භාෂා හතරකින් පොත් ලියූ මහා ලේඛකයා

273

‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත‘ යන ආප්තෝපදේශය කලාතුරකින් නමුත් බොරු කරන ශ්‍රෙෂ්ඨ වීර පුත්‍රයෝ ලොවැ පහළ වෙති. ඒ අය අතරින් අප අද සිහි කරන පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද එක් තැනැත්තෙකි. සිංහල පත්‍ර කලාවට අමුතුම ආලෝකයක් ගෙන දුන් ලේඛකයන් අතළොස්ස අතර උන්වහන්සේට ලැබෙන තැන ද වෙන කිසිවකුට නොදෙවැනි වන තැනෙකි. කාලෝචිත මාතෘකා අනුව උන්වහන්සේ සිංහල හා ඉංග්‍රීසි පුවත්පත්වලට ලියන ලද ලිපි ජනප්‍රිය වුයේ පිරුවන් අධ්‍යාපනයක් නොලත් බැවින් යැයි සිතීමට තුඩු දෙන කරුණු කීපයක්, ඔබගේ ලිපි ලේඛන ගැන කරුණු සොයා බැලූ අපට හමුවී තිබේ. ඉන් පළමු වැන්න වශයෙන් දැක්විය හැක්කේ බුද්ධදත්ත මහා නාහිමියන්ගේ භාෂාවයි. මේ මහා ලේඛකයා පුවත්පත්වලට මෙන්ම ග්‍රන්ථකරණයට ද උපයෝගී කරගත් භාෂාව අකුරටම ජනබස විය. කිව යුත්ත එක එල්ලේ ඉතා කෙටියෙන් හා අවුල් රහිතවම ලියූහ. තමාටම ආවේණික වූ බස් ආරකින් හා වියරණයකින් කිසිවකුගේ රුවුම් ගෙරුවුම්වලට නොබා ලියූහ. කිවයුත්ත කියූහ. ස්වාධීනවම සිතූහ. අභීතව ම ලියූහ. සිංහල, පාලි, බුරුම හා ඉංග්‍රීසි යන භාෂා හතරින්ම පොත් ලියූහ.

බුරුම ග්‍රන්ථ

1908 දී බුරුම රටේ සිටියදී මුන්වහන්සේගේ පළමුවන පොත බුරුම බසින්ම ලිවීම පුදුම උපදවන සිද්ධියෙකි. ලාංකිකයකු බුරුමයට ගොස් අවුරුදු දෙක තුනක් ඇතුළත බුරුම බස හදාරා එහිදී පැවැත්වූ උසස්ම විභාගයෙන් ප්‍රථමයා ලෙසට සමර්ථ වී බුරුම බසින්ම “පාලි හා සප්පවෙසිනි” නම් පොතක් ලිවීම මුළු ලංකාවටම ආඩම්බර වීමට කරුණෙකි. මේ පොත පිටු 74 කට සිමාවන කුඩා එකක් වන නමුදු අද ද එය රැංගුන් නුවර සබුමින්ෂ් නම් යන්ත්‍රාලය මගින් නැවත නැවත මුද්‍රණය කරනු ලැබේ. එම අවුරුද්දේ උන්වහන්සේ ලියූ සාරත්ට ලක්ඛණ අභිධානය, පාලි නිඝණ්ඩුවේ බුරුම ඉංග්‍රීසි අර්ථ සහිත රෝයල් පිටු 335 ක ග්‍රන්ථයකි. බුද්ධඝොසුප්පත්ති යන පාලි ග්‍රන්ථයට එම අවුරුද්දේදීම බුරුම සන්නයක් ලිවීම ද ලේඛකයකුගේ දුර්ලභ කුසලතාවයෙකි. මේ පොත් තුනම ලියන විට උන්වහන්සේ යන්තම් 20 වන වියට පා තැබුවා පමණෙකි.

භාෂා හතරකින් පොත් ලියූ මහා ලේඛකයා

සිංහල ග්‍රන්ථ

මුන්වහන්සේගේ ප්‍රථම සිංහල ග්‍රන්ථය 1911 දී ලියූ අභිධම්මාතෘකා ස්වරූපයයි. “ ඕං තව අභිධර්ම රුසියෙක්” යන මාතෘකාවෙන් මේ ග්‍රන්ථය විවේචනය කළ ලක්මිණි පහන් කතුතුමා (1911 ජුනි 17 ලක්මිණි පත්‍රය) එයට බලවත් සේ පහර ගැසුවේය. එහෙත් ඔහුගේ ඒ පහර ගැසීම සාවi බව ඔහුට ටික කලකින් ම අවබෝධ විය. ආත්මදෘෂ්ටි ජේදනය, සත්‍ය දර්ශනය, බුද්ධ ගුණදීපනී, සත්ත්ව තත්ත්ව දර්ශනය, කල්‍යාණිවංශ නිකාය, කල්‍යාණි ශාසන වංශය, හියුංසියං භ්‍රමණ වෘත්තාන්තය, ථෙරවාදි බෞද්ධාචාර්යයෝ, භාරතීය බෞද්ධාචාර්යයෝ, සමීපාතීතයෙහි බෞද්ධාචාර්යයෝ ආදිය මුන්වහනසේ විසින් සිංහලයෙන් ලියන ලද පොත්ය. මේ එකිනෙක පොතක් ගැන විස්තරයක් ලිවීමට ගියහොත් ලිපිය දිගින් වැඩිවන නිසා පොතකින් දෙකකින් පාඨ දෙක තුනක් ඉදිරිපත් කර ඒ මගින් පොත්වල තත්ත්වය මැන ගැනීමට ඔබට භාර කරමි.

“ඉතා පැරණි බණ කතාවේ (සීහල වත්ථුවේ) කතෘවරයා ධම්මනන්දී නම් තෙර නමකැයි පරිච්ඡෙද අවසානයන්හි තිබෙන නිගමනවලින් පෙනේ. කර්තෘ නාමය හැමතැනම පැහැදිලි නමුත් එතුමන් විසූ විහාරයේ නමක්, ප්‍රදේශයේ නමක් එක් එක් පරිචෙඡදයෙහි වෙනස්ව පෙනෙන බැවින් නිශ්චයකට පැමිණිය නොහැක. නමුත් ඒ නම්වලට කිට්ටු නම් ලක්දිව නැති බැවින් මෙය ලක්දිව දී සම්පාදිතවූවක් නොවන බව කිව හැක. විහාරයේ ඇතැම් තැනක පට්ටකොට්ටි යැයි ද ඇතැම් තැනක සණ්ඩකොන්ති යැයි ද පෙනේ. උපන් ගමේ හෝ ්විසූ පෙදෙසේ නම කණ්ටකසෝල පට්ටන යැයි පෙනේ…..

මේ පොත හා පාලි පොත පළවූ පසු එයින් පිටපත් දෙකක් පුරාවිද්‍යාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට තෑගි කොට යැවීමි. ඒ මහතා ඒ පොත් දෙක පළ කරවීම ගැන ස්තුතිය පුදන අතරම, ඉතා වැදගත් කාරණයක් ද දන්වා එවීය. එය නම් “කන්ටකසොලපට්ටන” යන නම දෙවැනි ක්‍රිස්තු ශතාබ්දය පමණේදි නාගාර්ජුන මහ තෙරුන් විසූ මහා විද්‍යාලයක් හා මහා විහාරයක්ව ශ්‍රී පර්වතයෙහි තිබෙන ශිලා ලිපියෙක සඳහන් වන බවයි”……..

