භික්‍ෂුවත් නීතිගරුක විය යුතුයි

127

නීතිය මිනිසාගේ බාහිර හැසිරීම පාලනය කළ ද එයින් අධ්‍යාත්මය පාලනය කළ නොහැක. මිනිසුන්ගේ සිතුම් පැතුම් ගතිගුණ යන ගුණාංග පාලනය කරනුයේ සදාචාරය මගිනි. එහෙත් සදාචාරාත්මක මූලධර්ම හා රාජ්‍ය නීතිය අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතී. සමාජ සදාචාරය මගින් ප‍්‍රතික්‍ෂේප කරන වැරදි රජය මගින් පනවන නීීති මගින් ද වැරදි ලෙස දක්වා තිබීම තුළින් එය පැහැදිලි වේ. මිනිසා සිය කැමැත්තෙන් සදාචාර සම්පන්න ගුණගරුක ජීවිතයක් ගත කරන්නේ නම් නීතියක් අවශ්‍ය නොවේ. මානව වර්ගයාගේ යහපත ස`දහා නීතිය නිර්මාණය වී ඇති බව පැහැදිලිය. බුදු දහම ද අවධාරණය කරන්නේ නීතිය මිනිසාගේ යහපත පිණිස සකස් කරගත් දෙයක් බවය.

බුදුන් වදාළ ධර්මයට අනුව පවත්නා නීතියට රටේ සාමාන්‍ය වැසියා මෙන්ම පාලකයා ද අවනත විය යුතුය. එසේ පැවසීමත් සමග ම හැගවෙන්නේ භික්‍ෂුව ද රජුගේ නීතියට අවනත විය යුතු බවයි. භික්‍ෂුව ද මහා සමාජයේ උප කුලකයකි. සංඝ සමාජය පරමාදර්ශී සමාජයකි. එම පරමාදර්ශී සමාජයේ පැවැත්මට බුද්ධ දේශිත විනය ප‍්‍රතිපත්ති ප‍්‍රමාණවත් බව සත්‍ය වෙයි. එහෙත් රජය පනවන නීතිරීතිවලට ගරු කිරීම සහ අවනත වීම නීතිමය යුතුකමක් වනවා මෙන්ම, නීතියේ ආධිපත්‍ය පිළිගැනීමක නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ ය යන්න ප‍්‍රසිද්ධ කියමනකි. සදාචාරාත්මක මිනිස් සමාජයක යථා පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින භික්‍ෂුවට නීතිය පිළිබඳව නිරවුල් අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය වේ. නූතනයේ බොහෝ භික්‍ෂූන්ට පවතින නීතිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැත.

එමනිසා රජයේ නීතියෙන් දඩුවම් ලබන අවස්ථා ද බොහෝය. රාජ්‍ය අධිකාරී බලය පදනම් කරගෙන නීතිය ක‍්‍රියාත්මක වන හෙයින් නීතිය කඩ කළ විට දඩුවම් ලැබේ. එම දඩුවමට භික්‍ෂුව ද යටත් ය. භික්‍ෂුව රජයේ නීති රාමුවෙන් ඉවතට ක‍්‍රියා කළ නොහැකි බව ඇතැම් භික්‍ෂූන් නොදැන සිටීම සංඝ සමාජයේ පැවැත්මේ අර්ථය පවා ප‍්‍රශ්න කරන්නකි. භික්‍ෂූත්වය නීති කඩ කිරීමේ නිලයක් ලෙස භාවිතා නොකළ යුතුය. පොදු සමාජ යහපත සදහා පුරවැසියන් විසින් ඉටු කළ යුතු බවට රාජ්‍යයේ නීතිය මගින් විධානය කර ඇති කාර්යයන් නීතිමය යුතුකම් ලෙස හැඳින්වේ. එම නීතිමය යුතුකම් පිළිබඳව ද අපේ සමහර භික්‍ෂූන්ට අවබෝධයක් නැත. රාජ්‍ය මගින් පනවන නීති පිළිපැදීම, අයබදු ගෙවීම, රජයට අවනත භාවය දැක්වීම (ආණ්ඩුවට නොවේ) යන නීතිමය යුතුකම් භික්‍ෂුව පිළිපදින විට මහා සමාජය ද එයට අවනත වීමට හුරු වීම නිරායාසයෙන් ම සිදුවනු ඇත.

ග‍්‍රීක දාර්ශනික ප්ලේටෝ පෙන්වා දී ඇත්තේ පරමාදර්ශී රජයකට නීතිය අවශ්‍ය නොවූව ද මිහිතලය මත පවතින සාමාන්‍ය සමාජය තුළ නීතිය අත්‍යාවශ්‍ය වන බවය. නීතිය නමැති ස්වර්ණමය නූලෙන් සමාජය බැඳ තැබිය යුතුය යන්න අවධාරණය කරන ප්ලේටෝගේ අදහස එදාට වඩා අදට වැදගත්ය. නීතිය නමැති ස්වර්ණමය නූලෙන් භික්‍ෂු සංස්ථාව බැඳ තැබිය යුතු නැත. නීතියේ රාමුව තුළ භික්‍ෂුව ජීවත් විය යුතුය.

ඇරිස්ටෝටල් පෙන්වා දී ඇත්තේ සියලූම සත්වයින් අතරින් උසස්ම සත්වයා මිනිසා බවත් නීතියෙන් සහ යුක්තියෙන් ඔහු වෙන් කළ විට සියලූ සතුන් අතරින් නරකම සත්වයා ද මිනිසා බවත්ය. බෞද්ධ සදාචාරයේ මස්තකප‍්‍රාප්තිය නිර්වාණයයි.

භික්‍ෂුවගේ අවසාන පරමාර්ථය ද නිර්වාණය යි. නිවන කරා යාමට සූදානම් වන අපට නීතිය හා සදාචාරය අතර ඇති බැඳියාව පිළිබඳ හොඳ කියමනක් අවශ්‍යම වේ. එසේ නොවන විට මාලිමාවක් නොමැති නෞකාවක් මෙන් සංඝ සමාජය ඉබාගතේ පාවිය හැක. ජාතික ගීය, ජාතික කොඩිය රජයක් නියෝජනය කරන ජාතික සංකේතයන් ය. එයට ගරු කිරීම යනු තමා ජීවත් වන දේශයට ජාතියට ගරු කිරීමයි. ඇතැම් රටවල එය නීතියකි. තවත් රටවල නීතිමය යුතුකමකි. ලාංකිකයින් වන අප හැමෝම ජාතික සංකේතවලට ගරු කිරීමට සදාචාරාත්මකව බැඳී ඇත.

එම බැඳීම්වලින් භික්‍ෂුව ඉවත් වීම පරමාදර්ශී සමාජයක් වන භික්‍ෂු සමාජයට අභියෝග කිරීමකි. බෞද්ධ දර්ශනය විශ්වයටම අයත් බව සත්‍යයකි. එහෙත් යම් රටක ජීවත් වන පුරවැසියෙකු වශයෙන් එම රටේ නීතිරීතිවලට ගරු කිරීම, ජාතික සංකේතවලට ගරු කිරීම ජාතික යුතුකමක් ද වේ. රටක් ශිෂ්ටාචාරගත ද නැද්ද යන්න තීරණය කිරීමේ ප‍්‍රධාන නිර්ණායකයකි එරට වැසියන් නීතියට සදාචාරයට ගරු කරනවාද නැද්ද යන්න. ඇතැම් හිමිවරුන් නීතිගරුකව පැවිදි ජීවිතය ආදර්ශවත් ලෙස ගත කරද්දී තවත් පිරිසක් රටේ නීති කඩ කරමින් අසංවර ගිහියන් ලෙස හැසිරීමෙන් පිළිබිඹු වන්නේ භික්‍ෂු සමාජයේ බිඳ වැටීමයි.

පැවිදි සංස්ථාවට අභිනවයෙන් එකතු වන සාමනේර හිමිවරුන්ට රටේ පවතින නීතිරීති පිළිබඳව අවබෝධයක් ලබාදීම වැඩිමහලූ භික්‍ෂූන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි. එම වගකීමෙන් නූතන වැඩිහිටි භික්‍ෂුව ඉවත් වෙමින් සිටින්නේදැයි විටෙක හැෙග්. බොහෝ ලොකු හාමුදුරුවරු පන්සලෙහි පිරිවෙන් පවත්වාගෙන යාම පමණක් ම අරමුණු කර ගනිමින් ළමුන් පැවිදි කරන බව පෙනී යයි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් බොහෝ සාමනේර හිමිවරුන් සාමාන්‍ය නීති පවා උල්ලංඝනය කරනුයේ කිසිදු පිළිවෙතකින් නොවෙයි. පසුගිය කාලයේ නීතිරීති කඩන ලඳ භික්‍ෂූන් පිළිබඳව මාධ්‍යවලින් වාර්තා විය. එම තත්වයෙන් පොඩි හාමුදුරුවරුන් මුදවාගෙන නීතිගරුක මෙන්ම විනයගරුක භික්‍ෂූ පිරිසක් බිහි කර ගැනීමට මහා නාහිමි වරුන් ඇතුඑ වගකිව යුතු වැඩිහිටියන්ගේ හා පාලන තන්ත‍්‍රයේ පරම යුතුකම බව මතක තබාගත යුතුය.

ශාස්ත‍්‍රපති ඕමාරේ පුඤ්ඤසිරි හිමි

පන්සල අතිරේකය – සංස්‌කරණය; නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment