්තවාදීන් සම්බන්ධයෙන් සඳහන් කර නොමැත.කෙසේ වෙතත්, වාර්තාවේ මකා නොදැමූ කොටසේ, “ශ්‍රී ලාංකික දෙමළ ජනයා සහ කොළඹ සිංහල ආධිපත්‍යය දරන රජය අතර ගැටුම” විසඳීමට රජීව්ගේ මැදිහත්වීම පිළිබඳව සඳහන් කර තිබේ. රජීව් හදිසියෙන් ඉවත් වුවහොත් ‘අනුප්‍රාප්තිකයා’ සහ ‘විය හැකි අපේක්ෂකයන්’ ලෙස එම වාර්තාව, පී. වී. නරසිංහ රාඕ සහ වී. පී. සිං ද නම් කර ඇති අතර, වාර්තාව සත්‍යය බවට පත් කරමින්, නරසිංහ රාඕ 1991 වසරේදී අගමැති ධුරයට පත් විය.

‘රජිව්ගේ ධූරකාලය සඳහා එල්ල වූ ප්‍රධානතම සහ ආසන්න කාලීන තර්ජනය, ඝාතනය බව අපි විශ්වාස කළත්, 1989 ට පෙර ඔහු, දේශපාලන වේදිකාවෙන් හදිසියේ ඉවත් වීමට, වෙනත් සිදුවීම් කිහිපයක් හේතු විය හැක. එය ස්වාභාවික හේතූ සහ ඝාතනය මත පදනම් වනු ඇති බවත්, ‘කලකිරීමෙන් ඉල්ලා අස්වීමට’ රජීව් තීරණයක කරනු ඇතැයි යන්න එහිදී බැහැර කරන ලද්දේ, රජිව්ගේ ‘ඉවත්වීම’ සපුරා ඝාතනය මගින් සිදුවනු ඇති බවට ඉඟි කරමිනි.1991 මැයි 21 දින තමිල්නාඩුවේ ශ්‍රීපෙරුම්බුදූර්හිදී රජීව් ඝාතනය වන්නේ එක්සත් ජනපද බුද්ධි අංශ, සිය ‘දුරේක්ෂය’ මගින් සිදු කරන ලද ‘නිරීක්ෂණය’ සැබෑ කරමිනි. තිස් වසරක් ගෙවී යන රජීව් ඝාතනය සම්බන්ධයෙන් යළි කතා බහ ආරම්භ වන්නේ, ප්‍රභාකරන් සිය බුද්ධි අංශ ප්‍රධානි පොට්ටු අම්මාන් සමග රජිවි ඝාතනය සඳහා සිදු කරන ලද සැලසුමේ, බෝම්බය සඳහා බැටරිය ලබාදුන්, ඒ. ජී. පේරාරිවාලන් නිදහස ලැබීමත් සමගය.
1991 ජුනි 11 වැනිදා අත්අඩංගුවට ගන්නා විට ඒ. ජී. පේරා රිවාලන් හෙවත් අරිවු ගේ වයස අවුරුදු 19කි. කුමන්ත්‍රණය මෙහෙයවූ එල්ටීටීඊ කණ්ඩායමේ, සිවරාසන් වෙත, වෝල්ට් නවයක ධාරිතාවයකින් යුත්, ‘ගෝල්ඩන් පවර්’ බැටරි දෙකක් මිලදී ගත් බවට පේරා රිවාලන් වෙත චෝදනා එල්ල විය. එම වසරේ මැයි 21 වැනිදා රජිව් ගාන්ධි ඝාතනය කළ බෝම්බයට යොදාගෙන ඇත්තේ එම බැටරිය “… එපමණක්ද නොව, මම වෝල්ට් 9 බැටරි දෙකක් (ගෝල්ඩන් පවර්) මිලදී ගෙන ඒවා සිවරාසන්ට දුන්නා. බෝම්බය පිපිරවීමට ඔහු යොදා ගත්තේ මේවා පමණි, පේරාරිවාලන්ගේ පාපොච්චාරණයේ දී රජීව් ඝාතනය පිළිබඳව සිය ‘පංගුව’ සඳහන් කරන්නේ එසේය.

වැරදිකරු ලෙස සිරගතව සිටි, පේරාරිවාලන් 1998 වසරේදී මරණීය දණ්ඩනය සඳහා නියම වූ අතර, ඔහු වසර තිහකට ආසන්න කාලයක්, සිර බත ආහාර පිණිස ලබා ගත්තේය. දශක තුනක් පුරා, තමිල්නාඩුවේ වෙල්ලෝර් සහ පුසාල් මධ්‍යම බන්ධනාගාර සිරමැදිරියෙහි සිට පේරා රිවාලන් සිය නිදහස උදෙසා සටන් කරන ලද්දේ, මරණ දඬුවමට පවා ලක්ව සිටියදීය.
1998 දී ටාඩා අධිකරණය ලබා දුන් තීන්දුවකින්, පේරාරිවාලන් වෙත මරණ දණ්ඩනය නියම කළ අතර, 1999 දී ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම තහවුරු කළේය. 2014 පෙබරවාරි 18 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුරුගන් සහ සාන්තන් සහ පේරා රිවාලන් වෙත මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දක්වා වෙනස් කළේය.පේරාරිවාලන් වරදකරු බවට පත්ව ඇති, විවිධ වැරදි සම්බන්ධයෙන් ඔහුට ලබා දී ඇති සිරදඬුවම් සම්පූර්ණ කර ඇති බවත්, දැන් ඔහු සිරගතව සිටින්නේ ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ, මිනීමැරීමට දඬුවම් යටතේ පමණක් බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය, පේරාරිවාලන් නිදහස් කිරීමේ නියෝගයේ සඳහන් කර තිබුණි. වරදකරුගේ අභියාචනය සලකා බැලීම, සුදුසු අධිකාරිය වෙත හෙවත් ප්‍රාන්ත රජයට විවෘත බව එම නියෝගයේ සඳහන් විය.

2018 සැප්තැම්බර් මාසයේදී පේරාරිවාලන්ගේ පෙත්සම සම්බන්ධයෙන් තීරණය කිරීමට ආණ්ඩුකාරවරයාට අයිතියක් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කිරීමත් සමග, දින කිහිපයක් ඇතුළත එවකට මහ ඇමැති එඩප්පාඩි කේ. පලනිස්වාමිගේ ප්‍රධානත්වයෙන් යුත් තමිල්නාඩු කැබිනට් මණ්ඩලය මෙම නඩුවේ වැරදිකරුවන් හත් දෙනාම නිදහස් කරන ලෙස නිර්දේශ කළේය.ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ මේ පිළිබඳව සිය අවසන් තීන්දුව නොගත් තමිල්නාඩු ආණ්ඩුකාරවරයා, 2021 පෙබරවාරි මාසයේදී තීරණයක් ගැනීම සඳහා වන ලිපි ගොනුව, ජනාධිපති රාම් නාත් කෝවින්ද් වෙත යොමු කළේය.මුලින්ම ඔහුගේ මරණ දඬුවම ‘ජීවිතාන්තය දක්වා’ සහනයක් බවට පත් කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 සහ 162 වගන්ති යොදා ගනිමින්. පෙරරිවාලන්ගේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම අත්හිටුවමින්, මැයි 18දා ඔහු නිදහස් කිරීම සඳහා වන තීන්දුව ලබා දුන්නේය.රජීව් ගාන්ධි ඝාතනය සපුරා දේශපාලනික අරමුණකින් දියත් වූ ක්‍රියා කලාපයක් වනවා සේම, අධිකරණමය ක්‍රියාදාමයක් හේතුවෙන් රජීව් ඝාතකයන් නිදහස් වුවද ඒ සඳහා ද දේශපාලන කියැවීමක් අනිවාර්යෙන්ම තිබේ.

වසර ගණනාවක් පුරා, තමිල්නාඩු ප්‍රාන්තයේ බලයට පැමිණි ආණ්ඩු ඉල්ලා සිටින ලද්දේ, රජිව් ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිටින වරදකරුවන් නිදහස් කර දෙන ලෙසය.සිය පියා ඝාතනය කිරීමේ වරදට සිර දඬුවම් විඳිමින් සිටින නාලිනී ශ්‍රීහරන් හමුවීම සඳහා ප්‍රියංකා ගාන්ධි, තමිල්නාඩු ප්‍රාන්තයේ, වෙල්ලෝර් බන්ධනාගාරය වෙත යන ලද්දේ, 2008 වසරේ අප්‍රේල් මාසයේය. ඝාතන කල්ලියේ සාමාජිකාවක ලෙස කටයුතු කිරීමේ වරදට මරණ දඬුවම නියමව සිටින නාලිනී බැලීමට තමා බන්ධනාගාරය වෙත යන ලද්දේ පුද්ගලික වශයෙන් බවත්, තමා සපුරා ප්‍රචණ්ඩත්වයට එරෙහිව සිටින බවද ඒ සම්බන්ධයෙන් ප්‍රියංකා සිය අදහස මාධ්‍යට ප්‍රකාශ කර තිබුණාය.රජීව් ඝාතනය සඳහා පැමිණි එල්ටීටීඊ ත්‍රස්ත කල්ලියේ සාමාජිකාවක වූ නාලනී ඒ සම්බන්ධයෙන් වැරදිකරු වූ අතර ඇයට එහිදී මරණ දඬුවම නියම විය. කුඩා දරුවකුගේ මවක් බැවින් ඇය වෙත සහනයක් ලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා ලිහිල් කර දෙන ඉල්ලා සිටියේ රජිව්ගේ දයාබර භාර්යාව වූ සෝනියාය.වසර දහ නවයේ ගැටවර වියේදී සිරගෙදරට ගිය පේරාරිවලන් පනස් වසක් පිරෙන මිනිසෙක් ලෙස නිදහස ලබන්නේ, ඔහුගේ මව අර්පුදම් අම්මාල්ගේ අධිෂ්ඨානය සහ කැපවීම මතය.

2006 දී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, දිවංගත විනිසුරු වී. ආර්. ක්‍රිෂ්ණ අයියර් ප්‍රකාශ කරන ලද්දේ, ‘මගේ ජීවිතය අගනේය, ඔහු සාරධර්ම පිරි චරිතයකි. සිරගෙදර ජීවිතය ඔහු තවදුරටත් අපරාධකරුවෙකු කර නැත’ ලෙස සහතිකයක් පේරාරිවලන් වෙත ලබාදෙමිනි.සිය රට බිහි කළ අසම සම නායකයෙකු ඝාතනය සඳහා කුමන්ත්‍රණය කළ පේරාරිවලන්, නිදහස් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබුණේ,මහත්මා ගාන්ධි ඝාතන නඩුවේ කුමන්ත්‍රණ චෝදනාවට ලක්වූ නාතුරාම් ගොඩ්සේගේ සොහොයුරු ගෝපාල් ගොඩ්සේ වසර 14ක සිරගතව සිට නිදහස් කිරීමට 1964 දී ඉන්දීය මධ්‍යම රජය ගත් තීරණයය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment