බෞද්ධයන් පන්සල් එන එක නතර කරන පනතක් මේක

487

බුද්ධ ශාසන ඇමැතිවරයා විසින් 2021 පෙබරවාරි 28 වැනිදා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ථෙරවාද ති‍්‍රපිටකය විකෘති කිරීම වැළැක්වීමට විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඊට ආනුෂාංශික වන්නා වූ කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීමේ පනත සම්බන්ධයෙන් මේ වනවිට සංඝ සමාජයේත්, බෞද්ධ සමාජයේත් විශාල විරෝධයක් සහ ආන්දෝලනයක් මතුව තිබේ. මේ ඒ පිළිබඳව ස්වදේශාභිමානී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු,  දර්ශනශූරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඤානිස්සර හිමි දැක්වූ අදහස් මෙසේය.

* මේ කමිටුවට පැනගෙන වරදාන වරප‍්‍රසාද ලබාගන්නා බොහෝ දෙනෙක් වෑයම් කරනවා.
* මේ පත්වෙන මණ්ඩලය ධර්ම මණ්ඩලයක් නොවෙයි.
* ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ නිදහසත් මේකෙන් නැතිවෙනවා.
 
 ප‍්‍රශ්නය :- අපේ හාමුදුරුවනේ ථේරවාද ති‍්‍රිපිටකය විකෘති කිරීම වැළැක්වීමට විධිවිධාන සැලැස්වීම පිණිස ඊට ආනුෂංගික වන්නාවූ කරුණු සම්බන්ධයෙන් ‘‘2021 ති‍්‍රපිටක සංරක්‍ෂණ පනත’’ ලෙස කෙටුම්පත් කරන ලද පනතක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් වනවා. ඊට මහා සංඝරත්නය ප‍්‍රමුඛ බොහෝ පිරිසක් විරෝධය දක්වනවා. ඔබ වහන්සේ රජය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම පනතට එරෙහි වීමට හේතුව මොකක්ද?
 
 පිළිතුර :- ති‍්‍රපිටක සංරක්‍ෂණ පනත කෙටුම්පත නිවැරදිව අධ්‍යයනය කළ කෙනෙකුට මෙයට ගත හැකි තීන්දු දෙකක් තියෙනව.
 
 1. එම පනතට පක්‍ෂපාත විදිහට කටයුතු කිරීම.
 
 2. එම පනතට එරෙහි වීම සහ එසේ එරෙහි වීමට බලපාන ප‍්‍රධාන හේතු කාරණා ජනතාවට පැහැදිලි කිරීම යනුයි.
 
 ඉන් මම ඉන්නේ දෙවැනි මතවාදයේ. එයට හේතුව තමයි ඉදිරිපත් කරන්නට නියමිත මෙම පනත සුවහසක් බෞද්ධයන්ගේ සහ ශාසනමාමක භික්‍ෂුන් වහන්සේලාගේ හිත රිදවන රටට බරපතල භයානක ප‍්‍රතිඵල ලබා දෙන පනතක් වීම. ඇතැම් ශාසනමාමක බෞද්ධයෝ බොහෝ දෙනෙක් මේ පනත පිළිබඳ ව තවම හරියට දැනුවත් නැහැ. මහා සංඝරත්නය සහ මහානායක ස්වාමීන් වහන්සේලාත් බොහෝදෙන මේ පිළිබඳව දැනුවත් නැහැ. පනත පනත කියනවා මිසක මේ පනතේ තිබෙන වගන්ති බලතල උන්වහන්සේලා තාම දැනුවත් නැහැ. ඇතැම් අය හිතාගෙන ඉන්නේ පහුගිය දවස්වල ඇතැම් භික්‍ෂුන් වහන්සේලා ධර්මයට විකල්ප අදහස් එකතුකර නිසා ඒක වළක්වන්න ගේන පනතක් ය කියල. මේක කියවනකොට පේනවා මේකෙ තියෙන්නේ එක නෙවෙයි කියලා. මේකෙ තියෙන්නේ නංගි පෙන්නල අක්කා දෙනවා වගේ වැඩක්. නංගි කියලා කිව්වේ ති‍්‍රපිටකය, අක්කා කියල කිව්වෙ අපි ජීවත් වෙන මේ රට. මට වෙලාවකට හිතෙනවා මේක මේ කහපාට කරපු එම්සීසී ගිවිසුමද කියලා. මමත් හැටනම ලක්‍ෂයෙන් කෙනෙක් තමයි. ඒත් මේ පනතට එකඟවෙන එක මහ පාපයක්. අපායට පාර කපාගැනීමක්.
 
