බෞද්ධ භාවනා ක‍්‍රමවල මනෝවිද්‍යාත්මක බලපෑම  

1178

පුද්ගලයාගේ මානසික යහපැවැත්ම සඳහා බෞද්ධ මනෝවිද්‍යාව තුළදී සහ බුදු දහම තුළදී උපයෝගි කරගත හැකි බෞද්ධ උපදේශන ක‍්‍රමයක් ලෙසට භාවනාව හඳුන්වා දිය හැකිය. මුල් බුදු සමය තුළ ‘‘භාවනාව’’ යන පදය විවිධ ස්වරූපයෙන් යෙදී ඇති අයුරු දැකිය හැකිය. සරලව ගතහොත් භාවනාව යනු අර්ථවත් ධර්මයන් වර්ධනය කිරීම, දියුණු කිරීම, වැඞීම යන අදහස ලබාදෙයි. නානාවිධ අරමුණු කරා සිත නිරතුරුවම ඔබ මොබ විසිර යයි. ඒ සිතේ සාමාන්‍ය ස්වභාවයයි. එම විසිරී යන සිත කුසල් සහගත අරමුණක පිහිටුවා ගැනීම භාවනාවෙන් සිදුවන මූලික කාර්යයි. බෞද්ධ ප‍්‍රතිපදා මාර්ගය තුළින් ගත හැකි අග‍්‍රඵලය වන සියලූ සසර දුක් විනාශ කර දැමීම, කෙලෙසුන්ගෙන් සිත නිදහස් කර ගැනීම හා පරම සත්‍යාවබෝධය නම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට භාවනාව අත්‍යවශ්‍ය වේ. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි මූලික වශයෙන් සමථ, විපස්සනා වශයෙන් භාවනාව දෙවැදෑරුම් වෙයි. මීට අමතරව ආනාපානසති, මෛත‍්‍රී භාවනාව, මරණානුස්සතී ආදී විවිධ භාවනා ක‍්‍රමයන් බුදු දහම තුළ අන්තර්ගත වේ. ඒ සෑම භාවනාවකම අරමුණ වන්නේ පුද්ගලයාගේ මානසික සුවය සැලසීමයි. මෙම භාවනාවන් වැඞීම ප‍්‍රායෝගිකව පුද්ගලයාගේ ජීවිතට සහ මානසික යහපැවැත්මට උපයෝගි කරගත හැකි ආකාරය සහ එහි මනෝවිද්‍යාත්මක පැතිකඩ පිළිබඳව විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ වේ.

සමථ භාවනාව

සමථ භාවනාව සමාධි භාවනාව හා චිත්ත භාවනාව යන නම්වලින් ද හැඳින්වේ. චිත්ත චෛතසිකයන් අරමුණෙහි මනා කොට පිහිමීම සමථ භාවනාව මගින් සිදු කෙරේ. යහපත් අරමුණක සිත පිහිටුවා සිත සන්සුන් කර ගැනීමේ අභ්‍යාස ක‍්‍රමයක් ලෙස ද මෙම භාවනාව හඳුන්වාදිය හැකිය. සමථ භාවනාවට යොදාගත හැකි අරමුණු 40ක් දක්වා තිබේ. සමථ භාවනාවේ කමටහන් වර්ග 3කට බෙදා දැක්විය හැකිය.

ස්වභාවික ද්‍රව්‍යයක් හෝ වර්ණයක් අරමුණු කිරීම

ශාරීරික ද්‍රව්‍යයක් අරමුණු කිරීම

යහපත් හෝ සංවේගීය සිතුවිල්ලක් අරමුණු කිරීම

සමථ භාවනාව පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව විමසා බැලිය යුතුය. මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාර ක‍්‍රමයක් වශයෙන් ද භාවනාව යොදා ගැනේ. චිත්ත චෛතසික ධර්මයන් විවිධ වූ රූප, ශබ්ද ආදී අරමුණු කරා විසිරී යෑමට ඉඩනොදී එකම අරමුණක රඳවා තබා ගැනීම මානසික ශක්තිය සඳහා අවශ්‍ය වේ. එය පුද්ගලයාට ප‍්‍රායෝගික ජීවිතයේදී තම කටයුතු සාර්ථක කර ගැනීමට හේතු වේ. රාගාදී කෙලෙස්වලින් බරිත පුද්ගලයාට මානසික සහනයක් ලැබීමට සමථ භාවනාව උපකාරි කරගත හැකිය. සමථ භාවනාව තුළින් සිතෙහි නොසන්සුන් බව ඇති කරන පංච නීවරණ ධර්මයන් ක්ලේෂයන් යටපත් කරමින් පුද්ගලයාට කායික මානසික වාචසික වශයෙන් ශාන්තියක් ලබාගත හැකිය. එය පුද්ගලයාගේ සිත එක අරමුණක තබා ගනිමින් අටලෝදහමෙහි කම්පා නොවී ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය සමථ භාවනාවෙන් ලබාගත හැකිය. තරගකාරී සමාජයක ජීවත්වන මිනිසාගේ සිත විවිධ අරමුණු කෙරෙහි විසිරී යයි. එම සිත එක අරමුණකට ගෙන කටයුතු කිරීමට හැකි වීම පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයේදී ප‍්‍රයෝජනවත් වනු නිසැකය. උදාහරණයක් වශයෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට විභාග ආතතිය දුරු කරගැනීමට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට සාර්ථකව විභාගවලට මුහුණ දීමට සමථ භාවනාව උපයෝගි කරගත හැකිය. සමථ භාවනාවේදී සම සතළිස් කර්මස්ථාන සුදුසු පරිදි වැඞීමෙන් පුද්ගලයාට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව සමථ භාවනාවෙන් වර්ධනය වේ

බෞද්ධ භාවනා ක‍්‍රමවල මනෝවිද්‍යාත්මක බලපෑම  

රාග, ද්වේෂ, මෝහ යනාදී කෙලෙස්වලින් යුත් පුද්ගලයාගේ මානසික සහනය කිසි විටෙක නැත. එම නිසා කිසිදු දෙයකින් සෑහීමකට පත් වීමේ හැකියාවක් පුද්ගලයාට නැත. කාමච්ඡුන්ද නීවරණයෙන් යටපත් වී ඇති නිසා පුද්ගලයාගේ සිතීමේ ශක්තිය ආවරණය වී ඇත. එම නීවරණ ධර්මයන් යටපත් කිරීම තුළින් පුද්ගලයාට සතුට සැනසුම සහනය උදාකර ගත හැකිය. ලෞකික ජීවිතය තුළදී ලබාගත හැකි කාය රූප, අරූප භූමිවලට අයත් ධ්‍යාන සමාපත්ති ආදිය ද ආදි සමථ භාවනාව තුළින් ලබාගත හැකි උසස් ප‍්‍රතිඵලයන්ය. සමථ භාවනාව වැඞීම තුළින් බුද්ධි සම්පන්න පෘථග්ජනයන් හට ධ්‍යාන සමාපත්ති ප‍්‍රතිලාභ

ලබාගත හැකිය.

එලෙස ලබාගත හැකි අභිඥාවන්

ඍද්ධි ප‍්‍රාතිහාරය දැක්වීමේ හැකියාව

දිව්‍යමය කන් ඇති බව

අනුන්ගේ සිත් දැනගැනීමේ හැකියාව

පෙර ආත්ම භාවයන් දැකීමේ හැකියාව

දිවැස් ඇති බව යනාදියයි.

සමථ භාවනාව වැඞීමෙන් පුද්ගලයාට මානසිකව ලැබෙන සහනය තුළ පුද්ගලයාගේ කායික චර්යාව ද වෙනස් වේ. එනම් පුද්ගලයා තුළ අකුසල සහගත සිතුවිලි නැති වී කුසල සහගත සිතුවිලි වර්ධනය වේ. එවිට පුද්ගලයා අයහපත් කි‍්‍රයා කිරීමෙන් වැළකේ. සමථ භාවනාව තුළින් පුද්ගලයාගේ මානසික යහපැවැත්ම පමණක් නොව සමාජ යහපැවැත්ම ද වර්ධනය වේ.

විදර්ශනා භාවනාව

විදර්ශනා යනු සංස්කෘත වචනයකි. විදර්ශනා භාවනාව වැඞීම යනු ති‍්‍රලක්ෂණයන් මෙනෙහි කිරීමයි. විදර්ශනා භාවනාව ප‍්‍රඥා භාවනාව ලෙස ද හඳුන්වයි. මෙම භාවනාවෙන් මූලිකවම සිදු කරන්නේ යථාවබෝධය ලබා ගැනීමයි. සමථ භාවනාව වැඞීමකින් තොරව විදර්ශනා භාවනාව වැඩිය නොහැකිය. විදර්ශනා භාවනාවෙන් මූලිකවම සිදු වන්නේ පුද්ගලයාගේ නුවණ වැඞීමයි. විදර්ශනා භාවනාව වැඞීම තුළින් අවිද්‍යාව දුරු කරගත හැකිය. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව සිත සෑම දෙයකටම මූලික වේ. විදර්ශනා භාවනාව වැඞීම තුළින් ද පුද්ගලයා තුළ අකුසල සහගත සිතුවිලි දුරු කොට කුසල සහගත සිතුවිලි වර්ධනය කරගත හැකිය. එම සිතුවිලි අනුව පුද්ගලයාගේ චර්යාව ද වෙනස් වේ. පුද්ගලයාට අවශ්‍ය පරිදි සිත මෙහෙය වීමට විදර්ශනා භාවනාව වැඞීමෙන් හැකි වේ. සිත හික්මවා ගැනීමේ එක් ප‍්‍රධාන මාර්ගයක් ලෙස විදර්ශනා භාවනාව බුදු දහම තුළින් නිර්දේශ කරනු ලබයි. විදර්ශනා භාවනාව තුළින් පුද්ගල සිත සංවර කරගත හැකිය. එය පුද්ගලයාගේ ප‍්‍රායෝගික ජීවිතයේදී විවිධ කටයුතුවලට පුද්ගලයාට උපයෝගී කරගත හැකිය. සිත සංවර වූ පුද්ගලයාගේ කයත්, වචනයත් සංවර වේ. එවිට පුද්ගලයා සමාජයේ ගනුදෙනු කිරීමේදී ගැටුම් නැති වේ.

මුදල් ඉපයීම සහ ඉඳුරන් පිනවීම ජීවිතයේ පරම පරමාර්ථය කොටගත් වර්තමාන සමාජයට බෞද්ධ භාවනා ක‍්‍රමයේ අවශ්‍යතාවය වඩ වඩාත් දැඩි ලෙස දැනෙන්නට පටන් ගෙන තිබේ. වස්තු තණ්හාව බල කාමය අතෘප්තිකර ආශාවන් නැති කොට සිත සන්සුන් කර ගැනීමට විදර්ශනා භාවනාවෙන් හැකිය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන්න මෙනෙහි කිරීමෙන් පුද්ගලයාට යථාවබෝධයෙන් යුක්තව ජීවිතයට මුහුණ දිය හැකිය. එවිට පුද්ගලයාට ශක්තිමත්ව මානසික තත්ත්වයකින් යුක්තව ජීවිතයේ ඕනෑම අවස්ථාවක මුහුණ දිය හැකිය. දුක නිසා මිනිසුන්ට විශාදය, කාංසාව වැනි බොහෝ මානසික රෝග ඇති වේ. විදර්ශනා භාවනාව වැඞීමෙන් ති‍්‍රලක්ෂණය මනා කොට අවබෝධ කර ගැනීමෙන් ජීවිතයට මුහුණ දීමට හැකි වීම තුළින් මානසික රෝග හා මානසික ආතතියෙන් පුද්ගලයාට මිදීමට හැකිය. ඒ අනුව විදර්ශනා භාවනාව පුද්ගලයාගේ මානසික සුවයට උපයෝගී කරගත හැකිය.

මෛතී‍්‍ර භාවනාව

පුද්ගලයාගේ මානසික සංවර්ධනයට ඉවහල් වන ප‍්‍රධාන භාවනාවක් ලෙස බෞද්ධ මනෝවිද්‍යාව තුළ මෙන්ම බුදු දහම තුළත් හඳුන්වා දෙන එක්තරා ප‍්‍රධාන භාවනාවක් වන්නේ මෛත‍්‍රී භාවනාවයි. ප‍්‍රායෝගික ජීවිතයේදී බෞද්ධයන්ට මෙන්ම ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් ප‍්‍රගුණ කළ හැකි භාවනාවක් ලෙසට මෛත‍්‍රී භාවනාව හඳුන්වාදිය හැකිය. තමන් ඇතුළු සකල ලෝක සත්ත්වයා කෙරෙහි මෙත් සිත පතුරුවා ලීමත් එමගින් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම ආදී පාප චේතනාවන් යටපත් කිරීම මෛත‍්‍රී භාවනාවේ අරමුණයි. මෛත‍්‍රී භාවනාව වැඞීම සඳහා ඉතාම නිස්කලංක පරිසරයක් තෝරාගත යුතුය.

මෛතී‍්‍ර භාවනාව සරලව වැඩිය හැකි භාවනාවකි. මේ තුළින් බොහෝ දුරට මානසික ආතතිය පාලනය කරගත හැකිය. විශේෂයෙන්ම මෛත‍්‍රී භාවනාවෙන් සිදු කරන්නේ යහපත් සිතුවිලි ලබාදීමයි. ඒ අනුව ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි අයහපත් සිතුවිලි නැති කොට දමයි. මෛත‍්‍රී භාවනාව වැඞීමේදී පළමුව තමාට මෛත‍්‍රී කළ යුතුය. හිස මුදුනේ සිට පාදාන්තය තෙක් සිත ගමන් කරමින් එය සිදු කළ යුතුය. තමාගෙන් පසුව තම සමීපතමයන් මෛත‍්‍රී කළ යුතුය. ඉන් අනතුරුව තමාට අහිතවත් අන් සියලූ දෙනාටම මෙත් වැඩිය යුතුය. බුදු දහම තුළ මෛත‍්‍රී භාවනාව වැඞීම තුළින් පුද්ගලයාට ලබාගත හැකි ආනිශංශ 10ක් මෙත්තානිශංස සූත‍්‍රයේ දැක්වේ.

ඒවා නම්

සුවසේ නිදාගැනීමට හැකි වීම

සුවසේ අවදි වීමට හැකි වීම

විවිධාකාර සිහින නින්දේදී නොපෙනීම

මිනිසුන්ට පි‍්‍රය වීම

අමනුෂ්‍යන්ට පි‍්‍රය වීම

වස විෂ ගිනි ආදියෙන් හානි නොවීම

සමාධිගත වූ සිතක් පැවතීම

මුහුණ ප‍්‍රියජනක වීම

සිහිමුලාවකින් තොරව මරණාසන්න අවස්ථාවන් ගත කිරීමට හැකි වීම

මරණින් පසු බ‍්‍රහ්ම ලෝකාදියෙහි උපත ලැබීම

මෙම ආනිශංස 10 පිළිබඳ විමසා බලන විට අවධාරණය වන්නේ පුද්ගලයාට ජීවිතය තුළ ආතතිය මැනවින් කළමනාකරණය කර ගෙන සතුටින් ජීවිත්වීම මෛත‍්‍රී භාවනාව උපයෝගී කර ගැනීම හැකි බවයි. මෛත‍්‍රී භාවනාව වැඞීමෙන් පුද්ගලයාට පමණක් නොව සමස්ත ලෝක ජනයාටම මානසික සහනයක් ලබාගත හැකිය. ආචාර්ය චන්දන ජයරත්න පෙන්වා දෙන පරිදි පුද්ගලයාට වැළෙ`දන රෝගාබාධ වලින් 80% පමණ හේතු වන්නේ සිත බව නූතන විද්‍යාඥයන් සොයා ගෙන ඇති බවයි. කුෂ්ඨ රෝග, දියවැඩියාව, හෘද රෝග වලට, මනසේ ඇතිවන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානසික ආතතිය රෝගවලට ඖෂධ වලින් කරන ප‍්‍රතිකාර වලින් තාවකාලික සුවයක් ලැබුණ ද රෝගයට හේතුව සිත තුළ ඇති නිසා නැවතත් රෝගය ඇති වන බව නූතන මනෝ විද්‍යාඥයන් තහවුරු කොට ඇත.

තරහා, වෛරය, ක්‍රෝධය නිසා ශරීයේ රසායනික සමතුලිතතාවය බිඳ වැටෙන බව නූතන මනෝ විද්‍යාඥයන් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එසේ නම් මෛත‍්‍රී භාවනාව වැඞීමෙන් මෙම අකුසල් සිත දුරු කරගත හැකි වේ. තරහා, වෛරය, ක්‍රෝධය නිසා ඇතිවන රෝගවලට හොඳම ප‍්‍රතිකාරය මෛත‍්‍රී භාවනාවයි. තායිලන්තයේ මගීඩෝල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නයිපිනිව් කොච්පති කළ පර්යේෂණ මීට උදාහරණයකි. භාවනාවේ යෙදෙන විට රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය අඩුවන බව ඔහුගේ ප‍්‍රථම පර්යේෂණයෙන් පෙන්වා දී තිබේ. මෛතී‍්‍ර භාවනාව මානසික රෝගවලට පමණක් නොව කායික රෝග නිවාරණයට ද ඉවහල් වේ. මෛතී‍්‍ර භාවනාවේ සුවිශේෂි කි‍්‍රයාකාරිත්වය පැහැදිලි කරන තවත් අවස්ථාවක් කැනඩාවේ මැක්හීල් සරසවියේ ආචාර්ය බර්නාඞ් ග‍්‍රැඞ්ගේ පර්යේෂණය තුළින් තහවුරු වේ. ඔහු පෙන්වා දෙන පරිදි ශරීරයේ යම් කිරණයක් නිකුත් කරන අතර එම කිරණ යහපත් සහ අයහපත් සිතුවිලිවලට බලපායි. අයහපත් සිතුවිලිවලින් යුත් පුද්ගලයාගේ ශරීරයෙන් නිකුත්වන රශ්මි කදම්බයන්ගේ ප‍්‍රමාණය අඩුවීම නිසා ඔහුට රෝගාබාධ වැළඳීමේ ප‍්‍රවණතාවය වැඩි බව රුසියානු වෛද්‍යවරයකු විසින් සොයාගෙන ඇත.

ටෙලිපති හෙවත් සිතකින් සිතකට පණිවිඩ යැවීම පිළිබඳ කරන ලද පර්යේෂණවලදී මෛතී‍්‍ර භාවනාවේ බලපෑම තහවුරු වී ඇත. ඒ අනුව මෙමත‍්‍රී භාවනාව මගින් මොළයේ කි‍්‍රයාකාරිත්වයේ ප‍්‍රබල වෙනසක් ඇති කරන බව ෑගෑගඨග වැනි උපකරණ ඇසුරින් සොයාගෙන ඇත. ඒ අනුව මෛතී‍්‍ර භාවනාව වැඞීම පුද්ගලයාගේ මානසික, කායික යහපැවැත්ම සඳහා මෙන්ම සමාජයේ යහපැවැත්ම සඳහා ද ප‍්‍රයෝජනවත් වේ.

ආනාපානාසති භාවනාව

බෞද්ධ ඉගැන්වීම්වලට අනුව අනෙකුත් භාවනා ක‍්‍රමයන් මෙන්ම ආනාපානසති භාවනාව ද විශේෂිත ස්ථනායක් හිමිවේ. සතිපට්ඨාන සූත‍්‍රයේ සඳහන් වන පරිදි ආනාපානසති භාවනාව වැඞීමට ද සන්සුන් නිහ`ඩ වටපිටාවක් යෝගියා විසින් තෝරාගත යුතුය. ආනාපානසති භාවනාව වැඞීමේ මනා ඉරියව්ව වන්නේ වාඩිවීමයි. සාමාන්‍ය වශයෙන් භාවනා කර අත්දැකීම් නොමැති අය සඳහාත් පහසුවෙන් උපයෝගි කරගත හැකි භාවානාව මෙය වේ. මෙහි මූලිකම කි‍්‍රයාව වන්නේ හුස්ම ගැනිම හා පිට කිරීම ආනාපානසති භාවනාව වඩන විට මනස පිහිටුවාගත හැකි ප‍්‍රධාන ස්ථාන 2ක් වේ. එනම්

නාසාග‍්‍රය

උදරය

මෙම ස්ථාන දෙකෙහි නිරන්තරයෙන් වාතය ස්පර්ශ වීමත් සමග යෝගියාගේ ගතට සිසිල් වාතය ඇතුළු වීම එය රඳවා ගැනීම යළි පිට කිරීම ආදි ලෙසින් එය මෙනෙහි කළ යුතුය. මෙහිදී යෝගියා සිහිය තබාගත යුත්තේ ආශ්වාස, ප‍්‍රාශ්වාස කි‍්‍රයාවලිය තුළයි. සාමාන්‍ය ජීවිතයේදී මානසික ආතතිය පාලනය කර ගැනීමට ප‍්‍රායෝගිකව පහසුවෙන් පුහුණු කළ හැකි භාවනාවක් ලෙසට ආනාපානසති භාවනාව හඳුන්වාදිය හැකිය. ආනාපානාසති භාවනාව වැඞීමේදී අනුගමනය කළ යුතු පියවර 8කි. එනම්

ගණන

අනුබන්ධනා ඵුසනා

ඨපනා

සල්ලඣණා

විවඨිමනා

පාරිසුද්ධි

සතිපස්සනා

මෙම පියවර අනුගමනය කිරීමෙන් පරිපූර්ණ මානසික සහනයක් මානසික සංසිඳීමක් පුද්ගලයාට ලබාගත හැකිය. ප‍්‍රායෝගිකව ආනාපානාසති භාවනාව වැඞීමේදී පුද්ගලයාගේ මානසික අතතිය වැනි මානසික ගැටලූ සමනය කිරීමට හැකිය. බුදු දහම අතින් ගත් කළ බෞද්ධයකුට සෝවාන් ආදී මාර්ගඵලවලට මෙන්ම නිවන් මග ප‍්‍රත්‍යක්ෂ කර ගැනීමට ද මෙම භාවනාව වැඞීමෙන් හැකියාවක් ලැබේ. සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තයේ දැක්වෙන අන්දමට ආනාපානසති සමාධිය වැඞීම තුළින් පවිටු සිතුවිලි පුද්ගලයාගේ මනස තුළින් දුරස් වී ගොස් යහපත් චේතනාවන් පුද්ගලයාගේ මනස තුළ ඇති වේ. පියවරෙන් පියවර කායික, මානසික ශාන්තභාවය වර්ධනය වන අතර සිත කිලිටි කරන ක්ලේශ ධර්මයන් ආනාපානසති භාවනාව වැඞීමෙන් නැති කරගත හැකිය. සිහියෙන් යුක්තව වඩන මෙම භාවනාව තුළින් එය දිගින් දිගටම පුහුණු කරගත් විට විවිධ අරමුණු කරා ගමන් කරන සිතුවිලි පාලනය කරගත හැකි තත්ත්වයකට එළඹේ. එමගින් සමාධිගත වන සිත ධ්‍යාන අභිඥා වැඞීමටත් විදර්ශනාවට යොමු කිරීමටත් සුදුසු තත්ත්වයකට එළැඹේ.

ආනාපානසති භාවනාව වැඞීමෙන් සිත විසිරෙන ස්වභාවය අවම කොටගත හැකිය. එය බෙහෙවින්ම අධ්‍යාපන කටයුතුවල නිරතවන, විභාගවලට සූදානම් වන සිසුන් සඳහා ඉවහල් කරගත හැකි භාවනාවකි. මෑතකාලීනව පාසල්වල සිසුන් සඳහා භාවනා වැඩසටහන් සංවිධානය කොට තිබේ. එමෙන්ම භාවනා මධ්‍යස්ථාන හා රූපවාහිනි වැඩසටහන් මගින් මානසික රෝගවලින් පීඩා විඳින මිනිසුන් සඳහා මානසික සහනය ළඟා කර ගැනීමට සුදුසු එක් භාවනා ක‍්‍රමයක් ලෙසට මෙම භාවනාව නිර්දේශ කරනු ලබයි.

සතිපට්ඨාන භාවනාව

පුද්ගලයාට අව ප‍්‍රමාණික ලක්ෂණයන්ගෙන් මීදීම උදෙසා බුදු දහම නිර්දේශ කොට තිබෙන මනෝප‍්‍රතිකාර ක‍්‍රම අතර සතිපට්ඨාන භාවනාව සුවිශේෂ වේ. සතිපට්ඨාන සූත‍්‍රයේ මූලිකම අරමුණ උසස් ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගැනිම වුවත් එය පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කර ගැනීම තුළින් යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගත හැකිය. පුද්ගලයාගේ ආවේගයන් සිත නොසන්සුන් කරවන කෙලෙස් ආදිය පාලනය කර ගැනීම තුළින් මානසික රෝග නිවාරණය කළ හැකි අතර ඒ සඳහා සතිපට්ඨාන භාවනාව වැඞීම උපකාරී වේ.

ලෝකයේ යථාර්ථ ධර්මතාවන් පිළිබඳව අවධියකින් පසුවීම සතිපට්ඨාන නම් වේ. එනම් මනාව සිහිය පිහිටුවා ගැනීමයි. ප‍්‍රශංසාවෙන් හෝ ගර්හාවෙන් තොරව පුද්ගලයා තුළ කි‍්‍රයාත්මක කායික, මානසික ස්වභාවය පිළිබඳව අවධියෙන් පසු වීම තුළින් කායික, මානසික සමබරතාවයක් ඇති කර ගත හැකිය. ඒ සඳහා සතිපට්ඨාන සූත‍්‍රයේ ප‍්‍රධාන භාවනා ක‍්‍රම 4ක් දක්වා තිබේ. එනම්

  1. කායානුපස්සනාව
  2. වේදනානුපස්සනා
  3. චිත්තානුපස්සනා
  4. ධම්මානුපස්සනා

කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව යන භාවනා ක‍්‍රම තුන පුද්ගලයාට එදිනෙදා ජීවිතයේදී යම් යම් මානසික ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා උපයෝගි කරගත හැකිය. ධම්මානුපස්සනාවට අරමුණු වනු ලබන්නේ විදර්ශනාවයි. මෙම භාවනා ක‍්‍රමවේදයන් මානසිකව රෝග නිවාරණය සඳහා උපකාරි කරගත හැකිය.

කායානුපස්සනාවේදී සිදු කරනු ලබන්නේ පුද්ගල ශරීරාංග පිළිබඳව යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට මග පෙන්වනු ලැබීමයි. මෙහිදී කායික සිහිය වර්ධනය කර ගැනීම සඳහා උපාය මාර්ග 5ක් ඇති බව සඳහන් වේ. එනම්

සිහියෙන් යුතුව ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම

සතර ඉරියව් සිහියෙන් යුතුව පැවැත්වීම

සෑම කි‍්‍රයාවකදීම සිහි නුවණින් යුක්ත වීම

දෙතිස් කුණප කොට්ඨාසයන්ගෙන් ශරීරය සෑදී ඇති අන්දම සිහි නුවණින් දැකීම

මරණින් පසු ශරීරය අවස්ථා නවයකදී විවිධ විපර්යාසයන්ට ලක්වන අයුරු සිහි නුවණින් දැකීම

සිහි නුවණින් යුක්තව ආශ්වාස ප‍්‍රාශ්වාස (ආනාපානාසතිය) වැඞීම තුළින් සිත සමාධිය කරා යොමු වන අතර අපගාමී මානසික ගති ලක්ෂණ තුරන් වී යයි. සතර ඉරියව් සිහි කල්පනාවෙන් යුතුව පවත්වාගෙන යෑම තුළින් සිත රෝගී වීම වළක්වාගත හැකි වේ. සෑම විටම පුද්ගලයා සිහි නුවණින් සිටීම තුළින් මානසික දුබලතා තමන් තුළ ක‍්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ ඇහිරී යයි. පුද්ගලයා ලෞකික ජීවිතයක් ගත කිරීමේදී පුද්ගල අන්තර සබඳතාවන් ද වැදගත් වේ. එහිදී ද මනා සිහි නුවණින් යුතුව කටයුතු නොකළහොත් එම සබඳතා බිඳ වැටීමට හැකියාව තිබේ. එමනිසා පුද්ගල අන්තර් සබඳතා පැවැත්වීමේදී සිතුවිලි, ආවේග, සංකල්ප, මතිමතාන්තර අදහස් කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳව මනා සිහියෙන් යුක්ත කටයුතු කිරීම වැදගත් වේ. අතීතය හා අනාගතය පිළිබඳව සිත යෙදවීම මානසික රෝග ඇති වීමට ඉඩකඩ සලසන අතර වර්තමානයේ කටයුතු කිරීම එයින් මිදීමට උපකාරී වේ. එමනිසා බුදු සමය අවධාරණය කරනු ලබන වර්තමානයේ පැවතීම හෙවත් අවධිකම වැදගත් කොට සලකයි. එනම් පුද්ගලයා නිරතුරුව සිහි නුවණින් යුක්ත විය යුතුය. එවිට තමන් පිළිබඳව තමාටම මනා අවබෝධයක් ලබාගත හැකිය. තමාගේ කායික, වාචසික, මානසික කි‍්‍රයාවල ස්වභාවය අවබෝධ කොට ගත හැකි වන්නේ එවිටය. එමගින් අකුසල මූලයන් පෙරදැරි කර ගනිමින් සිදු කරනු ලබන අකුසල කි‍්‍රයාවන්ට සිත නොයෙදවන අතර පුද්ගලයාගේ මානසික නිරෝගිභාවයට හේතු වේ.

සුඛ දුක්ඛ යනාදී අරමුණු හේතු කොට ගෙන පුද්ගලයා තුළ පහළ වන ඒ ඒ වේදනාවන් පිළිබඳව සියුම් ලෙස කල්පනාකාරී විය යුතු බව වේදනානුපස්සනාවෙන් පැහැදිලි කෙරේ. තමා ජීවත් වන පරිසරයේ පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව යථාවබෝධය තුළින් මානසික සතුට මානසික සහනය අත් කර ගැනීමට වේදනානුපස්සනාව ද උපකාරී වේ. පුද්ගලයා තුළ ඇතිවනු ලබන සිතුවිලි රාග සහිත ද ද්වේශ සහිත ද යනාදී වශයෙන් හඳුනා ගැනීම චිත්තානුපස්සනාව නම් වේ. මානසික ගති ස්වභාවයන් දහසක් පිළිබඳව සතිපට්ඨාන සූත‍්‍රයේ දක්වා තිබේ. බෞද්ධ මනෝචිකිත්සාවේදී සිත දෙයාකාරයකට වර්ග කරනු ලැබේ. එනම්

සම්පජාන හෙවත් පෙනෙන සිත්
අසම්පජාන හෙවත් නොපෙනෙන සිත්

මෙම සිත් වර්ග දෙක පවතිනුයේ මතකය පදනම් කරගනිමිනි. එම නිසා අසම්පජාන සිත් දැකීමට සැලැස්වීමෙන් රෝගියාගේ මනසෙහි යටපත් වී ඇති මතකයන් ඉස්මතු කර ගැනීමට හැකි වේ. පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයේදී තමන් තුළ ඒ ඒ අවස්ථාවන්හීදී හටගනු ලබන සිතුවිලි පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමෙන් පාපී සිතුවිලිවලට යොමු වීමෙන් වැළකී සිටීමට හැකි වේ. ඒ තුළින් අපගාමී චර්යාවන්ගෙන් මිදී යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

සතිපට්ඨාන භාවනාවේ ගැඹුරුතම භාවනා ක‍්‍රමය වශයෙන් ධම්මානුපස්සනාව සඳහන් කළ හැකිය. සිතේ හටගනු ලබන ධර්මතා කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිදී සිදු කෙරේ. ඒ අනුව චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සප්ත බොජ්ඣංග ධර්ම, දස සංයෝජන, පංච නීවරණ, පංචස්කන්ධය ආදී ධර්මතා තුළින් රෝගය ඇති වීමට හේතු වූ රෝග කාරකය හෙවත් ක්ලේශ ධර්මයන් පිළිබඳව රෝගියාට දැකීමට හා දැන ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව උදාහරණයක් වශයෙන් පුද්ගලයාට ක්‍රෝධයක් ඇති වූ විට තමා තුළ ක්‍රෝධයක් ඇති වී ඇතැයි යනාදී වශයෙන් සිහිය ඇති වේ. එනම් ක්‍රෝධය ක්‍රෝධය වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව පුද්ගලයාට ලැබේ. මේ අයුරින් සතිපට්ඨාන භාවනා ක‍්‍රමය ද පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය යහපත් අයුරින් පවත්වා ගැනීම පිණිස උපකාරී වන භාවනා ක‍්‍රමයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

සාරාංශය

බෞද්ධ ඉගැන්වීම් අනුව සියලූ ධර්මයන්ට මූලික වන්නේ සිතයි. සිත පිහිටා ඇත්තේ මිනිසා තුළ වුවත් සිත කි‍්‍රයා කරන්නේ මිනිසාට අවශ්‍ය පරිදි නොව එහෙත් සිතෙහි ස්වාමියා එය අයත් මිනිසා බැවින් තමාට අවශ්‍ය පරිදි සිත හික්මවා ගැනීමට මිනිසා සමත් විය යුතුය. සිත හික්මවා ගැනීමේ මාර්ගය ලෙසට බුදු දහම විසින් නිර්දේශ කරනු ලබන්නේ භාවනාවයි. භාවනාව හරහා පුද්ගලයාට ලබාදෙන මානසික බලපෑම අතිමහත්ය. භාවනාව යනු පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට පමණක් නොව කායික හා සමාජීය අංශයට ද බලපාන බෞද්ධ උපදේශන ක‍්‍රමයකි. භාවනාවෙන් සිත සංවර වන විට කයත්, වචනයත් සංවර වෙයි. මානසික යහපැවැත්ම මෙන්ම භාවනාව තුළින් සමස්ත පුද්ගලයාගේම යහපැවැත්ම අපට ලබාගත හැකිය. පුද්ගලයාගේ සංවරය ඇති කිරීම භාවනාවේ අපේක්ෂාවයි.

මුදල් ඉපයිමත්, ඉඳුරන් පිනවීමත් පරම ජීවිත පරමාර්ථය කරගත් වර්තමාන සමාජයට බෞද්ධ භාවනා ක‍්‍රමයේ අවශ්‍යතාවය වඩාත් දැඩි ලෙසට දැනෙන්න පටන් ගෙන තිබේ. වස්තු තණ්හාව, බළකාමය, අතෘප්තිකර ආශාවන් නිසා වැනසී ගොස් ඇති වර්තමාන මිනිසාගේ මානසික සෞඛ්‍ය පිරිහී ගොස් ඇති අතර යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීමට භාවනාව වැනි යථාර්ථවාදී මානසික සහනශීලී මාර්ගයක පිහිට අත්‍යවශ්‍ය වී තිබේ. බුදු දහමට අනුව භාවනාව උපරිම මට්ටම දක්වා ප‍්‍රගුණ කිරීමෙන් සත්තිස් බෝධි පාක්ෂික ධර්මය වර්ධනය කර ගෙන ලෝකෝත්තර සුවය ළඟා කරගත හැකිය. එමෙන්ම ඒ කෙළවර දක්වා ගමන් කිරීමට අසමත් වුව ද භාවනා කිරීම තුළින් සිත සන්සුන් කර ගැනීමෙන් ලෞකික වශයෙන් මානසික හා කායික සුවය ලබාගත හැකිය. වර්තමානයේදී පෙරදිග රටවලටත් වඩා බටහිර රටවල භාවනා ක‍්‍රම ජනපි‍්‍රය වී ඇත්තේ එබඳු රටවල බොහෝ පිරිස් සහනය සොයා පෙරදිග බෞද්ධ රටවල් කරා ඇදී එන්නේත් බෞද්ධ භාවනා ක‍්‍රමයේ අගය දන්නා නිසාවෙනි.

වර්තමානයේ මිල මුදල් පසුපස හඹා යන සමාජය තුළ පංචේන්ද්‍රියන් පිනවමින් සිටින සමාජය තුළ මිනිසා මානසික අසහනයෙන් පෙළෙයි. බොහෝ මිනිසුන් මානසික රෝගවලට ගොදුරු වී ඇත. වර්තමාන මිනිසාට මානසික ආතතිය පාලනය කර ගැනීමේදී අනුගමනය කළ හැකි සුවිශේෂම බෞද්ධ උපදේශන ක‍්‍රමවේදය භාවනාවයි. පුද්ගලයාගේ මානසික සංවර්ධනය හෙවත් මානසික ශික්ෂණය යන අර්ථය ඉක්මවා ගොස් පුද්ගලයාගේ දෛනික ජීවිතයේ සෑම කටයුත්තක්ම සාර්ථකව සිදු කර ගැනීමට භාවනාව උපයෝගී කරගත හැකිය. එමෙන්ම අංග සම්පූර්ණ යහපත් පෞරුෂයක් ඇති කර ගැනීමට භාවනාව උපයෝගී කරගත හැකිය. බෞද්ධ භාවනාවෙන් අකුසල් මුල් වැසී යෑමෙන් පුද්ගලයා මුහුණපාන මානසික හා සමාජ ගැටලූ නිරාකරණය කරගත හැකිය. මීට අමතරව බොහෝ දුරට පුද්ගලයාට මානසික රෝග හා ආතතිය ඇති වන්නේ රාගය, තෘෂ්ණාව, ක්‍රෝධය, වෛරය, ද්වේශය, පංචනීවරණ ධර්ම නිසාය. මෙම කෙලෙස් ප‍්‍රහීන කොට යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනඟා ගැනීමට භාවනාව උපයෝගී වේ.

සමාධිය දියුණු කර ගැනීමට ප‍්‍රඥාව වැඞීමට යහපත් චේතනාවන් ඇති කර ගැනීමට භාවනාවෙන් හැකිය. එක අරමුණක සිත පිහිටුවා ගැනීම පුද්ගලයාගේ ජීවිතයේ සෑම කාර්යක්ම සාර්ථකත්වයට හේතු වේ. වර්තමාන ලෝකයේ සකලවිධ අපචාරයන්ට හේතු වී ඇත්තේ මිනිසාගේ විසිරුණු සිතයි. විපරිත මනස මානසික අසහනය උපදවයි. මිනිසා නොමඟට යොමු වන්නේ විපරිත මනස හේතුවෙනි. එය මෝහයයි. මෝහය යටපත් කොට ප‍්‍රඥාව ළඟා කරගත හැකි හොඳම මග භාවනාවයි. මිනිසාගේ සිත භාවනාවෙන් සමාධිගත වීම පෞද්ගලික මෙන්ම සමාජ සුභ සිද්ධියටත් එකසේ ඉවහල් වෙයි. ගැටුම් නිරකරණය යනු නූතන ලෝකයේ ප‍්‍රධාන මාතෘකාවකි. ලෝකයේ ත‍්‍රස්තවාදී හා නොයෙකුත් ගැටුම් ඇති වන්නේ මිනිස් සිත පාලනය කරගත නොහැකි වීම නිසාය. සිත පාලනය කරගත් විට කායික, වාචසික සියලූ වැරදි පාලනය වෙයි. ඊට හොඳම මාර්ගය භාවනාවයි. ශීල, සමාධි, ප‍්‍රඥා ශීර්ෂයෙන් බුදු දහම ඉදිරිපත් කරන භාවනා ක‍්‍රමය පුද්ගලයාගේ කායික, මානසික, සමාජීය යන අංශ තුනම සංවර්ධනයට යෝග්‍ය වේ. අසහනකාරී තරගකාරී සමාජයක ජීවත් වන නූතන මිනිසාගේ මානසික යහපැවැත්මට බෞද්ධ භාවනා ක‍්‍රමය අත්‍යවශ්‍ය වේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

අමරකොන්, සුරංග, (2003), මානසික සුවය, වේයන්ගොඩ, කර්තෘ ප‍්‍රකාශන.

ආරිය ධම්ම හිමි, නා උයනේ, (2000), සමථ භාවනාව, (ලිපි), නිවන් මග- 29 කලාපය, ශ‍්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, කොළඹ.

ඤාණාභිවංස හිමි, වැල්ලවත්තේ, (2000), භාවනා ක‍්‍රම, (ලිපි), නිවන් මග- 29 කලාපය, කොළඹ, ශ‍්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව.

පේ‍්‍රමානන්ද හිමි, උණපාත, (2013), මානසික ආතතිය පාලනයට බෞද්ධ උපදේශනය, කොළඹ, එස්. ගොඩගේ සමාගම.

ශේඛර හිමි, කලල් ඇල්ලේ, (2000), මානසික රෝග සඳහා බෞද්ධ ප‍්‍රතිකාර, (ලිපි), නිවන් මඟ- 29 කලාපය, කොළඹ, ශ‍්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව.

සද්ධාජීව හිමි, ඇත්කඳවක, (2004), ආතති කළමනාකරණය, නුගේගොඩ, කර්තෘ ප‍්‍රකාශන.

සෝරත හිමි, පූජ්‍ය අලූත්වැව, (2000), මානසික ශික්ෂණය උදෙසා බෞද්ධ භාවනා, (ලිපි), නිවන් මඟ-29 කලාපය, කොළඹ, ශ‍්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව.

කේ. ජී. හර්ෂණී එරන්දිකා කුමාරි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ශාස්ත‍්‍ර පීඨය

advertistmentadvertistment
advertistmentadvertistment