භාෂා හතරකින් පොත් ලියූ මහා ලේඛකයා

(ඉ.පැ. බණ කතා, පෙරවදන 4 පිටුව)

මේ පොත පළ කිරීමෙන් නාහිමියන් විසින් කරන ලද්දේ ඉතිහාසය අතින් අනුපම වූ සේවාවක් බව දැනට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ඉතිහාස මහාචාර්ය එල්ලාවල මහතා හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිරිමල් රණවැල්ල මහතාත් කියති. ඉතිහාසය පිළිබඳ මෙතෙක් වැසි ගිය කරුණු රාශියක් නාහිමියන්ගේ මේ කෘතිය නිසා එළිදරව්වන බව ද ඒ දෙපළ ප්‍රකාශ කරති.

හියුංසියංභ්‍රමණවෘත්තාන්තය නමැති පොතේ සංඥාපනයේ 7 වන පිටුවෙහි සඳහන් වන “ සිංහලයෝ ගන්ධාරයෙන් ආවෝ ද? යන ජේදය මෙතෙක් ඉතිහාසඥයන් විසින් නොදක්වන ලද අලුත් කරුණක් දක්වන තැනෙකි.

“ විජය කුමරුගේ මුල් භූමිය දඹදිව යැයි කවුරුත් පිළිගන්නා නමුත් උපන් පෙදෙස ගැන මතභේද පවතී. ඇතැම් කෙනකුන් එය පූර්ව භාරතයෙහි වංගාදි දේශය කැයි කියත්. උත්තර භාරතයේ වයඹ දෙසැ දුරස්ථ පෙදෙසකින් ඒ පිරිස ආ බවක් කිසිවකු විසින් කියන ලද දැයි නොදනිමි. පෙර ගන්ධාරයට අයත්ව පැවැති පෙදෙසකින් සිංහලයන්ගේ පැමිණීම සිදුවූයේය යන ප්‍රවෘත්තියක් අප විසින් ඉදිරිපත් කළ හැකිව තිබේ”

ඤාණාතිලෝක හිමි (ජර්මන්) තොමස් විලියම් රයිස් ඩේවිඩ්ස් මැතිනිය (ඉංග්‍රීසි) විල් හෙල්ම් ගෛගර් (ජර්මන්) ඊ.ජේ. තෝමස් (ඉංග්‍රීසි) අයි.බී. හෝනර් (ඉංග්‍රීසි) යුං චන්හපුන් බුරුම ඇටෝර්නි ජනරාල් තුමා, පෝ සෙයින් (බුරුම) පී.වී. බාපත් (ඉන්දියානු) ඩුරෝෂල් (ප්‍රංශ) ආර්. ලන්ගේ (ස්විට්සර්ලන්ත) ආදීහු බුද්ධත්ත නාහිමියන්ගේ සමකාලීන මිත්‍රයෝ වූහ. මේ එකිනෙකා අතර හුවමාරු වුණු ලිපි ලේඛන තවමත් නාහිමියන් වැඩ විසූ අග්‍රාරාමයේ සුරක්ෂිතව තිබේ. මේ අය අතුරින් බොහෝ දෙනකු ආරාමයට පැමිණ සුහද සාකච්ඡා කළ බවත් ඔවුන් හමුවීමට නාහිමියන් ඒ රටවලට වැඩම කළ බවත් ඔවුන් හමුවීමට නාහිමියන් ඒ රටවලට වැඩම කළ බවත් එහි ඇති ලේඛන සාක්ෂ්‍ය දරයි. මේ අතර විල්හෙල්ම් ගෛගර් පඬිතුමා හා නාහිමියන් අතර පැවැතියේ බලවත් සබැඳියාවෙකි. ඒ වග සමීපාතීතයෙහි බෝද්ධාචාර්යයෝ නමැති ග්‍රන්ථයේ 192 පිටුවේ මෙසේ සඳහන් වේ.

“මේ මහතා සිංහල අකුරු ලිවීමට ද පාලියෙන් ලියුම් ගැළපීමට ද සමර්ථව සිටියේය. 1928 දී මා ස්විට්සර්ලන්තයේ සිටින බව දැනගත් මේ පඬිතුමා පාලි භාෂාවෙන් ගළපා සිංහල අකුරින් ලියූ ලියුමක් ජර්මනියේ සිට මා වෙත එවීය. එතැන් පටන් නොයෙක් කරුණු සම්බන්ධයෙන් මා හා ලියුම් ගනුදෙනු කළ මේ මහතා අන්තිම වර සිංහල මහා ශබ්දකෝෂයේ වැඩට උපදෙස් දීම සඳහා ලක්දිවට පැමිණි කාලයේදී 1932 ජනවාරි 16 වැනිදා මා දැකීම සඳහා පොල්වත්තේ අග්‍රාරාමයට පැමිණියේය.

මෙහිදී මහත් ගෞරවයෙන් පිළිගනු ලැබූ මෙතුමාට, ඒ මහතා ළඟ නොතිබුණු පාලි පොත් කීපයක් ද මෙරට ගැමි අත්වලින් වියූ විශාල රටා පැදුරක් ද පරිත්‍යාග කෙළෙමි. ඒ පැදුර එරටට ඉතා වටිනා එකක් බව ඒ මහතා ප්‍රකාශ කළේය.”

අවංක ලේඛකයකු සතුව පැවතිය යුතු මහඟු ගුණධර්මයක් වූ වරද පිළිගැනීම මුන්වහන්සේ තුළ පැවැත්තේය. ඒ නිසාම උන්වහන්සේගේ ග්‍රන්ථවල සංස්කරණ කීපයක් දක්නට ලැබේ. මෙසේ අවංක ලෙස සත්‍ය හෙළි කළ සිංහල ලේඛකයන් අතර මුනිදාස කුමාරතුංග පඬිවරයාට ද ලැබෙනුයේ උසස් තැනෙකි. මේ මහා පඬිවරයන් දෙදෙනා අතර සැබැඳියාවක් තුබූ බව ඔප්පු කිරීමට සෑහෙන තරම් ලේඛන අග්‍රාරාම පුස්තකාලයේ දක්නට ඇත. එකිනෙකට වෙනස් සංස්කරණ වූ බවට මෙහි පහත සඳහන් ඡේදය සාක්ෂ්‍ය දරයි.

“සවෙනි ක්‍රිස්තු ශතාබ්දයේදී නාලන්දා විශ්වවිද්‍යාලයාධිපතිව විසූ ග්‍රන්ථකාරක ධර්මපාලාචාර්යයන්ගේ ජීවන චරිතය හියුං සියං චින මහා තෙරුන් විසින් ස්වකීය වාර්තාවන්හි ලියා තබන ලද බැවින් අපට දත හැකිව තිබේ. පාලි පොත් ලියූ ධර්මපාලාචාර්යතුමාත් ඒ මහායානික ධර්මපාල ස්ථවිරතුමා ම විය හැකි යැයි සිතූ මම මේ පොතේ ප්‍රථම මුද්‍රණයේදී ඒ චරිතය මෙහි ඇතුළු නොකොට “ භාරතීය බෞද්ධාචාර්යයෝ” නමැති පොතෙහි ඇතුළත් කෙළෙමි. නමුත් ඊට පසු පාලි අටුවා ලියූ ධර්මපාලාචාර්යයන්ට විසුද්ධිමග්ග ටීකාව ලිවීමට ආරාධනා කළ දාඨානාග මහා තෙරුන් විසූ කාලය මහාවංශයෙන් සොයාගත හැකි වූ බැවින්, ඒ චරිතය වෙන් වශයෙන් ලියා මේ දෙවැනි මුද්‍රණයට ඇතුළත් කෙළෙමි”…..

“ප්‍රථම මුද්‍රණයට ඇතුළත් කොට තිබුණු යාත්‍රාමුල්ලේ ධම්මාරාම” මහා තෙරුන්ගේ චරිතය සමීපාතීතයේ බෞද්ධාචාර්යයන් අතරට යායුතු බැවින් මේ පොතෙන් ඉවත් කෙළෙමි.” (ථෙරවාදී බෞද්ධාචාර්යවරයෝ පෙරවදන)

පාලි ග්‍රන්ථ

බුරුම රටේදී ලත් පාලි අධ්‍යාපනය හා ආනන්ද මහා විද්‍යාලයෙන් ලත් ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා බෞද්ධ ලෝකයාට බද්ධදත්ත නාහිමියන්ගෙන් කැරුණු සේවාවේ අගය කියා නිම කළ නොහැකි වේ. ප්‍රගතිශීලි අදහස්වලින් බර වූ නාහිමියෝ ගතානුගතික මිථ්‍යා මතවලට එළිපිටම පහර දුන්හ. ඒ කරුණු හා නොයෙක් වාද විවාදවලට තුඩු දෙන කරුණු පිළිබඳ පර්යේෂණ පැවැත්වූහ. අටුවා පරීක්ෂණය වූ කලී උන්වහන්සේ විසින් කරන ලද පර්යේෂණවල මහඟු ප්‍රතිඵලයෙකි. ලෝක ප්‍රකට මහා පඬිවරුන්ට අසු නුවූ දුර්බොධ තැන් නාහිමියන් නිසා ලිහිල් වී ගියේය.ගෛගර් වැනි මහා පණ්ඩිතයන්ට වැරදුණු තැන් හෙළි කිරීමට නාහිමියෝ පොත් පවා ලියූහ. සම්මොහවිනොදනි (විහඩ්ග අටුවාව) ඩිමයි පිටු 550. විනය විනිච්ඡය හා උත්තරවිනිච්ඡය (පිටු 327යි) සද්ධම්මපජ්ජොතිකා (පිටු 646) ත්‍රිපිටක සුචිය, නාමරූප පරිච්ඡෙදය, ආදී නොයෙක් පාලි පොත් ශුද්ධ කිරීමෙන් හා ඒවාට විවරණ ලිවීමෙන් හා බෞද්ධ ලෝකයාට කරන ලද සේවාව සදානුස්මරණීය වන්නේය.

ඉංග්‍රීසි ග්‍රන්ථ

ද නිව් පාලි කෝස් 1 හා 2, එයිඩ්ස් ටු පාලිකොන් වර්සේෂන්, ඇන්ඩ් ට්‍රාන්ස්ලේෂන්, ද හයර් පාලි කෝස්, සමන්තකූට වර්ණනාවේ අග පරිචෙඡදයේ ඉංග්‍රීසි පරිවර්තනය, ධම්මපදට්ඨ කතාවේ තණ්හාවග්ග ඉංග්‍රීසි පරිවර්තනය, ධම්මපදයේ ඉංග්‍රීසි පරිවර්තනය, පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂය, හා එංගලන්තයේ පාලි පොත් සමාගමයට ශුද්ධ කොට දුන් පොත් මුන්වහන්සේගේ සමථතාවය විදහා පායි.

මේසා මහත් ග්‍රන්ථ සංඛ්‍යාවක් ලියූ නාහිමියන්ගේ විවේක පුරුදු කීපයක් ද විය. මුද්දර එකතු කිරීම ඉන් පළමුවැන්නයි. ලෝකයේ නා නා රටවලින් උන්වහන්සේට ආ ලියුම් කවරවල ඇලවූ මුද්දර සුරක්ෂිතව එකතු කර පොත්වල අලවා තිබේ. මේ මුද්දර පොත්වල වටිනා මුද්දර වර්ග ද ඇත. ක්‍රමානුකූල දිනචරියාවකින් යුක්තවූවකු නිසාම මුන්වහනසේට මේ තරම් වැඩ රාශියක් කිරීමට කාලය ලැබිණ. මෙතෙක් ලියන ලද සියලුම ග්‍රන්ථ උන්වහන්සේ ලියුවේ දවල් කාලයේදීමය. හවස පහෙන් පසු කිසිම අකුරක් නොලියූහ. අවසාන කාලයේදී රෝහලේ ලෙඩ ඇඳේ සිට ලියූහ. අවසන් හුස්ම හෙළුෑ පසු උන්වහන්සේගේ පෑන තිබුණේ රෝහලේ කොට්ටය යටය. අහෝ! මේ මහා ලේඛකයා 1962 නොවැම්බර් 9 වැනිදා ඔහුගේ පෑනට නිවාඩු දුන්නේ ය.

ම.ව.අබයසිරි
අතිපූජ්‍ය අපවත් වී වදාළ මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලි මාහිමියන් සම්පාදනය කරන ලදුව,
1965 ප්‍රකාශිත
ශ්‍රී බුද්ධත්ව විශේෂ කලාපයේ අනුග්‍රහයෙනි.

බුද්ධදත්ත හිමියන්ගේ පාණ්ඩිත්‍ය සංකීණීත්වය

භාෂා හතරකින් පොත් ලියූ මහා ලේඛකයා

බුද්ධදත්ත හිමියන් 1954 වන තෙක් ලියූ හා සංස්කරණය කළ පාලි, සිංහල, ඉංග්‍රීසි පොත්වල ගණන 56ක් යැයි ශ්‍රී බුද්ධදත්ත චරිතයෙහි එන උපග්‍රන්ථයෙහි සඳහන් වෙයි. සිංහල ඉංග්‍රීසි සඟරාවලට ලියන ලද ලිපිවල ගණන 115කි. ඒ කාලය තුළ කරන ලද ධර්මදේශනාවල ගණන 150කි. 1954න් පසු ලියා පළ කරන ලද පොත්වල ගණන 25කට වැඩි යැයි සිතමි. බුද්ධදත්ත හිමියන් ලිවීම, භාවනා විශේෂයක් කොටගත් බව මෙයින් එළිවෙයි. මේ භාවනාවෙන් හටගත් ප්‍රීති සැපය සමාධි ප්‍රීතිය සේ උන්වහන්සේගේ ශරීරය හැමතැන පැතිරෙන්නට ඇත. කයින් දුබල වූ උන්වහනසේට ලේඛන කලාව සඳහා ජීවිතයෙන් වැඩි කොටසක් කැපකරන්නට පුළුවන් වූයේ ඒ ප්‍රීතිය නිසා යැයි සිතමි.

සරල භාෂා රීතියෙන් හා ශාසන වංශයෙහි පැතිරි දැනුමෙන් සර් ඩී.බී. ජයතිලක මහතාගේත් මුන්වහන්සේගේත් කිට්ටු සමානකමක් ඇතැයි යන හැඟීම මා තුළ හටගත්තේ අවුරුදු විසිපහකට පමණ උඩදීය. බුද්ධදත්ත හිමියනගේ කල්‍යාණිවංශ නිකාය හා අනික් සමහර පොතුත්, ජයතිලක මහතා වරින්වර සකස් කරන ලද පැරණි පොත්වලට ලියූ සංඥපන හා සාහිත්‍ය ලිපිත් කියැවූ හැමවිට මේ හැඟීම මගේ සිතෙහි මතුවිය. බුද්ධදත්ත හිමියන් 1935 දී ලියා පළ කළ “ කල්‍යාණි ශාසන වංශය” පිළිගන්වා තිබෙන්නේ ජයතිලක මහතාටයි. මගේ හැඟීම අහේතුක එකක් නොවූ බව මේ පිළිගැන්වීමෙන් හෙළිවෙයි.

පොල්වත්තේ බුද්ධදත්ත මහා නාහිමියන් පිළිබඳව මාටින් වික්‍රමසිංහ ශූරීන් එදා තැබූ සටහනක්

advertistmentadvertistment
advertistmentadvertistment