භූගෝලීය දර්ශකයෙන් (ජී. අයි.) රට ගොඩදාන්නේ කොහොමද…?

576

ජී. අයි. කිව්වාම කවුද නොදන්නෙ. රූපවාහිනියක් තිබෙන ගොඩාක් ගෙවල්වල ඇන්ටනාව සවිකරලා තියෙන්නේ ජී. අයි. බටයක විත්තිය ඔබ දන්නවා. ඔය අතර කට්ටිය වැඩිය නොදන්න ජී. අයි. එකකුත් තියෙනවා. ඒක ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියලා හඳුන්වන වෛද්‍ය විද්‍යා ක්ෂේත‍්‍ර භාවිත කරන වචනයක්. දියවැඩියාව තියෙන ඇත්තෝ නම් මේ ගැන කරුණු කාරණා දන්නවා. හැබැයි, අපි කතා කරන්නේ මේ දෙකම නොවන වෙන්නත් ජී. අයි. එකක් ගැන. මේකට කියන්නේ geographical indication කියලා. අපි සිංහලට භූගෝලීය දර්ශකය ලෙස හඳුන්වනවා.

මොකක්ද මේ අලූත් වැඩේ. ඇත්තටම මේක අලූත් නෑ. ඔබ කතරගම ගියොත් මොනවද ගේන්නේ? දොදොල්වලට අමතරව මී කිරි හට්ටියක් අනිවාර්යයි. දකුණේ මීකිරි කිව්වහම කවුද නොදන්නෙ. ඒ රසය හරිම ප‍්‍රසිද්ධයි. අපි වැඩිපුර ගාණක් දීලා වුණත් දකුණේ මීකිරි ගන්න කැමතියි. වැඩේ තියෙන්නේ අනුරාධපුර පොළොන්නරුවට ගියත් ගහලා තියෙන්නෙ දකුණේ මීකිරි කියලා. එහෙම වෙන්න බැරි කමක් නෑ. එත් ඒවා බොහෝමයක් ව්‍යාජයි. දකුණේ නිෂ්පාදන නොවේ. ඉතින් මෙන්න මේ භූගෝලීය වශයෙන් නිපදවන ව්‍යාජ නිෂ්පාදනවලට අපි වැඩිපුර ගෙවනවා. භූගෝලීය ප‍්‍රදේශයක තිබෙන විශේෂතාව නිසා ඇතිවෙලා තියෙන සන්නාමයක් ප‍්‍රසිද්ධියක් වෙළෙඳපළක් සුරකින හදාගත්ත වැඩපිළිවෙළක් තමයි ජී. අයි. කියලා කියන්නෙ. ඒ තුළ ඉහත සඳහන් කළ ආකාරයේ වංචාවලට ඉඩක් නැහැ.

ප‍්‍රදේශය, නැත්තම් භූගෝලීය පිහිටීම පදනම් වෙලා සිදුකරන විශේෂ නිෂ්පාදන ලෝකයේ තියෙනවා. සමහරවිට ප‍්‍රදේශයකටත් සමහරවිට රටකටත් ඒ නිෂ්පාදනය හරිම විශේෂයි. ඒවායේ රස, සුවඳ, හැඩය, පාට වගේ මොකක් හරි ලක්ෂණයක් ඒ වගේ වෙනත් නිෂ්පාදනයක නැති හින්දා ජනප‍්‍රිය වෙලා තියෙනවා. දකුණේ මීකිරි ඒ වගේ දෙයක්. ඉතින් මෙම විශේෂ නිෂ්පාදන වෙනුවෙන් ලබාදෙන අයිතියි පිළිබඳ සහතිකය තමයි සහතිකය කියලා කියන්නේ. මේක හරියට පේටන්ට් එකක් වගේ. බුද්ධිමය දේපළ අයිතියක්. ඒ නමින් වෙනත් කිසිවෙකුට එවැනි නිෂ්පාදනයක් සිදු කරන්න බෑ. ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් ඒ නිසා භූගෝලීය අයිතිය සුරක්ෂිතව වූ නිෂ්පාදනයකට විශේෂ ආරක්ෂාවක් හිමිවෙනවා වගේම හොඳ මිලකුත් ලැබෙනවා.

මේක ජාත්‍යන්තර කරලියේ වැඩක්. ලෝක බුද්ධිමය දේපළ පිළිබඳ ජාත්‍යන්තර ආයතනය, ලෝක වෙළෙඳ සංවිධානය මේ වැඩපිළිවෙළේ කොටස් කාරයෝ. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මෙය ක‍්‍රියාත්මකයි. මොකද ජාත්‍යන්තර වශයෙන් භූගෝලීයව වැදගත් නිෂ්පාදන අව භාවිත කිරීම් නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. හොඳම උදාහරණය අපේ තේ. සිලෝන් ටී ලෙස අපේ තේවලට ඓතිහාසික සන්නාමයක් තියෙනවා. ඒ නම පාවිච්චි කරලා ලෝකයේ ගොඩක් තැන්වල තේ විකිණීමට තිබුණත් ඒවා සැබෑ ලාංකික නිෂ්පාදිත තේ නොවේ.

ප‍්‍රදේශය අනුව භාණ්ඩයක තියෙන විශේෂතාව රැකගැනීම සඳහා වැඩ පිළිවෙළක් පළමුවෙන්ම ආරම්භ කරලා තියෙන්නේ ප‍්‍රංශය. ඒ වගේ නිෂ්පාදන සඳහා මුද්දර ලබා දෙන්න එවකට ප‍්‍රංශ රජය ක‍්‍රියාත්මක කරල තියෙනවා. එමගින් සැබෑ භාණ්ඩය හඳුනාගන්න පුළුවනි. මේ වැඩපිළිවෙළ වඩාත් විධිමත් වුණේ 1958 දී අත්සන් කරපු ලිස්බන් ගිවිසුම මගින්. 1994දී ටි‍්‍රප්ස් කියන ගිවිසුම මගින් ජාත්‍යන්තරව ඇති එවැනි භාණ්ඩ සුරැකීම සඳහා නීතිරීති අවකාශ රාශියක් ඇති කළා වගේම ලෝකයේ රටවල් බොහොමයක් ඒ හරහා සම්බන්ධ කරනු ලැබුවා. ඒ විදිහට තමයි ජී අයි අද දක්වා ක‍්‍රමාණුකූලව පැමිණියේ.

වර්තමානය වන විට ලියාපදිංචිය නිසා භාණ්ඩයක භූගෝලීය පිහිටීමට ලැබෙන රැකවරණය හරිම විශේෂයි. භූගෝලීය දර්ශක අයිතිය ලබා ගන්න භාණ්ඩ හා නිෂ්පාදන රාශියක් තියෙනවා. මෙම දර්ශක අයිතිය නිසාම එම නිෂ්පාදනවලට ලැබිලා තියෙන තැන හා වෙළෙඳපොළ අති විශාලයි.

භාණ්ඩවල මිල ඉහළ පහළ යෑම නිරන්තරයෙන්ම දකින්න පුළුවන්. සුලබ කාරණය වර්තමාන වෙළෙඳපොළ තුළ අපි කියන්නේ නිෂ්පාදනවලට හරි මිලක් නෑ කියලා. හැබැයි ජී. අයි. භාවිතය හරහා රැකවරණය ලබාගත් නිෂ්පාදනයකට ඉහළ මිලක් ලැබෙන්න තිබෙන ඉඩකඩ ඉතාම ඉහළයි. මොකද මේ සහතිකය ලබා ගත්තු භාණ්ඩ සඳහා විශේෂ වෙළෙඳ පොළක් නිර්මාණය වෙනවා. ඒ සඳහා කැමැත්තක් දක්වන පාරිභෝගිකයන් බය නැතුව භාණ්ඩ මිලදී ගන්න මේ නිසා පෙළඹෙනවා. ඒ හින්දා භූගෝල දර්ශක සහතිකය වෙළෙඳපළ ප‍්‍රවර්ධන උපකරණයක් ලෙස භාවිත කරන්න පුළුවන් කියලයි විද්වතුන්ගේ මතය.

හොඳ උදාහරණයක් කියන්නම්. කොලොම්බියාව ඉතා විශාල වශයෙන් කෝපි වගා කරන රටක්. ඔවුන් මුහුණ දුන් ප‍්‍රධානතම ගැටලූව වූයේ කෝපි සඳහා නිසි මිලක් නොලැබීමයි. මේ සඳහා හරි අපූරු වැඩපිළිවෙළක් දියත් කරනු ලැබුවා. ඒ අනුව කොලොම්බියානු කෝපි ගැන විශාල දැනුවත් කිරීමක් ආරම්භ කරනවා. එය සුවිශේෂයෙන් ඉදිරියට එන්න කොලොම්බියාවේ සම්ප‍්‍රදායික වීරවරයෙකු ජුවාන් වෝල්ටර් නමින් චරිතයක් නිර්මාණය කරනවා. ඔවුන් සමත් වෙනවා 2005 වසරේදී එම ලාංඡනය භාවිතා කරමින් කැෆේ ඩී කොලොම්බියා නමින් භූගෝලීය දර්ශක යටතේ ලියාපදිංචි කරනු ලබනවා. වර්තමානයේ cafe de Colombia යනු අංක එකේ සන්නාමයක් සහිතව විකිණෙන කෝපි වර්ගයක්.

භූගෝලීය දර්ශකය ලබා ලබා ගැනීම සඳහා භාවිත කරන නිෂ්පාදන බොහෝවිට සිදු වන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල. මේ නිසා ග‍්‍රාමීය සංවර්ධනය සඳහා එය දායක වීම නිතැතින්ම සිදු වෙනවා.

ඇයි මේ ක‍්‍රියාවලිය එක්ක දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පැමිණිම සිදුවෙනවා. තමන් කැමති භාණ්ඩ ආහාර නිපදවන තැන් බලන්න ගොඩක් අය කැමතියි. මේ නිසා සංචාරක කර්මාන්තය තුළින් සහ එම භාණ්ඩ විකිණීම තුළින් අතිරේක ආදායම් උත්පාදනය වන බවයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන අය පෙන්වා දෙන්නේ. නැගෙනහිර ප‍්‍රංශයේ ජුලා කඳු ආශ‍්‍රිතව කොමිට් නමින් චීස් වර්ගයක් හදනවා. මේ පළාතේ ශීත කාලය ඉතාම දිගයි. ඒ වගේම හරිම තදයි. ඉතින් වගා කටයුත්තක් කරන්න හරිම අමාරුයි. වැවෙන එකම දේ තණකොළ. සම්ප‍්‍රදායිකව කිරි එළදෙනුන් ඇති කිරීම ඒ පැත්තෙ ලක්ෂණයක්. දශක ගණනාවක් පුරා මේ ප‍්‍රදේශයේ චීස් නිපදවනවා. සාම්ප‍්‍රදායිකව මේ අය හදන්නේ චීස් රෝදයක්. මේ සඳහා කිරි ලීටර් හාරසිය 450 ක් වැය වෙනවලූ. මේ විශේෂ චීස් සඳහා ඔවුන් ජී. අයි. සහතිකය ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. කොමිට් චීස් හදනවා බලන්න විශාල පිරිසක් ජුරා කඳු ප‍්‍රදේශයට එනවා. මේ නිසා ඒ පළාතේ චීස් නිපදවන්නේ නැති අයගේත් අතමිට සරු වෙලා කියලයි පැවසෙන්නේ. මේක ජී. අයි. භාවිතයේ අතිරේක වාසියක්.

ලංකාවේ ජී. අයි. සහතිකය ලබාගන්න පුළුවන් නිෂ්පාදන රාශියක් තියෙනවා. ඒවායේ ඓතිහාසික බව අපිට අනන්‍ය බව නිසා පහසුවෙන් මේ සහතිකය කරා යන්න අපට පුළුවනි. ලංකාවේ තේ, කුරුඳු, නිල් මැණික්, ලාක්ෂා නිෂ්පාදන, දුම්බර පැදුරු ඒ වගේ විශේෂ භූගෝලීය ප‍්‍රදේශ අනුව නිපදවනු ලබන භාණ්ඩ. ඒ සඳහා නියත වශයෙන්ම රැකවරණය ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්.

පහුගිය පෙබරවාරි මාසයේ ලංකාවේ කුරුඳු සඳහා අපිට ජීඅයි සහතිකය ලැබුණා. ඒක අපේ විශාල ජයග‍්‍රහණයක්. තව ගොඩාක් ජී. අයි. ගන්න පුළුවන් නිෂ්පාදන ලංකාවේ තියෙනවා. අපි ටිකක් ප‍්‍රමාද වෙලා තමයි. ඒකට හේතුව එක් පැත්තකින් ඒ සඳහා දේශීය වශයෙන් අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සහ පරිපාලන ව්‍යුහය ගොඩනැගී නොමැතිකම. අනිත් පැත්තෙන් එම නිෂ්පාදනවල අගයදාමය සහ නිෂ්පාදන ප‍්‍රමිති සම්බන්ධයෙන් පැහැදිලිව හඳුනා

නොගැනීමයි. මේ හින්දා තවමත් අපි මඳක් පිටුපසින් ඉන්නේ. ඉන්දියාව නිෂ්පාදන 3000 කටත් අධික ප‍්‍රමාණයක් සඳහා ජී. අයි. සහතිකය අරගෙන තියෙනවා. බංග්ලාදේශය ඇෆ්ගනිස්තානය පවා මේ සම්බන්ධයෙන් අපට වඩා ඉදිරියෙන් කිව්වොත් නිවැරදියි. සෞග්‍යයයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ භූගෝලීය දර්ශකය අයිතිය ලබා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීම පිළිබඳව ප‍්‍රතිපත්තිමය කරුණු යෝජනා කරල තියෙනවා. ඉදිරියෙදි අපි එකතුවෙලා වැඩ කළොත් වැඩේ ගොඩදාගන්න පුළුවනි.

භූගෝලීය දර්ශකයෙන් (ජී. අයි.) රට ගොඩදාන්නේ  කොහොමද...?

රන්සිලු වටවල

advertistmentadvertistment
advertistmentadvertistment