 ප‍්‍රශ්නය :-ඒත් මේ ති‍්‍රපිටක සංරක්‍ෂණ මණ්ඩලයට සියම්, අමරපුර, රාමඤ්ඤ නිකායන් හි මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප‍්‍රමුඛත්වය මත භික්‍ෂුන් වහන්සේලා තිස් හය නමක් පත් කිරීමට නියමිත යි. ඉතින් ඇයි අපේ නායක හමුදුරුවනේ මේ පුහු විරෝධය?
 
 පිළිතුර :- මහත්මයා ශාසනය කියල කියන්නේ එකක්. ධර්මය කියල කියන්නේ ඊටවඩා වෙනස් වූ වෙනත් එකක්. මෙහෙදී ධර්මය කියල මම කියන්නේ බුදුරජාණන් වහන්සේ සකල සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් සුදේශිත නවලෝකෝත්තර ධර්මයයි. ශාසනය කියල කියන එක වෙනස් වෙන්න පුළුවන් එකක්. ඒක එදා මෙදා තුර කලින් කල වෙනස් වෙලා තිබෙනව. නිකාය කියන්නෙත් එහෙම එකක්. ඉස්සර අපේ ගමකට එක පන්සලයි තිබුණේ. ඒක පස්සෙ වෙනස් වුණා. පන්සල් දෙකක් තුනක් වශයෙන්. ලංකාව තුළ තියෙන පන්සල් පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට මෙය පැහැදිලිය. අපේ රටේ නිකාය ක‍්‍රම ඇති වන්නේ කුල ක‍්‍රමය අනුව එක ගිහි ජනතාවගේ අවශ්‍යතාවය තමන්ගෙ කුලයේ කෙනෙක් මහණවෙලා ඉන්නවා දකින්න ඒ අය කැමතියි. එයලගෙ පන්සලක් තියන එකත් එයලගේ කැමැත්ත. ඒක තමයි ඇත්ත. ඒ හැම නිකායකම ස්වාමීන් වහන්සේලා ථේරවාද සම්ප‍්‍රදායට අනුව ධර්මය ධරනව. ඒ ශී‍්‍ර ලංකාව ථේරවාදී සම්ප‍්‍රදාය සහිත රටක් හැටියට තියෙන නිසා. ඒ වුණාට ථේරවාද සම්ප‍්‍රදාය පවා විවිධ කොටස් කැඞී බිඳී ගියා. ධර්ම සංකල්ප පිළිගැනීම අනුව ඒවා අතරෙත් යම් යම් වෙනස්කම් නැතිවා නොවෙයි. අපේ රට ථේරවාදී රටක් නොවුණාට මේ රටේ ගොඩක් දේවල් තියෙන්නේ මහායාන අදහස්. ‘‘ලක්දිව මහායාන අදහස්’’ කියලා කියන කෘතිය කියවන ඕන කෙනෙකුට ඒ බව පැහැදිලියි. එසේම ඇතැම් ශිෂ්‍ය ප‍්‍රජාව මහායානය, වජ‍්‍රයානය, තිබ්බතීය බුදු සමය, සෙන් බුදු දහම ආදි ධර්මයේ විවිධ සම්ප‍්‍රදායයන්. අධ්‍යයනය කරනවා. නිබන්ධ ලියනවා. නිකායනට තැන ලැබීමෙන් ධර්මයට වන මේ බරපත විනාශය සම්පූර්ණ කරගන්න බෑ. අනික ගොඩක් භීක්‍ෂුන් වහන්සේලාට ධර්ම මාමක බවක් තියෙන බවත්, මට පේන්නෙ නෑ. ගොඩක් ස්වාමීන් වහන්සේලාට පටු අරමුණුුයි තියෙන්නේ.
 
 අද ගොඩක් අයට තියෙන ප‍්‍රශ්නය තමයි, මේ කමිටුවට පැනගන්නේ කොහොමද කියන එක. ඒකට ලැබෙන වරප‍්‍රසාද ටික තමන් ලබාගන්නේ කොහොමද කියන එකයි. ඒ අනුව පේනව අද  ගොඩක් දෙනාට තියෙන්නේ මං සංකල්පය.
 
 ප‍්‍රශ්නය :-ඔබවහන්සේ සඳහන් කළා. මේ පනත නංගී පෙන්නලා අක්ක දුන්න වගේ එකක් කියලා. ඒත් අපේ හාමුදුරුවනේ මේ පනත් කෙටුම්පත අනුව සභාපතිවරයකුගෙන් යුත් භික්‍ෂුන් වහන්සේලා වැඩ සිටින මණ්ඩලයක්, මේකට වගකියනවා.
 
 පිළිතුර :- මේ පත්වන මණ්ඩලය ධර්ම මණ්ඩලයක් නෙවෙයි. මේක දේශපාලන මණ්ඩලයක්. ඒක එහෙම කියන්නේ අදාළ ඇමැතිවරයාගේ අත්සනින් පත්වීම් ලිපිය නිකුත් කළායින් පස්සෙ තමයි මණ්ඩලේ සාමාජිකත්වය ලැබෙන්නේ. ඇමැතිවරයා පෘථජ්ජන කෙනෙක්. ඇමැතිවරු පත්වීම් ලිපි නිකුත් කරන්නේ අදාළ පාර්ශ්වයන්ට නේ. ගිහි පාක්‍ෂිකයෝ කියල ජාතියක් පක්ෂවල ඉන්නවා. පැවිදි පාක්‍ෂිකයෝ කියල ජාතියකුත් පක්‍ෂවල ඉන්නවා. මහානායක හිමි, මහා හිමි නිර්දේශ කරන පුද්ගලයා අදාළ පාක්‍ෂිකයකු නොවේ නම් හෝ පාක්‍ෂිකභාවය ජනතාවට පෙන්නන්නේ නැතිය. ඉන්න කෙනෙක් නොවෙයි නම් හෝ පත්වීම ලැබෙන්නේ නැහැ. අනිත් කාරණය මහා වෘක්‍ෂ වගේ මහාප‍්‍රතාපවත් භික්‍ෂුන් වහන්සේ ලා අද සංඝ සමාජයේ ඉන්නවද? ගොඩක් දෙනා වැල්වගේ අයනේ මහත්මයා. මේ මිනිස්සුන්ට කොහොමද ධර්ම අධිකාරයක් දෙන්නේ. අනෙක කෙනෙක් එහෙම දෙන්න හදනව නම්, ඒක ධර්මයට පැටහැනියි. ධර්මය ආරක්‍ෂා කරන්නට යැයි කියන ඊනියා මුවාවෙන් ධර්ම විරෝධී වැඩක් මේ කරන්නේ. ධර්ම විරෝධී වැඩකට අතගහන්න ඇමැතිවරයකුට අයිතියක් නෑ. ඒවා නීත්‍යානුකූල කරන්න අවසර දෙන්න කැබිනට් මණ්ඩලයකට වත් අයිතියක් නෑ. අඩුම තරමේ ජනාධිපතිතුමාට වත් මේ වගේ ධර්ම විරෝධී වැඩවලට අතගහන්න අයිතියක් නෑ.
 
 මේ පනතේ මණ්ඩලයට අයිති බලතල යටතේ තියෙනවා ඕනෑම චංචල හෝ නිශ්චල දේපලක් අත් කර ගැනීම, දැරීම, බද්දට ගැනීම, බද්දට දීම මඩපනය කිරීම, විකිණීම හෝ අන්‍යාකාරයකින් අන්සතු කිරීම. මේ බලතලය බරපතල සැකයට හේතු වන කාරණාවක්. විදේශ රටකට විකිණීම වුණත්, අන්සතු කිරීම යටතට ගන්න පුළුවන්. මඩපනය කියන අලූත් වචනයක් මේ පනතේ තියෙනවා. මඩපනය කියන වචනයේ තේරුම තමයි විශේෂ වෙළඳාමක් කරන ස්ථානය. ඒ වචනේ පනතෙ හංගල තියෙන්නේ. ති‍්‍රපිටකය ආරක්‍ෂා කරන්න මේ වගේ බලතල මොකටද කියල ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඇප ඇතිව හෝ නැතිව ඇමැතිවරයා අනුමත කරනවා නම් ණය ගන්න පුළුවන් ය කියන බලයක් මෙයාලට තියෙනවා. ඒ ණය ගන්නේ දේශීය බැංකුවලින් ද විදේශීය බැංකුවලින් ද කියලා කියන්නේ නෑ. ති‍්‍රපිටකය ආරක්‍ෂා කරන්න මෙසේ ණය ගන්නේ මොකටද කියන සැකය මෙතෙන්දී එන්නෙ නැද්ද?
 
 ප‍්‍රශ්නය :- අපේ හාමුදුරුවනේ අපි මේ කාරණය වඩාත් පැහැදිලි කරගන්න ඕන. මෙම පනතට අනුව යම්කිසි භික්‍ෂුවක් හෝ පුද්ගලයකු හෝ කණ්ඩායමක් මුද්‍රිත, ඩිජිටල්, ශ‍්‍රව්‍ය දෘෂ්‍ය අන්තර්ජාලය යනාදී කවර මාධ්‍යයකින් හෝ ථේරවාදී පාලි ති‍්‍රපිටකය විකෘති කළොත් අයථා භාවිතය කළොත් ඊට එරෙහිව ඔවුන්ට ද`ඩුවම් පැමිණ විය හැකියි. එහෙව් එකේ මේක භයානක එකක් ලෙස හඳුන්වන්නේ ඇයි කියන අදහස තේරුම් ගන්න අපහසුයි.
 
 පිළිතුර :- මේ නීතිය පනවල තියෙන්නේ සම්බුද්ධ දේශනාවලට. ඒ දේශනාවන් කළේ වීතරාගී භාග්‍යවතුන් වහන්සේ. එම අදහස හැම පුද්ගලයාටම එක විදිහට තේරුම් ගන්න අපහසු නිසා ඒ ඒ ඒ පුද්ගලයන් ගේ ඥානය අනුව ඒ බණ තේරුම්
 
 ගන්නට බුදු බණෙන් අවසර ලැබුණා. ඒ අනුව තමන්ට තේරෙන බුදු බණේ අනෙකාට පැහැදිලි කරලා දෙන්න පළමු රහත් හැට නමට පමණක් නොවෙයි, සියලූම භික්‍ෂුන් වහන්සේලාට අවසරය බුද්ධ නීතියට අනුව හිමි වුණා. ඒ බුදු බණ ශී‍්‍ර ලංකාව තුළ ඉඳගෙන බුද්ධඝෝෂ හාමුදුරුවෝ අර්ථකථනය කළා. ඒවාට කියන්නේ අට්ඨකතා කියලා. බුද්ධඝෝෂ හාමුදුරුවො විතරක් නෙවෙයි අට්ඨකතා ලිව්ව තවත් හාමුදුරුවො ඉන්නවා. ඒ හාමුදුරුවරු අට්ඨකතා ලිව්වේ උන්වහන්සේලාගේ වැටහීම් අනුව ඒ කියන්නේ බුදු බණ උන්වහන්සේලට වැටහෙන විදිහට. නමුත් තාක්‍ෂණය, භාෂාව, ප‍්‍රඥාව දියුණු වන වර්තමාන සමාජයට ඒ පිළිබඳව තවත් විග‍්‍රහ තිබෙන්න පුළුවන්. එසේ තිබිය හැකි විග‍්‍රහ පිළිබඳව බුදු හාමුදුරුවන්ගෙන් කිසිදු තහනමක් නෑ. ඒත් මේ පනතෙන් තහනම්. දඬුවම් ලැබිය හැකි වරදක්. අවුරුදු හතක හිර දඬුවම්, අධිචෝදනාපත‍්‍ර බුදුහාමුදුරුවන්ටත් ඉහළින් ධර්මය පිළිබඳ නීති පනවන්න කටද පුළුවන්. මහත්තයා කියන්නේ තර්කානුකූලව ඇත්ත වගේ පේන මිථ්‍යාවට එරෙහි වීම වරදක් ය කියලද?
 
 මේක මහා භයානක පනතක් ය යැයි කියල කියන්නේ ඒකයි. භාෂණයේ නිදහස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදීපු නිදහසක් මේ නැති කරන්න හදන්නේ ඒක. වරදක් කරන කෙනෙකුට නිවැරදි දෙය කියා දීම හෝ අන් වෙනත් කි‍්‍රයාමාර්ගයක් ගැනීම කළ යුත්තේ අනාගතයට බලපාන නීති දැමීමෙන් නොවේ. මතවාද ප‍්‍රකාශ කිරීමෙනුයි. මේ රටේ සියලූම පුවත්පත් සියලූම රේඩියෝ, සියලූම රූපවාහිනී ආදි සියලූම ජනමාධ්‍යයත් ඒ වගේම නව මාධ්‍යයත් මගින් මතවාද ඉදිරිපත් කිරීමේ අයිතිය නැති කරන්න කාටවත් අවස්ථාව දෙන්න බෑ. නමුත් මේ කුමන්ත‍්‍රණය කුමන්ත‍්‍රණයක් හැටියට නිවැරදිව හඳුන ගන්නට ඕන. පළමුව ති‍්‍රපිටක සංරක්‍ෂණ පනත දෙවනුව කොරාණ සංරක්‍ෂණ පනත. ශරියා නීතිය අනුමත වෙන්නේ එතනින්. අධිකරණ ඇමැතිතුමා හසරැුල් පාන එතකොට ඒවි. තෙවනුව බයිබල් සංරක්‍ෂණ පනත. දැනටත් කණින් කොණින් තිබෙන බෝන් එගේන් නීතිගත වෙනේනේ එතනින්. මේවා කුමන්ත‍්‍රණ නෙවෙයිද මහත්තයා. මේ රටට ඇහැගහගෙන ඉන්න කවුරු හරි කෙනෙක් මේ රට අල්ලගත්තයින් පස්සේ ඔවුන්ට මතුවෙන ප‍්‍රශ්නවලට දැන්ම හොයන උත්තරය තමයි. ති‍්‍රපිටක සංරක්‍ෂණ පනත කියල කියන්නේ.
 
 ප‍්‍රශ්නය :-අපේ හාමුදුරුවනේ අපි දකිනව වර්තමානයේ බොහෝ භික්‍ෂුන් වහන්සේ ලා එහෙමත් නැතිනම් චීවරධාරීන් ධර්මය විකෘති කරන ආකාරය. වෙනස් කරන අකාරය. ඔබවහන්සේලා පවා ඊට එරෙහි වූ අවස්ථා තිබෙනවා. ඔය වගේ තත්ත්වයක් තුළ මේ පනත ප‍්‍රායෝගික හා විධිමත් එකක් කියලා ඔබ වහන්සේ පිළිගන්න කැමති නැද්ද?
 
 පිළිතුර :- ඔන්න ඔතන තමයි මහත්තයා ප‍්‍රශ්නය තියෙන්නේ. ඔබතුමා නිවැරදි තැනට ආව. රටේ පහුගිය කාලේ ඔයවගේ ඝෝෂාවක් තිබුණ නේ. ඒක තමයි මේ ගොල්ලා මතුකරන මතවාදය. නමුත් මේ පනත ඒකට උත්තරය නෙවෙයි. අරක වෙන එකක්. මහත්තයා මේක වෙන එකක්. එකටයි අපි විරුද්ධ වෙන්නේ, පහුගිය පොසොන් පෝය දවසේ එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මේ පිළිබඳව වැඩසටහනක් කෙරෙව්වා. ඒත් ඒ පැය ගණනක වැඩසටහනේ මේ පනත් කෙටුම්පතේ කිසිදෙයක් පිළිබඳ වචන මාත‍්‍රයක්වත් කතා කෙරුණෙ නෑ. ප‍්‍රශ්නයක් තියෙන තැනට නිවැරදි උත්තරයක් ඕන තමයි. මේ පනත ඒ ප‍්‍රශ්නෙට දෙන උත්තරයක් නොවෙයි කියන බව වැටහෙන්නේ පනත් කෙටුම්පත කියවපු කෙනෙකුට විතරයි. නංගි පෙන්නල අක්ක දෙන කතාව කිව්වෙ ඒක හින්දා. අනික ධර්මයේ එන වචන වෙනස් කරනව කියලා කියනව නම් ඒවා දිනන්න ඕන මතවාද වලින්. ඒකට නීති මොකටද? මතවාදවලට කට්ටිය නැත්නම් මම ස්ටෑන්බයි ඕන වෙලාවක.
 
 ප‍්‍රශ්නය :- අපේ හාමුදුරුවනේ මේ වෙන කොට පන්සල්, ආරාම, භාවනා මධ්‍යස්ථාන ආදී වශයෙන් ගොඩනැගෙන බොහෝ තැන්වල බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම්වලට පටහැනි බුද්ධ දේශනාවේ සඳහන් නොවන බොහෝ දේ සිදුවෙනවා. ඒ නිසාම සත්‍යය යටපත් වී මුලාව ඉදිරියට පැමිණ තිබෙනවා. මේවාට වැටබඳින්න අවශ්‍ය නැද්ද හාමුදුරුවනේ?
 
 පිළිතුර :- බඳින ඕන වැටක් බඳින්න වගේම කඩන්නත් අයිතියක් තියෙනවා. ඒ අයිතිය එන්නේ සිද්ධිය පිළිබඳ ව බලන දෘෂ්ටිකෝණය සහ කරන විග‍්‍රහය අනුවයි. අපි මේ සාකච්ඡුා කරන්නේ ඒ වගේ පටු ළාමක සිද්ධියක් පිළිබඳව නොවෙයි. වීතරාගී, වීත දෝෂී, වීත මෝහී බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත ශී‍්‍ර සද්ධර්මය වටහා ගැනීම පිළිබඳවයි. තථාගත ධර්මය, විශ්වයට අයිති ධර්මයක් ඒ ධර්මය එක රටකට එක පිරිසකට එක කමිටුවකට සීමා කරන්නට බෑ. ධර්මයේ උගන්වන විශ්ව යථාර්ථය වටහා ගැනීම පිළිබඳ නිර්නායකවලට සීමා පණවන්න රෝම ලන්දේසි නීතියට වත් අයිතියක් නෑ. ධර්මය වටහා ගැනීම කියන්නේ ඒක ගැඹුරින් විමංසනය කළ යුතු කරුණක්. මේ වගේ සෙල්ලම් වැඩවලින් වෙන්නේ අපේ බුදුහාමුදුරුවො අපිට අහිමි කරන එක. ඒක කරන්න භික්‍ෂු පිරිසකට අයිතිය දෙනව කියන්නේ මහ භයානක වැඩක්. මේක සරලව හිතන්න දෙයක් නොවෙයි. ඇමැතිවරයට ඕන නම් ඒ ඇමැතිවරයාට හිසරදයක් වන භික්‍ෂුවක් හිරේට දාන්න මේ පනතෙන් ඒක ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්. ධර්මයට නීති දන්න බෑ.
 
 එතකොට ධර්මය ශෝභමාන වෙන්නේ නෑ. ධර්මය ශෝභමාන වෙන්නේ ඒ පිළිබඳ වාද විවාද කරනකොට. විවිධ ක‍්‍රමවලින් ධර්මය තේරුම් ගන්න උත්සාහ ගන්න මිනිස්සු සමාජය තුළ ඉන්න කොට.
 
 ඕනෙම සමාජයක වැරදි සිදුවෙන්න පුළුවන්. වැරදි නැති සමාජ හදන්න බෑ. නීතියකට සමාජ හදන්නත් බෑ. එහෙම පුළුවන් නම් මේ රටේ තිබෙන නීති කන්දරාව අනුව මිනිස්සු හැදිල ඉන්න එපාය. නීතියට පුළුවන් වෙන්නේ සිවිල් බලය අහිමි කිරීම, දඩ ගැහීම, දේපළ අහිමි කිරීම වගේ දේවල්. මිනිසා හදනව කියන්නේ ඊට වඩා පුළුල් ප‍්‍රපංචයක් ධර්මය පිළිබඳව නීති දැමීම මෝඩ සිතකට ආපු අනුවණ සිතුවිල්ලක්. සත්‍ය සහ මුලාව මහරහතුන් වැඩ සිටි එදා බුද්ධ කාලයෙත් තිබුණා. මෙදා විසිඑක්වන සියවසෙත් තිබෙනව. යථාර්ථය තේරුම්ගැනීම සහ ඒ අනුව කි‍්‍රයාත්මක වීම පිළිබඳ ගැටලූවක් ඒක. ඒක වෙනම කතා කළ යුතු
 
 ගැටලූවක්.
 
 ප‍්‍රශ්නය :- අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1*(ඉ* වගන්තිය අනුව ආගම ඇදහීමට ඇති නිදහස තහවුරු කර තිබෙනව. අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු බවට පැනවූ නෛතික නියමක් නැති. ආගමක් ලෙස සැලකෙන්නේ බුදු දහමයි. මේ තත්ත්වය ඔබ වහන්සේ යෝජිත පනත අනුව ගලපාගන්නේ කොහොමද?
 
 පිිළිතුර :- ඇත්තටම බුදු දහමට ආගමක් නැහැ. බුදු දහමෙ තියෙන්නේ මිනිසා විසින් අනුගමනය කළ යුතු නිර්දේශ සමූහයක්. ඇතැම් අය ඒකට ආගමික ස්වරූපය දෙනවා. ඇතැම් අය දාර්ශනික හැඩතල දෙනව. ඒ ඒ රටවල්වල හිටිය ප‍්‍රඥාවන්ත ශ‍්‍රාවකයෝ ඒ ධර්මයට විවිධ සංකල්ප එකතු කරනව. ඒ දහම ථේරවාද සම්ප‍්‍රදාය හැටියට ද මහායාන සම්ප‍්‍රදාය හැටියට ද වජ‍්‍රයාන, තන්ත‍්‍රයාන, මන්ත‍්‍රයාන ටිබෙට් බුදු දහම සෙන් බුදු දහම ආදී වශයෙන් ව්‍යාප්ත වෙලා ගියා. මේ පනතයි ඒ ධර්මයයි සංසන්දනය කරන කොට මේ පනතට පයින් ගහන්න හිතෙනවා. මෙතරම් ප‍්‍රඥාවන්ත දහමක් මේ විදිහට ගෝත‍්‍රික කරන් දඟලන්නේ කාගේ වුවමනාවට ද කාගේ බඩ පුරවන්නද කියලා. මේ කරන්න හදන්නේ මහා පාපකර්මයක්. මේකට සම්මාදම් වන ගිහි පැවිදි ඔක්කොටම වරදේ තරමට විපාක ලැබේවි.
 
 සාකච්ඡා කළේ-
 උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment