භාවනාව සක්කායදිට්ඨියට හොඳ ආහාරයක්

105

පිංවත සද්ධර්මයේ ඇසෙන් ලෝකය දෙස දකිද්දී, ලෝකය හරිම පහසුයි, ලෝකය හරිම සරළයි. පිංවත සද්ධර්මයේ මුදුන් මුල වෙන්නේ සප්තබොජ්ජංග ධර්මයෝ. පිංවත අධර්මයේ මුදුන් මුල වෙන්නේ පංචනීවරණ ධර්මයෝමයි. යම් ජීවිතයක කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව තිබෙනවා නම්, ඒ ජීවිතය අවිද්‍යාව දිශාවටම නැමුණු, අධර්මයටම බරවුණු ජීවිතයක්. යම් ජීවිතයක් දුක කෙරෙහි, දුකට හේතුව තෘෂ්ණාව කෙරෙහි, සතිය සිහිය ඇතිකොටගත් ජීවිතයක් නම් එම ජීවිතය ආර්ය අශ්ඨාංගික මාර්ගයට නැමුණු සප්තබොජ්ජංගයන් වැඩෙන නිවන් මාර්ගයට බරවුණු ජීවිතයක්ම වෙනවා. පිංවත අපි ජීවත්වෙන සමාජයේ වගකීම් දරන හුඟාක් දෙනකුගේ ජීවිත, කාමච්ඡන්ද ආදී වූ පංචනීවරණයන්ගෙන්ම බරවූ ජීවිත නේද. පිංවත අපේ සමාජය ඉදිරියට යන දිශාව හොඳටෝම පැහැදිලියි. අවිද්‍යාවේ වැරහැලි, සංස්කාරයන්ට අන්දවා, පංචඋපාදානස්කන්ධ ලෝකයේ අධර්මයේ සංදර්ශන පෙන්වන අපි, තවදුරටත් සමාජයේ සිදුවන වැරදිවලට බැනලා වැඩක් නැහැ. පංචනීවරණයන්ට පුළුවන් තවදුරටත් කාමච්ඡන්ද, ථීනමිද්ධ, ව්‍යාපාද, විසිරුණු සිතුවිලි, විචිකිච්චාව, ලොකු මහත් කරන්න පමණක්මයි. පිංවත පංචනීවරණයෝ ඊට අදාළ හැසිරීම් තුළ පමණක්මයි කටයුතු කරන්නේ. පිංවත ඔබට මේ අධර්මයෙන් ජරා ජීරණයවූ සමාජයේ යහපත් වෙනසක් අවශ්‍ය නම්, පංචනීවරණ ජන්ම ගතිවලට තවදුරටත් චෝදනා නොකර, සති සම්බොජ්ජංගයෙන් පෝෂණයවූ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට නැමුණු, ජීවිතයක් බවට ඔබගේ ජීවිතය පත්කොට ගන්න.

පිංවත ඔබට මෙලොව හෝ පරලොව සැපය අවශ්‍ය නම්, පිංවත ඔබට ලෞකික හෝ ලෝකෝත්තර සැපය අවශ්‍ය නම්, ඉහත සැපයන් ඔබට ලබාදෙන්න පුළුවන් සප්තබොජ්ජංග ධර්මයෝ වැඩුණු ජීවිතවලට පමණක්මයි. පිංවත ඔබත් සමාජ වගකීම් දරන නායකයෙක් නම්, තවදුරටත් ඔබගේ නායකත්වය අකුසලයෙන් දූෂණය කරන, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්චාව කියන පංචනීවරණ ධර්මයෝ නිවැරදිව හඳුනාගන්න. පිංවත භික්ෂුව පංචනීවරණයන් නිවැරදිව හඳුනගන්න යැයි සටහන් තැබුවත්, පංචනීවරණයෝ කෙසේ නම් පංචනීවරණයෝ හඳුනාගන්නද. අපි ජීවත්වෙන සමාජය දවසින් දවස අරාජිකභාවයෙන්ම පෙරට ගමන් කරන්නේ, පංචනීවරණයෝ, පංචනීවරණයන්ට හඳුනාගන්න නොහැකි නිසාමයි. පිංවත පංචනීවරණ යම් තැනකද එතැන තමාටත්, අනුනටත්, දුකටමයි පාර කියන්නේ. ජාති, ජරා, ව්‍යාධි දුකට හේතුව තෘෂ්ණාව යැයි නොදන්නා අවිද්‍යාවට, ජවය, ජීවය දෙන්නේ පංචනීවරණ ධර්මයෝමයි. පිංවත අපේ පංචනීවරණ පිරුණු ජීවිත යළි යහමගට ගැනීමට අවශ්‍ය නම්,

සප්තබොජ්ජංගයන් වඩන නායකයන් සමාජයට අවශ්‍යයි. මේ අතොරක් නැතිව සමාජගතවෙන ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි, අඹමල් රේණුවක තරම්වත් නුවණක් නැති ඇත්තෝ, අපිට කෙසේ නම් සැබෑ ලෞකික හෝ ලෝකෝත්තර සැපයන් ලබාදෙන්නද. පිංවත ඔබ ජීවත්වෙන බංකොළොත්, ණයකාර සමාජයට, වහ වහා විප්ලවීය වෙනසක් අවශ්‍යයි. ඔබ නොදකින රැඩිකල්වාදී වෙනසක් අවශ්‍යයි. එම විපලවීය වෙනස විය යුත්තේ, පංචනීවරණ රජකරන සමාජ නායකත්වය වෙනුවට, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි දන්නා, සති සම්බොජ්ජංගයෙන් පෝෂණය වූ, ධර්මවිජය බොජ්ජංගයට නැමුණු, සප්තබොජ්ජංගයන් පුහුණුකරන සමාජ නායකයන්ට වගකීම් පැවරීමයි. පිංවත තවදුරටත් අධර්මයේ නොමඟ වැඩෙන බොරු දේවල් කරමින් සිටින්නේ නැතුව, සමාජයේ ජීවත්වෙන චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි සිහිනුවණ ඇති, පිංවත් මනුෂ්‍යයෝ මේ විප්ලවීය වෙනසට සමගියෙන් අත්වැල් අල්ලා ගන්න. වැරදිකරන පංචනීවරණ ජීවිතවලට තවදුරටත් චෝදනා කරලා පවු පුරවාගන්නේ නැතිව, හේතුඵල ධර්මයන් තුළින් ඔබ ජීවත්වෙන සමාජය දකින්න. පිංවත තෘෂ්ණාව වැඩි තැන දුක රජවෙනවා.

පිංවත තෘෂ්ණාව අවම වූ තැන, ශෝක පරිදේව දුක අවම වෙලා, සැපය කළ එළි බහිනවා. සමාජය තුළ ඔඩුදුවන ශෝක පරිදේව දුක යම් පමණකට හෝ යටපත් කොට යළි ලෞකික සැපය ඔබට අවශ්‍ය නම්, තෘෂ්ණාව අඩු පිරිසක් අපේ නායකයෝ හැටියට කළ එළි බහින්නම වෙනවා.

පිංවත් මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමින් වහන්ස අනිත්‍ය සංඥාව වැඩීමේදී සියල්ලම එපා වෙන්නේ ඇයි කියලා. පිංවත අනිත්‍ය සංඥාව වැඩීමේදී ඔබට සියල්ලම එපා වෙන්නේ, පිංවත් ඔබ තුළ සියල්ලම එපා වෙනවා යැයි, සකස්වෙන සිතුවිලි අනිත්‍ය වශයෙන් චිත්තානුපස්සනාවෙන් නොදකින නිසාමයි. පිංවත මෙය සටහන් තබන භික්ෂුවට නම් කිසිම දෙයක් එපාවෙලා නැහැ. භික්ෂුව කිසිම දෙයක් යැයි සටහන් තැබුවේ අධ්‍යාත්මික සහ බාහිර පංචඋපාදානස්කන්ධ ධර්මයෝමයි, භික්ෂුවගේ හැට වයස් පිරුණු අධ්‍යාත්මික රූපය දැන් ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් වෙලයි තිබෙන්නේ, ඒත් භික්ෂුවට රූපය එපාවෙලා නම් නැහැ. භික්ෂුව අධ්‍යාත්මික සහ බාහිර රූපයන් දෙස ධර්මයේ උපේක්ෂාවෙන්මයි දකින්නේ. අවිද්‍යා පච්චයා සංඛාරා, පිංවත අපි දක්ෂවිය යුතුයි. ජීවිතය එපාවීම වෙනුවට, ජීවිතය එපාවීමට හේතුව දකින්න. පිංවත ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය ඔබ අවිද්‍යාවෙන් ගත්තොත්, ඔබ නිරෝධයට ඇලිලා, ඔබ ජීවත්වීමට ගැටෙනවා. පිංවත මේ තැන විදර්ශනාවේ බොහෝම ළදරු අංගවිකල ස්වභාවයක්. මෙවැනි විදර්ශනාවේ නොමේරුකම්වලදී ඔබ දක්ෂවිය යුතුයි, අනිත්‍ය සංඥාව වැඩීමට පෙරාතුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය ජීවිතයට එකතුකොට ගැනීමට. පිංවත ජීවිතය කියලා කියන්නේ අවිද්‍යාව හේතුවෙන් ඉපදුනාවූ ධර්මතාවයක්. පිංවත් ඔබට ජීවිතය එපා නම්, ජීවිතය නොවේ ඔබේ ඉලක්කය විය යුත්තේ අවිද්‍යාවයි. පිංවත අවිද්‍යාව නිරෝධය කරන මාර්ගය උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මිස, මිච්චා කලකිරීමෙන් ජීවිතයෙන් හෝ ධර්මයෙන් පලායෑම නොවේ.

පිංවත භාවනාවේදී පටිච්චසමුප්පාද ධර්මයෝ ඔබට මගහැරුනොත්, ඔබේ භාවනාව සක්කායදිට්ඨියට හොඳ ආහාරයක් වෙනවා. සක්කායදිට්ඨිය භාවනාවට ආහාරයක් වෙද්දී තමන් පුහුණුකරන භාවනාව මමය, මගේය, මගේ ආත්මය යැයි ගන්නවා. භාවනාව තුළ මා සිටිනවා, මා තුළ භාවනාව තිබෙනවා යැයි ගන්නවා. නෙක්ඛම්ම සංකප්පය වඳබැහැපු මෙවන් භාවනාවන් හේතුවෙන්, මානසික ව්‍යාධීන් උත්සන්න වෙන්න පුළුවන්. පිංවත වේදනානුපස්සනාවෙන් තොරව වැඩෙන අපේ භාවනාව, අපිව ඇලීම් සහ ගැටීම්වල සිරකරුවන් බවට පත්කරනවා. පිංවත චිත්තානුපස්සනාවෙන් තොරව වැඩෙන අපේ භාවනාව අපිව, විතර්කයන්ගේ සිරකරුවන් බවට පත්කරනවා. පිංවත ධම්මානුපස්සනාවෙන් තොරව වැඩෙන අපේ භාවනාව අපිව ධර්මතාවයන්ගේ සිරකරුවන් බවට පත්කරනවා. පිංවත පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ බැසගත්ත අවිද්‍යාවේ සිරකාර මානසිකත්වයෙන් ඔබව ගලවා දෙන්නේ සතරසතිපට්ඨාන ධර්මයෝමයි. පිංවත ඔබ නිවන කෙරෙහි ඇලීමත්, භවය කෙරෙහි බැඳීමක්ම වෙනවා. ඵස්සය සෙවනේ සැඟවුණ අවිද්‍යාවේ මාරධර්මයෝ, විඳීම් විකසිත කරන්නේ උපේක්ෂාව අපෙන් සඟවලා. පිංවත ඔබ නිවන කෙරෙහි චන්දය ඇතිකොටගත් පිංවතෙක් නම්, ඔබ නිවනට ඇලිලා, භවයට ගැටෙන්න එපා. උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයත්, හේතුඵල ධර්මයක් හැටියටම දකින්න. අවිද්‍යා නිරෝධා, ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ, එම ධර්මථාවයත් අනිත්‍යවූ ධර්මතාවයක් යැයි, ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කොටගන්න. පිංවත ඵස්සයේ අවිද්‍යාවෙන් සිත නිදහස් කොටගන්න. එතැනයි ආශ්වාදයත්, ආදීනවයත්, මරාදැමූ සැබෑ නිස්සරණය තිබෙන්නේ. පිංවත නිස්සරණය කියන්නේ ජයග්‍රහණයක් නොවේ. නිස්සරණය කියන්නේ හේතුඵල ධර්මයක්. ඔබ නිස්සරණය ජයග්‍රහණයක් කොටගත්තොත්, නිස්සරණයේ නාමයෙන් ඔබ රැවටී තිබෙන්නේ ආශ්වාදයටමයි. පිංවත අවිද්‍යාවේ මාර ධර්මයෝ, තෘෂ්ණාවේ අත්දැකීම්වලින් බොහෝම ගොරහැඬියි. ඒ නිසාම සිතුවිල්ලෙන්, සිතුවිල්ල, හොඳින් සිහිය පිහිටුවා ගන්න ඕනේ.

පිංවත පංචනීවරණ මන්දාරම අපේ ජීවිත අඳුරු කරද්දී, තොරතෝංචියක් නැතිව කෙලෙස් වැසි වසිනවා. පිංවත කෙලෙස් වැසිවලට තෙමෙන්නට අපි මොනතරම් නම් කැමතිද. ඵස්සයේ වළාකුළුවලට ඇඟිල්ලෙන් ඇනලා හරි, කෙලෙස් වැසි වස්සවා ගන්න අපි, හරිම දක්ෂයි. ආශ්වාදය මැදින් ආදීනවයම සොයාගෙන යන අපි, අපේ නිස්සරණය කෙලෙස් වැසිවලින්ම සේදී යන්න හරිනවා. පිංවත අපි නොදකින, එහෙත් අපි තුළම සකස්වෙන අධිකරණයක් තිබෙනවා. ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, මේ අධිකරණයේ ජූරි සභිකයන් වෙනවා. පිංවත සෑම නිමේෂයකදීම අපිව විනිශ්චයට ලක්වෙනවා. අපි තුළ සකස්වෙන සෑම සිතුවිල්ලක් පාසාම, සංස්කාර අධිකරණය, අපිට දැනීම් තුළින් දඬුවම් නියම කරනවා. පිංවත අපේ පියවි ඇසට නොපෙනෙන අරූපී ධර්මතාවයෝ අපිව විනිශ්චයට ලක් කරද්දී, අපි තවමත් මේ කාවද රවට්ටන්නේ. පිංවත අපි රැවටෙනවා මදිවාට අපි අනුන්වත් රවට්ටනවා. පිංවත අපේ අතීත පංචඋපාදානස්කන්ධ ලෝකය, දිගින්, පළලින්, උසින්, ගැඹුරින්, මේ පරක් තෙරක් නොපෙනෙන විශ්වය තරමටම විශාලයි. ඒ අවිද්‍යාවේ සුවිශාලත්වයට මුල් වූ හේතුව වචන කිහිපයකට කැටිකොට කියනවා නම්, භික්ෂුව කියන්නේ තමා තමාව රවටාගැනීම කියලාමයි. පිංවත තවදුරටත් තමා තමාව රවට්ටවා ගන්න එපා. කෙලෙස් මඩගොහොරුවක හටගෙන, මඩෙහි නොතැවරී, ලෝකයට විකසිතවෙන පියුමක් වෙන්න. උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා විමුක්තිය දක්වා දසපියවර සිහිනුවණින් තබන්න.

පිංවත අවිද්‍යාව කෙරෙහි ලැජ්ජාව භිය ඇතිකොටගන්න. අවිද්‍යාවට මුල්වෙන පංචනීවරණයෝ සතුරෙක් නොව, හේතුඵල ධර්මයක් හැටියට දකින්න. තවදුරටත් රූපය සතුටින් පිළිගන්න එපා. රූපය අවිද්‍යාවටම භාරදෙන්න. එවිට ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් ඉදිරියේ අපි අසිහියට පත්වෙන්නේ නැහැ. පිංවත අතීත සංස්කාර ඉදිරියේ ඔබ නෝන්ජල් වුණොත්, පින සහ පව යන දෙකම ඔබව පාලනය කරන්න පුළුවන්. පිංවත පින ඔබව පාලනය කළොත් ඇසූ පිරූභාවයන් වගේම, මහේශාඛ්‍යභාවයන්, ඔබේ විඳීම් සමඟ ඔබව මුළාවට පත්කරන්න පුළුවන්. පිංවත පිනේ මල් වැසිවලට අසිහියෙන් තෙමෙන්න එපා. පිනේ මල් වැසිවලට අපේ ඇඳුම් තෙත බරිත නොවුණත්, අපේ විඳීම් ඉදිරියේ නෙක්ඛම්මය වාෂ්පවෙලා යන්න පුළුවන්. පිංවත පිංවතුන්ලා දසදහස් ගණනක් මැදදි වුවද, ඔබ තනිවන්න, ඔබ හුදකලා, වෙන්න. තෘෂ්ණාව දෙවැනියෙක් කොට, ඔබ ළඟට ගන්න එපා. පිංවත තනි යහනේ, තනිව නිදන ඔබ, තෘෂ්ණාවේ දෙවැනියෙක් ළඟට ගත්තොත්, ඔබ ලෝකයත් සමගම නිදන්නෙක් වෙනවා.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment